සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් කරුණු හාස්‍යෝත්පාදක ස්වරූපයනේ ඉදිරිපත් කළද, එම කරුණු ඔස්සේ යම්කිසි පරිශීලකයින් කොට්ඨාශයක් හෝ නොමග යයි නම් ඒ සම්බන්ධයෙන් සත්‍ය හෙළි කිරීම, කරුණු අනාවරණය කිරීමට Factcrescendo අප බැඳී සිටිමු. මෙලෙස අසත්‍ය කරුණු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරීම හේතුවෙන් සමාජ මාධ්‍ය භාවිත කරන ඇතැම් වැඩිමහලු පිරිස බොහෝ විට මෙම කරුණු පදනම් කරගනිමින් නොමග යෑමක් ද දක්නට ලැබෙනවා. එලෙස අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද කොවිඩ් මර්දන එන්නත් කාඩ්පතක් සම්බන්ධයෙන් අප කළ කරුණු අනාවරණයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

එන්නත් ලබාගත් බව පෙන්වන කඩ්පතක ඡායාරුපයක් සමඟ උපහාසාත්මක කෝණයක් ද සමඟින් හුවමාරු වූ සමාජ මාධ්‍ය සටහන් පෙළක් ඔස්සේ පෙන්වා තිබුනේ, යම් කිසි පුද්ගලයෙකු විසින් කොවිඩ් පාලනය සඳහා මෙරටදී ලබා දෙන එන්නත් වර්ග තුනක් (සයිනොෆාම්, ෆයිසර්, ස්පුට්නික්) ලබා ගත් බවකි. එවැනි සටහනක් පහතින්

Facebook | Archived Link

එම ඡායාරූප සටහන සංසරණ ය වී තිබූ තවත් අවස්ථා මෙතනින් සහ මෙතනින්.

බොහෝ පිරිසක් මෙම සටහන් උපහාසාත්මක ලෙස සංස්කරණය කර ඇති බව හඳුනාගෙන තිබුණ ද එන්නත් වර්ග කිහිපයක් ලබාගැනීම පිළිබඳ විදෙස් රටවලින් ද වාර්තා වන පසුබිමක මේ ආකාරයේ කොවිඩ් එන්නත් මාත්‍රා 6ක් ලබා දී ඇත්දැයි කිහිපදෙනෙක් විමසිලිමත් වී ඇති බව ද අපට දැක ගන්නට ලැබුණා. ඒ අනුව මේ සම්බන්ධයෙන් අප කරුණු විමර්ශනයක් මෙලෙසින් සිදු කරනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එන්නත් කාඩ්පතේ ෆයිසර් සහ ස්පුට්නික් යන අවසාන එනනත් මාත්‍රා එන්නත් කරන ලද ස්ථානය ලෙසට ‘රන්න’ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH) ලෙස දක්වා තිබීම හේතුවෙන් අප කළ සොයා බැලීමේදී තහවුරු වූයේ ‘රන්න’ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ‍නොමැති බවත් ‘රන්න’ අයත් වන්නේ තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට බවයි.

අප එම කාර්යාලයෙන් විමසීමක් කළේ, ‘රන්න’ ප්‍රදේශයට ලබා දී ඇති එන්නත් වර්ගය කුමක්ද යන්නයි. ඔවුන් සඳහන් කළේ, සයිනොෆාර්ම් එන්නත එම ප්‍රදේශයට ලබා දුන් බවත් ඇස්ට්‍රාසෙනකා එන්නත පළමුවෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ට පමණක් ලැබුණු බවයි.

ඒ අනුව එම ප්‍රදේශයට ලැබී ඇත්තේ සයිනොෆාර්ම් එන්නත පමණක් බවට සඳහන් කළ හැක.

තවද ඉහත කාඩ්පත නිරීක්ෂණයේදී එන්නත් වර්ග 3කින් මාත්‍රා දෙක බැගින් ලබා ගෙන ඇති බව දක්වා තිබේ. එය කිසි සේත්ම විය නොහැක්කක් වන්නේ මෙරටදී තෙවන මාත්‍රාවක් ලබාදීම මෙතෙක් සිදු කර නොමැති බැවිනි. එසේම මේ ආකාරයට එන්නත් ලබාදුන්නේ නම් එම දිනයන් ද පිළිවෙලින් දැක්විය යුතු අතර මෙහි එසේ දැක්වෙන්නේ ද නැත. මේ අනුව මෙය ව්‍යාජ ලෙස දිනයන් යොදා සංස්කරණය කර ඇති අවස්ථාවක් බව පැහැදිලිය.

එමෙන්ම මාත්‍රා ගණන පළමු මාත්‍රාවේ සිට දෙවන, තෙවන, සිව්වන ලෙස සඳහන් කරනවා විනා එන්නත් පළමු මාත්‍රාවෙන් පසු නැවත ලබා ගන්නා මාත්‍රා ගණන එන්නත් වර්ගයෙන් වර්ගයට පළමු හා දෙවන මාත්‍රා ලෙස නම් කිරීමක් සිදු නොවේ.

කොවිඩ් එන්නත් කරණ කාඩ්පත් වල ඡායාරුප සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් හුවමාරු කර ගත් අතර එන්නත් දෙකම ලබාගත් කාඩ්පතක් දැක්වෙන්නේ මෙලෙසින්.

කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය වෙත ද අප මෙම කාඩ්පත යොමු කළ අතර එය ව්‍යාජ සංස්කරණයක් බව සඳහන් කරමින් මෙරට දී තුන්වන එන්නත ලබාදීම මෙතෙක් ආරම්භ වී නැති බව ද ඇය තහවුරු කර සිටියා.

මෙම කාඩ්පත හුදෙක් එන්නත්කරණ වැඩපිළිවෙළ හාස්‍යට ලක් කිරීම සඳහා නිර්මාණය කර බවක් පෙනී ගිය ද, මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙන් වැරදි අවබෝධයක් ලබා ගෙන නොමග යෑමක් සිදු වන්නේ ඇතැම් පිරිස්වලට මෙවැනි සංස්කරණයන් සම්බන්ධයෙන් අවබෝධයක් නොමැති හෙයිනි.

ලංකාවේ දැනට එනන්ත්කරණ වැඩපිළිවෙළ:

මෙරටදී කොරෝණා මර්ධන එන්නත් කරණය සිදු කරනු ලබන එන්නත් වන්නේ ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂිල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී හා ඇමරිකාවේ නිෂ්පාදිත ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් වර්ගයි.

සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 22ක්, අස්ට්‍රාසෙනෙකා 2.8ක් , මොඩර්නා මිලියන 1.5ක් සහ සිපුට්න්ක් හා ෆයිසර් මාත්‍රා දෙකෙහිම එකතුව මිලියනක් පමණ ද වන පරිදි මුළුමනින් එනනත් මාත්‍රා මිලියන 27කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලංකාවේ දී ලබාදී තිබෙනවා. ඒ අනුව එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගත් පිරිස මිලියන 12.8ක් බව ද ඇතුළු කරුණු කොවිඩ් දත්ත පිළිබඳ ජනාධිපති කාර්යාලයේ වෙබ් අඩවියේ දක්වා තිබෙන්නේ මෙලෙසින්. Archived Link

මෙරට ජනගහණයෙන් අවුරුදු 30 ට වැඩි අය සඳහා පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති ප්‍රතිශතය 100% ක් බවත් දෙවන එන්නත් මාත්‍රාව ලැබූ පිරිස 80%ක් බවත් එහි සනිටුහන් වී තිබේ. එහිදීද ඉහත එන්නත් කාඩ්පතේ සඳහන් ලෙස තෙවන මාත්‍රාවක් සම්බන්ධයෙන් දක්වා නැත.

කෙසේවෙතත් මෙරටදී තෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. සෞඛ්‍ය සේවකයින් කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බැවින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර එකඟතාවකට පැමිණ ඇති බවට පුවත් වාර්තා පෙන්වා දුන්නේ මෙලෙසින්.

නමුත් මෙරටදී මෙතෙක් තෙවන මාත්‍රාව ලබා දීම ආරම්භ නොකර ඇති බව අප කළ විමසීමේදී කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළා.

එසේ තිබියදී මෙරටදී කොවිඩ් මර්ධන එන්නතේ සය වන මාත්‍රාවද ලබා ගත් බවට හැඟවීමට ඉහත එන්නත් කාඩ් පත දක්වා තිබුණා. එමෙන්ම එන්නත් වර්ග තුනකින් එන්නත් ලබා ගත් බවද එහි සඳහන් කර තිබුණා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නිපදවන ඇතැම් රට වල ඇති වූ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇතිවූ ගෝලීය එන්නත් හිඟය නිසා පළමු එන්නත් මාත්‍රාව ලබා ගත් අය හට දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ප්‍රමාදයක් ඇති වන ප්‍රවණතාවයක් දක්නට ලැබුණා. එවැනි වාතාවරණයක් යටතේ ඇස්ට්‍රාසෙනෙකා/ෆයිසර් එන්නත පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයන් සඳහා දෙවන මාත්‍රාවට වෙනත් එන්නත් වර්ගයක් (Mix & Matching) ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමෙන් පසු මෙරටදීද දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගනු ලැබුවා. නමුත් මෙය සිදුවුයේ ඉතා සුළු පිරිසකටයි.

Explainer: කෝවිඩ් සඳහා මිශ්‍ර එන්නත් ලබා ගැනීම සුදුසු ද?

ඒ අනුව මෙරටදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත හැකි වූයේ පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබා ගැනීමට පමණි. වෙනත් වර්ගයේ එන්නත් වර්ග මාත්‍රා දෙකක් මිශ්‍ර කර ලබා දීමට මෙරටදී මෙතෙක් අවසර හිමි නොවුණි. ඒ බවද වෛද්‍ය රුවන් විජයමුණි මහතා අප කළ විමසීමේදී තහවුරු කර සිටියා.

තුන්වන මාත්‍රාව ලබදෙන රටවල්:

ලෝක සෞඛ්‍ය සංවිධානය තෙවන මාත්‍රාව ලබා දීමට කටයුතු කරන රටවල් වලින් ඉල්ලා සිටියේ අවම වශයෙන් එන්නත් ලබා නොගත් රටවල් එන්නත්කරණය සම්පූර්ණ වන තෙක් තෙවැනි මාත්‍රා ලබා දීම කල් දමන ලෙසයි. එසේනමුත් මේ වන විටත් ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, ඊශ්‍රායල යනාදී වශයෙන් රටවල් කිහිපයක්ම කොවිඩ් මර්ධන එන්නත් තෙවන මාත්‍රාව එම වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබෙන බවට රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙලෙසින්. හංගේරියාවද මේ වන විට තෙවන එන්නත් මාත්‍රාව ලබා දී ඇති බවට දැක්වුණේ මෙලෙසින්. චෙක් රාජ්‍යයද මේ මාසයේ දී තෙවන මාත්‍රාව අවුරුදු 60 ට වැඩි පිරිසට ලබා දීමට කටයුතු කරන බවට දැක්වුණේ මෙලෙසින්. ඊශ්‍රායලය සිව්වන එන්නත ලබාගැනීම සඳහා ද සුදානම් වෙමින් සිටින බවට පුවත් වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු පරීක්ෂාවෙන් පෙන්වා දෙනු ලැබුවේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 6ක් එන්නත් වර්ග තුනකින් ලබා ගත් බවට හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සිදුකර තිබු සංස්කරණයක් බවයි. මෙරටදී දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට තෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතත් මෙතෙක් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර නැහැ. මෙම ව්‍යාජ කාඩ්පත එන්නත්කරණ වැඩපිළිවෙල හාස්‍යට ලක් කිරීම සඳහා නිර්මාණය කර බවක් පෙනී ගිය ද ඒ ඔස්සේ සමාජයේ ඇතැම් පිරිසක් නොමග ගොස් තිබිණ

Avatar

Title:කොවිඩ් මර්දන මාත්‍රා 6ක් ගත් පුද්ගලයෙක්?

Fact Check By: Pavithra Sandamali

Result: False