කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයාමත් සමගම බටහිර වෛද්‍ය ක්‍රම අනුගමනය කරන විද්‍යාඥයින් ඒ සඳහා ප්‍රතිකාර ක්‍රම සොයා ගැනීම සදහා වෙහසුනු අතර මේ මොහොතේදීත් ඔවුන් ඒ සඳහා විවිධ උත්සාහ ගනිමින් පවතිනවා. කෙසේ වෙතත් ඒ සදහා 100% සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් මේ වන තෙක් සොයා ගැනීමට නොහැකි වුවද රෝග ව්‍යප්තිය පාලනය කිරීම සදහා වඩාත් ම සුදුසු ක්‍රමය ලෙස බටහිර විද්‍යාඥයින් විසින් සලකන්නේ එන්නත්කරණයයි. නමුත් එන්නත්කරණය සම්බන්ධයෙන් වූ විවිධ තහවුරු නොකළ ප්‍රචාර සමාජය තුළ පැතිර යමින් පවතින අතර ඒ හේතුවෙන් ඇතැම් පිරිස් එන්නත්කරණයට මැලිකමක් දක්වනවා. මේ, එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසීමකුයි.

සමාජ මාධ්‍ය සටහන් :

එන්නත ලබාගැනීම නිසා ලිංගික බෙලහීනතාවයට, වද බවට, මදසරු බවට පත්වන බව සහ ප්‍රජනන පද්ධතියට බරපතල ප්‍රතිවිපාක ඇතිවන බව සදහන් වන සමාජ ජාල සටහන් ෆේස්බුක් තුළ විශාල ලෙස හුවමාරු වෙමින් පවතිනවා.

ෆේස්බුක් වෙත එක්කර තිබූ එවැනි ආකාර සටහනකුයි පහත දැක්වෙන්නේ “ඔවුන්ට පුලුවන් නම් ඇට නැති ඵල හදන්න,ඔවුන්ට හැකියාවක් තියනවා ඔබෙත් ඵලදායී තාව නැති කරන්න” ලෙස , එහි සදහන්ව තිබුණේ එන්නත් සිරිංජයක රූපයක්ද සහිතවයි.

Facebook| Archived

මෙම සටහන් මඟින් මේ දිනවල ලොව පුරා සීග්‍රයෙන් ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙල විශේෂයෙන්ම අදහස් කර තිබු බව එම සටහන් සඳහා ලබා දී තිබු ප්‍රතිචාර හරහා ද දැක ගන්නට ලැබුණා. තවත් සටහන් කිහිපයක් පහතින්.

බොහෝ දෙනාගෙන් ලැබුණු ඉල්ලීම් නිසා අප ඒ පිළිබදව සොයා බැලීමට තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මුලින්ම මේ පිළිබදව සොයා බැලුවේ, මෙහි දක්වා ඇති කරුණ සම්බන්ධයෙන් ඇති වෙදෙස් මතයන් පිළිබදවයි.

එහිදී විවිධ ජාත්‍යන්තර මාධ්‍ය, වෙබ් අඩවි මේ පිළිබඳව වාර්තා කර තිබෙන ආකාරය දැකගැනීමට ලැබුණා. එයින් තහවුරු වුණේ කොවිඩ් එන්නත් විදීමෙන් මද සරු බව, ලිංගික බෙලහීනතාවය ඇතිවන බවට වන මතය දේශීය වශයෙන් පමණක් ඇතිවූ මතයක් නොවන බවයි.

නිකී මිනාජ් නම් ප්‍රකට රැප් ගායිකාවක් විසින් මීට දෙසතියකට පමණ පෙර සිය ට්විටර් ගිණුමට එන්නත්කරණය පිළිබදව පණිවිඩයක් එක්කර තිබුණේ මෙලෙසින්.

Twitter | Archived

මෙහි සඳහන්ව ඇත්තේ සිය ඥාති සොහොයුරකුගේ මිත්‍රයෙකු, කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසු ලිංගික බෙලහීන තත්ත්වයකට පත්ව ඇති බවයි. අදාළ මිතුරාගේ වෘෂණ කෝෂ තුළ තරලයක් එක්‍ රැස්වී ඒවා ඉදිමුණු තත්තවයට පත්ව ඇති බවද ,මේ හේතුව නිසා ඔහු සමඟ විවාහ වීමට සිටි පෙම්වතිය ද විවාහය නවතා දැමු බව ද මෙහි සඳහන් වනවා.

කෙසේ වෙතත් මේ පිළිබදව කරන ලද පුළුල් විමසා බැලීමකින් පසුව ට්‍රිනිඩෑඩ් රාජ්‍යයේ සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත්තේ ,එන්නත් නිසා රෝගී තත්ත්වයට පත්වූ මෙවැනි රෝගියකු තම රටෙන් වාර්තා නොවන බවයි. තම රටෙන් පමණක් නොව ලෝකයේ කිසිදු රාජ්‍යයකින් එන්නත් නිසා මෙවැනි තත්ත්වයට පත්වූවකු පිළිබදව වාර්තා නොවන බවත් ඔහු සදහන් කර තිබුණා.ඒ පිළිබද වැඩිදුරන ලද කරුණු විමර්ෂණයක් මෙතනින්. වීඩියෝවක් මෙතනින්. එසේම මේ පිළිබඳව වෛද්‍ය ඇන්තනි ෆවූචි දැක්වූ අදහස් මෙතනින්

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවද මෙම ලිංගික වඳභාවය සම්බන්ධයෙන් ඇතිව තිබු බිය හේතුවෙන් එන්නත්කරණය සදහා මැලිකමක් දක්වන බව ශ්‍රී ලාංකික මාධ්‍ය අනාවරණය කර තිබුණා.

Daily Mirror| Archived

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන වෛද්‍ය විද්‍යාත්මක පසුබිම සොයා බැලීමේදී අපට තහවුරු කර ගැනීමට හැකිවූයේ කොවිඩ් එන්නත් සහ ලිංගික බෙලහීනතාව අතර සම්බන්ධයක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි. ඒ සදහා ජාත්‍යන්තර වශයෙන් විද්වතුන් දැක්වූ අදහස් මෙන්ම දේශීයව අදාළ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් දැක්වූ අදහස්ද ලබාගැනීමට අපට හැකිවුණා.

කොවිඩ් එන්නත් හා ලිංගික වඳභාවය පිලිබඳ විදෙස් වාර්තා:

රෝග නිවාරණය හා වළක්වා ගැනීම හා සම්බන්ධ ආයතනය (CDC) පවසන්නේ කොවිඩ් එන්නත් ලබාගැනීමෙන් ලිංගික/ප්‍රජනන ශක්තියට කිසිම හානියක් හෝ ලිංගික බෙලහීනතාවයක් ඇති වන බවක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි. ඒ හා සම්බන්ධ පර්යේෂණ වලදී මේ ආකාරයේ ගැටලුවක් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද පර්යේෂණ වල දී අනාවරණය වී නොමැති බව ද ඔවුන් පෙන්වා දෙනවා.

CDC ආයතනය පවසන්නේ වයස අවුරුදු 12 සහ ඊට වැඩි අය සදහා කොවිඩ් එන්නත්කරණය නිර්දේශ කරන බවකුයි. ගැබිනි බවට පත්වීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙන අයට මෙන්ම ඒ සඳහා සූදානම් වන අයටද කොවිඩ් එන්නත්කරණය නිර්දේශ කරන බවකුයි ඔවුන් පවසන්නේ. CDC වාර්තාවට පිවිසුම මෙතනින්. Archived.

ඇමෙරිකාවේ මියාමි විශ්ව විද්‍යාලය මගින් සිදුකළ පරීක්ෂණයකින්ද පුරුෂයන්ගේ ලිංගික ශක්තිය අඩුවීම සදහා කොවිඩ් එන්නත් මගින් බලපෑමක් නැති බව තහවුරුව තිබෙනවා. මෑතක පිරිමි පුද්ගලයන් 45 දෙනෙකු යොදා ගනිමින් සිදු කළ පරීක්ෂණයක් උපුටා දක්වන ඔවුන් පවසන්නේ එන්නත් විදීමට පෙර මෙන්ම එන්නත් විදීමෙන් පසුද ශුක්‍රාණු වල හැසිරීම් ස්වභාවයේ වෙනසක් නැති බවයි. එම පරීක්ෂණය හා සම්බන්ධ වැඩිදුර තොරතුරු මෙතනින්. Archived.

බ්‍රිතාන්‍ය ඖෂධ හා සෞඛ්‍ය සේවා නියාමන අධිකාරිය(MHRA)ද පවසන්නේ කොවිඩ් එන්නත ලබාගැනීම හරහා ගැබිණි මව්වරුන්ට අහිතකර බලපෑමක් සිදු වන බවක් මේ වන විට අනාවරණය වී නොමැති බවයි. එමෙන්ම කාන්තාවන්ගේ මාසික ඔසප් චක්‍රයේ සිදුවන වෙනස්වීම් සදහා හෝ ඔවුන්ගේ ඵලදායීතාව අඩු වීම සදහා කොවිඩ් එන්නත්කරණය බලපාන බවට මෙතෙක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැති බවත් ඔවුන් පවසනවා .MHRA මතය පිළිබද වැඩිදුර තොරතුරු මෙතනින්.Archived.

එපමණක් නොව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබුනේ කොවිඩ් වෛරසය වැළඳීමෙන් පසු පිරිමින්ගේ ශිෂේණය කෙටි හෝ දිගු කාලීන බෙලෙහීනතාවයක් (erectile dysfunction) ඇති වීමට ඉඩක් තිබිය හැකි බවත් කොවිඩ් එන්නත මඟින් මෙය වලක්වා ගත හැකි බවයි.

මදසරුභාවය සහ කොවිඩ් එනන්තේ බලපෑම පිලිබඳ ලංකාවේ වෛද්‍යවරුන්:

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ ශ්‍රී ලංකා නාරි හා ප්‍රසව වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා ද පැවසුයේ කොවිඩ් එන්නත්කරණය සහ මද සරු බව, වද බව හෝ ලිංගික ශක්තිය අතර කිසිදු සම්බන්ධතාවයක් මෙතෙක් සොයාගෙන නොමැති බවයි.

නාරි හා ප්‍රසව වේද විශේෂඥ වෛද්‍යවරයෙක් වන අචින්ත දිසානායක මහතා ද අප සමග පැවසුයේ කොවිඩ් එන්නත්කරණයෙන් මද සරු බව ඇති වන බවට මෙතෙක් කිසිදු විද්‍යාත්මක සාක්ෂි ලෝකයේ කිසිදු රටකින් වාර්තා නොවන බවයි. ශ්‍රී ලංකාවේද වයස අවුරුදු 30 ට වැඩි බොහෝ දෙනා එන්නත්කරණය කර අවසන් කර තිබුණත් ඔවුන්ගෙන්ද එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතා ඇතිවූ බවට සාක්ෂි නැති බවත් ඔහු පැවසුවා.

වයස අවුරුදු 18 ට වැඩි අයට ශ්‍රී ලංකාවට පෙර බ්‍රිතාන්‍ය වැනි රටවල් එන්නත්කරණය සිදු කළා. නමුත් ඔවුන්ගෙන්ද එන්නත්කරණය නිසා ලිංගික බෙලහීනතා ඇති අය හදුනාගෙන නැහැ.”, ඔහු පැවසුවා.

ඇතැම් පුද්ගලයින් කාලයක සිට ලිංගික දුබලතා වලින් පෙළෙනවා.ඔවුන්ටද අප එන්නත්කරණය නිර්දේශ කර තිබෙනවා.ඒ ඔවුන්ටද කොරෝනා වලින් ආරක්ෂා වීම පිණිසයි.”, වෛද්‍ය දිසානායක පැවසුවා.

මදසරු බවට හෝ වද භාවයට හේතුවන සාධක ලෙස හදුනාගත හැකි සාධක විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ අතරින් කිහිපයක් නම් වයස වැඩි වීම, දියවැඩියාව, ආහාර ගැනීමේ අක්‍රමවත්බව, අධික මත්පැන් පානය හා දුම්පානය, මානසික ආතතිය, වල් නාශක-කෘමිනාශක ආදී රසායන ද්‍රව්‍යන්ට නිරාවරණය වීම, විකිරණ වලට නිරාවරණය හෝ වෙනත් පිළිකා ප්‍රතිකාර , ලිංගිකව බෝවන රෝග යනාදියයි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දැනගැනීම මෙතනින්.Archived.

ඇට නැති ඵල නිපදවීම:

එසේම සමාජ ජාල සටහන් වල සදහන් වන ආකාරයට ඇට නැති ඵල නිපදවන ආකාරය පිළිබඳවද අප කරුණු සොයා බැලුවා. ඇට රහිත ඵල නිපදවීම වසර සිය දහස් ගණනක් තිස්සේ සිදුව තිබෙන අතර එය නව ක්‍රියාදාමයක් නොවෙයි.

වසර දහසක් ගණනක් තිස්සේ ස්වාභාවික තෝරාගැනීම් හරහා මෙන්ම කෘතිමව ද ඇට රහිත ඵල නිපදවීම සිදුවුණද ශාක සහ සත්ත්ව ප්‍රජනනය වෙනස් ක්‍රියාවලි දෙකකි. මෙසේ ඇට රහිත ඵල නිපදවීම උද්භිත විද්‍යාවේ දී පාතනෝඵලනය (parthenocarpy) යටතේ විස්තර කෙරෙනවා.

පාතනෝඵලනය මඟින් සාමාන්‍ය ක්‍රම යටතේ බෝග වගා කිරීමට වඩා වාසි ලැබුණ ද මෙම ක්‍රමය මඟින් එකම ආකාරයේ ශාක නිපදවීම තුළින් ජෛව විවිධත්වය නැති වීම ඔස්සේ විවිධ රෝග සඳහා මුහුණදීමේ හැකියාව ද නැතිවී යා හැකි බව ද පෙන්වා දෙනවා.

මේ පිලිබඳ කරුණු ඇතුළත් වීඩියෝවක් පහතින්.

https://youtu.be/ewtlsEb4Vgk

පාතනෝඵලනය සිදුකෙරෙන ක්‍රම රැසක් පිළිබඳව වාර්තා වෙන අතර ඩිම්බ කෝෂ වලට පරාග එන්නත් කිරීම ද ඇතැම් අවස්ථාවල දී සිදුකෙරෙනවා . ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්

කෙසේනමුත් අප ඉහත දී ද පෙන්වා දුන් පරිදි , මේ ආකාරයට කොවිඩ් එන්නත්කරණය හරහා මනුෂ්‍ය ප්‍රජනන පද්ධතියට බලපෑම් ඇතිකරමින් වඳභාවයක් ඇතිකරන බවට මෙතක් සිදුකර තිබු පර්යේෂණ කිසිවක් මඟින් තහවුරු වී නොමැති බව

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion ( අවසාන නිගමනය):

කොවිඩ් එන්නත්කරණය සහ ලිංගික දුබලතා, මද සරු බව, වඳභාවය ආදිය අතර දැනට සිදුකර තිබෙන පරීක්ෂණ අනුව කිසිදු සම්බන්ධතාවයක් සොයාගෙන නොමැත. එබැවින් කොවිඩ් එන්නත්කරණය මගින් ලිංගික දුබලතා ඇතිකර ලිංගික ඵලදායීතාව නැති කරන බවට සමාජ ජාලා වල හුවමාරු වන සටහන් නොමග යවන සුලු වේ.

වසර දහසක් ගණනක් තිස්සේ ස්වාභාවික තෝරාගැනීම් හරහා මෙන්ම මෑතකදී කෘතිමව ද ඇට රහිත ඵල නිපදවීම නොහොත් පාතනෝඵලනය (parthenocarpy) සිදුවුණද කොවිඩ් එන්නත්කරණය හරහා මනුෂ්‍ය ප්‍රජනන පද්ධතියට බලපෑම් ඇතිකරමින් වඳභාවයක් ඇතිකරන බවට මෙතක් සිදුකර තිබු පර්යේෂණ කිසිවක් මඟින් තහවුරු වී නොමැත.

Avatar

Title:කොවිඩ් එන්නත්කරණය මගින් වඳභාවයක් ඇතිවේද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading