
මුහුදු මහා විහාරය සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක ඉරාජ් වීරරත්න මහතා සිදුකරන ලද වීඩියෝ අනාවරණය සමාජ මාධ්‍ය හරහා බොහෝ සෙයින් හුවමාරු වූ අංගයක් බවට පත්විය. මෙහිදී මුහුදු මහා විහාරය කලක සිට මුස්ලිම් අන්තවාදීන් විසින් ක‍්‍රමක‍්‍රමයෙන් විනාශකර දමා ඇති බවත් එහි උච්චතම අවස්ථාවට දැන් පැමිණ ඇති නමුත් රජය විසින් මේ සඳහා කිසිදු පියවරක් ගෙන නොමැති බවද ප්‍රශ්න කෙරෙයි.
තවද මෙම වීඩියෝවේ රූගත කිරීම් අතරතුරදී මුස්ලිම් තරුණයෙකු විසින් ස්වාමීන්වහන්සේ නමකට පිටුපසින් පැමිණ පහර දීමට සුදානම් බව පෙන්වන රූපරාමු පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරු වීමත් සමඟම, මෙලෙසින් දිගින් දිගටම විහාරස්ථානයට තර්ජන ඇතිවන බවට සිදුකෙරුණු අනාවරණය තවත් තීව්‍ර අතට හැරුණි
මෙම පසුබිම මත සැප්තැම්බර් 2 වැනිදා මුස්ලිම් අන්තවාදී පිරිසක් මඟින් මුහුදු මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා ප්‍රහාරයකට ලක්වී ඇති අතර, එම ප්‍රතිමා බිමට සමතලා කර ඇති බව දක්වමින් දර්ශන පෙළක් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දක්නට ලැබුණි.
එවන් එක් සටහනක (Sinhala Buddhist ෆේස්බුක් පිටුව හරහා) කරුණු දක්වා තිබුනේ මෙලෙසිනි
“කම්පා නොවන්න. මේ බෞද්ධ අපේ උරුමයයි.
2013 දී ගොඩ නගන ලද මුහුදු මහා විහාරයේ පිළිම වහන්සේලාව 2019 වර්ෂයේදී එකක් නෑර බිමට සමතලා කරලා.
ඔබට තවත් හොඳින් අනිත්‍යය අවබෝධ කර ගැනීම සඳහා මේ ආණ්ඩුවට තවත් වතාවක් බලය දෙන්න.
එවිට සමාධි ප්‍රතිමාව, තොලුවිල ප්‍රතිමාව සහ ගල් විහාරයේ ප්‍රතිමා වහන්සේලා ටිකත් මෙලෙස පොළොවට සමතලා වූ විට ඔබ වඩාත් හොඳින් අනිත්‍යය අවබෝධ කර ගනීවි.”

එම සටහනම “Achcharuwa / අච්චාරුව” ෆේස්බුක් පිටුව හරහාද පෙන්වා දී තිබුණි

“මුහුදු මහා විහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ලක්ව ඇති අයුරු ??පාලකයිනි තොපි බුදිද..” යනුවෙන් සඳහන් කරමින් “ඩිංගිරාළ” ෆේස්බුක් පිටුව හරහා ද මුහුදු මහා විහාරයේ පිළිම කඩා දමා ඇති අකාරය පෙන්වා තිබුණි.

ට්විටර් ගිණුම් ඔස්සේ ද මෙම පුවත හුවමාරු වී තිබුණේ මෙලෙසිනි

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම ප්‍රකාශවල මූලිකව සඳහන් වන පරිදි 2013 වසරේ පැවති දැයට කිරුළ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව මෙම බුදු පිළිම පෙළ ඉදිකර තිබුණේ දැයි පරීක්ෂා කිරීමට එම කාලපරිච්ඡේදය ඇතුළත සිදුවූ මුහුදු මහා විහාරයට සම්බන්ධ ප්‍රවර්ධන කටයුතු සරල google search සෙවුමක් හරහා මෙලෙස සොයාගත හැකිවිය. දිනමිණ ප්‍රාදේශීය පුවත් : ආරුගම්බේ මුහුදු මහ වෙහෙර සුරැකේ

මෙම සටහනෙහි දක්වා ඇති පරිදි මුහුදු මහා විහාරයේ 2013 ප්‍රවර්ධන සැලැස්ම යටතේ බුදු මැදුරක්, සංඝාවාසයක්, විහාර මන්දිරයක්, සාමනේර ආයතනයක් , භාවනා කටයුතු සඳහා ස්ථානයක්, සතර මහා දේවාල, දාන ශාලාවක්, මුළුතැන් ගෙයක් , විශ්‍රාම ශාලාවක් , රථගාලක් හා මාර්ගයක් ඉදිකිරීමට යෝජිතව තිබූ බව පෙනී ගිය ද කිසිදු සටහනක මෙබඳු බුද්ධ ප්‍රතිමා පෙළක් (80 මහා ශ්‍රාවකයන් වහන්සේලා) ඉදිකිරීමට නියමිතව තිබූ බවක් පෙනී යන්නේ නැත.
තවද මෙලෙස මුස්ලිම් අන්තවාදී පිරිසක් මඟින් ප්‍රහාරයට ලක්වී බිමට හෙළන ලදැයි පැවැසෙන පිළිම සියල්ලේම පාදමට කිසිදු හානියක් සිදු වී නොමැති බවද විශ්වාස කිරීමට අපහසුය. තවද මෙම කරුණු පිළිබඳ ඇති සත්‍යතාවය සොයා බැලීම සඳහා විහාරවාසී පියනන්ද ස්වාමීන්වහන්සේ සමඟ කෙරෙන සාකච්ඡාවකට ඇතුළත් වීඩියෝ දර්ශනද මෙලෙසින් බොහෝ වශයෙන් සමාජගත වී තිබෙනු දක්නට ලැබුණි.
මෙම සාකච්ඡාව මඟින් පැහැදිලි වන්නේ ඇත්ත වශයෙන්ම මෙම පිළිම මුහුදු මහා විහාරයේ සිදුවෙමින් පවතින 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ඉදිකිරීම් කටයුතුවල කොටසක් බවත්, මෙම පිළිම නිසි පරිදි සකස් කොට නඟා සිටුවීමට ප්‍රථමයෙන් මෙලෙස බිම අතුරා තිබූ අවස්ථාවේදී ලබාගත් ඡායාරූප සමාජ ජාලා ඔස්සේ වැරදි පුවතක් මවමින් ප්‍රචාරය වන බවත්ය.
තවදුරටත් කරුණු දක්වන පියරතන හිමියන් පවසා සිටින්නේ අතීතයේ පටන් මේ දක්වා ම මුස්ලිම් පිරිස් සමඟ යම් ආරවුල් සිදුවී තිබුණද, මෙම සිද්ධිය තුළින් සම්පූර්ණයෙන්ම මෙම තත්වය වෙනත් අතකට ගෙන යාමට දැරූ උත්සාහයක් බවයි. එබඳු අසත්‍ය ප්‍රකාශ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙසද ඉල්ලා සිටි උන්වහන්සේ මුහුදු මහා විහාරයේ සිදුවෙමින් පවතින ඉදිකිරීම් කටයුතු සහ ඇත්ත තත්වය දැන ගැනීම පිණිස සියලු මාධ්‍ය හා මහජනතාවට මෙම විහාරයට පැමිණෙන ලෙසත් ආරාධනා කර සිටියා.
අවසාන නිගමනය
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මුහුදු මහා විහාරයට මුස්ලිම් අන්තවාදී පිරිසක් මගින් එල්ල කළ ප්‍රහාරයක් හමුවේ බුදු පිළිම සමතලා කර ඇති බවට සමාජ ජාල හරහා විශාල වශයෙන් පැතිරී යන පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. මුහුදු මහා විහාරවාසී ස්වාමීන්වහන්සේ කරුණු දක්වන පරිදි මෙම පිළිම වහන්සේලා දැනට ඉදිකෙරෙමින් පවතින 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා බවත්, පිළිම නඟා සිටුවීමට පෙර මෙලෙස බිම අතුරා ඇති බවත්ය.

Title:මුහුදු මහා විහාරයේ බුදු පිළිම මුස්ලිම් අන්තවාදීන් විසින් බිමට සමතලා කර දැමුවා ද?
Fact Check By: Sathyajith SubasingheResult: False
