සීඝ්‍රයෙන් ලොව පුරා පැතිර යන කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා ජීවිත ලක්ෂයකට අධික ප්‍රමාණයක් පිළිගෙන තිබියදි, සමාජ මාධ්‍ය ජාලා තුල ලොව පුරා සිදුවන මරණ පිළිබඳව අනුවේදනීය ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන්ගෙන ඇත. මෙලෙස ඉදිරිපත් වන සටහන් පිළිබඳව අප සිදු කළ කරුණු විමර්ශනයේදී, එම සටහන් රාශියක් නොමඟ යවන සුළු හෝ අසත්‍ය සටහන් බවට තහවුරු වී තිබුණි

මියයන මවගේ අවසන් උණුසුම විඳින දරුවා යන තේමාව යටතේ සේයාරුවක් සහිත සටහනක් Sri Voice නැමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. “කොරෝනා ආසාදිතව ජීවිතයේ අවසන් මොහොත ගත කරන මේ ඉතාලි මවගේ පපුව මත හොවා තිබෙන්නේ ඇයගේ දරුවාය. වෛද්‍යවරු ආරක්ෂාකාරීව තම මවගේ අවසන් උණුසුම මේ බිළිඳාට විඳීමට දුන් සංවේදී අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේකථාංගය ඡායාරූපයට යටින් රෝපණය කර තිබුණි. ඉතා කෙටි කාලයකදී ෆේස්බුක් පරිශීලනය කරන්නන් 3000 කට අධික සංඛ්‍යාවක් අතර හුවමාරු වී තිබුණු මෙම සටහනට හිමිවු ප්‍රතිචාර රැසක්, මෙය අසත්‍යය සටහනක් බවටද යෝජනා කර තිබීම නිසා, මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

LinkArchived Link

එසේම ෆේස්බුක් පිටු සහ සමුහ මෙන්ම පර්ශීලකයින් රැසක් මෙවැනි සටහන් පෙළක් හුවමාරු කරගෙන තිබෙන අයුරුද මෙසේ දැකගැනීමට හැකිවිය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනට අන්තර්ගත කර තිබූ ඡායාරූපය google reverse image සෙවීමට යොමු කළෙමු. මෙම සේයාරුව සහිතව, ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලා සටහන් ඇතුළු සටහන් රැසක් අන්තර්ජාලයේ ඇති බව නිරීක්ෂණ විය.

එම සෙවීමේදී මෙම ඡායාරූපය The Magnum Photos ඡායාරූප සමූහයට හිමි ඡායාරූපයක් බව අනාවරණය වීම නිසා, එම ඡායාරූප සමූහය පරීක්ෂා කළෙමු. 1985 වසරේ Burt Glinn විසින් රූගත කළ සේයාරුවක් බව එහි සඳහන්ව තිබුණි. ඇමරිකා එක්සත් ජනපදයේ Fred Hutchinson පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ළදරුවකුගේ සේයාරුවක් බව එහි සඳහනක් විය.

LinkArchived Link

“Infant inside Laminar Air Flow Room protection from infection. The child has been irradiated prior to marrow transplant” යනුවෙන් නම්කර තිබුණු එකම ඡායාරූපයේ අර්ථය “ලැමිනර් වායු ප්‍රවාහ කාමරය තුළ ළදරුවන් ආසාදන වලින් ආරක්ෂා වන අයුරු. ඇටමිදුළු බද්ධ කිරීමට පෙර දරුවා ප්‍රකිරණය කර ඇතයන්නයි.

මුළු ශරීරයටම විකිරණ චිකිත්සාව සම්පූර්ණ ශරීර ප්‍රකිරණය හෝ TBI (Total Body Irradiation) ලෙස හැඳින්වේ. රසායනික චිකිත්සාව සමඟ TBI මඟින් අස්ථි ඇටමිදුළුවල ඇති ලියුකේමියාව, ලිම්ෆෝමා හෝ මයිලෝමා සෛල විනාශ කිරීමට උපකාරී වේ. ප්‍රාථමික සෛල භාවිතයෙන් බද්ධ කිරීමේදී, TBI ප්රප්‍රතිශක්තීකරණ පද්ධතිය ද මර්දනය කරයි. මෙය පරිත්‍යාගශීලී ප්‍රථමික සෛල ප්‍රතික්ෂේප කිරීම වැළැක්වීමට උපකාරී වේ.

Link

විකිරණ ප්‍රතිකාර ලබා දෙන්නේ කෙසේද යන්න පිලිබඳව පළවූ වීඩියෝවක් මෙසේය.

https://youtu.be/M8ksItTT_Ig?t=9

අපගේ සහෝදර ආයතනයක් වන Factcrescendo Tamil මඟින් කරන ලද කරුණු විමර්ශනකදීද තහවුරු කර තිබුණේ 1985 වසරේ Burt Glinn විසින් ගන්නා ලද සේයාරුවක් බවය.

ඇට මිදුළු බද්ධ කිරීමට පෙර ප්‍රකිරණයකට ලක් වූ ළදරුවෙකු 1985 වසරේ Burt Glinn ගේ ඡායාරූපයෙන් දැක්වේ. ප්‍රකිරණ ක්‍රියාවලියෙන් පසු දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බිඳ වැටෙන අතර ආසාදනයක් පහසුවෙන් වැළඳීමේ ඉඩකඩ ඇති බැවින් දරුවාගේ මව ලෙස විශ්වාස කෙරෙන කාන්තාව බොහෝ විට මව ආරක්ෂිත ආම්පන්න පැළඳ සිටින්නට ඇත.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ Sri voice ෆේස්බුක් පිටුවේ ඇති සටහනේ දක්වන පරිදි ඡායාරූපයේ ඇත්තේ කොරෝනා ආසාදිතව ජීවිතයේ අවසන් මොහොත ගත කරන ඉතාලි මවගේ පපුව මත හොවා තිබෙන්නේ ඇයගේ දරුවා නොව 1985 වසරේ Burt Glinn නැමැත්තෙකු විසින් රූගත කරන ලද ඇමරිකා එක්සත් ජනපදයේ Fred Hutchinson පිළිකා මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන ළදරුවකුගේ සේයාරුවක් බවය. මෙහිදී ඇත්ත වශයෙන්ම පිළිකා අසදනයකින් පෙළෙන්නේ මව නොව දරුවාය.

එබැවින් “කොරෝනා ආසාදිතව ජීවිතයේ අවසන් මොහොත ගත කරන මේ ඉතාලි මවගේ පපුව මත හොවා තිබෙන්නේ ඇයගේ දරුවාය” යන තේමාව යටතේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර ඇති සටහන් සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍යය, සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:කොරෝනා ආසාදිත ඉතාලි මවක් ලෙස පෙන්වීමට, වසර 35ක් පැරණි ඡායාරුපක් යොදාගත් අවස්ථාවක්!

Fact Check By: Sahan Perera

Result: False