කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ද ලංකාව පුරා ඇඳිරි නීතිය පනවා තිබිණි. අවදානම් කලාප ලෙස හඳුනාගත් ප්‍රදේශවල ඇඳිරිනීතිය නොකඩවා ක්‍රියාත්මක වූ අතර අන් ප්‍රදේශවල සෑම කිහිපයකට වරක් පැය කිහිපයකට ඇඳිරිනීතිය මඳක් ලිහිල් කරනු ලැබීය. රෝගය ව්‍යාප්ත වීම පාලනය වුවද ජන ජීවිතය සහ ආර්ථිකය අකර්මණ්‍ය විය. නැවතත් රට යථා තත්ත්වයට කිරීම සඳහා ඇඳිරිනීතිය ක්‍රමානුකූලව ඉවත් කිරීමට රජය අදහස් කරන බව වාර්තා විය. රෝහල් සායන, පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන විවෘත කිරීමට රජය කාල සටහනක් ඉදිරිපත් කරන ලදී සමාජ මාධ්‍යය ජාලාවන් මෙන්ම ප්‍රධාන විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් හිද මේ පිළිබඳව වාර්තා ඉදිරිපත් වන්නට පටන් ගත්තේය.

ඇඳිරි නීතිය ඉවත් කළ පසු සාමාන්‍ය ජනයාගේ හැසිරීම් රටාව පැවතිය යුතු ආකාරය පිළිබඳව යුද හමුදාපතිතුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවන්හිදී උපදෙස් දෙනු දක්නට ලැබුණි.

පසුබිම මෙසේ තිබියදී දිවයිනේ ප්‍රධාන පුවත්පතක් වන ලංකාදීප 2020 අප්‍රේල් මස 18 දින විද්‍යුත් මුද්‍රණයේ “කොරෝනා අවදානම ඉවරයි.- විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ” සිරස්තලය සහිතව පුවතක් ඉදිරිපත් කර තිබෙනු නිරීක්ෂණය විය.

FB LinkArchived LinkE-Paper Link

කෙසේවෙතත් එහි අන්තර්ගතයේ පහත සටහනද දක්වා තිබුණි.

“කොරෝනා වෛරසය සමාජය තුළ පැතිර යාමේ තත්වයක් පෙනෙන්නට නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකාව කොරෝනා වෛරසයේ අවදානම් කාල සීමාව පසු කරමින් සිටින බවද ඔහු පැවසීය.

ආසාදිතයින් හඳුනා ගැනීමට බුද්ධි අංශ සහ සෞඛ්‍ය අංශ  අනුගමනය කළ විවිධ ක්‍රියා මාර්ග, සැකකටයුතු පිරිස් මුල් අවධියේම නිරෝධායනය ට ලක් කිරීම හා පරීක්ෂණ වලට ලක් කිරීම නිසා වෛරසය පැතිරීම පාලනය වූ බව පැවසූ සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ  වැඩපිළිවෙළ ඉදිරියට ද ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය. කොරෝනා වෛද්‍ය පරීක්ෂණද මේ වනවිට වැඩි කර ඇතැයි ඒ මහතා කීය”

මෙයට සමගාමීව ෆේස්බුක් ජාලයේද මේ පිළිබඳව විවිධ සටහන් ඉදිරිපත්වී ඇති බව නිරීක්ෂණය වූ අතර ඉහත සටහන පාඨකයා නොමඟ වයන සුළු සටහනක් බව පවසමින් බොහෝ සටහන් සමාජ මාධ්‍ය තුළහුවමාරු වූ අතර මෙවැනි සිරස්තල පළකර තිබෙන්නේ ජන්ද ව්‍යාපාර සඳහා බව පවසමින් පළවූ සටහන් රැසක්ද දැකගන්නට ලැබුනේ මෙලෙසිනි.

Link1Link2

ලංකාවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පෙන්නන අවස්ථාවක සහ සැකකටයුතු පුද්ගලයින් රැසක් නිරෝධායන කටයුතුවල යෙදී ඇති අවස්ථාවක සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් කොරෝනා අවදානම ඉවරයි යනුවෙන් ප්‍රකාශ කිරීම විශ්වාස කළ නොහැකි බැවින් ලංකාදීප සිරස්තලය පිලිබඳ විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ ප්‍රවෘත්තිය පිළිබඳව වෙනත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා ඇත්දැයි අපි පරීක්ෂා කළෙමු. 2020 අප්‍රෙල් මස18 දින දෙරණ රූපවාහිනී නාලිකාව විසින් මෙහෙයවනු ලබන දෙරණ අරුණ වැඩසටහන නිවේදක විසින් මෙම ප්‍රවෘත්තිය පිළිබඳව සෞඛ්‍යය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගෙන් විමසනු නිරීක්ෂණය විය.

කොරෝනා වෛරස් ආසාදනය නවතින තුරුම කොරෝනා අවදානමක් නොමැති බව පැවසීමට නොහැකි බවද, මෙම රෝගය රැල්ලක් ලෙස එක් වතාවක් පමණක් නොව නැවත වරක් පැමිණිය හැකි බවද ඔහු පැවසීය පැවසීය. ඔහු පැවසුවේ ලංකාවේ සමාජය තුළ රෝගය පැතිර යාමේ ප්‍රවණතාවයක් නොමැති බවත්, මෙම රෝගය ආසාදනය වුවන්ට එම රෝගීන් ඇසුරු කළ අයටත් පමණක් සීමා කර ඇති බව පැවසීය. එම තත්වය දිගටම රඳවා ගත හොත් අවදානම පහ කළ හැකි බවත්, යම් ආකාරයකින් රට විවෘත කරන්නේ නම් මෙම අංශ පිළිබඳව සැලකිලිමත් නොවුණහොත් රට අනතුරකට ලක්විය හැකි බව ඔහු අවධාරණය කළේය. නමුත් අවදානම පැහැදිලිවම ඇති බවත් කොරෙනා ව්‍යාප්තිය පාලනයට නතුකර බවද පැවසූ ඔහු මෙම ප්‍රවෘත්තියට වැරදි සිරස්තලයක් යොදා ඇති බවද අවධාරණය කළේය

https://www.facebook.com/deranaaruna/videos/154169832687344/?t=17

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා විසින් කොවිඩ් 19 අවධානමේ වර්තමාන තත්ත්වය පිළිබඳව කරන ලද විශේෂ අදහස් දැක්වීම යනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් අප්‍රේල් 18 වැනිදා මෙසේ නිකුත් කර තිබුණි.

"ශ්‍රි ලංකාවෙන් කොරෝනා අවධානම පහව ගොස් ඇති බවට, ප්‍රකාශ කළ බවට අද දින ප්‍රධාන පුවත්පතක ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස සටහන් වෙලා තියෙනවා. මේ ශිර්ෂ පාඨය ප්‍රධාන වශයෙන්ම වැරදි සහගතයි. නමුත් එහි අභ්‍යන්තරය කියවන විට පැහැදිලි වෙනවා මේ කරනු ලැබූ ප්‍රකාශය කුමක්ද කියන එක. ඇත්ත වශයෙන්ම ගතහොත් මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පිළිබඳව ප්‍රජා පැතිරීමක්, සමාජ පැතිරීමක් එහෙමත් නැත්නම් Social Transmission තත්ත්වයක් ඇත්තේ නැහැ. එය ඇත්ත වශයෙන්ම ඒ කියන Clustersවලට සීමා වෙලා තියෙනවා. ඒ සීමා වීම ඇති කරනු ලැබුවේ දිගින් දිගටම ගනු ලැබූ ක්‍රියා මාර්ග ඔස්සේ. එතකොට මේ තත්ත්වය තුළ අපට කියන්න බෑ කොරෝනා අවධානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව. ඒ පුවත්පතේම ඒ සටහනේ සඳහන් වෙනවා කොරෝනා අවධානම සම්බන්ධයෙන් ඉදිරියටත් සෞඛ්‍ය අමාත්‍යංශය ඒ වගේම ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු සියලු අංශ ගෙන යන වැඩපිළිවෙළ දිගටම රැගෙන යන බවට. එය නිවැරදියි. ඒ අනුව අප විසින් ගෙන යනු ලැබූ වැඩපිළිවෙල මේ රට විවෘත වීමක් ඇති වුවද දිගින් දිගට පවත්වාගෙන යා යුතු වෙනවා, මොකද මේ අවධානම තව දුරටත් පවතින බැවින්. කෙසේ වෙතත් අපට ප්‍රකාශ කරන්න පුලුවන් මේ රටේ කොවිඩ් 19 තත්ත්වය මේ වන විට පාලනයට නතු කර ඇති බව. ඒ පාලනයට නතු කිරීම යන්නේන් අදහස් වන්නේ අවධානම නැත කියන එක නොවේ. අවධානමක් පවතිනවා. නමුත් මේ පවතින පාලනය තව දුරටත් ගෙන යාමේන් මේ කියන අවධානම් තත්ත්වය සම්පූර්ණයෙන් ඉදිරියට පහ කර ගැනීම යම්කිසි කාලයක කාලසීමාවක් තුළ අපට හැකියාව ලැබෙයි".

Gov Info Dept. Official Statement 

මෙම ප්‍රවෘත්තිය පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් දෛනිකව නිකුත්කරන සංඛ්‍යාලේඛන අධීක්ෂණය කළෙමු. ඔවුන්ගේ සංඛ්‍යාලේඛන අනුව රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයක් පසුගිය දින දෙක තුළ පෙන්නුම් කර තිබු අතර මේ හේතුවෙන් බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ඇඳිරි නීති තත්වයද අප්‍රේල් 27 සඳුදා පෙ.. 5 වෙත දීර්ඝ කිරීමටද කටයුතු කර තිබුණි.

Daily Situation Report (20th April 10am) Health Promotion Bureau Status

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ලංකාදීප පුවත්පතෙහි “කොරෝනා අවදානම ඉවරයි - විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ” යන තේමාව යටතේ පළවූ ප්‍රවෘත්තිය වැරදි සිරස්තලයක් සහිතව පලකොට ඇතිබවයි. ශීර්ෂ පාඨය වැරදි වැරදි සහගත වුවද අන්තර්ගතයේ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිල නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබුණි

Avatar

Title:විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා “කොරෝනා අවදානම ඉවරයි” යනුවෙන් සඳහන් කල බවට වැරදි සිරස්තලයකින් සිදුකල පළකිරීමක්

Fact Check By: Sahan Perera

Result: False Headline