
කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි බුවනෙක හෝටලය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල, කුරුණෑගල මහ නගර සභාව විසින් බිඳ දැමීමට කටයුතු කර තිබීම, රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළේය. මහ මැතිවරණය ආසන්නයේ සිදුවූ මෙම සිදුවීම සමඟම පුරා වස්තු විනාශ කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කරමින් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විවිධ සටහන් ඉදිරිපත් වීමට පටන් ගත් බව නිරීක්ෂණය විය.
“පස්කන්දක් ද නෑ, සජිත් සංස්කෘතික ඇමැති කාලේ ඩෝසර් කරපු සාගම චෛත්‍යය වහන්සේ” තේමාවෙන් සූර්ය වංශය නමැති ෆේස්බුක් පිටුවක් ඉදිරිපත් කර තිබූ සටහනක්, ෆේස්බුක් පරිශීලනය කරන්නන් දාහකට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. මෙම සටහනට ප්‍රතිචාර අතරෙන් සමහරක් සාගම පුරාවස්තු විනාශය සිදු වුණේ 2012 වර්ෂයේ ලෙස දක්වා තිබීම නිසා, මෙම සටහන පිළිබඳව කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
සූර්ය වංශය ෆේස්බුක් පිටුවේ ඉදිරිපත් කර තිබූ සාගම පුරාවස්තු විනාශය පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට ගූගල් සෙවීමක් කළෙමු.
2018 වසරේ මාර්තු මස 31 වැනි දින “නැගෙනහිර පළාතේ පුරාවස්තු විනාශය” සිරස්තලයෙන් ලංකාදීප පුවත්පත ඉදිරිපත් කර තිබූ වාර්තාවක් වෙත අපගේ අවධානය යොමු විය. එම වාර්තාවට අනුව 2012 සැප්තැම්බර් මස නැගෙනහිර පළාතේ මොට්ටයාගල පාමුල තිබූ ඉපැරණි ගරාවැටුණු චෛත්‍යයක්, කුඹුරු ගොවිතැන් කරන පුද්ගලයෙකු විසින් ඩෝසර් කර විනාශ කර දමා තිබුණි. පොලීසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පුද්ගලයාට විරුද්ධව නීති මගින් කටයුතු කර තිබුණි. මොට්ටයාගල සෑය විනාශ කර මාස කීපයක් ගත වන විට තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සාගම ප්‍රදේශයේ වටඅඩි හාරසියයක් පමණ වූ දාගැබක් හරි මැදින් ඩෝසර් කර වස්තු පැහැර ගෙන ගොස් තිබු බවක්ද වාර්තා වී තිබුනේ මෙලෙසින්.

Link | Archived Link |
සාගම පුරාවස්තු විනාශය පිළිබඳව තවදුරටත් කරුණු සෙවිමේදී, ඵෙතිහාසික තොරතුරු සපයන වෙබ් අඩවියක් 2012 වසරේ නොවැම්බර් මස ඉදිරිපත් කර තිබු වාර්තාවක් පරීක්ෂා කළෙමු. පහත වාර්තාව එහි විය.
“මොට්‌ටයාගල ඉපැරණි පුදබිමට මඳක් දුරින් පිහිටි විශාල ප්‍රමාණයේ ඉපැරණි දාගැබක් වන මෙම දාගැබ වටා ඩෝසර් කර එම ගඩොල් හා පස් බිමට සමතලා කරලා…
මොට්‌ටයාගල ඉපැරණි පුදබිමේ තිබුණු දාගැබක් මීට මාස කිහිපයකට ඉහතදී මුළුමනින්ම ඩෝසර් කර වී වගාවට බිම් සකස් කලා. මෙම දාගැබද ඊට මඳක් දුරින් පිහිටි එයට වඩා විශාල ප්‍රමාණයේ දාගැබක්…මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ තවත් දාගැබක් වනසා දමා තිබේ. එය එම දාගැබ් සංකීර්ණයට අයත් විශාලම දගැබ බව පැවසේ. අදාළ සිද්ධිය සම්බන්ඳයෙන් අපි අක්කරෙයිපත්තුවේ සිංහල සංවිධානයෙන් තොරතුරු විමසුවෙමු. එහි සභාපති එච්. සමන් මහතාට අනුව සිදුවී ඇත්තේ අහස පොළොව නුහුලන මහා අපරාධයකි. මහා විනාශයකි. විසල් මහචේතිය මධ්‍යයෙන් යැවුනු ඩෝසරයෙන් චේතිය දෙබෑ වී ගොසිනි. විසල් දාගැබ මැද මහ විවරයකි.”

Link | Archived Link |
2012 නොවැම්බර් මස 27 දිවයින පුවත්පතේ කතුවැකියද මෙම සාගම පුරාවස්තු විනාශය පිළිබඳ පහත සටහන තබා තිබෙණු දක්නට ලදි.
“මේ ජාතික අපරාධය පමණක් නොව මෑතකදී රට පුරා තැන තැන පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්‌ථාන ඩෝසර් කර හාරා නිධන් සොරා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් ද විධිමත් පරීක්‍ෂණ පැවැත්වු බවක් අප දුටුවේ නැත. පුරාවිද්‍යාව පිළිබඳ චක්‍රවර්ති හිමිනමක විසින් නිධන් හාරා ගොඩ ගැනීමට ආණ්‌ඩුවට අයිතිවාසිකමක් ඇතැයි කියන ලද හෙයින් කවුරු නිධන් හෑරුවත් ඒවා ගැන පරීක්‍ෂණ නොපවත්වන්නට තීරණයක් ගෙන ඇත්දැයි යන්න අප දන්නේ නැත. කොහොම වෙතත් ඊයේ (26 දා) “දිවයින” පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියකින් වාර්තා කර තිබුණේ අම්පාර ප්‍රදේශයේ ඉපැරණි දාගැබක් ඩෝසර් කර නිධන් සෙවූ 7 දෙනකු අත්අඩංගුවට ගත් බවකි.
නිධන් හෑරීම් පිළිබඳ මීට පෙර දී වාර්තා වූ ප්‍රවෘත්තිවලට වඩා මේ ප්‍රවෘත්තිය වෙනස් වුණේ එම අපරාධ ක්‍රියාව කරමින් සිටි පුද්ගලයන් අත්අඩංගුවට පත් වීම නිසාය. එහෙත් සැකකරුවන් අත්අඩංගුවට පත්වන විට අදාළ ඉපැරණි දාගැබ හරි මැදින් වෙන්වන ලෙස හාරා අවසන් ය. අක්‌කරපත්තුව සාගම පාරේ මොට්‌ටෙයාගලට නුදුරින් වෙලක් මැද මෙම ඓතිහාසික දාගැබ පිහිටා ඇත. මීට ඉහතදී මොට්‌ටෙයාගල ප්‍රදේශයේදී ඩෝසර් කරන ලද ඉපැරණි දාගැබට නුදුරින් මෙම විනාශය ද සිදු වී තිබීමත්, සාගම පාර යුද හමුදා කඳවුර ද සමීපයේ පිහිටා තිබියදී මෙම අපරාධය සිදු වී තිබීමත් පිළිබඳ අප තුළ ඇති කරනුයේ සංවේගයක් මෙන්ම පුදුමයකි.”
සම්පුර්ණ ලිපිය පහතින්
Link | Archived Link |
විනාශවු සාගම සෑය අසල පැවැත්වු විරෝධතා ව්‍යාපාරයක වීඩියෝ පටයක් 2012 නොවැම්බර් මස 30 දින YouTube ජාලයට එක්කොට තිබිණි
අනතුරුව සංස්කෘතික අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස ලංකාවේ සංස්කෘතික කටයුතු පිළිබඳව තොරතුරු ගත්තෙමු. සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු පිළිබඳව ඇමති ලෙස පත්වී ඇත්තේ 2018 වසරේය. සාගම පුරාවස්තු විනාශ වන අවධියේ සංස්කෘතික ඇමති පදවිය හොබවා ඇත්තේ ටී.බී ඒකනායක මහතාය.

Link | Archived Link |
මේ පිළිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද කල විමසීමකදී පවසා සිටියේ මෙම සිද්ධිය වාර්තා කර ඇති පරිදි 2012 වසරේ සිදුවූ බවයි.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ සාගම පුරා වස්තු විනාශය පිලිබඳ ඡායාරූපයේ පළවන සිද්ධිය සිදුව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික කටයුතු පිළිබඳව ඇමතිධුරය හෙබවූ කාලයට පෙර බවයි.
එබැවින් සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික ඇමති ධුරය හෙබවු සමයේ සාගම පුරාවස්තු විනාය සිදුවු බවට ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්ව ඇති සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Title:සාගම චෛත්‍යය ඩෝසර් කිරීමේ සිද්ධිය සජිත් ප්‍රේමදාස සංස්කෘතික ඇමැති සමයේ සිදුවූ බවට සාවද්‍ය ප්‍රකාශ පෙළක්!
Fact Check By: Sahan PereraResult: False
