
විල්පත්තු අභයභූමියේ පරිවාර වනාන්තර කොටස් එළි කරමින්, අවතැන් වූ පිරිස් නැවත පදිංචි කරවීමට එරෙහිව පසුගිය කාලයේ විශාල මහජන මතයක් ගොඩ නැගුණි. පරිසර යුක්ති කේන්ද්‍රය නමැති සංවිධානයක් මෙම වන සංහාරයට විරුද්ධව නීතියේ පිහිට පැතූ අතර, තීන්දුව ලබා දීම කිහිපවරක් ප්‍රමාද වුවුද, අවසානයේදී නීති විරෝධි ලෙස වනය එළි පෙහෙළි කල කල්ලාරු රක්ෂිත ප්‍රදේශයේ ඉඩම්වල වන වගාව, සිය පෞද්ගලික මුදලින් යළි සිදු කරන ලෙසට, එහි ප්‍රධාන වගඋත්තරකරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතා වෙත නියෝග කරන ලදි. මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණේ පසුගිය නොවැම්බර් මාසයේ දීය.
මෙසේ රිෂාඩ් බදියුදීන් මහතාට, සිය වියදමෙන් විල්පත්තු රක්ෂිතයේ එළි පෙහෙළි කළ කොටසේ නැවත වන වගාව ආරම්භ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළ ප්‍රදේශයේ යුධ හමුදාව විසින් පැළ සිටුවීමේ කාර්යයෙහි නියුතු වී ඇති බවක් හැඟවෙන පරිදි සටහන් පෙළක් ඉදිරිපත් වී තිබුණා. නමුත් අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුනේ, අදාළ සිද්ධිය, 2019 වසරේ ආරම්භ වී, දිවයින පුරා දියත් කෙරෙමින් පවතින ‘තුරු මිතුරු නව රටක්’ නම් රුක් රෝපණ සහ වගා ව්‍යාපෘතියේ 11 වන අදියර ලෙස සිදුවූ, පැළ සිටුවීමේ කටයුත්තක් වූ අතර නඩු තීන්දුව ලබාදුන් ප්‍රදේශයට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.
සමාජ මාධ්‍ය සටහන්:
යුධ හමුදා සෙබළුන් පිරිසක් රුක් රෝපණය කරන ඡායාරූපයක් සහිත පුවතක් “වියත්මග ජෝකර්ස්” නැමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් වී තිබුණු අතර එය ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය.
එම තේමාවෙන් ම හුවමරු වූ තවත් සටහනක් මෙලෙසින්
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙහි කරුණු විමර්ෂණය සඳහා මුලින්ම ඒ සඳහා යොදාගෙන තිබුණු Newswire වෙබ් අඩවියේ පළවී තිබු පුවත පරීක්ෂා කළා. එම පුවත පහතින්.
“තුරු මිතුරු නව රටක්” ව්‍යාපෘතියේ 11 වන අදියර වශයෙන්, යුධ හමුදාවේ 54 වන සේනාංකය, කෝට්ටේ සිංහ සමාජයක් සමඟ එක්ව, විල්පත්තු රක්ෂිතයේ සීනත්නගර් නම් ප්‍රදේශයක සිදු කරන ලද පැළ සිටුවීමේ මෙහෙයුමක් බව එහි සඳහන් වී තිබුණා. 2019 වසරේ ඇරඹි විල්පත්තුවේ මෙම ප්‍රදේශයේ පැළ සිටුවීම පසුගිය අගෝස්තු මාසයේ ද සිදුවූ බවත් මෙය එම ව්‍යපෘතියේම කොටසක් බවත් එහි දක්වා තිබුණි.
එම පුවත යුධ හමුදාවේ නිල වෙබ් අඩවිය මෙන්ම රජයේ නිල පුවත් වෙබ් අඩවියේ ද වාර්තා කර තිබුනේ ද මෙලෙසින්. Army.lk | News.lk
යුධ හමුදාව සම්බන්ධ වාර්තා:
යුද හමුදාවේ නිල ෆේස්බුක් පිටුවේද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් සේයාරූ සහිතව මේ සම්බන්ධයෙන් පහත සටහන දක්නට ලබුණි.
“යුද්ධ හමුදාධිපතිතුමන් ගේ “තුරු මිතුරු නව රටක්” ව්‍යාපෘතියට සමගාමීව සහ 54 වන සේනාංකය විසින් 2020 අගෝස්තු මස 15 වන දින දියත් කරන ලද විල්පත්තු නැවත-වන වගා ව්‍යාපෘතියේ දෙවන අදියරේ මීළඟ පියවර ලෙස, මන්නාරම දිස්ත්‍රික්කයේ සීනත්නගර් ප්‍රදේශයේ අක්කරයක භූමි භාගයක නව රුක් රෝපණ ව්‍යාපෘතියක් 2021 ජනවාරි මස 03 වන දින 542 වන බල සේනාවේ සහ 8 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් හි මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී. මෙම වැඩසටහන වන්නි ආරක්ෂක සේනා ආඥාපති, මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සංවිධානය කරන ලද අතර ඒ සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ප්‍රමුඛ 543 වන බල සේනාවේ බල සේනාධිපති, බ්‍රිගේඩියර් ජීඩබ්ලිව්ඒ සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයින්, ශ්‍රී ජයවර්ධනපුර -කෝට්ටේ 306-සී1 සිංහ සමාජයේ සභාපති සහ සාමාජිකයින් ඇතුළු පිරිස සහභාගී වූහ.”
මේ සඳහා දායක වී තිබු කෝට්ටේ සිංහ සමාජයේ සාමාජිකාවක් ද මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙසේ ෆේස්බුක් සටහනක් තබමින් පවසා තිබුනේ කල්ලාරු රක්ෂිතයේ සීනත්නගර් නම් ප්‍රදේශයේ පැළ 3500 සිටුවීමේ මෙම ව්‍යාපෘතියට සිංහ සමාජය විසින් රුපියල් ලක්ෂයක් පරිත්‍යාග කල බවයි
2019 වසරේ මුලින්ම ඇරඹි රුක් රෝපණ ව්‍යාපෘතියේ පසු අදියරක් ලෙස දක්වා තිබු බැවින් මීට පෙර එම ප්‍රදේශයේ සිදුව තිබු ව්‍යාපෘති පිලිබඳ තොරතුරු ලබා ගැනීමට අප යුද හමුදා වෙබ් අඩවිය පරීක්ෂා කළෙමු.
2019 වසරේ ජුනි මස බදුල්ල විශාඛා විද්‍යාලීය සිසුවියන් පිරිසක් ද, ඔක්තෝබර් මස මහනුවර උසස් බාලිකා විදුහලේ ආදි සිසුවියන්ගේ කොළඹ ශාඛාවේ සහභාගිත්වයෙන් ද 54 සේනාංකයේ මෙහෙයවීමෙන් විල්පත්තු රක්ෂිතයේ සිනත්නගර් ප්‍රදේශයේ, “තුරුලිය වෙනුවෙන් අපි” ව්‍යාපෘතිය යටතේ රුක් රෝපණ වැඩ සටහන් දියත් වී තිබු බවට වාර්තාවක් එහි දැක ගණනට ලැබුණි.
දෙරණ මාධ්‍ය ජාලය විසින් ද විල්පත්තු නැවත වන වගා කටයුතු සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව සමඟ අත්වැල් බැඳ ගත් බවට පුවතක් 2019 මැයි මාසයේ වාර්තා කර තිබුනේ මෙලෙසින්. එහිද ද සිනත්නගර් ප්‍රදේශයේ පැළ සිටුවීමේ කටයුතු සිදුකළ බවට වාර්තා වී තිබුනා.
යුධ හමුදා මාධ්‍ය ඒකක ද අපට මෙම තොරතුරු සනාථ කර සිටියා.
පරිසර යුක්ති කේන්ද්‍රය:
තවදුරටත් කරුණු තහවුරු කරගැනීම පිණිස, විල්පත්තු රක්ෂිතයේ නීති විරෝධි ලෙස වනය එළි පෙහෙළි කිරීමට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග සඳහා යොමු වී තිබු, පරිසර යුක්ති කේන්ද්‍රය (Centre For Environmental Justice) සමග දුරකථනයෙන් සම්බන්ධ වූයෙමු.
2020 නොවැම්බර් මස නඩු තීන්දුව ප්‍රකෘශයට පත් කළද, නැවත වන වගාව ආරම්භ කිරීමට ප්‍රථම වියදම් ඇස්තමේන්තු කිරීම වැනි කටයුතු රැසක් අවසන් විය යුතු බවත්, වර්තමාන තත්වය නිසා මෙම කටයුතු මදක් ප්‍රමාද වී ඇති බවත්, මේ පිළිබඳව ඔවුන් අවධානයෙන් සිටින බවත් පැවසීය.
යුද හමුදාව විසින් විල්පත්තුව අවට විශාල ප්‍රමාණයේ නැවත වන වගාවක් ආරම්භ කර ඇති බවත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ නඩු තීන්දුවට අදාළ ප්‍රදේශයේ නොවන බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරියා අප සමඟ තහවුරු කර සිටියා.
විලපත්තු රක්ෂිත වන විනාශය සම්බන්ධයෙන් ලැබුණු නඩු තීන්දුව සම්බන්ධයෙන් පෙත්සම්කාර පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පසුගිය නොවැම්බර් මස ඉදිරිපත් කර තිබු කරුණු දැක්වීමක් මෙලෙසින්
“විල්පත්තුවේ ඇත්ත කතාව” යනුවෙන් මේ සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රයේ නිලධාරීන් සමඟ මීට දින කිහිපයකට සිදුවූ සාකච්ඡාවක් මෙතනින්. නැවත වන වගාව ආරම්භ කිරීමට ප්‍රථම, වන සංරක්ෂක ජනරාල්වරයා විසින් ඒ සඳහා වියදම් ඇස්තමේන්තුවක් සිදුකළ යුතු බවත් අනතුරුව එය රිෂාඩ් බදුර්දීන් මහතා වෙත දැනුම් දිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් බව එහි පැවසෙනවා. ඉන් අනතුරුව අදාළ මුදල, මසක් ඇතුළත, බදුර්දීන් මහතා විසින් රජයට ලබාදීමක් සිදුකළ යුතු බවත් නඩු තීන්දුවේ ඇති බවත් මෙම සංවාදයේ දී කියවෙනවා.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ යුද හමුදාව විසින් “තුරුලිය වෙනුවෙන් අපි” ව්‍යාපෘතිය යටතේ රුක් රෝපණය සිදු කරන්නේ, අධිකරණය විසින් සිය වියදමෙන් නැවත වන වගාව කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදීයුදීන් මහතාට නියෝග කළ ප්‍රදේශයේ නොවන බවය.
2019 වසරේ ආරම්භ වී, දිවයින පුරා දියත් කෙරෙමින් පවතින ‘තුරු මිතුරු නව රටක්’ නම් රුක් රෝපණ සහ වගා ව්‍යාපෘතියේ 11 වන අදියර ලෙස සිදුවූ, පැළ සිටුවීමේ කටයුත්තක් වූ අතර මීට පෙර අවස්ථා කිහිපයකදී ද විවිධ පාර්ශව සමඟ සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් මෙම ප්‍රදේශයේම වන වගා කිරීමේ කටයුතු වල නිරත වී තිබෙනවා.

Title:සිය වියදමෙන් නැවත වන වගාව කරන ලෙස රිෂාඩ් බදීයුදීන් මහතාට නියෝග වූ ප්‍රදේශයේ, යුද හමුදාව විසින් නැවත වන වගාව ආරම්භ කළාද?
Fact Check By: Sahan PereraResult: Misleading

Someone posted, I just shared!!!