විවිධ සන්නාම සහ ඒවායේ මඟින් සෞඛ්‍ය වෙත ඇතිකරන බලපෑම් පිළිබඳව සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු අපට දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම සබන් වර්ග, විවිධ ආලේපන යනාදිය සම්බන්ධයෙන් මෙවැනි සටහන් බොහෝ අවස්ථාවලදී ඉදිරිපත් වෙනවා.

මේ ආකාරයෙන් පළවූ සටහන් පෙළක පෙන්වා දී තිබුනේ ඇලරිස් සමාගම විසින් ලංකාවේ වෙළඳපලට නිකුත්කරන නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත බවට ඔප්පු වීමත් සමඟම ඒවායේ අලෙවිය තහනම් කර ඇති බවයි. නමුත් අපගේ විමර්ශනයෙන් පැහැදලි වුනේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ලිපියක් මෙම නොමඟ යවන සුළු සටහන් සඳහා පාදක වී තිබු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“මෙන්න මේක තහනම් කරල සමට විෂයි කියල ඔප්පු වෙලා. බඩු ඔක්කොම රාජසන්තකයි” යන තේමාව යටතේ Facia Premium නමැති සන්නාමයේ ඡායාරුපයක් ද සමඟ “සමට වස සහිත නිෂ්පාදන තුනකට තහනම් නියෝග” යනුවෙන් පලවූ සටහනක් “හරස් පාර” නම් ෆේස්බුක් පිටුවක මෙසේ ඉදිරිපත් වී තිබුණා.

Facebook | Archived

“අරුණ” වෙබ් අඩවියෙන් ලබාගත් පුවතක් බව එහි පෙන්වා දී තිබු අතර සමාජ මාධ්‍ය පරිශීලකයින් මෙසේ අරුණ වෙබ් අඩවියේ පළවූ ලිපිය උපුටා දැක්වීමට ද උත්සුක වී තිබුණා.

මෙවැනි සටහන් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබු අතර පහතින් දැක්වෙන්නේ එබඳු අවස්ථා කිහිපයක්.

මේ පිලිබඳ කරුණු විමර්ෂණය කරන ලෙස අපගෙන් කිහිපදෙනෙක්ම විමසා සිටි බැවින් මේ පිලිබඳ තොරතුරු සොයා බැලීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඉහත එම පුවත තවත් වෙබ් අඩවි කිහිපයක් ද හුවමාරු කරගෙන තිබු අතර මේ එවැනි පුවතක්.

“ජාතික ඖෂධ නියාමන අධිකාරිය ග්ලූටතයෝන් අණුවේ සංයෝගයක් සහිත නිෂ්පාදන නිකුත් කිරීම තහනම් කිරීමට නියෝග කර තිබේ.

මෙම තහනම වෙළඳ නාම සහ නිෂ්පාදන තුනකට අදාලව නිකුත්කර ඇත.

ඕස්ට්‍රේලියාවෙන් ෆේසියා-ප්‍රිමියම්, ඉන්දියාවෙන් ලියා-ෆෙයාර්නස් සහ පකිස්තානයේ ෆාමහෙල්ත් වෙතින් ඊවන්ටෝන් සී. මෙම වෙළඳ නාම තුනම දැනට ආනයනය කරනු ලබන්නේ 2002 දී ආරම්භ කරන ලද ඖෂධ සමාගමක් වන ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම විසිනි.

එබැවින් එම අණු අඩංගු සියලුම නිෂ්පාදන රාජසන්තක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රේගුවට නියෝග කර තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.”

Link | Archived Link | Archived

ඉහත ලිපිය බැලු බැල්මටම පරීක්ෂා කිරීමේදී 2019 ජනවාරි මස 04 වැනිදා දිනය යොදා ඇති බවත් එය කපා 2021 ලෙස සටහන් කර ඇති බවත් පැහැදිලිවම පෙනී යයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නිකුත් කරන ලද ලිපියක මෙම තොරතුරු ඇතුළත් බව එම ලිපියෙන් පෙන්වා දී තිබුනා.

මෙවැනි ලිපියක් නිකුත් කළේද යන්න අප වෛද්‍ය කමල් ජයසිංහ මහතාගෙන් විමසා සිටි අතර පවසා සිටියේ තමා එබඳු මෑතකදී නිකුත් කරන ලද ලිපියක් පිලිබඳ දැනුවත් නැති බවයි. ඒ මහතා තවදුරටත් කියා සිටියේ 2019 වසරේ ජනවාරි මාසයේ දී ද මෙසේ තමා විසින් නිකුත් නොකරන ලද ලිපියක් හුවමාරු වූ බවත් ඒ පිළිබඳව අපරාධ විමර්ෂණ දෙපාර්තමනේතුවට පැමිණිල්ලක් එම අවධියේ දී ඉදිරිපත් කල බවත්ය.

එසේම ඉහත පුවත් වාර්තා වල සඳහන් සන්නාම තුනම ලංකාවේ අලෙවි වන්නේ ඇලරිස් ලංකා (පුද්ගලික) සමාගම යටතේ බැවින් ඔවුන්ගෙන් ද මේ පිලිබඳ වැඩිදුර තොරතුරු විමසා සිටියෙමු. එහිදී අප හා සම්බන්ධ වූ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාර මාධව ජයසිංහ මහතා මේ පිලිබඳ වැඩිදුර විස්තර කිරීමක් ලබා දුන්නා.

එහිදී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ මහතා විසින් 2019 වසරේදී ජනමාධ්‍ය අමාත්‍යංශය වෙත නිකුත් කරන ලද ලිපියක දැනුම් දී තිබුනේ ජාතික ඖෂධ නියාමන අධිකාරි විසින් ග්ලූටතයෝන් (Glutathione) අන්තර්ගත නිෂ්පාදන සඳහා තහනමක් නිකුත් කර නොමැති බවත් රුධිරයට වහාම ඇතුළු විය හැකි අන්තරීය නිෂ්පාදනයක් (Intravenous administration) ලෙස භාවිතය තහනම් කල බවත් ග්ලූටතයෝන් අන්තර්ගත සම සුදු පැහැ ගැන්වීමේ ආලේපනයක් හෝ එම අදහස පෙන්වන ලෙස ප්‍රවර්දන කටයුතු තහනම් කල බවත්ය.

තවද වෛද්‍ය කමල් ජයසිංහ මහතාගේ නම යොදා ගනිමින් එම ලිපිය ආශ්‍රයෙන් ව්‍යාජ ලිපි ද හුවමාරු වෙන බවක් එහි මෙසේ දන්වා තිබුණා.

ඇලරිස් ලංකා සමාගම විසින් තම සන්නාම සඳහා මුල්කරගනිමින් මෙසේ ව්‍යාජ ලිපියක් සංස්කරණය වීම සම්බන්ධයෙන් 2019 ජනවාරි මස සියලු විස්තර සහිතව ලිපියක් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට ද මෙසේ යොමු කර තිබුණා.

සමාජ මාධ්‍ය සටහන් සඳහා මුලික වී තිබු “අරුණ” වෙබ් අඩවියේ පළවූ වාර්තාව පසුව එම වෙබ් අඩවිය විසින් ඉවත් කරගෙන තිබු අයුරු අපට මෙසේ දැක ගන්නට ලැබුණි. එසේම එම සමුහයේම ඉංග්‍රීසි පුවත්පත වන The Morning පුවත්පතේ මෙසේ ඇලරිස් ලංකා සමාගම ඉලක්ක කරගනිමින් ව්‍යාජ ලිපියක් පලවීම සම්බන්ධයෙන් අද (20 වැනිදා) පළවූ වාර්තාවක් මෙතනින්.

ශ්‍රී ලංකා රේගුවේ විසින් ද මෙම ව්‍යාජ ලිපිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකෙරෙන බව එහි සඳහන් වන අතර 2019 වසරේ සිද්ධියද නම් කර තිබුණා.

ග්ලූටතයෝන් (Glutathione) සම්බන්ධයෙන් සම ආරක්ෂණ කටයුතු පිලිබඳ ක්ෂේත්‍රයේ (Skin care industry) පලවූ ලිපි කිහිපයක් මෙතනින්.

Link 1 | Link 2

සම පැහැපත් කිරීම සඳහා ග්ලූටතයෝන්: මිථ්‍යාවක් හෝ සාක්ෂි මත පදනම් වූ කරුණක් ද? යන තේමාවෙන් සිදුකළ වාර්තාවක් මෙතනින්. එසේම ග්ලූටතයෝන් ඇතුළත් නිෂ්පාදන ලොව පුරා නිළියන් බොහෝ දෙනෙක් ප්‍රවර්දනය කර ඇති අයුරු ද අපට දැකගනන්ට ලැබුණා.

එසේම තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ඇලරිස් සමාගමේ ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකාර මහතා අපට පවසා සිටියේ ව්‍යාජ ලිපිය බොහොදුරට වෙළඳපොලේ තරඟකරුවෙකු මඟින් නිර්මාණය කරන ලද්දක් විය හැකි බවත් එහි අවසානයේ නම් කර තිබු ඊවන්ටෝන් සී (Eventone C) නම් නිෂ්පාදනය චර්ම රෝග වෛද්‍යවරුන් විසින් නියම කරන කිසිවිටෙකන් ඇලරිස් සමාගම විසින් ප්‍රචාර කර නියම කර නොමැති ඖෂධයක් බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරි විසින් යම් හෙයකින් මෙවැනි ලිපියක් නිකුත් කළද වෙනත් වර්ගවල නිෂ්පාන (ඊවන්ටෝන් සී) වැනි ඇතුලත් වන්නේ නැති බවයි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඇලරිස් සමාගම විසින් ලංකාවේ වෙළඳපලට නිකුත්කරන නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත බවට ඔප්පු වීමත් සමඟම ඒවායේ අලෙවිය තහනම් කර ඇති බවට හුවමාරු වන්නේ ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද ලිපියක් මුල් කරගනිමින් නිර්මාණය වී තිබු සටහන් පෙළක් බවයි.

2019 වසරේ දී ද මෙලෙසම ඇලරිස් ලංකා සමාගම මුල් කරගනිමින් සටහන් ව්‍යාජ ලිපියක් සංසරණය වී තිබු අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙන්ම ශ්‍රී ලංකා රේගුව ද එය ව්‍යාජ ලිපියක් බව තහවුරු කර සිටිනවා.

ග්ලූටතයෝන් (Glutathione) අන්තර්ගත නිෂ්පාදන සඳහා සම්පුර්ණයෙන්ම තහනමක් නිකුත් කර නොමැත. කෙසේනමුත් රුධිරයට වහාම ඇතුළු විය හැකි අන්තරීය නිෂ්පාදනයක් (Intravenous Administration) ලෙස ග්ලූටතයෝන් අන්තර්ගත නිෂ්පාදන භාවිතය තහනම් කර ඇත. එසේම ග්ලූටතයෝන් අන්තර්ගත නිෂ්පාදන සම සුදු පැහැ ගැන්වීමේ ආලේපනයක් (Skin Whitening) හෝ එම අදහස ගෙන එන ලෙස ප්‍රවර්දන කිරීම් කටයුතු ද තහනම් කර ඇත.

Avatar

Title:FACT CHECK: ඇලරිස් සමාගමේ නිෂ්පාදන වර්ග කිහිපයක් සමට විෂ සහිත බවට ඔප්පු වීමත් සමඟම අලෙවිය තහනම් කළාද?

Fact Check By: Sahan Perera

Result: False