ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වී වසර දෙකක් ගතවන මේ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් නිකුත් කරන ලද විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වීම සහ නිසි වරදකරුවන් සොයා දඬුවම් ලබාදීම පිළිබඳව බොහෝ දෙනෙක් අතර ප්‍රශ්නාර්ථයක් ඇතිවී තිබෙනු දැකගනන්ට ලැබුණා. පාස්කු ප්‍රහාරයට සාධාරණ යුකිතිය ඉටුවන තුරු විරෝධතා ක්‍රියත්මක කිරීමේ පළමු පියවර ලෙස කොළඹ රදගුරු පදවිය විසින්ද විරෝධතාවයක් මෙවර පාස්කු ඉරුදින සංවිධානය කර තිබුණා.

මෙවන් පසුබිමක, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය ට මුල් වූ සංවිධානයේ නායකයන් සමග වත්මන් රජයේ ප්‍රධානීන් සම්බන්ධයක් තිබූ බව පෙන්වන ආකාරයේ සටහන් පෙළක් පසුගිය දින කිහිපයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබුණා. නමුත් අපගේ විමර්ශණයෙන් පැහැදිලි වුණේ එම සටහන් වැරදි අර්ථකථනයන් ඔස්සේ පළ කරන ලද ඡායාරුප සහ සංස්කරණය කරන ලද ඡායාරූප ඇතුළත් සටහන් බවයි

සමාජ මාධ්‍ය සටහන්:

“පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු රටේ ජනාධිපති ඉතින් කොහොමද සැකකරුවන් අල්ලන්නේ” යන තේමාවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරයේ සැලසුම් කරුවන් සමග එකට ඉඳගෙන සිටින බවක් පෙන්වන ආකාරයේ ඡායාරූපයක් හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණා

Facebook | Archived

එම තේමාවෙන් ම හුවමාරු වූ තවත් සටහනක ඡායරූප 3ක් ඉදිරිපත් කර තිබුණා. ඉහත ජනපති ගේ ඡායරුපයට අමතරව, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මුස්ලිම් සංවිධානයක නායකයින් පිරිසක් සමඟ සිටින ඡායාරුප දෙකක් ද එහි පෙන්නුම කර තිබුනා. එහි පහත වදන් පෙළද සටහන් කර තිබුණි “මෙම ඡායාරූපය අධ්‍යනයකලවිට මොලයක් ඇති එකෙකුට තවුෆික් ජමාද් හා සහරාන්ලාගෙ උපතේ සිට මරණය දක්වා සියල්ල අවබෝධ වනු ඇත”

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

ඡායාරූප තුනක් සමග ඉදිරිපත් කර තිබූ සටහනේ තිබෙන ඡායාරූපයක සිලෝන් තව්හිද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික් මහතා ද දැකගන්නට ලැබෙන බැවින් මෙම ඡායාරූප වලට අදාල විස්තර දැනගැනීමට ඒ මහතාගෙන් විමසීමක් සිදු කළෙමු

එහිදී ඔහු අපට පවසා සිටියේ පළමු සහ දෙවන ඡායාරූපය පිළිවෙලින් 2017 සහ 2015 හෝ 16 වසර වලදී පිලිවෙලින් මහින්ද රාජපක්ෂ මහතා සහ උදය ගම්මන්පිල මහතා වෙත, ශුද්ධ වූ කුරාණයේ සිංහල පිටපතක් ලබා දුන් අවස්ථාවක් පමණක් බවයි. එම ඡායාරූප දෙක මීට පෙරද 2019 ජනාධිපතිවරණ මැතිවරණ සමයේ වැරදි අර්ථකථනයක් සමග හුවමාරු වූ බවත් තම සංවිධානය ඒ පිළිබඳව පැහැදිලි කිරීම් කිහිපයක්ම එම අවධියේ ලබාදුන් බවද එතුමා අවධාරණය කර සිටියා.

2019 වසර ජනාධිපතිවරණයට පෙර රාජිත සේනාරත්න මහතා විසින් ඉහත ඡායාරූප දෙක සහ වෙනත් කරුණු ඉදිරිපත් කරමින් එම පිරිස් ත්‍රස්ත ක්‍රියාකාරකම් හා සම්බන්ධ වී තිබු බවත් පෙන්වීමට උත්සාහ ගෙන තිබුණ ද ඒ සඳහා කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර තිබුණේ නැති බවත් එම ඡායාරූප දෙකෙන් දැක්වෙන්නේ පරිශුද්ධ වූ අල් කුර්ආන් පිටපත් පිරිනැමූ අවස්ථාවන් බවත් මේ අයුරින් පක්ෂ, විපක්ෂ, රාජ්‍ය පරිපාලනයේ මෙන්ම ආගමික නායකයින් බොහෝ දෙනෙකුට කුරානයේ පිටපත් පිරිනමා ඇති බව සඳහන් කරමින් දීර්ඝ විස්තරයක් සහිතව පළවූ සටහනක් සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ සිංහල ෆේස්බුක් පිටුවේ පහත පරිදි අපට දැකගන්නට ලැබුණා.

Facebook | Archived

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි සහරාන් හෂීම් විසින් පිහිටුවා ගෙන තිබූ ජාතික තවුහිත් ජමාත් සංවිධානය (NTJ) සමග සිලෝන් තව්හිද් ජමාත් සංවිධානයේ (CTJ) සම්බන්ධතාවයක් නැති බවත්, පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර වසර කිහිපයක සිටම සහරාන් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් ඉදිරිපත් කළ ත්‍රස්තවාදී අදහස් සහ ක්‍රියා කලාප පිළිබඳව එකල ආරක්ෂක අංශ වෙත දැනුවත් කළ බවද එම සටහනේ සඳහන් වී තිබුණා.

එසේම එම ඉදිරිපත් කිරීම සිදුකළ එකල අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු එකල ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙක්ට ද ශුද්ධ වූ කුරාණයේ පිටපත් ප්‍රදානය කර තිබූ බවත් ඡායාරූප සහිතව එම සටහනේ දක්වා තිබුණා. රාජිත සේනාරත්න මහතා වෙත 2016 වසරේදී කුරානයේ පිටපතක් පිළිගැන්වූ අවස්ථාව සහිත මුල් සටහනක් මෙතනින්

එක් ඡායාරූපයක උදය ගම්මන්පිල මහතා ද පෙන්වා තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශයෙන් අප විමසීමක් සිදු කළා. එහිදී අපට දැනගන්නට ලැබුණේ 2015 වසරේ දී උදය ගම්මන්පිල මහතා වෙත සිදුකරන ලද ඉල්ලීමක් මත කුරාණයේ සිංහල පිටපතක් පිළිගත් අවස්ථාවක් විනා මෙකී සංවිධාන සමග කිසිදු සම්බන්ධයක් අමාත්‍යවරයා පවත්වා නැති බවයි

මේ සම්බන්ධයෙන් උදය ගම්මන්පිල මහතා 2019 වසරේ දී සිදු කළ කරුණු දැක්වීමක් ද සිලෝන් තව්හිද් ජමාත් නිල ෆේස්බුක් පිටුවේ එම අවධියේ පළ කර තිබෙනවා දැක ගන්නට ලැබුණා

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජාතික තවුහිත් ජමාත් සංවිධානය (NTJ) සංවිධානය ඇතුළු සංවිධාන දෙකක් ත්‍රස්ත සංවිධාන ලෙස ලැයිස්තුගත කිරීම පිලිබඳ ඇති විශේෂ ගැසට් නිවේදනය මෙතනින්. නමුත් එහි හෝ ඉන් පසුව හෝ කිසිඳු අවස්ථාවක සිලෝන් තව්හිද් ජමාත් සංවිධානය (CTJ) ත්‍රස්ත සංවිධානක් ලෙස ලැයිස්තුගත කර නැහැ.

තුන්වන ඡායරුපය

එම ඡායාරූප පෙළේ දක්වා තිබෙන අවසාන ඡායාරූපය පිළිබඳව විමර්ශනය කිරීමේදී එයට සමාන ඡායාරූපයක් මීට පෙර අවස්ථා රැසකදී හුවමාරු වී තිබෙනවා දැක ගන්නට ලැබුණා.

එම ඡායාරූපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත මෙහෙයුම සංවිධානය කළ සහරාන් හෂීම් සමග සිටින බවක් දක්වමින් පළවූ මෙවැනි සටහන් රැසක් අපට දැකගන්නට ලැබුණා. කෙසේනමුත් එම ඡායාරුපය ද සංස්කරණය කළ ආකාරයක් පෙනී යන අතර එහි විස්තර දැන ගැනීමට රිෂාඩ් බදියුදීන් මහතාව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කලද අපට හැකිවුණේ නැත.

එසේම සහරාන් සහ ඔහුගේ සොහොයුරුගේ ඡායරූප ඇතුළත් වාර්තා පරීක්ෂා කිරීමේ දී ද එහි සිටින්නේ ඔවුන් දෙදෙනාට වඩා වෙනස් පුදගලයින් දෙදෙනෙක් බවක් බැලු බැල්මටම පෙනී යනවා. Lankadeepa | Divaina

“සහරාන් මම ජීවිතේට දැකලාවත් නෑ...රිෂාඩ් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව කියයි” යන තේමාවෙන් රිෂාඩ් බදියුදීන් මහතා 2019 වසරේ සිදුකළ අදහස් දැක්වීමක් මෙතනින්

මේ පිලිබඳ වැඩිදුර විස්තර ලැබීමෙන් පසුව යාවත්කාලීන කිරීමට ද බලාපොරාත්තු වෙමු.

කෙසේවෙතත් එසේ රිෂාඩ් බදියුදීන් මහතා තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සිටින බවක් පෙන්වීමට යොදාගෙන තිබු ඡායාරුපය සංස්කරණය කරමින් ඒ වෙනුවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මුහුණ යොදා තිබෙන බව පැහැදිලිවම පෙනී යනවා. එම සංසන්දනයක් පහතින්.

ජනාධිපතිතුමන්ගේ මුහුණේ සහ අත්වල වර්ණ පරික්ෂා කිරීමේදී ද මෙය පැහැදිලිවම උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද සංස්කරණයක් බව පෙනී යනවා

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ මහින්ද රාජපක්ෂ සහ උදය ගම්මන්පිල මහතුන් වෙත ශුද්ධ වූ කුරාණයේ සිංහල පිටපත් සිලෝන් තව්හිද් ජමාත් (CTJ) සංවිධානය විසින් පිරිනැමූ අවස්ථාවලදී ලබාගත් ඡායාරූප යොදාගනිමින් ඔවුන් එම සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවක් පෙන්වා දීමට යොදාගත් උත්සාහයක් බවයි. CTJ සංවිධානය විසින් මේ ආකාරයට ශුද්ධ වූ කුර්ආනයේ පිටපත් පක්ෂ, විපක්ෂ මෙන්ම ආගමික නායකයින් බොහෝ දෙනෙක්ටද පිළිගන්වා තිබෙනවා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රස්ත නායකයින් දෙදෙනෙක් සමග එකට අසුන්ගෙන සිටින බව පෙන්වීමට උපහාසාත්මක කෝණයකින් යොදාගෙන තිබෙන්නේ ද අන්තර්ජාලයේ විශාල වශයෙන් හුවමාරු වෙමින් පවතින ඡායාරූපයක්