කෙසෙල් හෙවත් Musa යන උද්භිත නාමයෙන් හඳුන්වන මෙම පළතුර මෙරට මෙන්ම ලොව සියලු දෙනා අතරද ජනප්‍රිය පළතුරක්. ලංකාවේ බොහෝ උත්සවවලදී කෙසෙල් පළතුරට ප්‍රධාන තැනක් හිමි වනවා දැකගන්නට පුළුවන්.

මේ අලුත් අවුරුදු සමයේදී ද කැවිලි මේසයට නැතුව බැරි පළතුරක් වන කෙසෙල් සම්බන්ධයෙන්ද සමාජ මාධ්‍ය ඔස්සේ අවධානය යොමු වී තිබු‍ණේ, කෙසෙල් මිලදී ගැනීමට පෙර එහි රසායනික ද්‍රව්‍ය ඇතුළත් කර ඇත්දැයි පරීක්ෂා කරන ආකාරය පිළිබඳ පළවූ සටහන් සංසරණය වූ නිසාවෙනි. මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳ විමසීමක් අප කළෙමු.

සමාජ මාධ්‍ය සටහන් :

Pradeep Gunawarane නමැත්තෙකු ඉවුම් පිහුම් නම් ෆේස්බුක් පිටුව වෙත යොමු කර තිබුණේ මෙලෙසිනි.

“ඔබ වෙළඳපොළට ගොස් ඉදුණු කෙසෙල් ලබා ගැනීමේදී මේ ගැන සැලකිලිමත් වන්න.

ස්වභාවිකව ඉදුණු කෙසෙල් වල නැට්ට කොළ පාටයි.

රසායනික වර්ග දමා ඉදවූ කෙසෙල් වල නැට්ටත් කහපාටයි යනුවෙනි.”

Facebook | Archived Link

එසේම Namal Senanayake යන අය විසින් “සාර භූමි Sara Bumi” ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, “අලුත් අවුරුද්දට කෙසෙල් ගද්දී මේ වාගේ නැට්ට කොළපාටට තියෙනවද කියලා බලලම ගන්න.” යනුවෙනි.

Facebook | Archived Link

එමෙන්ම මේ සම්බන්ධයෙන් මහජන අයිතීන් සුරැකීමේ පදනමද පසුගිය දිනක සඳහනක් කළා. එහිදී අසේල සම්පත් මහතා දැක්වූ අදහස් මෙතනින්

ඔහු පවසන්නේ කෙසෙල් වහල්ල(නැට්ට) කොළ පාටටත් කෙසෙල් ගෙඩි කහ පැහැයක් ගන්නේ නම් එහි රසායනික වර්ග ඇතුලත් වී ඇති බවක්

මෙවැනි විවිධ අදහස් ඇතුලත් සටහන් බහුලව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය විමර්ශනයක් කිරීමට අප කටයුතු කළේ මෙලෙසයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) ආහාර තාක්ෂණ අංශයෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. ඔවුන් සඳහන් කළේ, සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති ආකාරය පාරිභෝගිකයින් නොමඟ යවන සුළු වන අතර කෙසෙල් ගෙඩිය නැට්ටේ වර්ණය මතම එය ස්වභාවික ද නැද්ද යන්න නිශ්චිතවම නිර්ණය කිරීම අපහසු බවයි.

එයට හේතුව වන්නේ ස්වාභාවිකවම ඉදීමේදී කෙසෙල් ගෙඩිය පැසීගෙන එන අවස්ථාවේ ගෙඩිය කහ පැහැයෙන්ද නැට්ට කොළ පැහැයෙන්ද තිබීම එක් අවධියක දී දැකිය හැකි වන අතර ගෙඩිය වඩාත් ඉදිමේදී ගෙඩිය මෙන්ම නැට්ට ද කහ පැහැයට හැරවෙන බැවිනි.

එසේම නැට්ට කොළ පැහැති ව තිබියදී වුවද සම්මත ඉදවීමේ ක්‍රම (උදා: එතිලීන් වායුව මඟින්) උපයෝගි කර ශරීරයට අහිතකර නොවන ලෙසද විශේෂයෙන්ම කෙසෙල් වැනි පලතුරු ඉදවීම සිදු කළ හැකිය.

එමනිසා ස්වභාවික නොවන ක්‍රමයක් භාවිත කළ සැනින් ශරීරයට අහිතකර යැයි පැවසිය නොහැකි බවද ඔවුන් අවධාරණය කළා. කෙසේවෙතත් සම්මත ක්‍රම යොදාගැනීමේ ඇති ප්‍රයෝගික අපහසුතා මත පිළිනොගත් සිරුරට අහිතකර ඉදවිමේ ක්‍රම ද බොහෝ අවස්ථාවල ලංකාවේ යොදාගන්නා අතර පාරිභෝගිකයා ඒ පිළිබඳව දනුවත් විය යුතු බව ද පවසා සිටියා.

රසායන ද්‍රව්‍ය උපයෝගි කරගෙන ශරීරයට අහිතකර නොමැති අයුරින් කෙසෙල් නිපදවන්නේ මෙලෙසිනි.

පළතුරු ඉදවීමේ අවශ්‍යතාවය මතු වන්නේ වානිජමය වෙළඳාම් ලෙස කරගෙන යාමේදී පළතුරු ස්වභාවික ඉදෙන තෙක් බලා සිටීමට නොහැකි බැවිනි. ඉදුනු පළතුරු ප්‍රවාහනයේදී ඒවාට හානි සිදුවිය හැකි බැවින් , පැසුණු පළතුරු අවශ්‍ය ස්ථානයට ප්‍රවාහනය කර වෙළඳපොළට නිකුත් කිරීමට ප්‍රථම හොඳින් පැසුණු පළතුරු එතලින් වායුව ඉතා සුළු ප්‍රමාණයකට නිරාවරණය කිරීම මගින් පහසුවෙන් හා ඉක්මනින් ඉදවා ගත හැකි බව අපට කාර්මික තාක්ෂණ ආයතනයේ, ආහාර තාක්ෂණ අංශය පෙන්වා දුන්නා.

කෙසෙල් ඇතුළු පළතුරු ස්වාභාවිකව ඉදීම සිදුවන්නේ ද, ඒවායින් එතලින් නමැති රසායනික සංයෝගය නිෂ්පාදනය වීම මගින්ය. එබැවින් හොඳින් පැසුණු පළතුරුවලට එතලින් වායුව ඉතා සුළු ප්‍රමාණයකට නිරාවරණය කිරීම මගින් පළතුරුවල ස්වභාවිකව අඩංගු එතලීන් හෝමෝනය නිපදවීම උත්තේජනය වීමක් මඟින් පළතුරු ඉදීම වේගවත් කරයි. මෙහිදී කිසිවිටෙකත් රසායනික ද්‍රව්‍ය පළතුර හා ගැටීමක් සිදු නොවන අතර ස්වභාවික සිදුවන ඉදීමට සමාන ආකාරයකින් ඉදවීම සිදුවන බැවින් මෙම ක්‍රමය ඉතා ආරක්ෂිත බව ද ඔවුන් කළ පරීක්ෂණ වලින් තහවුරු වූ බවද සඳහන් කළා.

මේ හේතුව නිසා කෙසෙල් වහල්ලේ පැහැයෙන් ස්වභාවික නොවන ක්‍රමයක් මඟින් ඉදවීම සිදුවුනේ යයි උපකල්පනය කිරීම මඟින් එය ශරීරයට අහිතකර යයි පැවසීය නොහැකි බවද සඳහන් කළා. එනම් පැසුණු කෙසෙල් ගෙඩිවල නැට්ට කොළ පැහැති විය හැකි අවස්ථාවක එතිලීන් වායුව නිරාවරණය කිරීම මඟින් ඉදවීමේ දී ඇතැම් අවස්ථාවල කෙසෙල් ගෙඩිය කහ පැහැති වී නැට්ට කොළ පාටින් තිබිය හැකි බැවිනි.

නමුත් මෙහිදී කෙසෙල් ගෙඩියට බාහිරින් රසායනික ද්‍රව්‍ය එකතු කර නොමැති බැවින් සිරුරට අහිතකර නොමැති අතර පාරිභෝගිකයින් ප්‍රවේශම් විය යුත්තේ එසේ බාහිරින් රසායනික ද්‍රව්‍ය එකතුකර සම්මත නොවන ආකාරයට සිදුකරන ඉදවීමේ ක්‍රම සම්බන්ධයෙනි.

පළතුරු ඉදවීම සඳහා ආදි කාලයේ සිට භාවිතා කළේ දුම් ගැසීමයි. දුම් ගැසීමේදී භාවිතා කරන විවිධ ශාක පත්‍ර නිසා පිටවන වායුවේ ඇසිටලන් සහ එතිලින් යන වායුවල සම්මිශ්‍රණයක් අංශු මාත්‍ර ලෙස තිබීම නිසා එමගින් පළතුරු ඉදවීම වේගවත් වෙයි. කෙසෙල් සහ අඹ වැනි පලතුරු ඉදවීමට දුම් ගැසීම භාවිතා කල හැකි නමුත් ඇතැම් අවස්ථාවලදී ඒකාකාරව පලතුරු ඉදීම එමඟින් සිදු නොවේ.

එතිලීන් නිපදවා ගන්න ආකාරය ඇතුළුව සම්මත ආකාරයට පලතුරු ඉදවීම පිළිබඳව කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය පර්යේෂණ රැසක් සිදුකර ඇති අතර ඒ සම්බන්ධයෙන දැනුවත් කිරීම් රැසක් ද සිදුකරනු ලබනවා. එම අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය ඉල්මි හේවාජුලිගේ මහත්මිය විසින් විද්‍යා නම් සඟරාවකට (මෙහි 6-7 පිටුවේ දැක්වේ) මේ පිළිබඳව වැඩිදුර දැක්වූ අදහස් පහතින් දක්වා තිබේ.

Vidya Magazine

පළතුරු ඉදවීමට තහනම් රසායන ද්‍රව්‍ය

තවද කැල්සියම් කාබයිඩ් කුඩු පළතුරු සමග මිශ්‍රකර පළතුරු ඉදීම වේගවත් කරගැනීම වැනි වැරදි ක්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් කැල්සියම් කාබයිඩ්වල ඇති ආසනික් සහ පොස්ෆින් වැනි පිළිකා කාරක අපද්‍රව්‍ය පළතුරු සමග මිශ්‍ර වීමේ අවධානම නිසා, මේ රසායනක ද්‍රව්‍ය යොදාගනිමින් පළතුරු ඉදවීම 1993 ඔක්තෝබර් 14 වන දින රජය මගින් නිකුත් කරන ලද අංක 788/7 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ මගින් තහනම් කර තිබෙනවා.

පළතුරු එතිල් හෝ එතෆෝන් නමැති රසායන ද්‍රව්‍ය පළතුර මතට විසුරුවා හැරීම හෝ එම රසායන ද්‍රව්‍ය වල පළතුරු ගිල්වීම නොකළ යුතුයි. එසේ කිරීම මගින් මෙම රසායන ද්‍රව්‍ය පළතුර මත තැන්පත් වීම හෝ පළතුර තුළට ඇතුළු වීම සිදුවිය හැකි බැවින් එත්රල් රසායනික ද්‍රව්‍ය අධිමාත්‍රාවකින් පළතුර මතට යෙදීම නිසා පළතුරු පාරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වෙනවා.

එතලින් වායුවට සමාන වායුවක් නිපදවාගැනීම වැනි ක්‍රම තිබියදී මෙවැනි වැරදි ක්‍රම අනුගමනය කිරීම නිසා පළතුරුවලට වසවිස එක්ව ඇති බවයි ඔවුන් තවදුරටත් අවධාරණය කර සිටියා.

මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් පහත වීඩියෝවේ ද සඳහන් (පැය 03 විනාඩි 56)

https://youtu.be/4w9XMCkMLhU?t=14211

මාධ්‍ය වාර්තා:

ලොව ඉතා ප්‍රකට පළතුරක් වන කෙසෙල් වල සැපයුම් දාමය පිළිබඳව විස්තරයක් මෙතනින්. මූලික අස්වැන්නෙන් පසුව පලතුරු සහ එළවළු සම්බන්ධයෙන් කටයුතු කල හැකි ආකාරය පිළිබඳව ලෝක ආහාර සංවිධානයේ උපදෙස් මෙතනින්

එසේම කෘතිම පලතුරු ඉදීමේ නෛතික කරුණු පිළිබඳ සමාලෝචනයක් සමඟ පළවූ මෙම වාර්තාවෙන් ද දීර්ඝ විස්තරයක් ලබා දී තිබෙනවා. එතිලීන් නිපදවීමේ ඇති අපහසුතා මත අහිතකර කැල්සියම් කාබයිඩ් වැනි ක්‍රම සඳහා ඇතැමුන් යොමු වී තිබෙන බව ද මෙහි සඳහන්

කෙසෙල් කෘතිමව ඉදවීම සම්බන්ධයෙන් පළ කෙරුණු සටහනක් මෙතනින්. කැල්සියම් කාබයිට් වැනි අහිතකර රසායනික ද්‍රව්‍ය යොදාගැනීමේ අහිතකර සෞඛ්‍ය ප්‍රතිඵල සම්බන්ධයෙන් සවිස්තරාත්මක වාර්තාවක් මෙතනින්. තවත් වාර්තාවක් මෙතනින්

සටහන් බොහොමයක පවසා තිබෙන්නේ කෘත්‍රිම ලෙස ඉදවූ කෙසෙල් ගෙඩි බොහෝ අවස්ථාවල ඒකාකාරී තද කහ පැහැයක් ගන්නා අතර නැට්ට තද කොළ පැහැයක් ගන්නා බවයි. ස්වභාවික ක්‍රම යටතේ ඉදුණු කෙසෙල් ඒකාකාරී කහ පැහැයක් බොහෝදුරට ගන්නේ නැති අතර කෙසෙල් ගෙඩියේ පැහැය දීප්තිමක් නොවන කහ පැහැයක් ගනී. එසේම ගෙඩියේ බාහිරින් පරීක්ෂා කිරීමේ දී ඇතැම් ප්‍රදේශ හොඳින් ඉදුණු පසු දුඹුරු වැනි පැහැයක් ගනී.ආහාරයට පෙර පලතුරු සේදීම හා පීල් කිරීම වැනි ක්‍රම මඟින් කැල්සියම් කාබයිඩ් අවදානම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකිය. මේ පිලිබඳ විස්තරයක් පහතින්.

Hindu Business Online | Thelogicalindian

මේ සම්බන්ධයෙන් පළවූ තවත් වාර්තාවක් මෙතනින්.

අහිතකර රසායනික ක්‍රම යොදාගෙන ඇත්දැයි පරීක්ෂා කල හැකි තවත් ක්‍රමයක් වන්නේ කෙසෙල් ගෙඩි ස්පර්ශ කිරීම මඟින්. තද කහ පැහැයෙන් දිස්වන කෘතිම ආකාරයට ඉදවන පලතුරු ඇතැම් කොටස් තද ගතියක් පෙන්නුම් කරන අතර ඇතැම් කොටස් මෘදු ගතියක් ද පෙන්නුම් කරන බව සඳහන්. එයට හේතුව කෙසෙල් ගෙඩියේ ඇතැම් කොටස් වලට රසායනික ද්‍රව්‍ය සමඟ ස්පර්ශ වී තිබුණ ද ඇතැම් කොටස් එසේ රසායනික කොටස් සමඟ ගැටී නොතිබීම හේතුවෙන්.

කෙසේවෙතත් කෙසෙල් ගෙඩියක් දෙස බැලීමෙන් පමණක් එය ඉදවා ඇත්තේ ස්වභාවික ව ද නැත්ද යන්න නිර්ණය කිරීම අපහසු බවත් බොහෝ වාර්තා වල සඳහන්.

එනම් ඉහත කරුණු පිලිබඳ දැනුවත් වී ඇති කූට වෙළඳුන් වහල්ලේ (නැට්ටේ) පැහැය ලා කොළ පැහැයෙන් තිබුණත් ශරීරයට අහිතකර කැල්සියම් කාබයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය භාවිතා කර එය පළතුරු මත පමණක් ඉස පළතුර වහල්ල මත ඉසීමෙන් වැළකී සිටීමෙන් වුවද කෙසෙල් ස්වභාවික ලෙස ඉදුණු කෙසෙල් බවට හඟවා විකිණිය හැකි වීම නිසාවෙනි.

කෙසේවෙතත් අහිතකර ක්‍රමවලට ඉදවනු ලබන පලතුරු වල රසය අඩු වන අතර පැණිරස, ඉස්ම ගතිය ද අඩු බව පෝෂණවේදීන් මෙසේ පවසා තිබුණා.

ලොව බොහෝ ප්‍රදේශවල එතිලීන් වායුව යොදාගනිමින් කෙසෙල් ඉදවීමේ ක්‍රමය සිදුවන බව ද අපට දැකගනන්ට ලැබුණා. කෙසේවෙතත් එතිලීන් වැඩි වශයෙන් යොදාගැනීම මඟින් සිදුවිය හැකි ප්‍රතිවිපාක මෙන්ම එතිලීන් යොදාගනිමින් පලතුරු ඉදවීමෙදී විශේෂයන් ක්‍රියා කළයුතු ආකාර ගැන ද සඳහන් වෙනවා.

නිසි ක්‍රමවේදයට එතලින් වායුව යොදාගෙන පළතුරු ඉදවීමේදී පවතින කාලගුණයේ බලපෑම මත පැය 24ත් පැය 48 ක් අතර කාලයක් දළ වශවෙන් වැය වෙනු ඇති බවට නිසි ක්‍රමවේදයට ලංකාවේ පළතුරු ඉදවන ආයතනයකින් පැවසුවා. නිසියාකාරව ඉදවන කෙසෙල් ඇවරිවල වුවද එක් කාල පරිච්ඡේදයකදී කෙසෙල් වහල්ල (නැට්ට) කොළ පැහැයෙනුත් කෙසෙල් ගෙඩි කහ පැහැයෙනුත් තවත් පියවරකදී එම වහල්ල කහ පැහැයට හැරීම සිදු වන බැවින් ඉහත සඳහන් පරිදි කෙසෙල් වහල්ලේ පැහැයෙන් එහි රසායනික ද්‍රව්‍ය ඇතුළත් කර ඉදවූ බවට උපකල්පනය කළ නොහැකි බව ඔවුන් ද පවසා සිටියා. එහෙත් මෙම ක්‍රමයට වඩා පහසුවෙන් අඩු පිරිවැයකින් කාබයිඩ් වැනි රසායනික වර්ග යොදා ගනිමින් අහිතකර අයුරින් ඉදවීම සඳහා වෙළෙඳුන් යොමු වී ඇති බවද අපට පවසා සිටියා.

විශේෂයෙන්ම කොවිඩ්19 තත්වයත් සමඟම පළතුරු නිසි පරිදි වෙළඳපළට නිකුත් කිරීමට වඩාත් අහියෝගී වී ඇති අතර එතිලීන්-නිෂේධන පැකට් (ethylene-inhibitor packets) වැනි නව්‍ය ක්‍රම යොදාගැනීමට ද වෙළෙඳුන් උත්සුක වී තිබුනේ මෙලෙසින්

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව අප කළ විමර්ශනයේදී පැහැදිලි වූයේ, කෙසෙල් ගෙඩිවල වහල්ලේ (නැට්ටේ) පැහැය මගින් පමණක් එය ස්වාභාවිකව ඉදුණු කෙසෙල් ද නැතහොත් රසායන ද්‍රව්‍ය උපකාරයෙන් පළතුරු මත තැන්පත් නොකර හිතකර අයුරින් (එතලින් වායුව වැනි ක්‍රම යොදාගෙන) ඉදුණු කෙසෙල් ද එසේත් නැතහොත් අහිතකර රසායන ද්‍රව්‍ය (කැල්සියම් කාබයිඩ් වැනි) තැන්පත් කොට හෝ ගිල්වා ඉදවූ ලැබූ කෙසෙල් ද යන්න නිශ්චිතවම තීරණය කළ නොහැකි බවයි.

කෙසේවෙතත් ස්වභාවිකව හෝ ස්වභාවික ඉදවීම උත්තේජනය වන පරිදි සීමිත ප්‍රමාණයකට එතිලීන් වායුවට නිවාරණය කිරීම වැනි ක්‍රම මඟින් ඉදවනු ලබන කෙසෙල් ආහාරයට ගැනීම සුදුසුය. ලංකාවේ ද කාර්මික තාක්ෂණ ආයතනයේ ආහාර තාක්ෂණ අංශය ද මෙසේ එතිලීන් වායුව සුළු ප්‍රමාණයකට නිවාරණය කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ රැසක් සිදුකර එය ඉදවීම සඳහා හිතකර ක්‍රමයක් බව නිර්දේශ කර තිබේ.

බොහෝදුරට මෙම අහිතකර ක්‍රම මඟින් ඉදවීමේ කෙසෙල් ගෙඩියේ පැහැය ඒකාකාරී දීප්තිමක් කහ පැහැයක් ගන්නේ නැති අතර කෙසෙල් ගෙඩියේ බාහිරින් තැනින් තැන දුඹුරු වැනි පැහැයෙන් යුත් කොටස් හොඳින් ඉදුණු පසු දැක ගත හැක.

එනමුත් කෙසෙල් ගෙඩියක ස්වභාවය පරීක්ෂා කිරීමෙන් හෝ නැට්ටේ පැහැයෙන් පමණක් එය අතිතකර නොවන ක්‍රම යටතේ ඉදවා ඇත්දැයි කීමට අපහසුය. එනම් ඇතැම් කූට වෙළඳුන් (නැට්ටේ) පැහැය ලා කොළ/කහ පැහැයෙන් තිබුණත් ශරීරයට අහිතකර කැල්සියම් කාබයිඩ් වැනි රසායනික ද්‍රව්‍ය කෙසෙල් ගෙඩිය මත පමණක් ඉස, ස්වභාවික ලෙස ඉදුණු කෙසෙල් බවට හඟවා විකිණීමට ද පෙළඹී තිබෙන බැවින්. එබැවින් කෙසෙල් මිලට ගැනීමේ දී කරුණු කිහිපයක් පිළිබඳ ව අවධානය යොමු කිරීම යෝග්‍ය වේ.

ඉදී තිබෙන කෙසෙල් ගෙඩි සේදීම , පීල් කිරීම වැනි ක්‍රම මඟින් ද ඇතැම් විට අවශේෂ (residue) කොටස් තිබේ නම් අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා ඉදවා තිබෙන බව පැවසිය හැක. එසේම අහිතකර රසායනික ද්‍රව්‍ය යොදා ඉදවන කෙසෙල් වල රසය බොහෝවිට අඩු වන අතර පැණිරස, ඉස්ම ගතිය ද අඩු බව පෝෂණවේදීන් පෙන්වා දෙයි.

Avatar

Title:කෙසෙල් ගෙඩියේ නැට්ටේ පැහැයෙන් රසායන ද්‍රව්‍ය ඇතුලත් කර ඇති බවට කිව හැකිද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading