කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉන් වැළකීමට ගත යුතු නොයෙකුත් ඖෂධ වට්ටෝරු, අත්බෙහෙත්, නව සොයාගැනීම් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යයේ ඔස්සේ ඉඩකඩ ලැබෙනු අපට නොයෙකුත් අවස්තාවලදී දැකගන්නට පුළුවන් වුණා. එමෙන්ම මෙම ඖෂධ කෙතරම් දුරට කෝවිඩ් වැළඳීමෙන් ආරක්ෂා කරනවාද යන්න විද්‍යාත්මකව තහවුරු නොවී තිබියදීත් ජනතාව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමට, මිළදී ගැනීමට පෙළඹන බවට වාර්තා පළවුනා.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙක් විසින් නිෂ්පාදනය කර ඇති Megha Primal Intake දේශීය ඖෂධ අතිරේකය කෝවිඩ් වෛරසයෙන් වැළකීමට සුදුසු ඖෂධ අතිරේකයක් බවට සඳහන් කරමින් සටහන් පැතිරුණා. මෙම බෙහෙත සත්‍ය වශයෙන්ම කෝවිඩ් වෛරසය සඳහා පිළියමක් ද යන්න සම්බන්ධයෙන් අප කළ විමර්ශනය කළා.

සමාජ මාධ්‍ය සටහන් :

Health News නම් ෆේස්බුක් පිටුවේ දැක්වුණේ,

“ලොව හොල්ලන කොරෝනා කරාපිටියේදී දණ ගස්සයි !!!

දේශීය ඖෂධ වර්ග කීපයකින් සෑදු මෙම ඖෂධය ආසාධිතයන් අසාධ්‍ය වී මියයෑම වළකාලයි!!

මෙම ඖෂධයෙන් කොරෝනා ආසාධනය උවත් අසාධ්‍ය වී පෙනහලු තුළට යෑම සම්පූර්ණයෙන් වලකාලන බව වෛද්‍ය වරයා සඳහන් කරයි !!

නව බලාපොරොත්තුවක්!!

වෛද්‍ය උදාර ගුණවර්ධන ඔබේ උත්සාහයට අපි හදවතින්ම සුභාශිංසන කරමු. ලොවම සුවපත් කරන්න ඔබ ඇතුළු සහෝදර කණ්ඩායමට ශක්තිය ලැබේවා...” යනුවෙනි.

Facebook | Archived Link

මෙහි සඳහන් වන්නේ කොරෝනා වෛරසය මැඩලීමට හා කොරෝනා වෛරසය වැළඳීමෙන් පසුව මිය යාම වැළැක්වීමට ශ්‍රී ලාංකික බටහිර වෛද්‍යවරුන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මාස ගණනාවක විවිධ අත්හදා බැලීම් වලින් අනතුරුව සොයාගත් MeGha Primal Intake නමින් ආහාර අතිරේකයක් පිළිබඳව සටහනකි.

මෙහි ඇතළත්කොට ඇති අත්පත්‍රිකාවේ සඳහන් කර ඇත්තේ කෝවිඩ් වැළඳුන රෝගීන්ට පවා මෙම බෙහෙත සුදුසු බවයි. මෙම බෙහෙතින් සුව වූ රෝගීන් ද සිටින බව මෙම අත්ප්‍රත්‍රිකාවේ දක්වා තිබුණේ මෙලෙසිනි.

Facebook | Archived Link

මෙම ෆේස්බුක් සටහන මේ වන විට 15,000ට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුගෙන තිබෙනවා.

මෙම බෙහෙතේ නිර්මාතෘ වන ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයෙක් වන උදාර සම්පත් ගුණවර්ධන ප්‍රවීන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග මෙම සොයාගැනීම සම්බන්ධයෙන් කළ සම්මුඛ සාකච්ඡාවක් පහතින්.

https://www.youtube.com/watch?v=YrmRJ7RW41M

Youtube| Archived Link

එමෙන්ම Megha Primal Intake සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහන සම්බන්ධයෙන් සහ Youtube සම්මුඛ සාකච්ඡාවේ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ ජනතාව මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් බොහෝ විශ්වාසයක් තබා විමසීම් රැසක් සිදුකර තිබු බවයි.

MeGha Primal Intake යනු කොරෝනා වෛරසය මැඩලීමට ශ්‍රී ලාංකික බටහිර වෛද්‍යවරුන්, විද්‍යාඥයන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මාස ගණනාවක විවිධ අත්හදා බැලීම් වලින් අනතුරුව සොයාගත් ආහාර අතිරේකයක් යනුවෙන් හඳුන්වාදෙමින් කරල් ‍12ක් සහිත පෙට්ටියක් රුපියල් 3,750.00ක මුදලකට විකිණීමට වෙබ් දැන්වීමක් පළ කර ඇති අයුරු පහතින්

TheAuction.lk | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මෙම බෙහෙතට නැතහොත් බෙහෙත් කරල කෝවිඩ් වෛරසයට පිළියමක් ලෙස නිර්දේශ කළ හැකිද යන්න පිළිබඳව අප පාර්ශව කිහිපයකින් විමසා සිටියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන

වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. කෙසේ වෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි ආයතන වලින් අනුමැතියකින් තොරව මෙලෙස හිතුමනාපෙට ඖෂධ නිෂ්පාදන කිරීමට අවසර නොලැබෙන බවත් එතුමා පවසා සිටියා.

විශේෂයෙන්ම කෝවිඩ් වැනි වසංගත තත්ත්වයක් හමුවේ තහවුරු නොකළ තොරතුරු යටතේ ජනතාව වෙත බලාපොරොත්තුව ලබාදී ඔවුන් නොමග යැවීමට කටයුතු සිදු නොකළ යුතු බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුව

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ඖෂධයක් ලෙස මෙම ආහාර අතිරේකය ලියාපදිංචි වී ඇත්දැයි විමසීමට අප එම දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගත්තා. එහි උසස් නිලධාරිනියක් අප සමඟ පැවසුවේ මෙම නිෂ්පාදනය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සම්බන්ධයක් නොමැති බවයි.

ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි ආයූර්වේද වෛද්‍යවරයෙක් හරහා පමණක් ඖෂධ ලියාපදිංචි කරන බවත් ආයුර්වේද ආහාර අතිරේක වුවද ලියාපදිංචි කරනු ලබන්නේ ඖෂධ කාණ්ඩයට යටතේ බැවින් ආහාර අතිරේකයක් ලෙස හඳුන්වා දී ඇති MeGha Primal Intake ආහාර අතිරේකය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ඖෂධයක් නොවන බව ඔවුන් අවධාරණය කර සිටියා.

ආයුර්වේද වෛද්‍ය සභාව විසින් Covid-19 සුව කිරීම හා වැලැක්වීම පිළිබඳව ආයුර්වේද ඖෂධ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කරනු ලබන ප්‍රචාර සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.

https://twitter.com/factcrescendosl/status/1391281949197570053

COVID-19 සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් හඳුනා නොගත් ආයුරුවේද ඖෂධ වට්ටෝරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කිරීම හේතුවෙන් මහජනතාව නොමග යැවීම වැලැක්වීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව අවධානයෙන් සිටින අතර COVID-19 සුව කිරීම සම්බන්ධව කිසිදු පරීක්ෂණාත්මක තහවුරු කිරීමකින් තොර ඖෂධ වට්ටෝරු භාවිතා කිරීම සඳහා මහජනතාව පෙළඹවීම හා නොමග යවන සුළු ප්‍රකාශ සිදු කරන තැනැත්තන් සම්බන්ධයෙන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරව අවශ්‍ය විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බව මෙයින් සඳහන් කර තිබුණා.

දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

ඉහත Youtube සම්මුඛ සාකච්ඡාවේදී වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කළේ, මෙම ඖෂධ‍ය නිපදවීම සඳහා යොදා ගන්නා ප්‍රධාන ශාක වර්ග වනුයේ සුදුළූණු, ආඩතෝඩා, කොත්තමල්ලි, වද කහ, සහ මදුරුතලා යනාදියයි. මෙම ඖෂධ වලින් කොරෝනා මර්ධනය කිරීමට හැකියාව පවතිනවාද යන්න විමසීමට අප මේ සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මහතාගෙන් විමසුමක් කළා.

ඔහු සඳහන් කළේ, ඉහත සඳහන් ද්‍රව්‍ය ගත් විට ඒවායේ වෙන වෙනම ඖෂධ ගුණ පවතින නමුත් වෛරසයක් පාලනය කළ හැකි ද්‍රව්‍ය නොවන බවයි. වෛරසයක් විනාශ කිරීමට බෙහෙත් ලබා දුන්නොත් ශරීරයේ අනෙක් සෛල වලට ද බලපෑමක් ඇතිවන බවත් ඒ හේතුවෙන් වෛරසය සුව කිරීමට ඖෂධ නොමැති බවත් ඇත්තේ කළ හැක්කේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට ඖෂධ ලබා දීමක් පමණක් බවයි වෛද්‍යවරයා පැහැදිලි කළේ.

බටහිර වෛද්‍ය විද්‍යාවේද වෛරස් සඳහා ඖෂධයක් නොමැති බවත් ලබා දිය හැක්කේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීම සඳහා එන්නතක්කරණය පමණක් බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා සඳහන් කළා.

http://srilanka.factcrescendo.com/2020/12/21/clarification-on-traditional-medicinal-recipes-circulating-on-social-media/

කරාපිටිය රෝහල

කරාපිටිය රෝහලේ සේවය මානසිකරෝග ඒකකයේ සේවය කරන වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා විසින් නිපදවූ මෙම ආහාර අතිරේකය සම්බන්ධයෙක් කරාපිටිය රෝහලේ හිටපු වැඩබලන අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කේ.එච්.ජි.ජීවරත්න මහතා ගෙන් ද අප කරුණු විමසා සිටියා.

තමන් මෙම සිදුවීම වී ඇති කාල සීමාවේදී කරාපිටිය රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වශයෙන් ක්‍රියා කල බැවින් ඒ සම්බන්ධයෙන් පැවසිය හැක්කේ, කරාපිටිය රෝහල මෙම නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කර නොමැති අතර කරාපිටිය රෝහලේ රසායනාගාරවල හෝ කිසිදු නිල පරීක්ෂණයකින් හා අනුමැතියකින් තොරව නිපදවා ඇති නිෂ්පාදනයක් බවයි. බටහිර වෛද්‍ය විද්‍යාව වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන්ට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කිරීමට නොහැකි බවත් මෙමගින් ජනතාව නොමග යෑමක් සිදුව ඇති බවත් පවසා සිටියා.

කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරයෙකු සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ, මෙම නිෂ්පාදනයට මුල්වී ඇති වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සේවය කළත් කරාපිටිය රෝහල හා මෙම නිෂ්පාදනය අතර කිසිම සම්බන්ධයක් නොමැති බවයි.

Facebook | Archived Link

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලය

තවද, රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, බොහෝ පිරිස් කරාපිටිය රෝහලේ මනෝචිකිත්සක ඒකකයේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා හා රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය සම්පත් ගුණවර්ධන මහතා ලෙස අනන්‍යතාවය වරදවා වටහාගෙන ඇති බවයි. වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතා හා මහාචාර්ය සම්පත් ගුණවර්ධන මහතා අතර කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට ඔවුන් තහවුරු කර සිටියා.

එමෙන්ම රුහුණු විශ්ව Megha Primal Intake නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිදු සම්බන්ධකමක් නොමැති බවත් මෙම ඖෂධය හෝ පෝෂණ අතිරේකය ගැන රුහුණු විශ්ව විද්‍යාලයෙන් විමසීමක් නොකරන ලෙසට ඔවුන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තවදුරටත් එම නිල ලිපිය මඟින් සඳහන් කළේ, එම විශ්වවිද්‍යාලයේ උගන්වනු ලබන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව මිස ආයුර්වේද වෛද්‍ය විද්‍යාව නොවන අතර වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන මහතාට රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිටියදී ආයුර්වේද වෛද්‍ය විද්‍යාව පිළිබඳ අධ්‍යාපනයක් ලබා නොදුන් බවටද අවධාරණය කළා. එම නිවේදනය පහතින්.

කොව්ඩ් 19 මැඩලීමට උපකාර වන Megha Primal Intake නිෂ්පාදනය එළි දැක්වීම පසුගිය මාර්තු මස 23 වන දින Daily News වෙබ් අඩවියේ වාර්තා කර තිබුණේ පහත අයුරින්.

DailyNews | Archived Link

මෙහිදී මෙම නිෂ්පාදනය සඳහා ISO සහතිකයක් ලැබී ඇති බව දක්වා තිබුණද එමඟින් දක්වා තිබෙන්නේ ISO 22000 සහ GMP සහතික කළ නිෂ්පාදනාගරයක නිපදවා ඇති බවක්.

මෙවන් පසුබිමක Colombo Information Agency නම් Youtube නාලිකාවක් මැයි 08 දින වෛද්‍ය උදාර ගුණවර්ධන මහතා සම්බන්ධ වීඩියෝවක් නිකුත් කර තිබුණා. එහිදී වෛද්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන කටකතා, අසත්‍ය තොරතුරු, පදනම් විරහිත තොරතුරු පැතිරෙන බවත් ඔවුන්ගේ මෙම කාර්ය තුළ වැරදි කටයුත්තක් සිදු නොවන බවත් ඔවුන්ගේ එකම අරමුණ මිනිසුන් මිය යන ප්‍රමාණය අවම කිරීම බවයි. නුදුරු දිනයේදීම මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද අසත්‍ය තොරතුරු වලට පිළිතුරු ලබා දෙන බව වෛද්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා. එම වීඩියෝව මෙතනින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, බටහිර වෛද්‍යවරුන් යොදාගෙන කරාපිටිය රෝහලේ නම අනිසි ලෙස භාවිතා කර ඇති බවයි. එම වෛද්‍යවරුන්ගේ වැඩ තහනම් කළ පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයිද ඔහු අවධාරණය කළා. එම වීඩියෝව මෙතනින්. (01.01)

මේ පිළිබඳව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැහැදිලි කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන විමර්ශනය අවසානයේ ලැබෙන තොරතුරු ද මෙහි යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ කොරෝනා වෛරසය මැඩලීමට සහ කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක් ලෙස ශ්‍රී ලාංකික බටහිර වෛද්‍යවරුන් ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුන්වා දී තිබෙන Megha Primal Intake නිෂ්පාදනය සඳහා කරාපිටිය රෝහලේ හෝ රුහුණු විශ්වවිද්‍යාලයේ කිසිඳු සම්බන්ධයක් නොමැති බව අදාළ බලධාරීන් දන්වා තිබෙන බවයි.

එසේම මෙම නිෂ්පාදනය පිළිබඳව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විසින් විමර්ෂණයක් සිදුකරමින් සිටින අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ද මේ දක්වා ලබාගෙන නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සිදුකරන විමර්ශනය අවසානයේ ලැබෙන තොරතුරු ද මෙහි යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු

Avatar

Title:කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක්?

Fact Check By: Sara Gunaratne

Result: Misleading