ලංකාවේ කොරෝනා රෝගය ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් රට තුළ නිරෝධානය සීමා පැනවීමට රජය විසින් තීරණය කළා. ඒ යටතේ ජූනි මස 7 වනදා වෙනතුරු රට තුල සංචරණ සීමා දැඩි ලෙසින් ක්‍රියාත්ම කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ යටතේ දුම්රිය ධාවනය ද සීමා වුණා.

මේ අතර දුම්රිය ප්‍රවාහන කටයුතු නතර කර දවස් 4ක් ඇතුළත දුම්රිය මාර්ගයේ ආසන්නයේම ගෙවල් සාදා ඇති ආකාරය දැක්වෙන සටහන් පෙළක් ම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ කරුණු විමර්ෂණය පහිතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“දවස් 4 යි #පාරදිගෙ නොගියෙ, මුන් ගෙවලුත් හදලා” යන තේමාවෙන් Nava නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පළකර තිබු ඡායාරූප තුළින් පෙනෙන්නට තිබුනේ දුම්රිය මාර්ගයට ආසන්නයේ සාදා ඇති ගෙවල් නිසා දුම්රිය ගමනාගමනයට යම් යම් බාධා ඇතිව ඇති ආකාරයක්. 

Facebook | Archived

මෙම තොරතුරම Traveler  නම් ෆේස්බුක් පි‍ටුවක්ද පල කර තිබු අතර ඒ සටහන බොහෝ දෙනෙක් හුවමරු කරගෙන තිබුනා.

Facebook | Archived

මෙම සටහන් පැරණි ඡායාරුප පෙළක් යොදාගනිමින් පලවූ සටහන් බවට කිහිප දෙනෙක් ම ප්‍රතිචාර දක්වා තිබු අතර එම පුවත පසුපස ඇති සැබෑ කතාව පිලිබඳව සොයා බැලීමට අප තීරණය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

සංචරණය සීමා වන කාලයේ මගී දුම්රිය ධාවනය වන්නේ නැති බවට පසුගිය මැයි 21 වැනිදා පළවූ පුවත් වාර්තාවක් මෙතනින්. කෙසේවෙතත් බාධාවකින් තොරව ජන ජීවිතය පවත්වා ගෙන යෑමේ අරමුණින් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට නම් කරමින් , අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබු අතර දුම්රිය දෙපාර්තමේන්තුව ද ඒ අතර ඇතුළත්.

සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබූ ඡායාරූප පිලිබඳව විමසිල්ලෙන් බැලීමේදී අපට පෙනී යන්නේ එහි දක්වා තිබු නිවෙස් මෑතකදී තැනූ ඒවා නොවන බවයි. තව ද දුම්රිය මාර්ගය ද කාලයක් තිස්සේ භාවිතට ගෙන තිබුනේ නැති බවත් අපට පෙනී ගියා.

මේ පිළිබඳව සමාජ මාධ්‍ය සටහන් පරීක්ෂා කිරීමේ දී දැකගන්නට ලැබුණේ, Dhanushka Dissanayake නමැති දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක් පළකර තිබු සටහනකින් දක්වා තිබුණ පහත විස්තරයක්.

“2018 වර්ශයේ අග භාගයේ මා විසින් වරායට යන දුම්‍රිය පරීක්ෂණ ගමනක ලබාගත් චායාරූප සමූහයක් මේ වනවිට වැරදි අර්තකතන දක්වමින් මුහුනුපොතේ දුම්‍රිය හා සම්බන්ධ පිටුවල පලවීල කනගාටුවට කරුණකි !”

එහි 2018 වසරේ පළවූ මුල් සටහනින් දක්වා තිබුනේ අලුතින් ගෙන ඒමට නියමිතව තිබු locomotives, carriages සහ පවර්සෙට් වැනි දුම්රිය එන්ජින් සඳහා ප්‍රතිසංස්කරණය කරන ලද වරාය දුම්රිය මාර්ගය සුදුසු තත්වයේ තිබේ දැයි සිදුකළ පරීක්ෂණ ධාවනයක් (test run) යනුවෙන්. 

FB2021 FB2018 | Archived

එම ඡායාරුප පෙළම 2018 වසරේ Ceylon Government Railway Magazine නම් ෆේස්බුක් පිටුවක පළවූ අවස්ථාවක් මෙතනින්.

නවකයන්ට පාර තනන W3 බාධක ජයගෙන සාර්ථකව ගමනාන්තයට. කොළඹ වරායේ සිට..” යනුවෙන් නව දුම්රිය මැදිරි ගෙන ඒමට සැරසෙන ඡායාරූප සමූහයක් Sri Lanka Railway Journal ෆේස්බුක් පිටුවේ 2018 ඔක්තෝබර් මස පළවූ අයුරු මෙතනින්.

නව දුම්රිය එන්ජින් කීපයක් ලංකාවට ගෙන ඒමට නියමිතව ඇත. ඒ සදහා වරායේ සිට සිට දුම්රිය අංගනයන් දක්වා දිවෙන දුම්රිය මාර්ග පුලුල් පරික්ෂනයක් අද දින සිදු විය. කාලෙකින් එම මාර්ගය බාවිතා නොකිරීම නිසා අනවසර ඉදි කිරීම්. හා අපවිත්‍ර වීම් නිසා අවහිර තත්වයක් දක්නට ලැබී ඇත.” යනුවෙන් පළවූ තවත් සටහනක් පහතින්.

Facebook | Archived

ඉහත සටහන් සියල්ල 2018 වසරේ ඔක්තෝබර් මස අග පරීක්ෂණ ධාවනයක් අතරතුර ලබාගත් බව මේ අනුව පෙනී යනවා. ඒ අනුවද එම ඉදිකිරීම් මැතකදී සිදු වූ ඒවා නොවන බව පැහැදිලි වෙනවා.

මේ පිළිබඳව අප හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගෙන්ද විමසීමක් කලා. එහිදී ඔහු සඳහන් කර සිටියේ ඉන්දියාවෙන් ගෙන්වීමට නියමිතව තිබු M11 දුම්රිය ලංකාවට ගෙන ඒමට මාස කිහිපයකට පෙර සිදුකළ පරීක්ෂා කිරීමේ දී ඉහත තත්ත්වය උද්ගත වී තිබූ බවත් කාලයක් වාරයේ සිට දිවෙන දුම්රිය මාර්ගය භාවිතයට ගෙන නොතිබීම හේතුවෙන් එම තත්ත්වය උද්ගත වී තිබු බවත්ය. කෙසේවෙතත් එම දුම්රිය මාර්ගය ඔස්සේ තිබු අනවසර ඉදිකිරීම් ඉවත්කර ධාවනයට සුදුසු තත්ත්වයට කඩිනමින් පත්කළ බවත් ඒ මහතා පැහැදිලි කර සිටියා.

මේ අනුව M11 දුම්රිය ඉන්දියාවේ සිට ලංකාවට 2018 වසරේ දෙසැම්බර් මස පැමිණ තිබු බවත් එය වාරයේ සිට දිවෙන දුම්රිය මාර්ගයේ ඔස්සේ ගෙන ගිය අයුරුත් වාර්තා කර තිබු ෆේස්බුක් සටහනක් මෙතනින්. පුවත් වාර්තාවක් මෙතනින්

වරාය දෙපාර්තමේන්තුවෙන් ද මේ පිළිබඳව අප විමසීමක් සිදුකළ අතර එහි තාක්ෂණික අංශයෙන් පවසා සිටියේ කොළඹ වාරයේ සිට දිවෙන මෙම දුම්රිය මාර්ගයේ මැතක දී මෙවැනි ප්‍රශ්නයක් ඇතිවුයේ නැති බවත්ය. වසරකට කිහිප සැරයක් මෙසේ වරායේ සිට දිවෙන දුම්රිය මාර්ගය භාවිතා කර තිබෙනවා. නව දුම්රියක් වරයාට පැමිණීමට මාස කිහිපයකට පෙර දුම්රිය දෙපාර්තමේන්තුව විසින් වරාය දෙපාර්තමේන්තුවේ ද සහය ඇතිව එසේ ගෙන එන දුම්රිය ප්‍රවහාන කිරීමට වරාය මාර්ගයේ අවශ්‍ය කටයුතු පරීක්ෂා කරන බවත් පවසා සිටියා.

මෙම ඡායාරූප වල පෙනෙන්නට තිබෙන කොළඹ වරායේ සිට ඔරුගොඩවත්ත දෙසට දිවෙන මෙම දුම්රිය මාර්ගය පිළිබඳව පළවූ වාර්තාවක් පහතින්. වරායට ගෙනෙන බඩු වරායේ සිට ගෙන ඒමට කලකට ඉහතදී මෙම දුම්රිය මාර්ගය තනා ඇති බව සඳහන්.

Lankadeepa | Archived

එම දුම්රිය මාර්ගයේ ඡායාරුප පෙළක් සහිතව මීට වසර කිහිපයකට පෙර පළවූ සටහනක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව සලකා බැලීමේදී සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් වල දක්වා ඇත්තේ කොළඹ වරායේ සිට දිවෙන දුම්රිය මාර්ගය බවත් එම ඡායාරුප මෑතක දී ලබාගත් ඒවා නොවන බවත් තහවුරු වෙනවා. කොළඹ වරායේ සිට දිවෙන දුම්රිය මාර්ගය බොහෝවිට යොදාගන්නේ නව දුම්රිය හෝ කොටස් වරාය වෙත පැමිණි පසු එහි සිට ප්‍රවාහනය කිරීමටයි, එය මඟී ප්‍රවාහන කටයුතු සඳහා වර්තමානයේ යොදාගන්නේ නැහැ.

මේ අනුව 2018 වසරේ ඔක්තෝබර් මස අග කොළඹ වරායේ සිට දිවෙන දුම්රිය මාර්ගයේ පරීක්ෂණ ධාවනයක් අතරතුර ලබාගත් ඡායාරුප පෙළක් යොදාගනිමින් මෑතක සිදුවීමක් ලෙස දක්වමින් හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක් ලෙස අපට සනාථ කළ හැක.

Avatar

Title:FACT CHECK: නිරෝධායන නීති හේතුවෙන් දුම්රිය ගමන් නොකළ දිනවල දුම්රිය මාර්ගයේ අනවසර ඉදි කිරීම් සිදුකර තිබූ අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera

Result: False