
පසුගිය දින කිහිපයෙහි වරප්‍රසාද ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය සේවයට අයත් වෘතීයවේදීන් දියත් කළ වැඩ වර්ජන හේතුවෙන් රෝගීන් බොහෝ දෙනෙක් අපහසුතාවට පත්වූ බවක් වාර්තා වී තිබුණා.
මෙවන් පසුබිමක වෛද්‍යවරයකුගේ වැටුප් පතක විශාල අතිකාල දීමනාවක් සම්බන්ධයෙන් හුවමාරු වූ සටහනක් හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. ඒ පිළිබඳ අපගේ විමසුම පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
Ruwan Jayatunge නමැති පුද්ගලයෙකු විසින් සිය ෆේස්බුක් ගිණුමට සටහනක් එක් කර තිබුණා. දොස්තරලා හොර ඕටී ගැසීම ඉතා කැත වැඩකි. කලුතර රෝහලේ වෛද්‍යවරයෙකු ගේ පසු ගිය ජුනි මස වැටුප රුපියල් 412,588.85 අතිකාල දීමනා රුපියල් 215,028.00 වේ. රාජකාරි කර ඇති පැය ගනන පහත පරිදිය. එනම් ….අතිකාල පැය 228 රජයේ නිවාඩු වැඩ කර ඇත. දින 06 වැඩ කර ඇත. ඒ අනුව ඉතිරි දින ගනන24 කි. අතිකාල පැය 288ට 24 න් බෙදුවිට දිනකට පැය 9.5 වැඩ කරන පැය 8+9.5=17.5 මේ දොස්තරට දොට්ට පිලටවත් යාමට වෙලාවක් තිබී නැති බව පෙනී යයි. මෙවැනි වංචනික ක්‍රියා ප්‍රසිද්ධියේ අභියෝග කල යුතුය. මීට පිලිතුරු ලෙස අරයා බැංකුව හොරා කෑවා මෙයා සුනාමි මුදල් හොරා කෑවා කිය හැකිය. දේශපාලකයෝ කොහොමත් හොරකම් කරති. රජයේ සේවකයන් ද හොරකම ආදේශ කර ගතහොත් දුප්පත් ජනතාවට අබ සරණය.
එමෙන්ම මෙම සටහනට වෛද්‍යවරයෙකුගේ වැටුප් විස්තර පතද එක් කර තිබුණේ මෙලෙසින්.

Thushara Danketiya නමැති පුද්ගලයෙක් විසින් සිය ෆෙස්බුක් ගිණුමේ දක්වා තිබුණේ “ඉරිසියා කරන්න එපා. මේ ගිය මාසෙ එක මගෙ” යනුවෙන් එම වැටුප් වාර්තාවේ ඡායාරුපයක් සහිත සටහනක්

එමෙන්ම මෙම වැටුප් විස්තරය වෙනත් ෆෙස්බුක් සටහන් රැසක් සඳහා ද යොදාගනිමින් බොහෝ දෙනා අතර සංසරණය වී තිබුණා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
ඉහත සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබු වැටුප් වාර්තාවේ දැක්වීමට උත්සාහ ගෙන තිබුනේ අදාළ වෛද්‍යවරයා ජුනි මාසය සඳහා මූලික මාසික වේතනය (Basic) රු. 86,995 ක් ලෙසත්, අතිකාල දීමනාව (OT) සඳහා රු.251,028 ත් ලබා ඇති බවක්. එසේම නිවාඩු දිනයන්හි රාජකාරියේ යෙදීම සම්බන්ධයෙන් (PH) රු.26,098.50 ද ජුනි මාසය සඳහා ගෙවූ බවක් එම සටහන් මඟින් අදහස් කර තිබුණා.
අදාළ වැටුප් විස්තරය නිරීක්ෂණයේදී දැක ගැනීමට හැකි වූයේ අතිකාල පැය (OT) 228 ක් සඳහා ඉහත ගෙවීම සිදුකර තිබු බවත් රජයේ නිවාඩු දිනයන්හි සේවය කළ දවස් (PH) 6ක් සඳහා ත් එම ගෙවීම ජුනි මාසයේ දී සිදුකර තිබු බවයි.

පැය 228 ක් එක් මාසයක දී අතිකාල වශයෙන් වැඩ කිරීම ඉතා ඉහල අගයක් බැවින්, එක් මසක් තුළ දී අතිකාල දීමනා වශයෙන් මෙපමණ පැය ගණනක් සඳහා දීමනාවක් ලබාගත හැකි ද යන්න පරීක්ෂා කිරීමට අප සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අතිකාල දීමනා සම්බන්ධයෙන් නිකුත් කර තිබු චක්‍ර ලේඛ පරීක්ෂා කර බැලුවා.
එහිදී අපට දැක ගන්නට ලැබුනේ කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් වෛද්‍යවරුන්ගේ අතිකාලය සඳහා සේවයේ යෙදිය යුතු කාලය පිළිබඳ මැයි 1 වෙනිදා සිට අගෝස්තු 31 වන දක්වා බලපැවැත්වෙන පරිදි සංශෝධනයක් සිදු කර තිබු බවයි.
එම චක්‍ර ලේඛය පහතින්.
Batch483_001එම චක්‍ර ලේඛයට අනුව පැය 04 අති කාලය පැය 06 දක්වා වැඩිකර තිබූ අතර රෝහල් ඒකක, ශාඛාවල වෛද්‍ය නිලධාරීන් සඳහා මසකදී අතිකාල දීමනාව දෙනු ලබන පැය ගණන පැය 120 ට නොඉක්මව විය යුතු බවත් දක්වා තිබුණි. එසේම මීට අමතරව ක්ෂේත්‍ර සේවාවන් හි නිරත වන නිලධාරීන් සඳහා දිනකට අතිකාල පැය ගණන 8ක් දක්වාත් මසකදී පැය 180ක උපරිමයක් ලෙසත් වැඩිකර තිබු බව දැක ගන්නට ලැබුණා. මේ සියල්ල අදාළ ආයතනික ප්‍රධානියාගේ නිර්දේශය මත සිදුවන බව ද පවසා තිබුණා.
ඒ අනුව මසකදී ඉහත වැටුප් පත ලබා දී තිබුණේ ක්ෂේත්‍ර සේවාවන් හි නිරත වන වෛද්‍ය නිලධාරියෙකු සඳහා වුවද මසකට ගෙවීමක් සිදුවන්නේ උපරිම අතිකාල පැය ගණන 180ක් බැවින් පැය 228ක් සඳහා ගෙවීමක් එක් මාසයක් සඳහා සිදුවීමේ හැකියාවක් නොමැත.
මේ අනුව ඉහත වැටුප් වේතනයේ සඳහන් වන්නේ එක් මාසයකට අදාළ අතිකාල දීමනාව පමණක් නොව වෙනත් මසක හිඟ අතිකාල දීමනාවද එයට අයත් බව පැහැදිලි වේ.
කළුතර රෝහල:
ඉහත වැටුප් පතෙහි කළුතර රෝහල යනුවෙන් සඳහන් වී තිබීම හේතුවෙන් අප මේ සම්බන්ධයෙන් එම රෝහල් අධ්‍යක්ෂක වරයා ව ද දුරකථනයෙන් සම්බන්ධ කර ගත්තා. එහිදී ඔහු පවසා සිටියේ මෙම වැටුප් පත සිය රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ වැටුප් පතක් බව සනාථ කරගත් බවයි.
කෙසේවෙතත් එහිදී අතිකාල දීමනා (OT) සහ නිවාඩු දින සඳහා ගෙවීම් (PH) මාස දෙකක් එකතු කර ගෙවා තිබු බව පවසා සිටි අතර රාජ්‍ය රෙගුලාසි වලට පරිබාහිර කිසිඳු වැටුප් ගෙවීමක් සඳහා තමා අනුමැතිය ලබා දී නැති බව ද පවසා සිටියා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපව කළුතර රෝහලේ ගිණුම් අංශය සමඟ සම්බන්ධ කළා.
එහිදී අපට ගිණුම් අංශයේ නිලධාරිනිය පැහැදිලි කළේ ඉහත වැටුප් පතෙහි අප්‍රේල් සහ මැයි මාස දෙකෙහි අතිකාල පැය ගණනේ එකතුව වන පැය 228ක් දැක්වෙන බවත් පැයකට රු. 1100 බැගින් මාස දෙකක් සඳහා රු.251,028ක් ගණනය කර තිබු බවත්ය. මේ ආකාරයෙන් මාස කිහිපයකට සැරයක් අතිකාල දීමනා එකතු කර ලබා ගැනීම සාමාන්‍යයෙන් සිදුවන බව ද පවසා සිටියා.
අප ඉහත පෙන්වා දුන් පරිදි උපරිම අතිකාල පැය ගණන මසක් සඳහා කොවිඩ් තත්වය යටතේ වුවද පැය 180ක් පමණක් බව අතර එම පැය උපරිම සේවයේ යෙදුණද මසකට ලබාගත හැකි උපරිම ලක්ෂ දෙකකට අඩුය.
එසේම ගිණුම් අංශයේ නිලධාරිනිය තවදුරටත් පවසා සිටියේ, රජයේ චක්‍රලේඛයට අනුව මසකට වෛද්‍ය නිලධාරියෙකු සඳහා අනුමත වන්නේ දින 3 ක නිවාඩු දීමනාවක් (PH) පමණක් බවත් ඒ අනුව ඉහත වැටුප් පතෙහි පෙර පරිදි අප්‍රේල් සහ මැයි මාස දෙකෙහි නිවාඩු දිමානාව දින 6ක් ලෙසත් ලබා දී ඇති බවයි. එහි ගණනය කිරීම පහත පරිදිය.
මෙම චක්‍රලේඛයට අනුව වෛද්‍ය නිලධාරීන් වෙත නිවාඩු දින සඳහා දිනකට ගෙවනු ලබන්නේ මූලික වැටුපෙන් 1/20 කි. ඒ අනුව ඉහත වැටුප් පතෙහි වෛද්‍යවරයාගේ මූලික මාසික වේතනය (Basic) රු. 86,995 ක් නම් එක් දිනක් සඳහා නිවාඩු දීමනාව(PH) රු. 4,349.75කි. ඒ අනුව වෛද්‍යවරයාට එක් මසක් සඳහා ලබාගත හැකි උපරිම නිවාඩු දීමනාව(PH) රු. 13,049.25කි. නමුත් මාස දෙකක දීමනාව එකවර ලබාගෙන තිබූ බැවින් එම අගය දින 6 සඳහා රු. 26,098.5කි.
මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහනෙහි දක්වා තිබු අතිකාල දීමනාව (OT) සහ නිවාඩු දිනයන්හි සේවයේ යෙදීම සඳහා කරනු ලබන ගෙවීම (PH) යන අංග දෙකම මාස දෙකක් සඳහා ගණනය කර තිබෙන බව පැහැදිලිය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස්.
සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධයෙන් ඉහත කරුණු පැහැදිලි කරමින් වෛද්‍යවරුන් කිහිපදෙනක් ම තම අදහස් ඉදිරිපත් කර තිබූ අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් කිහිපයක් මෙතනින් සහ මෙතනින්
Conclusion (අවසාන නිගමනය)
මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පැහැදිලි වන්නේ වෛද්‍යවරයකුගේ මාසික වැටුප් පතක් ලෙස හුවමාරු වන ඡායරුපයෙහි පෙන්වා ඇත්තේ සත්‍ය වශයෙන්ම කළුතර රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ මාසික වැටුප් පතක් බවයි.
කෙසේනමුත් ජුනි මස එම වැටුප් පතෙහි, අප්‍රේල් සහ මැයි යන මාස දෙක සඳහා ම වූ අතිකාල දීමනා(OT) සහ නිවාඩු දින සේවයේ යෙදීම සඳහා දීමනාව(PH), අදාළ වෛද්‍යවරයා විසින් එකවර අයදුම් කර තිබෙන අතර එම අගය සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛ ඇතුළත තිබෙන අගයන් හේතුවෙන් ආයතන ප්‍රධානියා විසින් නිර්දේශ වී තිබේ.
කෙසේ නමුත් සමාජ මාධ්‍ය සටහන් තුළ ඉස්මතු කර තිබු අතිකාල දීමනා(OT) අගය වූ රු.251,028 මෙන්ම සහ නිවාඩු දින සේවයේ යෙදීම සඳහා දීමනාව(PH) වූ රු. 26,098.50 යන අගයන් දෙකම මාස දෙකක් සඳහා සිදුකළ ගෙවීම් වෙයි.
මෙම අගයන් එක් මසක් සඳහා ලබාගත් දීමනා ලෙස ඉස්මතු කර තිබීම හේතුවෙන් බොහෝ පිරිස් නොමඟ ගොස් තිබුණි

Title:මසකට දෙලක්ෂ පනස්දහසක අතිකාල දීමනාවක් ගන්නා වෛද්‍යවරයකුගේ වැටුප් වාර්තාවක්?
Fact Check By: Sara GunaratneResult: Misleading
