දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට මතුවන WhatsApp ඔස්සේ නැවත නැවතත් හුවමාරු වන පණිවිඩයක් වන WhatsApp සඳහා නව සන්නිවේදන නීති ක්‍රියාත්මක බවට පළ වූ පුවතක් ඔබටත් මේ වන විට ලැබෙන්නට ඇති. මෙහි තොරතුර නිවැරදිද යන්න පිළිබඳව සැකයක් ඔබටත් ඇති වන්නට පුළුවන් මෙහි සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp ඔස්සේ සංසරණය වූ මෙම පණිවිඩයෙන් දැක්වුණේ WhatsApp සහ WhatsApp ඇමතුම් (Voice සහ වීඩියෝ ඇමතුම්) සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මක වන බවයි. හෙට යනුවෙන් සඳහන් කළද දිනයක් සඳහන් කර නොතිබුණි.

Facebook, Twitter, Instagram සහ සියලුම සමාජ මාධ්‍ය අධීක්‍ෂණය කරන බවත්, සමාජ මාධ්‍ය ගිණුම් අමාත්‍යාංශ පද්ධතියකට සම්බන්ධ කරන බවත් එම නිසා රජයේ නායකයින්ට, ආගමික ඇදහිලි විවේචනය කරමින් හානිදායක පණිවිඩ නොයවන ලෙස ඉල්ලා සිටින අතර මෙවැනි ක්‍රියා කිරීම වර්තමානයේ අපරාධයක් වන අතර එසේ කිරීමෙන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි බවද එම පණිවිඩයෙන් දක්වා තිබුණා.

දීර්ඝ වශයෙන් දක්වා තිබූ එම පණිවිඩයේ අවසානයේ සඳහන් කර තිබුණේ WhatsAppහි පෙර නොඇසූ විශේෂාංග සම්බන්ධයෙනි. එනම් රතු පැහැති ✔ සළකුණක් සම්බන්ධයෙනි. එමෙන්ම එම සළකුණ ✔✔✔ බවට පවසන්නේ රජය ඔබට එරෙහිව නඩු කටයුතු ආරම්භ කර ඇති අතර ඔබට ඉක්මනින් අධිකරණ සිතාසියක් ලැබෙනු ඇති බවයි එහි සඳහන් වුණේ.

WhatsApp ඔස්සේ හුවමාරුවූ එම සටහන පහතින්.

එම පණිවිඩය ෆේස්බුක් ඔස්සේද සංසරණය වූයේ මෙලෙසින්.

Facebook | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම පණිවිඩය සම්බන්ධයෙන් නිරීක්ෂණයේදී WhatsApp ඔස්සේ හෙට දිනයේ සිට ක්‍රියාත්මක වන බවට මෙම පණිවිඩ වසර ගණනාවක් ඔස්සේ ලංකාවේ මෙන්ම විවිධ රටවල ද මීට පෙර හුවමාරු වී තිබු බව ද අපට දැක ගන්නට ලැබුණා.

සැබවින්ම WhatsApp ඔස්සේ දෙදෙනෙකු අතර හෝ සමූහයක සඳහන් පණිවිඩ තෙවන පාර්ශවයකට ලබා ගත හැකිද? 

තොරතුරු යැවීම සහ ලැබීම සම්බන්ධයෙන් බොහෝ දෙනා ඉල්ලා සිටින්නේ ආරක්ෂාවයි. WhatsApp කේතයක් සැපයීම හේතුවෙන් මෙම චැට් සඳහා වෙනත් බාහිර පාර්ශවයකට කිසිදු තොරතුරක් අනවසරයෙන් ලබා ගත නොහැක.

WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඒ සඳහා End to End Encryption කේතනයක් භාවිතා කරන අතර ඔවුන්ගේ වෙබ් අඩවිය පැහැදිලිව සඳහන් කරන්නේ ඔබගේ පුද්ගලික පණිවිඩ සහ ඇමතුම් වල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව වෙනස් නොවන අතර එම තොරතුරු දැඩි ලෙස රහස්‍ය කේතනයෙන් ආරක්‍ෂා කර ඇති අතර, WhatsApp සහ Facebook වලට ඒවා කියවීමට හෝ සවන් දීමට නොහැකි බවයි. කිසි විටෙකත් මෙම ආරක්ෂාව දුර්වල නොකරන අතර සෑම පණිවිඩයකම (චැට්) එකකම රහස්‍ය භාවය සුරක්ෂිත කරන බවද එහි සඳහන්.

End to End Encryption යනු ඔබගේ WhatsApp පණිවිඩ සුරක්ෂිත කර ඇති කේතයයි. ඔබ සහ පණිවිඩය ලබන්නා අතර පමණක් මෙම පණිවිඩය කියවීමට, දැකීමට හැකි වෙන ලෙසයි මෙම කේතය සුරක්ෂිත කර ඇත. ඔබටද මෙය නිරීක්ෂණය කළ හැක.

මෙම කේතය ඉල්ලකම් 60 කින් සමන්විත වන අතර එක් එක් චැට් සඳහා අනන්‍ය වූ කේත ඇති අතර එම එක් කේතයක් පණිවිඩය ලබා ගන්නාගේ කේතයත් එක හා සමාන වේ. සමාන වේ නම් පණිවිඩය සුරක්ෂිත බවට තහවුරු වේ.

මෙය සිදුකරන අයුරු සිංහල බසින් පෙන්වන වීඩියෝවක් මෙතනින්.

ආරක්ෂක කේතය වෙනස් කර දැනුම් දීමක් ලැබුනේ නම්, එයින් අදහස් වන්නේ ඔබේ සම්බන්ධතාවය නැවත ස්ථාපනය කළ බවයි.

එයට ඔබ WhatsApp Encryption තුළින් එම කේතය නිරීක්ෂණය කළ හැක.

https://lh3.googleusercontent.com/0mRqFQhr9Hta79iB3mN7DbWcdt0L44L_8QUC77VYotxv_zMYhlWfg0V35Of1oi2m9U3Itironu4-jw7aPYr-J7mHak6sADN1QUK_cMTOJ32vHt5X8Sls-djJOQYOMAFsRtbEcSA

FAQ WhatsApp | Archived Link

එමෙන්ම ‍මෙහි දක්වා ඇති හරි (✔) සලකුණ සත්‍ය වශයෙන්ම ඇත්තේ ලා අළු පැහැයෙන් හා නිල් පැහැයෙන් පමණී.

එහි එක් හරි ✔ සලකුණක් මගින්, පණිවිඩය යවා ඇති බවත්, හරි සලකුණු ✔ ✔ ක් මගින් පණිවිඩය ලබන්නාගේ දුරකථනයට ලැබී ඇති බවත්, නිල් පැහැති හරි සලකුණු ✔ ✔ මගින් පණිවිඩය ලබන්නා එම පණිවිඩය කියවා ඇති බවට ගම්‍ය වේ.

ඒ බව WhatsApp ඔස්සේ පැහැදිලි කර තිබුණේ මෙලෙසින්.

https://lh3.googleusercontent.com/vJSIgCt0R07DTF_S1wELImTDHbYtwXRaTyr4TXxpHkAUZBfEzfoXVe4kvMJxkRvxYlsb9KEwG5cQmmB8-M5VYDCYXOxyXIipghp20Tz2g9Zp97kAtMt80h5npMrRFho9VSJ6Npk

How to check read receipts

නමුත් ඉහත ව්‍යාජ පණිවිඩයේ රතු පැහැති හරි (✔) සළකුණු ගැන දක්වා ඇති අතර එය රජය විසින් අධීක්ෂණය කරන බවට දක්වා තිබුණා. හරි සලකුණ 3ක් සහ රතු පැහැ හරි සලකුණ මෙතෙක් WhatsApp ආයතනය විසින් හඳුන්වා දී නොමැති හෙයින් මෙය පදනම් විරහිත ප්‍රකාශයකි.

WhatsApp බ්ලොග් අඩවියේ ද මෙසේ සඳහන් වේ: “මෑත කාලීන නියමයන් සහ රහස්‍යතා ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම පුද්ගලික පණිවිඩවලට බල නොපාන බවත්, මෙම වෙනස්කම් WhatsApp හි ඇති විකල්ප ව්‍යාපාරික අංග සමඟ සම්බන්ධ වන අතර අප දත්ත රැස් කරන ආකාරය සහ භාවිතා කරන ආකාරය පිළිබඳ තවදුරටත් විනිවිදභාවයෙන් කටයුතු කරන බවත් ඔවුන් දක්වා තිබේ.

මෙම ව්‍යාජ පණවිඩය ඉන්දියාවේ ද බොහෝ අවස්ථාවන්හි හුවමාරු වන අතර ඒ සම්බන්ධයෙන් සිදුවූ කරුණු විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

Fact Crescendo අප කණ්ඩායම මේ සම්බන්ධයෙන් මීට මාස කිහිපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් කළ කරුණු විමර්ශනය පහතින්.

FACT CHECK: WhatsApp Will NOT Record Your Calls; Devices Will NOT Be Monitored By The Government

WhatsApp පණිවුඩ trace කළ හැකි ක්‍රම පිළිබඳ විවිධ අදහස් විශේෂයන්ම ඉන්දියානු රජය මඟින් ඉදිරිපත් වී ඇති නමුත් මේ වන තෙක් නිල වශයෙන් එබඳු කිසිඳු ක්‍රියාවලියක් සඳහා WhatsApp සමාගම විසින් අවසර ලැබී නැහැ. එයට හේතුව එමඟින් encrypt ක්‍රියාවලියට එල්ලවන තර්ජනය හේතුවෙන්. මේ පිළිබඳ වැඩිදුර විස්තර පහත ලිපිවලින්.

Indian Express | Business Today

මෙම ව්‍යාජ පණිවිඩය  2024 පෙබරවාරි මස සිට නැවත හුවමාරු වී තිබු අතර, එවැනි එක් වර්තාවක දක්වා තිබුණේ, කාන්තාවන් අලෙවි කරන වෙබ් අඩවිවලට අමතරව ෆේස්බුක් ඇතුළු සමාජ ජාල පිටු, ගිණුම්, ගෲප්, වට්ස්ඇප් ගෲප් (කණ්ඩායම්) ඔස්සේ නිරුවත් ඡායරූප, අසභ්‍ය වීඩියෝ දර්ශන, නිල් චිත්‍රපටි හුවමාරු කර ගැනීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත් අන්තර්ජාලය තුළ සැරිසරමින් එම අපරාධකරුවන් හඹා යාම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් පොලිස් පරිගණක අපරාධ ඒකකය, පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID), ළමා හා කාන්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසූ බව එහි සඳහන් විය. එම සම්පූර්ණ වාර්තාව මෙතනින්.

මේ ආකාරයේ පුවත් පළවූ බොහෝ අවස්ථාවල දී මෙම ව්‍යාජ සටහන ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකිය හැක.

Meta වෙත 2022 වර්ෂයේ දී පරිශීලක දත්ත සඳහා රාජ්‍යයන් වල ඉල්ලීම් 450,000 කට වඩා ලැබී ඇත

2022 දී, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් සමාජ මාධ්‍ය වේදිකා වල මව් සමාගම වන මෙටා සමාගමට ලොව පුරා රාජ්‍යයන් 130 කින් එම වේදිකාවල දත්ත ඉල්ලීම් ගණනාවක් ලැබුණු බව එම සමාගම සඳහන් කරනවා.

එහිදී 800,000 කට අධික සමාජ මාධ්‍ය පරිශීලකයින්ගේ තොරතුරු සම්බන්ධයෙන් රජයන් වලින්, දත්ත ඉල්ලීම් 450,000 කට වඩා Meta වෙත ගොනු කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

සියලුම දත්ත ඉල්ලීම් අදාළ නීති සහ ඒවායේ සේවා කොන්දේසි අනුව හසුරුවන බව Meta අවධාරණය කරන අතර, සමාගමේ වාර්තාවලින් පවසන්නේ ගෝලීය වශයෙන් 76% පමණ දත්ත අනාවරණය කර ඇති බවයි.

Meta වැඩි දුරටත් පවසන්නේ, ඔවුන්ට ලැබුණු රජයේ දත්ත ඉල්ලීම් අපරාධ නඩුවලට සම්බන්ධ වන අතර එමඟින් Facebook, Instagram, Messenger, Whatsapp, Oculus ඇතුළු සමාගම සපයන විවිධ නිෂ්පාදන සහ සේවාවන් සඳහා මූලික ග්‍රාහක තොරතුරු, ගිණුම් අන්තර්ගතය හෝ අන්තර්ගත නොවන දත්ත අනාවරණය කිරීමට හේතු විය හැකි බවයි.

රජයේ නිලධාරීන් සමහර විට නිල විමර්ශනවල කොටසක් ලෙස ෆේස්බුක් භාවිතා කරන පුද්ගලයින් පිළිබඳ දත්ත සඳහා ඉල්ලීම් කරන බව මෙටා පැහැදිලි කරමින් පවසන්නේ, මෙම ඉල්ලීම්වලින් බහුතරයක් මංකොල්ලකෑම් හෝ පැහැරගැනීම් වැනි අපරාධ නඩුවලට සම්බන්ධ බවයි.

බොහෝ අවස්ථා වලදී, මෙම රජයේ ඉල්ලීම් නම, ලියාපදිංචි දිනය සහ සේවා කාලය වැනි මූලික ග්‍රාහක තොරතුරු අනාවරණය කර ගැනීමේ තොරතුරු සහ වෙනත් ඉල්ලීම් ලෙස IP ලිපින ලොග් හෝ ගිණුම් අන්තර්ගතයද සෙවිය හැකි බව ද, ඔවුන් පවසනවා.

එම ඉල්ලීම් පරීක්‍ෂා කිරීමෙන් පසු Meta විසින් අනාවරණය කළ හැකි අන්තර්ගත නොවන දත්තවල ක්‍රෙඩිට් කාඩ් තොරතුරු, විද්‍යුත් තැපැල් ලිපින, සහ මෑත කාලීන පිවිසුම්/ලොග්අවුට් IP ලිපින හෝ වෙනත් ගනුදෙනු තොරතුරු ඇතුළත් විය හැක.

ඉල්ලීම මත පදනම්ව, Meta විසින් පණිවිඩ, ඡායාරූප, වීඩියෝ, කාල සටහන් පළ කිරීම් සහ ස්ථාන තොරතුරු බෙදා ගත හැකි බව ද ඔවුන් සඳහන් කරනවා.

ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට, ඔබ සමාජ මාධ්‍ය පළ කිරීම් වලට පෙර සෑම විටම දෙවරක් සිතන්න සහ සෑම විටම ඔබ බෙදා ගන්නා තොරතුරු සීමා කරන්න.

මේ සමබ්න්ධයෙන් මෙටා පැහැදිලි කිරීම් මෙතනින් සහ මෙතනින්.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමසුමෙන් පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ WhatsApp සහ WhatsApp ඇමතුම් (Voice සහ වීඩියෝ ඇමතුම්) සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මක වන බවට පළ වූ සටහන් ව්‍යාජ සටහන් බවයි. මෙම සටහන් වට්සැප් සන්නිවේදන සම්බන්ධයෙන් සමාජයේ කතිකාවතක් ඇතිවන අවස්ථාවල දී කලින් කලට හුවමාරු වන සටහන් පෙළකි.

එම සටහනේ දක්වා ඇති පරිදි WhatsApp ඇමතුම් හෝ පණිවිඩ වෙනත් බාහිර පාර්ශවයක් විසින් පටිගත කිරීමට නොහැකි අතර සියලු සන්නිවේදන End to End Encryption ඔස්සේ සුරක්ෂිතව සිදුවන බව WhatsApp සමාගම තහවුරු කර සිටියි. එසේම එම සටහනේ දක්වා ඇති පරිදි WhatsApp පණිවිඩ රජය මගින් අධීක්ෂණයට වීමක් සිදු වන්නේ නැති අතර රතු ✔ සළකුණ මගින් කියවෙන බවටත් දැක්වූ ප්‍රකාශද කිසිදු පදනමකින් තොර සාවද්‍ය ප්‍රකාශක්.

Avatar

Title:WhatsApp ඇමතුම් සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මකයිද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading