සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඇතැම් ඡායාරූප සත්‍ය වූවද ව්‍යාජ සහ නොමඟ යවන සුළු තේමා යටතේ එම ඡායාරුප හුවමාරු කර ගැනීමෙන් බොහෝ පිරිස් නොමඟ යන අවස්ථා දැක ගණනට පුළුවන්. මේ සඳහා කදිම උදාහරණයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. ඒ ‘Polish Rabukkana’ ලෙස සඳහන් වූ පොලිස් ජීප් රථයක් බවට දැක්වූ ඡායාරූප සටහන් හේතුවෙන්. සත්‍ය වශයෙන්ම මෙහි සිදු ව ඇත්තේ කුමක්ද යන්න පිළිබඳ කරුණු පරීක්ෂාව පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

Samanthi Rajapakse යන අයෙකු විසින් පළකර තිබු ඡායාරුපයක තේමාව තුළින් හඟවා තිබුනේ රඹුක්කන පොලීසියට අයත් පොලිස් ජීප් රථයක, පොලිසිය යන වචනය සඳහා වැරදි ඉංග්‍රීසි අක්ෂර යොදා තිබු බවක්.

My gosh who wrote this

"RABUKKANA POLISH" not police

රඹුක්කන පොලිෂ්. ඕක හරියට ලියා ගන්න බැරි ශ්‍රී ලංකා පොලීසිය.

Facebook | Archived

මෙරට පොලීසිය ජීප් රථවල නිල් පැහැයට හුරු එම ජීප් රථයේ තිබූ විශේෂත්වය නම් එය ‘Police Rambukkana’ වෙනුවට ‘Polish Rabukkana’ ලෙස සටහන් කර තිබීමයි

මෙම ඡායාරූපය Sri Lankan Modified Vehicle Club ෆේස්බුක් සමූහයේද දක්වා තිබුණේ මෙලෙසින්. එමෙන්ම රඹුක්කන පොලිෂ්, ෆුල් පොලිෂ් යනුවෙන්ද ෆේස්බුක් ගිණුමක දක්වා තිබුණේ මෙලෙසින්.

Archived Link | Archived Link

මේ ආකාරයේ සමාජ මාධ්‍ය සටහන් රැසක දක්වා තිබු මෙම ඡායාරුපය සමඟ යොදා තිබු සටහන් තුළින් අදහස් කර තිබුනේ, Police වෙනුවට වැරදීමකින් Polish ලෙස සඳහන් කර ඇති බවක්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම පොලිස් ජීප් රථයේ ඉංග්‍රීසි අක්ෂර භාවිතය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තුමේන්තුවට සමාජ මාධ්‍ය පරිශීලකයින් කිහිපදෙනෙක්ම චෝදනා එල්ල කර තිබු අතර සත්‍ය වශයෙන්ම පොලීසිය විසින් සිදු කළ අත්වැරදීමක් බවට බොහෝ පිරිස් නොමග ගොස් තිබුණා. ඒ බවට එම සටහන් වලට ෆේස්බුක් පරිශීලකයින් විසින් දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී ගියේ මෙලෙසින්.

මෙයට හේතුව මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායාරුපය සත්‍ය වශයෙන් ම පොලිසිය විසින් භාවිතා කරනු ලබන වර්ගයේ ජීප් රථයක ආකාරයේ වීමයි.

Flickr

මෙම ඡායාරූපය සම්බන්ධයෙන් ජනතාව මෙලෙසින් උපහාසාත්මක කෝණයෙන් ප්‍රතිචාර දක්වද්දී පොලිස් මාධ්‍ය අංශය විසින් ද ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍ය නිවේදනයක් ඊයේ (ජුලි 29) නිකුත් කරනු ලැබුවා.

POLISH, RABUKKANA යනුවෙන් සඳහන් කරමින් පොලිස් ජීප් රථයක් ලෙසට මහජනතාවට අවබෝධ වන පරිදි මාර්ගයේ ධාවනය කරමින් සිටි මෙම ජීප් රථය රඹුක්කන පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලීසියට අයත් ජීප් රථයක් නොවන බව එමඟින් අවධාරණය කර තිබුණා.

වාරියපොළ ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් ඔහුට අයත් ජීප් රථයක් මෙලෙස ජනතාව මුලා කිරීම සඳහා ධාවනය කර ඇති අතර අදාළ සැකකරු පසුගිය අප්‍රේල් 10 වන දින (මීට මාස තුනකටත් පෙර) රඹුක්කන පොලිස් නිලධාරීන් විසින් වාරියපොළදී අත්අඩංගුවට ගෙන තිබු අතර පසුව ඇප මත මුදා හැර ඇති බවද එම නිවේදනයේ සඳහන්.

මාස 3කට පෙර වාර්තා වූ එම සිදුවීමට සම්බන්ධ වාහනයේ ඡායාරූපයක් ජනතාව නොමග යෑවීම සඳහා මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම මාධ්‍ය නිවේදනය පහතින්.

එම මාධ්‍ය නිවේදනය උපුටා දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා ද එම පුවත වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

කෙසේ වුවද මේ පිලිබඳ මීට මාස තුනකට පෙර සිදුවීම මාධ්‍ය ඔස්සේ වාර්තා වී තිබෙනු අපට දැක ගැනීමට නොලැබුණු බැවින් මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබා ගැනීමට අප රඹුක්කන සහ වාරියපොළ පොලිස් ස්ථාන මඟින් මේ පිළිබඳ විමසා සිටියා.

මෙම සිදුවීම සනාථ කරමින් රඹුක්කන පොලිසිය පවසා සිටියේ මෙම වාහනයද පොලිස් රැඳවුම් භාරයේ තියා ගත් බවත් වැඩිදුර කටයුතු සියල්ල වාරියපොළ පොලිසිය විසින් සිදුවූ බවත්ය.

අප මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිස් ස්ථානාධිපතිගෙන් ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, ඉහත සිද්ධියට පසුගිය අප්‍රේල් මාසයේ දී අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා උසාවියට ඉදිරිපත් කළ බවත් එහිදී ඇප මත මුදා හැරිය බවත්ය. මෙම වාහනය සත්‍ය වශයෙන්ම මීට පෙර පොලිසියේ වාහනයක් බවත් අදාළ පුද්ගලයා පොලිස් වෙන්දේසියකදී මෙම වාහනය ලබාගෙන තිබූ බව ද ස්ථානාධිපතිතුමා පැහැදිලි කර සිටියා.

එසේම ඇප මත මුදා හැරීමෙන් පසු ඉදිරි නඩු වාර සඳහා කැඳවීමේදී නඩු භාණ්ඩ වෙනස් නොකර ඒ ආකාරයටම තිබිය යුතුයි යන කාරණය මත ඉහත සිදුවීමට අදාළ වාහනය ද එම පුද්ගලයා වෙත මුදා හැර තිබූ බවත් පවසා සිටියා. ඒ අනුව මේ දිනවල හුවමාරු වන ඡායාරුපය බොහෝ දුරට මෑතක දී ලබාගත් ඡායාරුපයක් ද විය හැක.

එසේම වාරියපොළ පොලිස් ස්ථානාධිපතිතුමා පවසා සිටියේ මෙහි වර්ණය වෙනස් කිරීම හෝ මේ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් අධිකරණය මඟින් ලබාගත යුතු බවත් මෙම නඩුව තවදුරටත් ක්‍රියාත්මක වන බවත්ය.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයට අනුව පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ Polish Rabukkana’ ලෙස සඳහන් කළ පොලිස් ජීප් රථයක් බවට හැඟවෙන ඡායාරූපයේ දැක්වෙන්නේ රඹුක්කන පොලිස් ස්ථානයට හෝ ශ්‍රී ලංකා පොලීසියට මේ වන විට අයත් ජීප් රථයක් නොවන බවයි. වාරියපොළ ප්‍රදේශයේ වාහන අලෙවි කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන පුද්ගලයෙකු විසින් පොලිස් වෙන්දේසියකින් ලබාගත් ජීප් රථයක මෙසේ “POLISH” යන අක්ෂර යොදාගනිමින් ජනතාව මුලා කිරීමට කටයුතු කර තිබේ.

Avatar

Title:‘Polish Rabukkana’ රඹුක්කන පොලීසියට අයත් ජීප් රථයක්ද?

Fact Check By: Sara Gunaratne

Result: Misleading