ගුරු-විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය දිනවල දියත් කෙරුණු උද්ඝෝෂණ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මති මතාන්තර පළ වෙද්දී ඇතමුන් ව්‍යාජ පුවත් ඔස්සේ සමාජයට වැරදි අවබෝධයක් ලබා දීමට කටයුතු කරනු අපට දැක ගන්නට ලැබුණා. මේ සඳහා පුවත් සංස්කරණයන් ද යොදා ගෙන තිබුණු අතර තවත් එවැනි සටහන් පෙළක් පිළිබඳව අප කළ කරුණු පරීක්ෂාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

සමෝනිම් නම් ෆේස්බුක් පිටුවේ “ස්කන්දය දිරණවා ආආආආතල් ඉතුරුවෙනවා” යනුවෙන් සඳහන් කරමින් පුවත් පතක පළ වූ ලිපියක ඡායාරූපයක් බවට හඟවමින් ඡායාරූප සටහනක් පළ කර තිබුණා.

“ලංකාදීප” පුවත්පතේ “දෙයියෝ සාක්කි” විශේෂාංගයේ පළ වූ ලිපියක් බවට මෙයින් හඟවා තිබුණා. එම සටහන පහතින්.

“පසුගිය දිනක උද්ඝෝෂණයකට සහභාගී වන බව පවසා නිවසින් පැමිණි සුරූපි තරුණ ගුරුවරියක් ලැඟුම්හලක සිට හසුවී ඇති පුවතක් කොලොන්න ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැනගන්නට ඇති අන්දමට එම සිද්ධියට සම්බන්ධ ගුරුවරිය විසින් උදෑසන පිටවී ඇති අතර ඇයගේ ජංගම දුරකථන විසන්දි කරගෙන සිට ඇත. උද්ඝෝෂණ වලට විශාල පිරිසක් සහභාගී වීම නිසා බියෙන් සලිතයට පත් ඇගේ සැමියා ඇයව දිගින් දිගටම සම්බන්ධකර ගැනීමට තැත් කළත් නොහැකි වී ඇත. පසුව ඇගේ මිතුරියගෙන් විමසූවත් යහපත් ප්‍රතිචාර නොලැබුණු නිසා සැමියා විසින් සිය යහලුවන් සමග එක්වී තොරතුරක් සෙවීමට පටන් ගෙන ඇත.

ඔවුන්ට ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂා කිරීමේදී ඇයව ලැඟුම්වලක තවත් ගුරුවරයෙක් සමග සිටියදී සොයාගෙන ඇත. එම ගුරුවරයා මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.”


Facebook | Archived Link

එමෙන්ම මෙම සටහන සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් ෆේස්බුක් පිටු සහ පුද්ගලයන් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්.

Archived Link | Archived Link| Archived Link

එමෙන්ම Sadali Anutthara Rajapahksha II නමැති ෆෙස්බුක් ගිණුමක පළවූ සටහනක දැක්වුණේ,

“ලැගුම් හලට ගිය ගුරුවරිය සැමියාට එරෙහිව පොලිසියට

පසුගිය දිනක ගුරුවරුන් සහ විදුහල්පති වරුන්ගේ උද්ගෝෂණයට සහභාගි වෙන බව පවසමින් ලැගුම් හලකය ගොස් තම සැමියාට හසුවූ අනියම් සඹඳතාවක් පැවතු බවට චොදනා එල්ල වු ගුරු යුවලේ ගුරුවරිය අද දින සිය නීත්‍යානුකූල සැමියාට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇත.

තමන් ගුරුවරයෙක් සමග ලැගුම් හලකට ගිය බවට සැක කරමින් තම සැමියා පිරිසක් සමග පැමිණ උද්ගෝෂණයට ගොස් එමින් සිටියදි තමන් සහ තම කාර්‍යයමන්ඩලයේ සේවය කරන ගුරුවරයෙක් ලැගුම් හලක් සහිත හෝටලයක අවන්හලේ ආහාර ගනිමින් සිටියදි තමාට සහ තම පාසල් කාර්‍යමන්ඩලයේ ගුරුවරයාට අමානුෂික ලෙස පහර දුන් බවටත් ඉන් අනතුරුව බලහත් කාරයෙන් මෝටර් රථයකට දමාගෙන තමා නිවසට ගෙන ගොස් කාමරයට දාම වසා තබා නිරාහාරව තැබූ බවටත් නැවත පසු දින කාමරයෙන් එලියට ගෙන තමාට අමානුෂික ලෙස පහර දි නිවසෙන් පන්නා දැමූ බවත් එමනිසා තව දුරටත් තමන් හට සිය සැමියා සමග පවුල් කෑමට නොහැකි බව ඇය පොලීසියේ පැමිණිලි කර ඇත

ගුරුවරියට අමානුෂික ලෙස පහරදුන් සැමියා මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

පහරකෑමට ලක්වු ගුරුවරිය රෝහල් ගත කිරීමට පොලීසිය කටයුතු කර ඇත

එම පහර කෑමට ලක්වු ගුරුවරියගෙ බව පවසන ඡායාරුප පෙලක් සමාජ මාධ්‍ය ජාල හරහා මේ දින වල සංසරණය වෙමින් පවතින අතර පොලීසිය පවසන්නෙ එම ඡායාරූප වල සිටින තැනැත්තිය එම ගුරුවරියම බවට තහවුරු කරගත නොහැකි ලෙස එම චායාරුප වෙනස් කර ඇති බවය”

එම සටහන පහතින්.

Facebook | Archived Link

ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන ඔශානි උමංගා හපුආරච්චි මහත්මියගේ ඡායාරූපයක් මෙම සටහනට යොදා ගෙන තිබුණා.

එමෙන්ම මීට පෙර අවස්ථා ගණනාවක දී අසත්‍ය පුවත් පළකර තිබූ lankalives.com නම් වෙබ් අඩවියේද මේ සම්බන්ධයෙන් වාර්තාවක් පළ වුණේ මෙලෙසින්.

Archived Link

ලංකාදීප වාර්තාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන මෙම පුවත් සටහන් වල දක්වා තිබෙන්නේ සත්‍ය කරුණක් ද යන්න අප විමසීමක් කරනු ලැබුවා.

Also Read : ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

‘ලංකාදීප’ පුවත්පතේ ‘දෙයියෝ සාක්කි’ විශේෂාංගයේ පළවූ පුවතක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ සැබවින්ම එම පුවත් විශේෂාංගයේ පළ වී තිබුණාද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

එම අවස්ථාවේදී ඉහත සටහන සඳහා උපයෝගී කර ගෙන තිබූ චිත්‍රරූපය පසුගිය ජූනි මස 19 වන දා ලංකාදීප පුවත් වෙබ් අඩවියේ ‘දෙයියෝ සාක්කි’ විශේෂාංගයේ පළ වූ “පියා පුතාගෙ කසාදෙට නැකැත් බලනකොට පුතා පෙලවහක” යනුවෙන් සඳහන් ශීර්ෂ පාඨය රැගත් මීරිගම, පුෂ්පකුමාර මල්ලවආරච්චි මහතා විසින් ලියූ ලිපියකි. එම ලිපිය පහතින්.

lankadeepa | Archived Link

මෙම ඡායාරූපය ‘ලංකාදීප’ පුවත්පතේ කාටූන ශිල්පී සමන් කුමාර විසින් විචිත්‍රවත් කරන ලද ඡායාරූපයක්.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ පුවත් ලිපියේ හා සත්‍ය පුවත් ලිපියේ ඡායාරූප සංසන්දනය පහතින්.

එමෙන්ම ලංකාදීප පුවත්පතේ මෙම චිත්‍රරූපය රැගත් ඉහත සත්‍ය පුවත පළ වී ඇත්දැයි අපගේ අවධානය යොමු වූ අතර පසුගිය ජූනි 19 වන සෙනසුරාදා ‘ශනිදා සාදය’ විශේෂාංගයේ ඉහත පුවත පළ වී තිබූ අතර ඒ සඳහා උපයෝගී කරගෙන තිබුණේ වෙනත් ඡායාරූපයක්.

Archived Link

එබැවින් ලංකාදීප පුවත්පතේ මෙවන් පුවතක් පළ වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා අප එහි දේශීය පුවත් කතෘවරයාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කළේ, මෙවන් පුවතක් ලංකාදීප පුවත්පතේ සහ එහි වෙබ් අඩවියේද පළ වී නොතිබුණු බවයි.

මෙය ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ ඡායාරූපයක් උපයෝගී කොටගෙන ව්‍යාජ ලෙස සැකසූවක් බව ඒ මහතා තහවුරු කළ අතර ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවේ ඇත්තේ ලංකාදීප වාර්තා සඳහා යොදා ගන්නා අක්ෂර සහ ආකෘතිය නොවන බවත් තහවුරු කළා.

ව්‍යාජ ලෙස සැකසූ පුවත් වාර්තාවේ දක්වා තිබූ මාධ්‍යවේදී අයගම ඩබ්ලිව්.ජි. විජේතුංග මහතා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙක් බවත් ලංකාදීප දේශීය පුවත් කතෘ මාර්ගයෙන් ඩබ්ලිව්.ජි. විජේතුංග මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා තහවුරු කළේද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ලිපිය තමන් විසින් ලියූ වාර්තාවක් නොවන බවයි.

එමෙන්ම අප ප්‍රධාන මාධ්‍ය ධාරාවල හෝ මෙවැනි පුවතක් පළ වී ඇත්දැයි නිරීක්ෂණය කළ අතර ප්‍රධාන මාධ්‍ය ධාරා වල මෙවැනි පුවතක් පළ වී නොතිබුණි.

එමෙන්ම මෙම පුවත හා සබැඳිව ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන ඔශානි උමංගා හපුආරච්චි මහත්මියගේ ඡායාරූපයක් යොදා ගනිමින් ඉහත ව්‍යාජ ලෙස සැකසූ වාර්තා වල සඳහන් ගුරුතුමිය බවට දක්වමින් පළ වූ ඡායාරූප හේතුවෙන් අප ඒ මහත්මියගෙන්ද විමසීමක් සිදු කළා.

තමන් ගුරු වෘත්තියේ නියලෙන්නේ නැති බවත්, තමන් ව්‍යවසායිකාවක් ලෙස කටයුතු කරන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ලැගුම් හලට ගිය ගුරුවරියක් සම්බන්ධයෙන් පළ වන සටහන් වලට තමාගේ ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ ඡායාරූපයක් භාවිතා කර අපහාස කිරීමට විවිධ පිරිස් කටයුතු කර ඇති බවත් පවසා සිටියා.

කිසිදු අවස්ථාවක ගුරු උද්ඝෝෂණයට සහාය වීමට උද්ඝෝෂණයට නොගිය බවද අප උද්ඝෝෂණය සම්බන්ධයෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළා. මේ ආකාරයට තමාගේ ඡායාරුප අවභාවිතා කරමින් මීට පෙර ද අවස්ථා කිහිපයක දී ව්‍යාජ පුවත් නිර්මාණය වී තිබු බව ද පවසා සිටියා.

Also Read : FACT CHECK: ආන්දෝලනාත්මක වීඩියෝ පටයේ සිටින කාන්තාව ඔශානි උමංගා ද?

ගුරු උද්ඝෝෂණයට පැමිණි ගුරුවරයෙක් වෙනත් ගුරුවරියක් සමග ලැඟුම් හළක සිට හසුවූ බවට ඊයේ (06) දින සිට අසත්‍ය පුවතක්, ප්‍රධාන පුවත්වල පළ වූ බවට සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර ‘අද’ පුවත් පතේ පළ වූ බව හඟවමින් පළවූ වාර්තාවද ව්‍යාජ බවට එම පුවත් පත තහවුරු කළ අතර ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

FACT CHECK: ගුරු වර්ජනයට ගෙදරින් ආ ගුරුවරිය ගුරුවරයෙකු සමග ලැගුම් හලක සිට සැමියාට අසුවූ බවට පුවත් පත් ලිපියක්?

එමෙන්ම ඊයේ දිනයේදී ගම්පහ ප්‍රදේශයෙන් මෙම පුවත වාර්තා වූ බවට එම ව්‍යාජ ලෙස සැකසූ වාර්තාවේ දැක්වූණු අතර ලංකාදීප පුවත් ආකෘතියක් යොදාගෙන සිදුවූ සංස්කරණයේ එම පුවත වාර්තා කර තිබුණේ සබරගමු පළාතේ කොළොන්න ප්‍රදේශයෙන් වාර්තා වන පුවතක් ලෙසිනි.

ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් දෙකකම මෙම සිදුවීම වාර්තා කළ බවට දැක්වීමට මෙලෙස ව්‍යාජ වාර්තාවන් සත්‍ය පුවත්පත් ආකෘතියට සමාන ලෙස නිර්මාණය කර ඇති බව දැකගනන්ට ලැබෙනවා.

තව ද ගුරු - විදුහල්පති වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය දින කිහිපයේම දිවයින පුරා උද්ඝෝෂණ ක්‍රියාත්මක වූ අතර රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගුරු – විදුහල්පති වැටුප් විෂමතාවයට එරෙහිව මහනුවර සිට කොළඹට ආරම්භ කළ විරෝධතා පාගමන තාවකාලිකව අත්හිටවූ බවට ජාතික එකමුතුවේ කැඳවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ මෙලෙසින්. ඒ බවට පළ වූ පුවත් වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

මේ අනුව Factcresendo අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ ලංකාදීප පුවත්පතේ “දෙයියෝ සාක්කි” විශේෂාංගයේ පළ වූ ලිපියක් බවට හුවා දක්වමින් ජනාතව නොමග යැවීම සඳහා “දෙයියෝ සාක්කි” විශේෂාංග කොටස යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පළ වූ ලිපියක චිත්‍රයක් යොදා ගෙන තිබු බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ව්‍යාජ ලිපියේ සඳහන් කර තිබූ මාධ්‍යවේදී ඩබ්ලිව්.ජි. විජේතුංග මහතාද තහවුරු කළේ තමන් එවැනි වාර්තාවක් ලංකාදීප පුවත්පතේ හෝ වෙනත් කිසිඳු පුවත්පතක හෝ වෙබ් අඩවියක හෝ පළකර තිබුනේ නැති බවයි.

එමෙන්ම එම ව්‍යාජ ලෙස නිර්මාණය කළ පුවතේ ගුරුවරිය වන්නේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරිනියක වන අන්ජනා ඔශානි මහත්මිය බව හැඟවෙන අයුරින් නිර්මාණය කර තිබුණේ ද අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් පෙළකි.

Avatar

Title:ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි විශේෂාංගයේ පළ වූ ලිපියක්ද?

Fact Check By: Sara Gunaratne

Result: False