ඩිජිටල් තාක්ෂණයේ දියුණුවත් සමගම බැංකුකරණය සාම්ප්‍රදායික ක්‍රම වලින් ඉවත්වී නව මංමාවත් සොයා ගියා. එහි එක් සුවිශේෂී පියවරක් ලෙස ස්වයංක්‍රීය මුදල් හුවමාරුකරණ යන්ත්‍ර (ATM) භාවිතය සඳහා ජනතාව හුරුවීම සැලකිය හැකියි. ATM යන්ත්‍ර පදනම් කරගනිමින් සමාජ ජාලාවල පැතිරුණු අසත්‍ය සටහනක් සම්බන්ධයෙන් අප සිදුකළ ගවේෂණයකුයි මේ.

සමාජ ජාලා සටහන් :

දැනට දින කිහිපයකට පෙර ෆේස්බුක් සමූහයකට එක්කර තිබුණු සටහනකුයි මේ.

එහි සඳහන් කර ඇත්තේ ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී මංකොල්ලකරුවන්ට හසුවුවහොත් ගතයුතු පියවරයන් සම්බන්ධයෙනුයි.

“මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදු වුවහොත්?
ATM යන්ත්‍රයකින් මුදල් හුවමාරු කරන අවස්ථාවකදී යම් කෙනෙක් ඔබට

රහස් අංකය ඇතුල් කරන ලෙස තර්ජනය කරන විට,
(*) ඔබගේ රහස් අංකය 1234 නම්., 4321 ලෙස ඇතුල් කරන්න.
එහිදී,
ඉල්ලුම් කරන මුදලෙන් අඩක් පමණක් ගැනීමට හැකි වන අතර
ළඟම ඇති පොලිස් ස්ථානයට ස්වයංක්‍රීයව දුරකථන ඇමතුමක්ද යැවේ.
*ලංකාවෙ බැංකු සියල්ලකම පාහේ මෙම පහසුකම ඇත
මිතුරන් දැනුවත් කරන්න.”

Facebook | Archived

කෙසේ වෙතත් මීට බොහෝ සෙයින් සමාන සටහනක් මීට වසර ගණනාවකට පෙර සිටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර පැවතියේ මෙලෙසයි.

Facebook| Archived

මේ සටහන් ෆේස්බුක් අවකාශය පුරා පැතිර තිබුණේ මේ ආකාරයෙනුයි.

බොහෝ දෙනෙකුගෙන් ලැබුණු ඉල්ලීම් නිසා මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම.)

මුලින්ම අප මෙවන් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් ලංකාවේ හෝ විදේශීය ප්‍රධාන ධාරාවේ මාධ්‍යක සිදු කළ ඇත්දැයි විමසා බැලුවා. එහිදී මෙවැනි ආකාරයේ බැංකු ආරක්ෂක වැඩපිළිවෙලක් පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍යන්හි කරුණු සඳහන්ව නැති බව අනාවරණය වුණා.

ශ්‍රී ලංකා පොලිසිය

මෙම ඇතැම් සටහන්වල ශ්‍රී ලංකා පොලීසිය විසින් පළ කළ දැනුවත් කිරීමක් බවට හඟවා තිබුණ බැවින් සහ මෙවැනි අවස්ථාවකදී ළඟම ඇති පොලිස් ස්ථානය වෙත ස්වයංක්‍රීය පණිවිඩයක් ලැබෙනවාද යන්න සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප පොලිස් මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.

එහිදී පොලීසිය පැවසුවේ, මෙය අසත්‍ය සහගත නොමග යවන සුළු සටහනක් බවයි. එමෙන්ම මෙවැනි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවයි.

LankaClear ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන චන්න ද සිල්වා

අප මෙරට ATM තුළ මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවාද යන්න විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක LankaPay හි ක්‍රියාකරු වශයෙන් ක්‍රියාත්මක වන LankaClear ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී වන චන්න ද සිල්වා මහතාගෙන් අප විමසීමක් කළා. ඒ මහතා සඳහන් කළේ, එවන් ක්‍රියාපටිපාටියක් මෙරට සිදු නොවන අතර එවන් මංකොල්ලයක් සිදු වූ වහාම පොලීසිය දැනුවත් කිරීම පමණක් කළ හැකි බවයි. එසේ නොමැතිව රහසත්‍ය අංකය, පිටුපස සිට ඉදිරියට යෙදීමෙන් කිසිදු ක්‍රියාවක් සිදු නොවන අතර ATM කාඩ් පත අවහිර වීමක් පමණක් සිදු වන බවයි. කිසිදු නාඳුනන පුද්ගලයෙක්ට ATM කාඩ් පත සහ රහස්‍ය අංකය ලබා දීමෙන් වැළකෙන ලෙසත්, ඔබ භාවිතා කරන ATM  යන්ත්‍රය අසල නොයෙකුත් වංචනයකයින් සැරිසැරීමට ඉඩ ඇති බැවින් බැංකු කළමණාකරුවන් ලෙස හඳුන්වමින් ඔබේ කාඩ්පත පරීක්ෂා කිරීමට අවැසි බව සඳහන් කරමින් රහස්‍ය අංකයද ඉල්ලා ඇති බවටත් එලෙස වංචනකයින්ට හසුවූ පුද්ගලයන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවත්  ඔබගේ ATM කාඩ් පත සහ රහස්‍ය අංකය වෙනත් අයකු අතට පත්වීමට නොහැකි වන සේ ආරක්ෂා කර ගැනීම කළයුතු බවත් සඳහන් කළා.

ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) ආශ්‍රිත අපරාධ වලින් ආරක්ෂා වීමට උපකාර වන ආරක්ෂක උපදෙස් කිහිපයක් පහත දැක්වේ.

https://youtu.be/mxBh8Nl85Yw

ඉන් අනතුරුව මෙවැනි සමාජ ජාලා සටහන් බිහිවීම සම්බන්ධයෙන් පසුබිම්වූ කරුණු විමසා බැලීමටද අපගේ අවධානය යොමු වුණා.

Reverse PIN සංකල්පයේ මුලාරම්භය

1994 දී ජෝෂප් ෂිංගර්(Joshep Zinger) නම් ඇමෙරිකානු නීතීඥවරයෙකු විසින් මෙවැනි රහසිගත අංක (PIN numbers) සම්බන්ධ ආරක්ෂිත බැංකු ආරක්ෂණ පද්ධතිය හා සම්බන්ධවූ සංකල්පයක් ඉදිරිපත් කර ඒ සම්බන්ධව පේටන්ට් බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. ඔහු ඉදිරිපත් කළ ආරක්ෂක පද්ධතිය හා සම්බන්ධව Reverse PIN සංකල්පය ඇතුළත්ව තිබුණා . මේ පිළිබදව තොරතුරු ලබාගැනීම මෙතනින්. Archived.

කෙසේ වෙතත්, 2000 වසරේදී මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති කිරීමට ඇමරිකානු ප්‍රාන්ත කිහිපයක බලධාරීන් උත්සාහ කළත් එය සාර්ථක වූයේ නැහැ. ෂිංගර් ඉදිරිපත් කළ මෙම ක්‍රමය වෙත බැංකු සහ මූල්‍ය ආයතනවලින් එතරම් හොද ප්‍රතිචාරයක් ඉදිරිපත්ව තිබුණේ නැහැ.

ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ, මෙම Reverse PIN සංකල්පයේ ප්‍රධාන දුබලතා කිහිපයක් ඇති බවත්, එය වඩාත් වියදම් අධික ක්‍රමවේදයක් වන බවයි. ඊට අමතරව එහි කාර්‍යක්ෂමතාව පිළිබද ගැටලුද පවතින අතර ඇතැම් අවස්ථාවල මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගැනීමේදී මංකොල්ල කරුවන් ද මේ සම්බන්ධයෙන් දැනුවත් වී ඇති බැවින් කිසිදු සංඥාවක් නොහඟවා පොලීසියට මේ පිළිබඳව දැනුවත් වීමක් සිදු වූවත්, ඒ පිළිබඳ දැනුවත් වූ මංකොල්ලකරුවන් අදාළ පුද්ගලයන්ගේ ජීවිත වලටද හානි කිරීමට හැකි වන බවත්, පොලීසියට පණිවිඩය ලැබුණු වහාම ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පොලීසිය පැමිණීමේදී මංකොල්ල කරුවන් පළාගොස් අවසන් බවත් සඳහන්. මෙය ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමට අපහසු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

2010 වසරේදී US Federal Trade Commission මේ පිළිබදව අවසාන නිගමනයකට එළඹෙමින් පැවසුයේ මෙම යෝජිත ක්‍රමය තුළ ප්‍රායෝගික වටිනාකමක් නොමැති බවයි. මේ පිළිබද වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින් | Archived.

Update:

මේ අතර, එක්සත් ජනපදයේ නීතිවේදියෙකු වන ජෝ සින්ගර් අපට විද්‍යුත් තැපෑලක් හරහා ප්‍රතිචාර දැක්වූ අතර ඉහත දක්වා තිබෙන ඔහුගේ ප්‍රතිවිරුද්ධ ලෙස PIN කේත යොදාගැනීම පිලිබඳ පද්ධතියට අදාළ පැහැදිලි කිරීමක් කළේය.

ඔහුගේ උපන් ප්‍රාන්තය වන ඉලිනොයිස්හි පොලිස් ප්‍රධානීන් විසින් ප්‍රාන්තයේ සියලුම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවල පද්ධතිය අනිවාර්ය කිරීමට වසර දෙකක පමණ කාලයක් 2003 කාලයේ දී උත්සාහ කල බව ඔහු පැවසිය.

එසේම ඔහුගේ නිපැයුම් පද්ධතිය හා සම්බන්ධ අධික පිරිවැය පිළිබඳ බොහෝ වාර්තාවලට පටහැනිව Zingher පවසන්නේ ඔහුගේ නිපැයුම ක්‍රියාත්මක කිරීමට එතරම් වියදමක් දැරීමට සිදු නොවන අතර සරල මෘදුකාංග වැඩිදියුණු කිරීමක් පමණක් අවශ්‍ය වන බවත්, එය සිදුකළ කළ පසු අමතර එකතු කිරීම් අවශ්‍ය නොවන බවයි. ඔහු ඇස්තමේන්තු කරන්නේ එක්සත් ජනපදයේ ATM යන්ත්‍ර 400,000ක පමණ මෙම පද්ධතිය ස්ථාපනය කිරීමට ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10ක් වැය වනු ඇති බවයි.

ගනුදෙනුකරුගේ සහ අපරාධකරුගේ දෘෂ්ටිකෝණයෙන්, ඔහුගේ යෝජිත ක්‍රමය, සාමාන්‍ය ගනුදෙනුවක් මෙන් පෙනෙන පරිදි නිර්මාණය කර ඇති බවත්, එම පද්ධතිය පාරිභෝගිකයාට ආරක්ෂිත බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක අංශ වෙත දැනුම්දීම මෙම යෝජිත ක්‍රමය ඔස්සේ රහසිගතව සිදු කෙරෙන බවත් එමඟින් හදිසි පහර දීමක් වැනි අවස්ථාවක දී වින්දිතයාට වෛද්‍ය ප්‍රතිකාර ඉතා වේගයෙන් ලැබෙනු ඇති බවත් සින්ගර් පැහැදිලි කළේය.

Zingher ට අනුව, පද්ධතියට සැබෑ විරුද්ධත්වය පැමිණෙන්නේ බැංකු කර්මාන්තයෙන් වන අතර බැංකු කර්මාන්තයේ ව්‍යාපාර ආකෘතිය ATM යන්ත්‍ර අසල අහිංසක වින්දිතයින්ට සිදුවන අපහසුතා මෙන්ම ඇතැම් අවස්ථාවල දී ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවන අවස්ථා පිලිබඳ තොරතුරු සහ දත්ත මහජනතාව වෙත ලැබීම වසන් කෙරනවා.

තම නිර්මාණය ඔස්සේ ATM යන්ත්‍ර ආශ්‍රිත අපරාධ අවම කිරීමට පොලිසියට සහ පොළඹවන්නන්ට උපකාර කළ හැකි බවත් සින්ගර් පැහැදිලි කර සිටියා

මේ පිලිබඳ අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් මේ පිළිබදව සිදු කරන ලද කරුණු විමසීමේදී හෙළිවූයේ Reverse PIN ආරක්ෂණ ක්‍රමවේදය මෙතෙක් ලෝකයේ කිසිදු රටක ක්‍රියාත්මක නොවන අතර පේටන්ට් බලපත්‍රය හිමි හුදු සංකල්පයක් ලෙස පවතින බැංකු ආරක්ෂණ ක්‍රමවේදයක් පමණක් වන බවයි. මෙරටදීද මෙලෙස ආරක්ෂණ ක්‍රමවේදයක් නොමැති බවට පොලීසිය තහවුරු කරනු ලබයි. ලංකාවේ සෑම බැංකුවක් මගින්ම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවට පළව ඇති සටහන් මුලුමනින්ම අසත්‍ය සහ නොමග යවන සුලුවේ.

Avatar

Title:ATM යන්ත්‍රයකින් මුදල් ලබාගැනීමේදී මංකොල්ලකරුවන්ට හසුවුවහොත් PIN අංකය ආපස්සට(Reverse) ඇතුල් කර පොලීසිය දැනුවත් කළ හැකිද?

Fact Check By: Kalana Krishantha

Result: False