2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ විසින් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා ප්‍රචාරණ ඒජන්සියක් හරහා කටයුතු කිරීමට සූදානම් යෝජනා පත්‍රයක් හෙළි වී ඇති බවට දක්වමින්, මෙම යෝජනා පත්‍රය හරහා ප්‍රසිද්ධ චරිත මෙන්ම ප්‍රධාන මාධ්‍ය ධාරා ද සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාරය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ෆේස්බුක් සටහනක් ඔස්සේ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

බිලියන අටක් තියෙන පක්ෂෙට කෝටි පහක කැම්පේන් එකක් කියන්නේ සුලු දෙයක්. අනුර කුමාර කොහෙන්ද මනුස්සයෝ මෙච්චර සල්ලි? වෙබ් නිව්ස් එකේ ෆොටෝස් බලන්න” යනුවෙන් සඳහන් කරමින් LankaMAG වෙබ් අඩවිය විසින් සබැඳියක් ෆේස්බුක් සටහනකින් පළකර තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link Facebook | Archived Link

සමාජ මාධ්‍යයේ අනුර පුම්බන්න ජවිපෙ කෝටි පහක් වියදම් කරලා – සාක්ෂිත් සමගම කැම්පේන් විස්තර එළියට” යන තේමාවෙන් පළවූ එම සම්පුර්ණ වාර්තාව මෙලෙසින්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපය උදෙසා ප්‍රවර්ධන ආයතනයක් විසින් ජනතා විමුක්ති පෙරමුණෙන් මුදල් ලබා සිදුකරන ප්‍රචාරණ ව්‍යාපෘතියක අයවැය ලේඛනයක් සමාජජාලා මාධ්‍යයට නිකුත් වී තිබේ.

‘අලුත් මාවතකට හැරෙමු’ නමින් නම් කර ඇති මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය දිවයිනේ ප්‍රකට එමෙන්ම, ජනතා විමුක්ති පෙරමුණ සමග සමීපව කටයුතු කරනා “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය විසින් මෙහෙයවයි.

එහිදි එම ආයතනය විසින් ලබා දුන් යෝජනාවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන පනහකි (කෝටි පහකි). එහිදි ජනතා විමුක්ති පෙරමුණ විසින් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙරම 50%ක අත්තිවාරම් මුදලක් එනම් කෝටි දෙක හමාරක මුදලක් මෙම ප්‍රචාරණ ඒජන්සිය වෙත ගෙවා තිබේ.

මෙහිදි මෙම ව්‍යාපෘතිය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය වල වැඩසටහන් අනුර කුමාර දිසානායකට වෙන් කිරීමටත් “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය එකඟ වී තිබේ. සාමාන්‍යයෙන් මෙම වැඩසටහන් වල ආරාධිතයන් තීරණය කරන්නෙ එහි නිෂ්පාදකවරයා අතර, ඔහුට හෝ ආයතනයේ මාකටිං අංශයට සෘජුවම මුදල් ගෙවා මෙම වැඩසටහන් ලබා ගැනීමේ හැකියාව පවති.

තවද ‘Talk With Chamuditha’ , ”Suda Creation” වැනි ජනප්‍රිය යූටියුබ් නාළිකාද මෙම කැම්පේන් ව්‍යාපෘතිය සඳහා යොදාගැනීමට ප්‍රචාරණ ඒජන්සිය යෝජනා කර තිබේ. එම යූටියුබ් නාළිකා වල වැඩසටහන් ඕනෑම පුරවැසියෙකුට මුදල් ගෙවා මිලට ගැනීමේ හැකියාව පවති.

තවද ජනප්‍රිය ෆේස්බුක් පිටු, වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක් ගිණුම්ද අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිරූපය නංවන මෙම ප්‍රචාරණ වැඩපිළිවෙලට යොදා ගැනීමට “Ogilvy Digital” ආයතනය යෝජනා කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ “Tik Tok” සමාජජාලා මාධ්‍යයේද මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය සිදු කිරීමයි. මින්පෙර කිසිඳු දේශපාලන පක්ෂයක් ‘Tik Tok’ මාධ්‍යය දේශපාලන ප්‍රචාරණ ව්‍යාපෘතීන්ට භාවිතා කළේ නැත. එය ඉතා නිර්මාණශීලි උපක්‍රමයක් වන්නේ මීළග මැතිවරණයක මුල්ම ඡන්දය හිමි තරුණ පිරිස අතර “Tik Tok” සමාජජාලා මාධ්‍යය අතිශය ජනප්‍රිය වීම හේතුවෙනි.

තවද ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයේ පළ කිරීම් “අසත්‍යය” යැයි ලයිස්තුගත කිරීමට බලය හිමි ‘Fact Crescendo’ ෆැක්ට් චෙකිං ආයතනයට මුදල් ගෙවීමටත් මෙම ව්‍යාපෘතියෙන් යෝජනා කර තිබේ. එමගින් ජවිපෙට එරෙහි සමාජජාලා පළ කිරීම් අසත්‍ය ලෙස ලයිස්තු ගත කිරීමටය.

දැනමටත් ‘Fact Crescendo’ වෙබ් අඩවියේ පළ කිරීම් වලින් 60%ක් පමණ වෙන් කර ඇත්තේ තෙවන පාර්ශවයක් වන ජවිපෙට එරෙහි පළ කිරීම් උදෙසා වීමත් විශේෂය. මේ පිළිබඳව මාධ්‍ය සංවිධානයක් ‘Fact Crescendo Sinhala’ වෙබ් අඩවියට එරෙහිව ෆේස්බුක් ආයතනයට සහ IFCN ආයතනයට පැමිණිලි කිරීමේ සුදානමක් පවතින බවද වාර්තා වේ.

කෙසේ වෙතත් මෙලෙසට Fact Crescendo’ ෆැක්ට් චෙකිං ආයතනය ජවිපෙ වෙනුවෙන් කටයුතු කරන්නේ මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන තිබීම හේතුවෙන් බවද වාර්තා වේ.

Ogilvy Digital ආයතනයේ හිමිකරු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකයෙකු ලෙස කටයුතු කළ අර්වින් වීරක්කොඩි වීම විශේෂයකි.

lankamag | Archived Link sriavtv | Archived Link

මෙම වාර්තාව ඔස්සේ Ogilvy Digital ආයතනය විසින් ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ලේකම් වරයාට යැවූ කැම්පේන් ව්‍යාපෘතියේ නිල පත්‍රිකා බවට දක්වා තිබූ ලේඛන පෙළ පහතින්.

මෙම ලිපියේ Ogilvy Digital ආයතනය වෙනුවෙන් කිසිවෙකුගේ අත්සනක් ද යොදා තිබුනේ නැත.

මෙම සටහන් නොයෙක් ආකාරයනේ ෆේස්බුක් මෙන්ම WhatsApp ඔස්සේ ද හුවමාරු වී තිබුණා.

මෙම සටහන් සඳහා අප Factcrescendo ආයතනයේ නම ද ඇතුළත් වී තිබීම හේතුවෙන් සහ මෙහි සඳහන් ප්‍රධාන පාර්ශවයන් දෙදෙනා ඇතුළු බොහෝ දෙනා මෙම සටහන් ව්‍යාජ බවත් දක්වා තිබූ බැවින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් සිදුකිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

2024 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කිරීමට නියමිත ‘අලුත් මාවතකට හැරෙමු’ නමින් නම් කර ඇති මැතිවරණ ප්‍රචාරණය ව්‍යාපෘතිය සඳහා Ogilvy Digital ප්‍රචාරණ ඒජන්සිය සමග සිය මැතිවරණ ව්‍යාපෘතිය මෙහෙය වන බවට දක්වා තිබූ සටහනේ මෙම ව්‍යාපෘතිය විසින් ප්‍රසිද්ධ මාධ්‍ය වල වැඩසටහන් අනුර කුමාර දිසානායකට වෙන් කිරීමටත් “Ogilvy Digital” ප්‍රචාරණ ඒජන්සිය එකඟ වී ඇති බව දක්නා තිබුණා.

එම යෝජනාවලියෙන් පෙන්වා දෙන ආකාරයට එම ඒජන්සිය මගින්, මේ වන විටත් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වල විකාශය වන ජනප්‍රිය දේශපාලන වැඩසටහන් ඔස්සේ මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට සූදානම් කර ඇති බවත්, ජනප්‍රිය යූටියුබ් නාළිකා, ජනප්‍රිය ෆේස්බුක් පිටු, වෙබ් අඩවි මෙන්ම ෆේස්බුක් ගිණුම්ද, Tik Tok, Twitter වැනි සමාජජාලා මාධ්‍ය මගින් ද,Fact Crescendo අප වෙබ් අඩවිය තුළින් ද, මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට කටයුතු සූදානම් බවත් දක්වා තිබුණු හෙයින් එහි නම් කර තිබූ පාර්ශවයන් කිහිපදෙනෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමට ද අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

YouTube නාලිකා :

මෙහි සඳහන් කර ඇති Hari Tv සහ රැට්ටා යන ජනප්‍රිය යූ ටියුබ් නාලිකා අයත් පුද්ගලයන්ගෙන් මේ පිළිබඳ විමසීමක් කළා, ඒ අනුව Hari Tv නිර්මාතෘ නිවේදක ලහිරු මුදලිගේ මේ සම්බන්ධයෙන් පැවසුවේ, තමන්ට මෙවැනි යෝජනාවක් Ogilvy Digital ඒජන්සිය හරහා හෝ ජනතා විමුක්ති පෙරමුණින් හෝ නොලැබුණු බවයි. මේ ආකාරයෙන් කිසිදු ප්‍රචාරණයක් තම යූ ටියුබ් නාලිකාව හරහා ප්‍රචාරණය කිරීමට සූදානමක් නොමැති බවත් මෙය අසත්‍ය ප්‍රචාරයක් බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

අප ‘රැට්ටා’ යූ ටියුබ් නාලිකාවේ නිර්මාතෘ රතිඳු සේනාරත්නගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු ද, තහවුරු කළේ‍ එවන් ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමන්ව අදාළ ආයතන විසින් සම්බන්ධ කර නොගත් බවයි. එමෙන්ම තමන්ගේ යූ ටියුබ් නාලිකාව හරහා දේශපාලනඥයින් සම්බන්ධයෙන් කිසිදු වැඩසටහනක් විකාශය නොවන බවද, ඔහු සඳහන් කළා.

Fact-Checking Sites :

Verite Research මෙරට කරුණු පරීක්ෂණ කණ්ඩායමේ නමද මේ සඳහා ඇතුලත් කර තිබූ බැවින් අප ඔවුන්ගෙන්ද මේ පිළිබඳව විමසූ අතර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් සිය ආයතනය කිසිඳු දැනුවත්භාවයක් නොමැති බවයි එම ආයතනයේ සිංහල මාධ්‍ය අංශයේ ප‍්‍රධානියා සඳහන් කළේ.

රූපවාහිනි වැඩසටහන් :

අප මේ සඳහා හිරු නාලිකාවේ විකාශය වන “සලකුණ” දේශපාලනික වැඩසටහන, සිරස නාලිකාවේ විකාශය වන “සටන” දේශපාලනික වැඩසටහන, ස්වරණවාහිණියේ විකාශය වන “ඉර” දේශපාලනික වැඩසටහන් වල නිෂ්පාදකයින්ගෙන්ද විමසීමක් කළ අතර පවසා සිටියේද, Ogilvy Digital ඒජන්සිය විසින් එවන් යෝජනාවක් මෙම වැඩසටහන් සඳහා තම ආයතනයට ඉදිරිපත් කර නොමැති බවයි. කාලීන මාතෘකා ඔස්සේ සාකච්ඡාවට බඳුන් විය යුතු දේශාපාලනඥයින් සහභාගී කර ගනිමින් මෙම වැඩසටහන් දියත් කරන අතර ‘අලුත් මාවතකට හැරෙමු’ නමින් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවත් ඔවුන් සියල්ලක්ම තවදුරටත් තහවුරු කරනු ලැබුවා.

Ogilvy Digital :

Ogilvy Digital ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක ලලිත් සුමනසිරි මහතා, එම ආයතනයේ නිල ලිපි ශීර්ෂයකින් අප වෙත යොමු කරමින් මේ සම්බන්ධයෙන් කරුණු ඇතුළත් කරමින් ඉහත සටහන් සඳහා මුල්වී තිබූ ව්‍යාජ සහ අපහාසාත්මක ලේඛන පිළිබඳ කරුණු විමර්ශනයක් සිදුකරන ලෙස ද ඉල්ලා සිටියා.

එමඟින් දක්වා තිබුණේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණ වූ ඉහත වෙබ් අඩවියේ තම ආයතනයේ නමට හානි වන ආකාරයෙන් අසත්‍ය කරුණු ප්‍රචාරය කර ඇති බවයි. ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයට අදාළ යෝජනා පත්‍රයක් Ogilvy Digital ආයතනය ඉදිරිපත් කළ බව පෙන්වීමට තම ආයතනයේ නොවන ව්‍යාජ ලිපි ශීර්ෂයක් සහ වෙනත් ආකෘතියක් උපයෝගි කර ගෙන තිබූ බවත් Ogilvy Digital ආයතනය විසින් ජනතා විමුක්ති පෙරමුණට මේ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් අතීතයේ දී හෝ සිදු කර නොමැති බවත් මෙවැනි යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණට ඉදිරිපත් කර නොමැති බවත් අවධාරණය කර තිබුණා.

Ogilvy Digital ආයතනය විසින් අපට යොමු කල නිල ලිපි ශීර්ෂය සහ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ලිපි ශීර්ෂය එකිනෙකට වෙනස් බව ද අපට නිරීක්ෂණය වූ අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපියේ Ogilvy Digital සම්බන්ධයෙන් දැක්වීමට යොදාගෙන තිබුනේ ඔවුන්ගේ වෙබ් අඩවියේම කොටසක දක්වා තිබූ තොරතුරු බව ද පෙනී ගියා.

එමෙන්ම Ogilvy Digital විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ ද මේ පිළිබඳ සටහනක් ඉහත කරුණු ද ඇතුළත් ව පළ කර තිබුණේ මෙලෙසින්. මෙලෙස අසත්‍ය ප්‍රචාර පළ කරන පාර්ශව සම්බන්ධයෙන් නීතිමට පියවර ගැනීම පිලිබඳ සලාකා බැලෙන බව ද එහි දැක්වෙනවා. එම් ෆේස්බුක් සටහන පහතින්.

Facebook | Archived Link

ජනතා විමුක්ති පෙරමුණ :

අප මෙම යෝජනාව පිළබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශයෙන් විමසීමක් කළ අතර එහි මාධ්‍ය ලේකම්, උපුල් රංජන් මහතා පවසා සිටියේ, තමන්ට Ogilvy Digital ප්‍රචාරණ ආයතනයෙන් මෙවැන් ලිපියක් යොමු නොකළ බවයි. 2024 ජනාධිපතිවරණය අළලා ‘අලුත් මාවතකට හැරෙමු’ නමින් මැතිවරණ ප්‍රචාරණය ව්‍යාපෘතියක් සඳහා ජවිපෙ විසින් මිලියන 50කට මෙවැනි ව්‍යාපෘතියක් ගෙන යාමට කිසිදු අත්තිකාරම් මුදලක් ලබාදීමට එකඟ නොවූ බවත්, මීට පෙර අවස්ථාවන් වලදී හෝ එම ආයතනය සමග ගනුදෙනු නොකළ බවයි ඔහු සඳහන් කළේ. දේශාපලනික වාසි ලබා ගැනීමට මෙලෙස අසත්‍ය ප්‍රචාරය ගෙන යන බවයි ඔහු තවදුරටත් සඳහන් කළේ.

ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ බවට හැඟවෙන පරිදි සකසන ලද ව්‍යාජ රබර් මුද්‍රා, පක්ෂයේ නායකයින්ගේ ව්‍යාජ අත්සන්ද යොදා ගනිමින් මෙම පුවත සකසනු ලැබ ඇති බව ඇතුළු කරුණු දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ නිල ෆේස්බුක් පිටුවේ, පක්ෂයේ ප්‍රචාරක ලේකම්, විජිත හේරත් විසින් පළ කළ නිවේදනය පහතින්.

Facebook | Archived Link

අප FactCrescendo Sri Lanka කණ්ඩායම :

FactCresendo අප ආයතනයටද මුදල් ගෙවීමට මෙම ව්‍යාපෘතියෙන් යෝජනා කර තිබෙන බවත්, වෙබ් අඩවියේ පළ කිරීම් වලින් 60%ක් පමණ වෙන් කර ඇත්තේ තෙවන පාර්ශවයක් වන ජවිපෙට එරෙහි පළ කිරීම් උදෙසා වීමත් විශේෂ බවත්, ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ, මෙම ප්‍රචාරණ ව්‍යාපෘතියෙන් මුදල් ලබාගෙන තිබීම හේතුවෙන් බවද, ඉහත වෙබ් අඩවි වල දක්වා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණ හෝ කිසිඳු හෝ මේ ආකාරයේ දේශපාලනික පාර්ශවයක් විසින් හෝ අප ආයතනයට මුදල් ලබා ගෙන නොමැති අතර එවැනි යෝජනාවක් සම්බන්ධයෙන් Ogilvy Digital හෝ වෙනත් කිසිඳු ආයතනයක් විසින් අපට යෝජනාවක් ඉදිරිපත් නොකළ බවද අප සනාථ කරනු ලබනවා.

FactCresendo Sri Lanka යනු FactCrescendo මව් සමාගමේ ශාඛාවක් වන අතර FactCrescendo  Myanmar, FactCrescendo Bangladesh, FactCrescendo Cambodia, FactCrescendo Afghanistan වැනි කලාපීය රටවල ද මේ ආකාරයෙන් ශාඛා පසුගිය වසර කිහිපය තුළ පිහිටුවීමට සමත් වී තිබේ. Factcresendo ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ පිහිටා තිබෙන අතර හින්දි, දමිළ, මලයාලම්, බංග්ලා, මරාටි, ගුජරාටි, අසාම්, ඔඩියා ඇතුළු ඉන්දීය භාෂා රැසකින් ද අප කරුණු විමර්ශන සිදුකරනවා.

FactCrescendo අප ආයතනය සම්පුර්ණයෙන්ම ස්වාධීන ආයතනයක් වන අතර කිසිදු දේශපාලන යාන්ත්‍රණයකින්, දේශපාලනික අරමුදල් වලින් පාලනය වන ආයතනයක් නොවේ. කිසිදු දේශපාලනඥයෙකුගේ අතකොලුවක් ද, නොවේ. එමෙන්ම කිසිදු වෙළඳ දැන්වීමක් හෝ අප වෙබ් අඩවි හරහා ඔබට දැක ගන්නටද අවකාශයක් ලැබෙන්නේ ද නැත.

අපගේ කරුණු විමර්ශන ස්වාධීනව කරුණු විමසීම් අගය කරන බොහෝ දෙනාගේ ඇගයීමට ලක් වෙන්නේ ද අපගේ නිර්පාක්ෂිකභාවය හේතුව නිසාවෙනි. එසේම, IFCN ජාත්‍යන්තර කරුණු විමර්ශන ජාලයේ මාර්ගෝපදේශ වලට අනුකූලව 2018 වර්ෂයේ සිට වාර්ෂිකව තත්ත්ව සහතිකය ලබා ඇත්තේද, නියමිත මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කරන බැවින් සහ අපගේ කරුණු පරීක්ෂාවල නිර්පාක්ෂිකභාවය සහ සාධාරණත්වය මෙන්ම ක්‍රමවේදයේ ප්‍රමිතිය සහ විනිවිදභාවය, අරමුදල් සපයා ගැනීමේ  විනිවිදභාවය, විවෘත හා අවංකභාවය, සත්‍ය පමණක් හෙළි කිරීම වැනි ප්‍රතිපත්තිය ඇතුළු කරුණු හේතුකොට ගෙනයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

අපගේ කරුණු විමර්ශන වාර්තා කියවීමෙන් ද මේ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි අතර එම විමර්ශන සඳහා තහවුරු කරගන්නා පැහැදිලි සාක්ෂියක් රැසක් ඉදිරිපත් කර ඇති අයුරු ද දැකගනන්ට පුළුවන්.

තම තමන් දරණ දේශපාලන මත අනුව අපගේ කරුණු පරීක්ෂා වලින් හෙළි කරන සත්‍ය පිළිගැනීමේ කැමැත්ත, අකමැත්ත මත අප නොයෙකුත් දේශපාලන පක්ෂ වල අතකොළුවන් බව පැවසීම අප ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කල කාලයේ සිට සිදුවූවක්.

මීට පෙර ලංකා වෙබ් පුවත් ලිපියක් හරහාද මෙවන් අසත්‍ය ප්‍රචාරයක් අප ඉලක්ක කරගනිමින් ගෙන ගිය අතර ඔවුන් චෝදනා කළේ ආණ්ඩුවට මුල් තැන දෙමින් අප කටයුතු කරන බවත් විපක්ෂයේ හෝ විපක්ෂ කණ්ඩායම් පිළිබඳ කරුණු පරීක්ෂා සිදු කිරීමේ අඩු ප්‍රවණතාවයක් ඇති බවයි.

lankaweb.lk |Archived Link

එමෙන්ම lankamag වෙබ් අඩවිය විසින් මීට ඉහතදී පළ කරන ලද Factcresendo ආයතනය පිළිබඳ තවත් අසත්‍ය සටහනක් මෙතනින්. Archived Link

අප වෙත කරුණු පරීක්ෂාවන් සිදු කිරීමට ඉල්ලීම් සමාජ මාධ්‍ය හරහා පරිශීලකයින් යොමු කරන අතර ඒ අතරින් ස්වාධීනව සත්‍යාපන කළ හැකි කරුණු සම්බන්ධයෙන් පමණක් අප කරුණු විමර්ශනය සිදු කරනු ලබනවා.

Facebook ආයතනයේ කරුණු විමර්ශන කරන තෙවන පාර්ශ්වයක් ලෙස Facebook ආයතනය විසින් නිර්දේශ කරන ලද ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමේ බලය ලත් ලංකාවේ කරුණු විමර්ශන කණ්ඩායම් දෙක අතරින් එක් කණ්ඩායමක් ද අප වෙමු. ඒ අනුව අසත්‍ය(False), සංස්කරණය කරන ලද ඡායාරුප හෝ වීඩියෝ (Altered), අර්ධ වශයෙන් අසත්‍ය(Partly False), සම්පූර්ණ තොරතුරු නොමැති වීම හේතුවෙන් පාඨකයා නොමඟ යා හැකි පුවත්(Missing Context), උපහාසාත්මක කෝණයෙන් පළ වන නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් (Satire) සම්බන්ධයෙන් අප කරුණු විමර්ශන සිදුකරනවා.

අසත්‍ය පැතිරීම වැළැක්වීම සඳහා Facebook ආයතනය විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම්(Rating) වලට ලක් වුවද, ඇපීල් කිරීමක්(Appeal) මගින්ද ඉවත් කර ගැනීමේ අවකාශයක ද පවතිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්

නමුත් කිසිදු අවස්ථාවක කිසිදු ෆේස්බුක් සටහනක්, පිටුවක් හෝ ගිණුමක් අවහිර කිරීමට, ඉවත් කිරීමට අපට අවකාශයක් නොමැත. ශ්‍රේණිගත කිරීම් (Rating) හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ වන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ එම සටහන් දකින පාඨකයින් දැනුවත් වීමක් සිදුවන අතර වැඩි පිරිසක් අතර අසත්‍ය පුවත් හුවමාරු වීම ද සීමා වේ. මේ පිළිබඳ ෆේස්බුක් ආයතනයේ පැහැදිලි කිරීම මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Avatar

Title:ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජ.වි.පෙ ප්‍රචාරණ කටයුතු වෙනුවන් Ogilvy සිදුකළ යෝජනාවක්?

Fact Check By: Pavithra Sandamali

Result: False