ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ ආයතනය පුරෝකථන ඉදිරිපත් කරනවා. “නොමුරා” ආයතනය විසින් ද විවිධ කරුණු ඔස්සේ ලබාගන්නා තොරතුරු සහ අනුමාන මත වාර්තා සපයනු අතර Damocles යනු ඔවුන් විවිධ රටවල්වල ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සපයනු ලබන එක් වාර්තා ප්‍රභේදයකි. එසේ මෑතක දී ඉදිරිපත් කල Damocles වාර්තාවක් ලෙස හුවමාරු වූ සටහන් පෙළකින් දක්වා තිබුනේ ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර මුල් තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බවක්.

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පිටුවක් මගින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්.

“ශ්‍රී ලංකාව ඉතිහාසයේ ඛේදනීයම වාර්තාවක් පිහිටවයි.

“රටවල් අතර ආර්ථිකය සියුම්ව මැන බලන Damocles පරිමාණයට අනුව ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර මුල් තැනට ලංකාව පත්ව ඇත.මෙය අමෙරිකාවේ මූඩි ආයතනය මගින් නිකුත් කරන ලද්දකි.මීට පෙර පෙබරවාරි මාසයේ 7 වැනි ස්ථානයේ සිටි ලංකාව දැන් එහි පෙරමුණටම පැමිණ ඇත.”

Facebook | Archived

මේ සටහන් ෆේස්බුක් අවකාශයේ පැතිර තිබුණේ මෙලෙසින්.

ඩොලර් සංචිත ද අඩුවීමත් සමඟ ලංකාවේ ද යම් යම් සීමා කිරීම් පසු ගිය කාලයේ රජය විසින් සිදු කළ බැවින් ඇත්ත වශයෙන්ම මෙම සටහන්වලින් පෙන්නුම් කෙරෙන කරුණුවල නිරවද්‍යතාවය සොයා මේ පිළිබඳව විමර්ශනයක් කිරීමට අප තීරණය කළා .

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම):

මුලින්ම අපසොයා බැලුවේ Damocles වාර්තා යනු කුමක්ද යන්නයි.

මෙම වාර්තා සකස් කෙරෙන්නේ රටවල් තිහකට වැඩි ජාලයක පුද්ගලයින්, ආයතන, සමාගම් සහ රජයන් සඳහා විවිධ ආර්ථිකමය කරුණු මත නිර්දේශ සහ විසඳුම් ලබාදීමක් සිදුකරන, 1925 වසරේ දී ස්ථාපිත “නොමුරා” ආයතනය විසිනි.

“Damocles” යනු නැඟී එන ආර්ථිකයන්හි ඉදිරි කාලයේදී ඇතිවිය හැකි විනිමය අනුපාත අර්බුද සම්බන්ධයෙන් පුර්ව අනතුරු ඇඟවීමේ දර්ශකයකි. 1996 වසරේ සිට ඔවුන් විසින් මේ ආකාරයේ රටවල් 30 ක පමණ පුරෝකථන ඉදිරිපත් කරන්නේ ඉදිරි වසරක පමණ කාලයක් සඳහා බවත් ඔවුන්ගේ වෙබ් අඩවියේ සඳහන්. මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතනින්. Archived

ඉන්අනතුරුව අප සොයා බැලුවේ, මෙසේ නිකුත්කරන ලද අවසාන ශ්‍රේණිගත කිරීමට අනුව මේ රටවල් තිස් ගණන අතුරින් ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ කුමන ස්ථානයක් ද යන්නයි. එහිදී අපට නිරීක්ෂණය වූයේ මෑතකාලීනව මෙම වාර්තාව අවසන් වරට නිකුත්කර ඇත්තේ 2021 වසරේ පෙබරවාරි මසදී වන අතර එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව අධි අවදානම් (high risk) කලාපයේ නොමැති බවයි. එම වාර්තාවට අනුව Damocles ලකුණු 100 ට වැඩි ගණනක් ලබා දී තිබු අධි අවදානම් තත්ත්වයේ පසු වන්නේ ඊජිප්තුව සහ තුර්කියයි. පෙර ශ්‍රේණිගත කිරීමට විශාලතම අවපාතයක් ලබා ගෙන තිබු රටවල් අතර ද ශ්‍රී ලංකාව දක්වා තිබුනේ නැති වුවද ශ්‍රී ලාංකාව එහි හතරවන ස්ථානයේ (ඊජිප්තුව, තුර්කිය සහ රුමෙනියාවට පසුපසින්) පසුවන ආකාරය ද දක්වා තිබුනේ මෙලෙසින්.

Web | Archived

කෙසේනමුත් සමාජ මාධ්‍ය සටහන්වල දක්වා තිබුනේ මේ මොහොතේ දී ලංකාව පළමු ස්ථානයට පත්ව ඇති බවක් බැවින් මේ ආකාරයේ නිල වාර්තාවක් මැතක දී නිකුත් කර ඇති ආකාරයක් අපට ඔවුන්ගේ නිල වෙබ් අඩවිය ඔස්සේ දැක ගන්නට ලැබුනේ නැහැ. මේ පිලිබඳ විමසීමට අප Nomura ආයතනයෙන් විමසීමක් සිදු කල අතර ඒ සඳහා ප්‍රතිචාරයක් ලැබුණහොත් යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

එසේම සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබු ප්‍රස්තාරය පරීක්ෂා කිරීමේ දී එය නොමුරා ආයතනය විසින් නිකුත්කරන ලද පැරණි (2018) Damocles අගයන් සහිත වර්තාවක සඳහන් බව ද දැක ගන්නට ලැබුණා.

2018 සැප්තැම්බර් මස නිකුත්කර තිබු එම වාර්තාවට අනුව නොමුරා ආයතනයේ අනුමාන ඉදිරිපත් කිරීම සඳහා තෝරාගෙන ඇති රටවල් තිස් ගණන අතරින්, ශ්‍රී ලංකාව විනිමය අනුපාතයක් සඳහා ඉහළම අධි අවදානමක් තිබෙන රට ලෙස දක්වා තිබුණා. ශ්‍රී ලංකාවට අමතරව දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පකිස්ථානය, ඊජිප්තුව, තුර්කිය සහ යුක්රේනය යන රටවල් ද Domocles අගය 100 ට වැඩි රටවල් ලෙස දක්වා තිබුනේ මෙලෙසින්

Web | Archived

මේ පිලිබඳ එම අවධියේ දී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ද වාර්තා කර තිබු අතර එහි ශ්‍රී ලංකාවට ලබා දී තිබු අගය ගැන ද ඇතැම් වාර්තා මඟින් ප්‍රශ්න කර තිබුනේ මෙලෙසින්

2020 අප්‍රේල් මස Nomura වාර්තාවේ ද ශ්‍රී ලංකාව Domocles අගය 100 ව වැඩි රටවල් අතර සිටින බව දක්වා තිබුනේ මෙලෙසින්

කෙසේ වෙතත් මෙම ශ්‍රේණිගත කිරීම් ලෝකයේ සියලු රටවල්වල දත්ත සලකා බලමින් සකසන වාර්තාවක් නොවේ. මෙහිදී සලකා බලා ඇත්තේ රටවල් තිස් ගණනක දත්ත පමණයි.

එසේම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩගැනීම සඳහා මහ බැංකුවේ අධිපති විසින් පසුගිය දා වැඩපිළිවෙලක් නිවේදනය කර තිබුණ ද විපක්ෂය විසින් දිගින් දිගටම චෝදනා කරන්නේ රජය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සිදුකිරීමට අසමත් වී ඇති බවයි

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද ගවේෂණයට අනුව පැහැදිලි වන්නේ Damocles වාර්තා අනුව ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ ආර්ථිකමය වශයෙන් කඩාවැටෙන රටවල් අතර ලෝකයේ පළමු තැනට පත්ව ඇතැයි පළවන වාර්තා නොමග යවන සුලු බවයි.

මෙය ලෝකයේ සියලු රටවල්වල දත්ත සලකා බලමින් සකසන ශ්‍රේණිගත කිරීමක් නොවේ. Nomura ආයතනය විසින් සැකසෙන මෙම වාර්තා මඟින් සලකා බලා ඇත්තේ රටවල් තිස් ගණනක් පමණක් වන අතර එම වෙබ් අඩවියේ විනිමය අනුපාත අවදානම් තත්ත්ව පිලිබඳ දැක්වෙන අවසන් වාර්තාව 2021 පෙබරවාරි මස නිකුත් කර තිබුනේ ඉදිරි වසරක කාලයක් සඳහා පුරෝකථනයක් යනුවෙනි. එම ශ්‍රේණිගත කිරීමට අනුව ශ්‍රී ලංකාව සිව් වන ස්ථානයේ පසුවුනේ ඊජිප්තුව, තුර්කිය සහ රුමෙනියාවට පසුපසිනි.

2018 වසරේ විනිමය අනුපාත අවදානම් තත්ත්ව ශ්‍රේණිගත කිරීමේ දී මෙම මෙම රටවල් 30 අතරින් ශ්‍රී ලංකාව පළමු ස්ථානයේ සිටි අවස්ථාවේ ප්‍රස්තාරයක් මෙම සටහන් සඳහා යොදාගෙන තිබුණි.

Avatar

Title:Damocles නවතම දත්තවලට අනුව ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් කඩා වැටෙන රටවල් අතර පළමු ස්ථානයේද ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading