විවිධ ක්ෂේත්‍ර වල ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකිකයන් පිලිබඳ කලින් කලට වාර්තා වෙනවා. ඇතැමුන්ට ඒ ඔස්සේ විවිධ ජාත්‍යන්තර සම්මානවලට පාත්‍ර වීමේ අවස්ථාවද උදාවී තිබෙනවා. මේ අතර මහාචාර්‍ය නීරා වික්‍රමසිංහට ලැබුණු සම්මානයක් පිළිබදව වැරදි සහ නොමග යවනසුලු තොරතුරු සමාජ මාධ්‍ය හරහා පසුගිය දා පැතිරී තිබුනා. මේ ඒ පිළිබදව අප විසින් සිදු කළ විමසුමක්.

සමාජ ජාලා සටහන් :

ෆේස්බුක් පිටුවක් මගින් ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහගේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කර තිබුණේ මෙම සටහනද සමගින්.

“මහාචාර්‍ය නීලා වික්‍රමසිංහ විසින් රචිත ස්ලේව් ඉන් අ පැලැන්කීන් කෘතියට ලොව ප්‍රධානතම ශාස්ත්‍රීය සම්මානයක් වන ජෝන් එෆ් රිච්ර්ඩ්ස් සම්මානය හිමිවී තිබෙනවා. ඔබට උණුසුම් සුබ පැතුම් !”

Facebook| Archived

ඒ හා සමාන සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

මෙම සටහන මගින් දැක්වෙන තොරතුරු අසත්‍ය බවට බොහෝ පිරිස් ද ප්‍රතිචාර දක්වා තිබෙනු අතර ඇතමුත් මෙම තොරතුරු සත්‍යක්ද බවටද උපකල්පනය කර තිබුණු හෙයින් මෙහි නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

මුලින්ම මෙහි දක්වා තිබෙන ඡායාරුපය අප පරීක්ෂා කල අතර, එම ඡායාරූපවල දැක්වෙන්නේ මහාචාර්‍යවරියක් නොව ප්‍රවීණ ගායිකාවක් වන විශාරද නීලා වික්‍රමසිංහ මහත්මිය බව අප හඳුනා ගත්තා.

එහි ඇති ඡායාරුපයක් නිලා වික්‍රමසිංහ ෆේස්බුක් ගිණුමේ ද ඇයගේ ගීත ඇතුලත් වෙබ් අඩවියක ද යොදා ගෙන තිබුනේ මෙලෙසින්

ඉන් අනතුරුව එම සටහනේ දක්වා තිබු ජෝන් එෆ් රිචර්ඩ්ස් සම්මානය පිළිබඳව අප විමර්ශනය කරනු ලැබුවා. ජෝන් එෆ් රිචර්ඩ්ස් සම්මානය පිරිනමනු ලබන්නේ American Historical Association (AHA) මගිනුයි. ජෝන් එෆ් රිචර්ඩ්ස් සම්මානය දකුණු ආසියානු ඉතිහාසය සඳහා වන ශාස්ත්‍රීය නිබන්ධන සඳහා පිරිනමනු ලබන සම්මානයක්.

Web | Archived

දකුණු ආසියානු ඉතිහාසය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කෘති වෙනුවෙන් ජෝන් එෆ්. රිචඩ්ස් ත්‍යාගය පිරිනමනු ලබයි. දකුණු ආසියානු කලාපය ලෙස මෙහිදී ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, බුරුමය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව යන භූගෝලීය ප්‍රදේශය ලෙස අර්ථ දැක්වේ.

එහිද දක්වා තිබුනේ , 2021 වසරේ මෙම සම්මානය ජයග්‍රහණය කර ඇත්තේ මහාචාර්‍ය නීරා වික්‍රමසිංහ වන බවයි. ඒ සම්බන්ධයෙන් පලකිරීම පහතින්

Web| Archived

ඇය මෙම සම්මානය දිනාගෙන ඇත්තේ Slave in a Palanquin : Colonial Servitude and Resistance in Sri Lanka (පැලැන්කින්හි වහල්ලු: ශ්‍රී ලංකාවේ යටත් විජිත වහල්භාවය සහ ප්‍රතිරෝධය) යන ශාස්ත්‍රීය කෘතිය වෙනුවෙන්.

එම ග්‍රන්ථයේ ඡායාරූපයක් සහ නීරා වික්‍රමසිංහ මහත්මියගේ ඡායාරුපයක් පහතින්.

නීරා වික්‍රමසිංහ මෙම Slave in a Palanquin කෘතිය මගින් ඉන්දියානු සාගරයේ යටත් විජිත යුගයේ ආසියානු වහල් වෙළඳාමේ දේශීය හා අන්තර් ජාතික ලෝකයන් පිළිබඳ වැදගත් නව ප්‍රතිමූර්තියක් ඉදිරිපත් කරයි. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් අන්තර්ජාලය ඔස්සේ මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර තිබුණේ මෙලෙසින්.

මහාචාර්‍ය නීරා වික්‍රමසිංහ යනු නෙදර්ලන්තයේ ලීඩ්න් විශ්ව විද්‍යාලයේ නූතන දකුණු ආසියානු ඉතිහාසය අධ්‍යයනය පිළිබද අංශයේ මහාචාර්‍යවරියක්. ඇය 1990 සිට 2009 වසර දක්වා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ ඉතිහාසය පිළිබඳ අධ්‍යනාන්ශයේ ආචාර්‍ය වරියක් ලෙසද කටයුතු කර තිබෙනවා. මහාචාර්‍යවරිය පිළිබඳව වැඩිදුර විස්තර මෙතනින්.Archived.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අප විසින් සිදු කරන ලද ගවේෂණයන්ට අනුව පැහැදිලි වූයේ දකුණු ආසියානු ඉතිහාසය පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කෘති වෙනුවෙන් හිමිවෙන ජෝන් එෆ් රිචර්ඩ්ස් සම්මානය හිමිව ඇත්තේ ලීඩ්න් විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයනයන් පිළිබද මහාචාර් නීරා වික්‍රමසිංහ මහත්මියට බවයි. ඇයගේ නම සහ ඡායාරුපය වෙනුවට ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ නම සහ රුව යොදා ගැනීම තුළින් මෙම ව්‍යාජ සටහන් නිර්මාණය වී තිබුනා

Avatar

Title:කෘතියක් සඳහා නීලා වික්‍රමසිංහට ජාත්‍යාන්තර සම්මානයක්?

Fact Check By: Kalana Krishantha

Result: False