දිනෙන් දින නව ප්‍රභේද එකතුනෙමින් ලොව පුරා වර්ධනය වන කොවිඩ් වෛරසයට පිළියමක් වශයෙන් එන්නත් ලබා දීම මේ දක්වා සියලු රටවල් පුරා සිදු කරනු ලබනවා. මෙරටදී ද මේ වන විට 3වන එන්නත් මාත්‍රා ලබා දීම සිදු කරන අතර බොහෝ පිරිස් කොවිඩ් වෛරසය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් සේ සලකා කොවිඩ් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හිතාමතාම නොසලකා හරිනු ලබනවා. ඊට රුකුලක් ලබා දෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ ද, ඇතැම් අසත්‍ය කරුණු ජනගත කිරීමට, ජනතාව නොමග යැවීමට කටයුතු කරනු ලබනවා. එවැනි නොමග යැවූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

හොඳ ආරංචියක් ලෙස දක්වමින් “බූස්ටර් මාත්‍රාවෙන් පසු මුහුණු ආවරණ අනිවාර්ය නෑ” යනුවෙන් සඳහන් කළ ෆේස්බුක් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබූ මෙම සටහන් සඳහා ලැබූ තිබූ ප්‍රතිචාර පහතින්.

ඒ අනුව පෙනී යන්නේ මෙම සටහන් සත්‍ය බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවකි.

ඒ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප පියවර ගනු ලැබුවේ මේ අයුරිනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

සත්‍ය වශයෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසට මුඛ ආවරණ නොමැතිව ගමන් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් අවසර ලබා දුන්නේද යන්න පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණාද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

එලෙසින් පුවත් පළ වී නොතිබූ අතර මාධ්‍ය වාර්තා කර තිබුණේ, මුඛ ආවරණ පැළඳ නොසිටීමට, සංගීත සංදර්ශන පැවැත්වීමට වැනි විවිධ ඉල්ලීම් රැසක් ලැබෙන බවත් නමුත් මෙම ඉල්ලීම් ඉටු කිරීමට, එම නීති ලිහිල් කිරීම සඳහා මෙරටට රැගෙන ආ බූස්ටර් එන්නත් සියල්ල ජනතාවට ලබා දීමෙන් අනතුරුව ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණය අපේක්ෂිත මට්ටමට වර්ධනය වුවහොත් පමණක් සෞඛ්‍ය නීති රෙගුලාසි ලිහිල් කිරීමට පුළුවන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් පවසා තිබූ බවට දැක ගන්නට ලැබුණේ පහතින්. (0.54)

මෙම ප්‍රකාශය හේතුකොට ගෙන මෙලෙසින් ජනතාව නොමග යන අයුරින් ඇතැම් ෆේස්බුක් සටහන් වාර්තා කර තිබුණේ, බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසට මුඛ ආවරණ නොමැතිව සිටීමට මෙරට රජය විසින් අවසර දී ඇති බවයි.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසට මුඛ ආවරණ නොමැතිව සිටීමට අවසර ලබා දී නොමැති බවත් තමන් පැවසූ දෙය වෙනත් අර්ථ කථනයකින් මාධ්‍ය තුළ පළ කර ඇති බවයි. එමෙන්ම සියලු දෙනා බූස්ටර් එන්නත ලබාගතහොත් දැනට පවතින නීති ලිහිල් කළ හැකි බව පමණක් තමන් පැවසූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

එමෙන්ම මේ පිළිබඳව අද පැවති මාධ්‍ය සාකච්ඡාවදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කළේ, මේ වන විටත් මුඛ ආවරණ ගැලවිය නොහැකි තත්ත්වයක මේ රට පවතින බවත් බූස්ටර් එන්නත් මේ වන විට ලබා ඇති ප්‍රතිශතය ඉලක්ක ගත කණ්ඩායමෙන් 40% ආසන්න ප්‍රමාණයක් පමණක් ලබාගෙන ඇති බවත්, 70%-80%ක් දක්වා බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පමණක් යම්තාක් දුරට සෞඛ්‍ය නීති රෙගුලාසි ලිහිල් කර හැකිය බවට ඒ මහතා අවධාරණය කළා. එම මාධ්‍ය සාකච්ඡාව පහතින්.

https://www.youtube.com/watch?v=bzI6LqS3SFo

එමෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා ද අප කළ විමසීමේදී සඳහන් කළේ, බූස්ටර් එන්නත් ලබා ගැනීමෙන් පසුවත් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය බවයි.

නමුත් එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) අප්‍රේල් මස අගදී නිවේදනය කළේ, රෝහල්, සාත්තු සේවා ස්ථාන සහ පොදු ප්‍රවාහනය වැනි ඉහළ අවදානම් සහිත ප්‍රදේශ හැර, පූර්ණ එන්නත් කරණයට ලක් වූ පුද්ගලයින්ට බොහෝ ස්ථානවල තවදුරටත් මුඛ ආවරණ පැළඳීමට අවශ්‍ය නොවන බවයි. එමෙන්ම තවත් රටවල් කිහිපයක් කොවිඩ් වලට එරෙහිව මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කාරණයක් නොවන බවට නීති රෙගුලාසි වෙනස් වීමත් සමග එය සාමාන්‍ය තත්ත්වයට පැමිණීමට මිනිසුන් අපේක්ෂා කරන එක් දෙයක් විය හැකි නමුත් තවමත් සියලුම රටවලට මෙලෙස මුඛ ආවරණ නොපැළඳීම නිවැරදි ප්‍රවේශය නොවිය හැකි බවයි. එමෙන්ම එන්නත් කළ වැඩිහිටියන්ට පවා මුහුණු ආවරණ පැළඳීම බලාත්මක කිරීම වැදගත් විය හැකි බවයි. ඒ බවට පළ වූ වාර්තාවක් මෙතනින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂ ආචාර්ය Hans Henri P. Kluge සඳහන් කරනු ලබන්නේ, ඩෙල්ටා හෝ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් සඳහා වෙනදාටත් වැඩියෙන් නිතරම මන්ත්‍රයක් මෙන් පවසන, 1. එන්නත් කිරීම, 2. තුන්වන මාත්‍රාව හෝ බූස්ටර්, 3. මුඛ ආවරණ භාවිතය වැඩි කිරීම, 4. සංවෘත අවකාශයන්හි වාතාශ්‍රය, 5. නව සායනික ප්‍රොටෝකෝල යෙදීම අනුගමනය කළ යුතු බවයි. ඒ බවට පළ වූ WHO වාර්තාව මෙතනින්. Archived Link

UNISEF India නිල ෆේස්බුක්පිටුවේද මුඛ ආවරණ පැළඳීමේ වැදගත්කම පෙන්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මිනිසුන් පූර්ණ එන්නත් කරණයට වැඩි වැඩියෙන් ලක් වූවිට, ජීවිතය යථා තත්ත්වයට පත් වන්නේ කවදාදැයි බොහෝ දෙනෙක් කල්පනා කරනමුත් ඔබේ මුහුණු ආවරණ ඉවත දැමීමට පිළිබඳ විශේෂඥයින් අනතුරු අඟවන්නේ මුඛ ආවරණ තව ටික කලක් පැළඳීමට අවශ්‍ය වනු ඇති බවයි, විශේෂයෙන් පොදු ස්ථාන වල ගැවසීමේදී. පූර්ණ එන්නත්කරණයට ලක් වීමෙන් පසුවත් මුඛ ආවරණ පැළඳිය යුතු වන්නේ ඇයිදැයි යන්න පිළිබඳ විශේෂඥයින්ගේ දීර්ඝ පැහැදිලි කිරීමක් මෙතනින්. Archived Link

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ මෙරටදී බූස්ටර් එන්නත ගත්තොත් මුව ආවරණ නොමැතිව ගමන් කිරීමට අවසර ලැබුණු බවට සමාජ මාධ්‍ය සටහන් මෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තා ද දක්වා තිබූ සටහන් අසත්‍ය සහ නොමඟ යවන සුළු බවයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,  බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් පිරිසට මුව ආවරණ නොමැතිව සිටීමට අවසර ලබා දී නොමැති බවත් තමන් පැවසූ දෙය වෙනත් අර්ථ කථනයකින් මාධ්‍ය තුළ පළ කර ඇති බවයි. එමෙන්ම සියලු දෙනා බූස්ටර් එන්නත ලබාගතහොත් දැනට පවතින නීති ලිහිල් කළ හැකි බව පමණක් තමන් පැවසූ බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

Avatar

Title:බූස්ටර් එන්නත ගත්තොත් මාස්ක් නැතිව යන්න අවසර ලැබෙනවාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading