වසර 69කට පසුව මෙරට දැවැන්තම හර්තාල් ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් අද (06) දිවයින පුරා සංවිධානය කර තිබෙනවා. ඒ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්ව යන ලෙස බල කරමින්. මේ අතර අද දිනයේ හර්තාල් ව්‍යාපාරය සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට මසක වැටුප් කප්පාදුවක් සිදු කිරීමේ තීරණයක්, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ලබා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ පුවතක් හුවමාරු වුණා. ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“හෙට හර්තාල් කරන සියළු රජයේ සේවකයන්ගේ මසක වැටුප කපා හැරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තීරණය කරයි” යනුවෙන් හිරු News ෆේස්බුක් පිටුවේ පළ වූ බවට දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම මේ පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මාධ්‍ය නිවේදනයක් ද, නිකුත් කළ බවට ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ, හර්තාල් ව්‍යාපාරායට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කාපා හැරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් තීරණය කර ඇති බවටයි.

WhatsApp ඔස්සේ ද මෙම සටහන් බොහෝ දෙනෙක් අතර හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

මෙම තේමාවෙන් පළ වූ සටහන් ෆේස්බුක් පරිශීලකයින් විසින් හුවමාරු කර ගෙන තිබුණේ මෙලෙසින්.

එමෙන්ම රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා වලට අයත් වාහන වල මෙන්ම, ලංගම බස් රථ හා දුම්රියන් හී නලා නාද කිරීමේදී “කපුටු කාක් කාක්” යනුවෙන් නාද කිරීම හා පිළිතුරු ලෙස “බැසිල් බැසිල්” ලෙස නාද කිරීම සපුරා තහනම් බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ජේ.ජේ. රත්නසිරි මහතා විසින් නිවේදනයක් නිකුත් බවටද සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක්, උපහාසාත්මක කෝණයකින් හුවමාරු වී තිබුණා.

Facebook | Archived Link

ඒ මහතාගේ අත්සන ද යොදා ගනිමින් පළකර තිබු මෙම සටහන් ද බොහෝ දෙනෙක් අතර සංසරණය වී තිබුණේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් අද (06) දින හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මේ වන විට සැලැසුම්කර ඇති අතර මේ සදහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සියලු වෘත්තිය සිමිති ද සහය ලබාදීමට තීරණය කර තිබු බව වාර්තා වෙනවා.

මෙම දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට පිළිතුරු නොදෙන්නේ නම්, ආණ්ඩුව ගෙදර යන තුරු සිදුකෙරෙන අඛණ්ඩ වර්ජනය සහ අඛණ්ඩ හර්තාලය, මැයි 11 සිට ආරම්භ කරන බව, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

සමාජ මාධ්‍ය සටහන් හි කියවෙන කරුණු සම්බන්ධයෙන් තොරතුරු විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් මෙලෙස මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළා ද යන්න අප නිරීක්ෂණය කරනු ලැබුවා.

නමුත් අද(06) දින හර්තාල් සඳහා සහභාගී වන සියළු රජයේ සේවකයන්ගේ මසක වැටුප කපා හැරීම සම්බන්ධයෙන් එම අමාත්‍යාංශය තීරණය කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වල ද වාර්තා වී නොතිබුණි.

හිරු News ෆේස්බුක් පිටුව

හිරු News ෆේස්බුක් පිටුවේද, ඉහත ඡායාරූපය ඇතුළත් පෝස්ටුවක් පළ වී නොතිබුණු බවට අපට නිරීක්ෂණය වුණා. එමෙන්ම එම ප්‍රවෘත්ති වෙබ් අඩවියේද, එවැනි ඡායාරූපයක් පළ වී නොතිබුණි.

මේ පිළිබඳව විමසීමට අප හිරු News වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ ද, අද දින හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප් කප්පාදුවක් සිදු කරන බවට කිසිදු පුවතක් හෝ ඡායාරූප සටහනක් එහි නිල ෆේස්බුක් පිටුවේ හෝ වෙබ් අඩවියේ පළ නොකළ බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාධ්‍ය නිවේදනයේ ද, සැලකිය යුතු දෝෂ

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මාධ්‍ය නිවේදනයේ ද, සැලකිය යුතු දෝෂ අපට දැක ගන්නට ලැබුණේ මේ අයුරින්.

එම මාධ්‍ය නිවේදනය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක් යනුවෙන් දක්වනු ලැබුවද, එම ලිපි ආකෘතිය එම අමාත්‍යාංශයේ නොව, ජනාධිපති මාධ්‍ය අංශයේ නිල නිවේදන වල ආකෘතියට සමාන බව දක්නට ලැබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්, මාධ්‍ය වෙත නිකුත් කරන නිවේදන පළ කරනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ගේ අත්සන යටතේ බවට අපට නිරීක්ෂණ වූයේ මෙලෙසින් , මෙලෙසින් සහ මෙලෙසින්.

ඒ අනුව එම අමාත්‍යාංශය විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ යටතේ පළ වන ආකෘතිය සහ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරන මාධ්‍ය නිවේදන ආකෘතිය පහතින්.

එසේම පහත දැක්වෙන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ව්‍යාජ ලිපියේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යන සම්පූර්ණ නම වෙනුවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලෙස සඳහන් කර තිබුණා.

එමෙන්ම ප්‍රධාන වශයෙන් සැලකිල්ලට බඳුන් වන අක්ෂර වින්‍යාස භාවිතයේ වැරදි ප්‍රධාන වශයෙන් ද, දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

එමෙන්ම මෙහි නිවේදන අංක 22/158 ලෙස සඳහන් වී තිබුණත් මෙම නිවේදනය සම්බන්ධයෙන් අද (06) දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන අංකය වන්නේ 22/151 වන නිවේදනය බව ද, දක්නට ලැබෙනවා. (ඉහත ඡායාරුප සංසන්දන සඳහා යොදා ගත් අද (මැයි 06 නිකුත් කළ නිවේදනය)

ජනාධිපති මාධ්‍ය අංශය

ජනාධිපති මාධ්‍ය අංශයද, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍යක් බවයි.

ජනපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට හෝ මෙවැනි දැනුම්දීමක් සිදු කර නොමැති අතර මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වනවිටත් අදාළ අංශ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවට, ජනපති මාධ්‍ය ඒකකයේ නිල ෆේස්බුක් පිටුවේ පළවූ නිවේදනයක් පහතින්.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ජේ.ජේ. රත්නසිරි මහතා

ඒ මහතා සඳහන් කළේ, හර්තාල් ව්‍යාපාරයට සහභාගී වන රාජ්‍ය සේවකයන්ගේ වැටුප සම්බන්ධයෙන්, සමාජ මාධ්‍ය සටහන්හි දැක්වෙන පරිදි කිසිඳු වැටුප් කප්පාදුවක් පිලිබඳ කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත්, ඒ පිළිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් නිකුත් නොකළ බවත්ය. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන එම නිවේදනය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

එමෙන්ම පසුගිය දිනක රජයට අයත් දෙපාර්තමේන්තු, සංස්ථා වලට අයත් වාහන වල මෙන්ම, ලංගම බස් රථ හා දුම්රියන් හි නලා නාද කිරීම සම්බන්ධයෙන්ද ,තමන් කිසිදු මාධ්‍ය දැන්වීමක් සිදු නොකළ බවද, තමන්ගේ අත්සන අවභාවිතා කරමින් නිර්මාණය කර තිබු ව්‍යාජ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව දා ඒ මහතා පවසා සිටියා.

හර්තාල් ක්‍රමයේ ආරම්භය

1953 අගෝස්තු මස 12 වෙනිදා ලංකා සම සමාජ පක්ෂය ප්‍රමුඛ වාමාංශික පක්ෂ විසින්, ලංකාවේ පළමු වරට, එවකට පැවති එක්සත් ජාතික පක්ෂ රජයට විරුද්ධව හර්තාල් ව්‍යාපාරයක් දියත් කරන ලදී. ඒ මීට වසර 69කට පෙරාතුවය.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරුණු අද (06) දිනයේ හර්තාල් ව්‍යාපාරයට සහභාගි වන රාජ්‍ය සේවකයන්ගේ මසක වැටුප කප්පාදුවක් සිදු කරන බවට පළ වන පුවත අසත්‍ය බවයි. ඒ බවට පළ වූ ලිපි සහ සටහන් සියල්ලම ව්‍යාජ ලෙස නිර්මාණය කළ ඒවා බවට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්, ජේ.ජේ. රත්නසිරි මහතා සහ ජනාධිපති මාධ්‍ය අංශය තහවුරු කරනු ලබනවා.

Avatar

Title:මැයි 06 හර්තාල් ව්‍යාපාරයට එක්වන රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප් කප්පාදු කිරීමේ තීරණයක් ?

Fact Check By: Pavithra Sandamali

Result: False