ලංකාව මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදය හමුවේ ජනතාව දැඩි අපහසුතාවයන්ට ලක්වෙමිනුයි ජීවත්වෙන්නේ. එවන් වටපිටාවක් තුල රටේ ආර්ථිකය ගොඩනගන්නේ කෙසේද ? කලු සල්ලි හෙවත් නීත්‍යානුකූල නොවන මාර්ගවලින් පුද්ගලයින් ලබාගත් ධනය මහා භාණ්ඩාගාරයට ලබා ගන්නේ කෙසේද ? මේ පිළිබදව වූ කතිකාවන් නිතර සමාජ මාධ්‍ය තුළ ගොඩනැගෙනවා .

මෑතදී පළවූ සමාජ ජාලා සටහන් පෙළක සදහන් වුනේ 2016 දී ඉන්දියාවේ සිදුකළාක් මෙන් වටිනාකමින් වැඩි මුදල් අවලංගු කිරීමක් සිදු කර, ඇතැම් පුද්ගලයින් සතු නීත්‍යානුකූල නොවන ධනය අනාවරණය කරගත යුතු බවයි. ඉන්දියාවේදී සැබැවින්ම මෙම ක්‍රමය සාර්ථක වුණාද ? මේ අප විසින් ඒ පිළිබදව සිදු කරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන්

ෆේස්බුක් පිටු සහ පරිශීලකයින් විසින් ඉන්දියාවේ සිදු කළාක් මෙන් ලංකාවේද මුදල් නෝට්ටු අවලංගු කිරීමක් මගින් කලු සල්ලි අනාවරණය කරගත යුතු බව සහ එම ක්‍රමවේදය ඉතා සාර්ථක බව හැගවෙන ලෙස පළකර තිබූ සමාජ ජාලා සටහනකි මේ .

Facebook | Archived

මෙවැනි සටහන් ෆේස්බුක් අවකාශය තුළ විසිර පැවතියේ මෙලෙසින් .

මේ පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

අප විසින් මුලින්ම විමසා බැලුවේ Demonetization නම් ක්‍රියාවලිය පිළිබදවයි.

ව්‍යවහාර මුදල් අවලංගු කිරීම හෙවත් Demonotization ක්‍රියාවලිය සිදුවිය හැකි ආකාර ගණනාවකි. මෙහිදී කිසියම් මුදල් ඒකකයක් සම්පූර්ණයෙන්ම අවලංගු කර රටක් නව මුදල් ඒකකයකට පිවිසීමේ ක්‍රියාවලියේ සිට එකම මුදල් ඒකකය තුළ තිබෙන තෝරාගත් නෝට්ටු හෝ කාසි භාවිතය යම් තෝරාගත් දිනකට පසු අවලංගු කර ඒ වෙනුවට නව මුදල් නෝට්ටු හෝ කාසි භාවිතය සිදු කිරීම දක්වා වන ක්‍රියාවලිය සඳහා Demonetization නම් වචනය භාවිතා කළ හැක. මේ කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය තුලදී සාමාන්‍යයෙන් භාවිතයෙන් ඉවත්කරන මුදල් වෙනුවට අලුතින් භාවිතයට ගත හැකි මුදල් බැංකු ගිණුම් වල තැන්පත් කිරීමට හෝ බැංකු මගින් මාරු කර ගැනීමට යම් නිශ්චිත කාලසීමාවක් ලබාදීම සිදුවේ .

මෙම ක්‍රියාවලිය විවිධ හේතු සාධක මත රාජ්‍යයන් මගින් සිදු කරයි. ඒ හේතු සාධක අතර ,

  • රටක මූල්‍ය ඒකකයක් අධි උද්ධමන තත්ත්වයකට මුහුණ දෙන අවස්ථාවක අලුත් මුදල් ඒකකයක් හදුන්වාදීමේදී
  • කිසියම් කාසි/නෝට්ටු වර්ගයක් විශාල වශයෙන් ව්‍යාජ ලෙස මුද්‍රණය කර වෙළදපොලේ ඇති අවස්ථාවක
  • නව ව්‍යවහාර මුදල් රටාවක් ක්‍රියාත්මක කිරීම සඳහා

මේ මගින් වාසි සහගත තත්ත්වයන් මෙන්ම අවාසි සහගත තත්ත්වයන්ද ඇතිවිය හැකියි.

වාසි සහගත තත්ත්වයන් ලෙස පහත කරුණු දැක්විය හැක.

  • විවිධ මූල්‍ය අපරාධමය තත්ත්වයන් අවම කිරීම සදහා
  • බදු පැහැර හරින්නන් අවම කිරීම සදහා
  • මුද්‍රිත මුදල් වෙනුවට ඩිජිටල් මුදල් ඒකකවලට පිවිසීම සඳහා

අවාසි සහගත තත්ත්වයන් ලෙස ,

  • නව කාසි සහ නෝට්ටු මුද්‍රණය කිරීම සදහා විශාල පිරිවැයක් වැය කිරීමට සිදුවේ .
  • ඇතැම් වංචනිකයන්ටද මෙය මගහැර සිටීමේ හැකියාව ඇත.
  • රටේ මුදල් නෝට්ටු හිගයක් ඇතිවීම නිසා පොදු ජනතාව ඉමහත් පීඩනයට ලක්වීමේ හැකියාවක් පවතී.

මේ පිළිබද මෑත කාලීන උදාහරණ දෙකක් ලෙස යූරෝ මුදල් ඒකකය මීට දශක දෙක හමාරකට පමණ පෙර යුරෝපයට හදුන්වාදීම සහ 2016 වසරේ ඉන්දියාවේ ඇතැම් මුදල් නෝට්ටු අවලංගු කිරීම සලකා බැලිය හැක.මේ සම්බන්ධ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.

1873 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයද කාසිපනත මගින් රිදී කාසි භාවිතය නැවැත්වීමට කටයුතු කල අතර දැඩි ජනතා විරෝධය නිසා 1879 වසරේදී නැවතත් එම නීතිය වෙනස් කිරීමට එක්සත් ජනපදයට සිදුවුණා.ඒ පිළිබද විස්තර ලබාගත හැකියි මෙතනින්. Archived.

2016 ඉන්දියාවේදී සිදු කල ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීමේ ක්‍රියාවලිය:

ඉහත සමාජ ජාල සටහනෙන් හැගවීමට උත්සාහ දරන ආකාරයට 2016 ඉන්දියාවේදී සිදු කල මුදල් නෝට්ටු අවලංගු කිරීමේ ක්‍රියාවලිය සාර්ථකද ?

2016 නොවැම්බර් මාසයේදී අගමැති නරේන්ද්‍ර මෝඩි විසින් ඉන්දීය රුපියල් 500 සහ දහසේ නෝට්ටු වර්ග කිහිපයක් භාවිතය පැය 4 ක් ඇතුලත අවලංගු කරන බවට රූපවාහිනිය ඔස්සේ සජීවීව නිවේදනය කළා. එමෙන්ම ඔහු ජනතාවට සති කිහිපයක කාලයක් ලබාදුන්නේ බැංකුවල එම අවලංගු කල මුදල් නෝට්ටු තැන්පත් කිරීමට සහ බැංකුවලට ගොස් සල්ලි මාරුකර වෙනත් මුදල් නෝට්ටු ලබාගැනීමටයි.

කෙසේ වෙතත් අපේක්ෂා කල තරම් වේගයෙන් අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කෙරුණේ නැහැ. එමෙන්ම මුදල් නෝට්ටු මාරු කිරීම සදහා ජනතාවට දිගු පෝලිම් වල සිටීමට සිදු වුණා. ලක්ෂ ගාණක් ජනතාවගේ රැකියාවන් අහිමි වුණා. ඉන්දීය ආර්ථිකයද යම් පසුබෑමකට ලක්වුණා.

2018 වර්ෂයේදී මේ සම්බන්ධ වාර්තාවක් ඉන්දීය මහ බැංකුව මගින් ඉදිරිපත් කළා. එම වාර්තාවට අනුව අවලංගු කිරීමට පෙර ඉන්දීය ආර්ථිකය තුල භාවිතයට ගැණුනු අවලංගු කල මුදල් වලින් 99.3% ක්ම බැංකු වෙත තැන්පත් කර තිබුණා. අපේක්ෂා කල ආකාරයට කලු සල්ලි හිර වීමක් / කලු සල්ලි ඇති පුද්ගලයන් පිළිබද අනාවරණය වීමක් සිදුව තිබුනේ ද නැහැ.

මෙයට හේතු ගණනාවක්ම බලපා තිබිය හැකියි.ඇතැම් විට කලු සල්ලි/නීති විරෝධී ලෙස මුදල් උපයාගත් පුද්ගලයින් ඒවා ඉන්දියාවෙන් බැහැර විදෙස් ගිණුම්වල තැන්පත් කර ඇති බවට අනුමාන කල හැක. ඇතැම් විට ඔවුන් සියුම් ලෙස වෙනත් පුද්ගලයින් හරහා හෝ ඔවුන් විසින්ම සමාගම් වල, ඉඩම් මිලදී ගැනීම් හරහා ,රත්‍රන් ආදී ලෙසට හෝ කලු සල්ලි ආයෝජනය කර තිබිය හැක .ඒ අනුව පොදුවේ සැලකිය හැකි කාරණය නම් ඉන්දීය මුදල් අවලංගුකරණ ව්‍යාපෘතිය සමාජ ජාලා සටහන් වලින් හැගවීමට උත්සාහ දරන ආකාරයේ සාර්ථක එකක් නොවූ බවයි. ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්, මෙතනින් සහ මෙතනින්,.Archived,Archived & Archived .

ව්‍යවහාර මුදල් අවලංගු කිරීම වර්තමානයේ දී ලංකාව ට ගැලපේ ද?

වර්තමාන පසුබිමේ දී කලු සල්ලි නැවත ලබාගැනීම සදහා ශ්‍රී ලංකාවට මෙම Demonetization ක්‍රමය ගැලපේද ? මේ පිළිබදව අප කල විමසුමකදී අදහස් දැක්වූ වයඹ විශ්ව විද්‍යාලයේ ගිණුම්කරණ දෙපාතුමේන්තු ප්‍රධානී මහාචාර්‍ය අමින්ද මෙත්සිල පෙරේරා පැවසුවේ ලංකාවේ අද පවතින තත්ත්වය තුල මෙම යෝජනාව ප්‍රායෝගික නොවන බවයි. එමෙන්ම මෙමගින් පවතින ආර්ථික අර්බුදය උත්සන්න වී රටේ ආර්ථිකය තව තවත් අඩපණ විය හැකි බවත් ඔහු පැවසුවා.

මේ පිළිබදව අප කල විමසුමකදී අදහස් දැක්වූ ඇමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද මහාචාර්‍ය Steve Hanke පැවසුවේ ද ඉන්දියාවේදී Demonetization අසාර්ථකවූ අතර ශ්‍රී ලංකාව උදෙසාද පවතින තත්ත්වය තුල එය භාවිතා කිරීම නිර්දේශ කල නොහැකි බවයි.

ලංකාව 1955 සහ 1970 වසර වලදී සිදුව යොමු වී තිබු Demonetization ක්‍රියාදාමයන් පිලිබඳ ව විස්තර මෙතනින්.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය)

අප විසින් සිදු කරන ලද කරුණු විමසීමේදී තහවුරු වුණු කාරණය නම් 2016 වසරේ දී ඉන්දියාවේදී සිදු කෙරුණු Demonetization හෙවත් ව්‍යවහාර මුදල් අවලංගු කිරීමේ ක්‍රියාවලිය සමාජ ජාලා වල සඳහන් වන ආකාරයට සාර්ථක වුයේ නැත. එමගින් අපේක්ෂිත පරිදි කලු සල්ලි අනාවරණය කරගැනීමට හැකිවූයේ නැත. එය සෑම විටම කලු සල්ලි අනාවරණය කරගැනීමෙහි ලා සාර්ථක ක්‍රමයක් ද නොවේ. ලංකාවේ වර්තමාන තත්වයන් යටතේ ද කලු සල්ලි අනාවරණ කර ගැනීම සඳහා මෙම ක්‍රමය සාර්ථක ක්‍රමයක් වනු ඇතැයි විශේෂඥයන් විශ්වාස කරන්නේ ද නැත.

Avatar

Title:2016 දී ඉන්දියාවේ මෙන් ව්‍යවහාර මුදල් නෝට්ටු අවලංගු කිරීම මගින් ලංකාවේ කළු සල්ලි අනාවරණය කරගත හැකිද ?

Fact Check By: Kalana Krishantha

Result: Misleading