
මෙරට වෙළඳ පොළේ, මළ,මුත්‍රා වලින් නිපදවූ බීර ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වී තිබුණේ, ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසටයි. සත්‍ය වශයෙන්ම එ් ආකාරයෙන් අපද්‍රව්‍ය ජලය යොදා මෙරට එවැනි නිෂ්පාදනයන් බෙදා හරින බවට බොහෝ දෙනෙකු නොමග ගොස් ඇති මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් :
“ගෝඨා ඇවිල්ලා මාර රටක් බන් හැදුවේ” යනුවෙන් සඳහන් කළ ප්‍රධාන මාධ්‍ය ධාරාවක පළ වූ පුවතක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.
එම පුවතේ මෙහි ශිර්ෂ පාඨයේ සඳහන් කර තිබුණේ, ‘බියර් බොන්නෙ බලාගෙනයි. මළ, මුත්‍රා ජලයෙන් සැකසූ බියර් දැන් වෙළඳපොළේ’ යනුවෙනි.

මෙම පුවත මෙරට සිදුවීමක් බවට බොහෝ දෙනා උපකල්පනය කරමින් ෆේස්බුක් ඔස්සේ බහුලව සටහන් සංසරණය වූයේ මේ අයුරින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සඳහා තුඩු දුන් පුවත සම්බන්ධයෙන් අප ප්‍රථමයෙන්ම අවධානය යොමු කරනු ලැබුවා.
එහිදී දැක ගන්නට ලැබුණේ, පසුගිය 29 වන දා ‘දෙරණ අරුණ’ වැඩසටහනේදී ‘මව්බිම පුවත් පතේ’ පළ වූ ලිපයක් පිළිබඳව සඳහන් කළ අවස්ථාවක් බවයි.
ඒ අනුව මෙය මෙරට වෙළඳපොළේ විකිණීමට ඇති බීර වර්ගයක් නොවන අතර සිංගප්පූරුවේ නිෂ්පාදනය කරනු ලබයි.
බීර සෑදීම සඳහා ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන බැවින් ජල හිඟයකට මුහුණ දී සිටින සිංගප්පූරුවේ බීර කර්මාන්ත ශාලාවක් ‘Newbrew’ නමින් බීර වර්ගයක් එළිදක්වා ඇති බවත්, ඒවා මිනිසුන්ගේ මුත්‍රා සහ මළ මූත්‍රා පරිපහදු කර නිපදවා ඇති බවත් මව්බිම පුවත් පතේ ලිපියක් පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link
ඉහත ඡායාරූප සටහන් සඳහා තුඩු දුන් ‘දෙරණ අරුණ’ වීඩියෝව පහතින්.
මේ පිළිබඳ පළ වූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
මෙම නිෂ්පාදනය එළිදැක්වීමේදී පළ වූ වීඩියෝවක් මෙතනින්.
සිංගප්පූරු ජාත්‍යන්තර ජල සතිය වෙනුවෙන් පැවැත්වෙන ජල සම්මන්ත්‍රණයට සමගාමීව සිංගප්පූරුවේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය භාවිතා කරමින් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වෙමින් නවතම බියරයක් හඳුන්වා දී ඇත්තේ, ආරක්ෂිතව පිරිපහදු කළ ජලය බියර් සෑදීමේදී භාවිතා කිරීමට තරම් පිරිසිදු බව ද අවධාරණය කරමින් බව Brewerkz කළමනාකාර අධ්‍යක්ෂක Ryan Yuen සඳහන් කර ඇත්තේ මෙලෙසින්.
මෙම බීර කෑනයක 95%ක් අතිශය පිරිසිදු සහ ඉහළ ශ්‍රේණියේ ප්‍රතිචක්‍රීකරණය කළ ජලය වන NEWater ඇතුළත් වන අතර 5%ක් මෝල්ට්, හොප් සහ යීස්ට් භාවිත කර ඇති බවටයි එම ආයතනය පෙන්වා දී තිබෙන්නේ.
භාවිතා කළ ජලය එකතු කිරීම සහ පිරිපහදු කිරීම උසස් ප්‍රමිතීන්ට අනුව සිදු කරන ආකාරය පිළිබඳ දළ සටහනක් මෙතනින්.

NEWater ක්‍රියාවලිය මගින් පිරිපහදු කළ ජලය අතිශය පිරිසිදු, ඉහළ ශ්‍රේණියේ ප්‍රතිචක්‍රීකරණය කළ ජලය බවට පත් කෙරෙන බවට සිංගප්පූරුවේ ජාතික ජල නියෝජිතායතනය වන PUB ආයතනය සඳහන් කර ඇති අතර NEWater ආරම්භ වන්නේ 1970 වර්ෂයේදීයි. ඒ පිළිබඳ වැඩි දුර විස්තර මෙතනින්.
කෙසේ වෙතත් මෙරට වෙළඳපොළේ දී මෙම බීර විකුණනු ලබනවා ද යන්න පිළිබඳව විමසීම සඳහා අප ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව අතිරේක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගෙන් විමසීමක් සිදු කරනු ලැබුවා.
ඔහු සඳහන් කළේ, එම බීර පාලනය ලංකාවට මෙතෙක් ආනයනය කර නොමැති බවයි. එමෙන්ම එලෙස ආනායනය කරනු ලබන්නේ නම්, වෙළඳ නාම අනුමැතිය සුරාබදු දෙපාර්තමේන්තුව හරහා ලබා ගත යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරනු ලැබුවා.
ඒ අනුව මෙම බීර පානය මෙරට වෙළඳපොළේ නොමැති බව තහවුරු වනු ලබයි.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මෙරට වෙළඳපොළේ, මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර විකිණීමට ඇති බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් වල දැක්වෙන්නේ, මෙරට නිෂ්පාදනයක් හෝ මෙරට විකිණීමට ඇති බීර වර්ගයක් නොව සිංගප්පූරුවේ නිෂ්පාදනය කරන බීර වර්ගයකි.

Title:මළ, මුත්‍රා ජලයෙන් නිපදවූ බීර මෙරට වෙළඳපොළේ ?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
