සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බොහෝ සටහන්, ඡායාරූප, වීඩියෝ යනාදිය නොයෙක් අවස්ථාවල දී විනෝදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇති අයුරු අපට බහුලව දැකගන්නට ලැබෙනවා. නමුත් ඇතැම් සටහන් එලෙසින් විනෝදාත්මක ලෙස භාරගත නොහැකි අවස්ථා වන්නේ, අදාළ සටහන් පිළිබඳ කරුණු සෑම සමාජ මාධ්‍ය පරිශීලකයෙකුම දන්නා බවක් උපකල්පනය කළ නොහැකි බැවින් සහ එවැනි සටහන් ඔස්සේ අයපත් ප්‍රතිඵල ද අත්විය හැකි අවදානමක් පැවතීම හේතුවෙන්.

එවැනි ඡායාරූපය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“කාලා බලන්න ඕනිම කෑමක්, පොෂ් අය නම් දන්නේ නැතුව ඇති එක පාරක් හරි කාලා නැත්නම් වැඩක් නැහැ” යනුවෙන් ෆේස්බුක් ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

Facebook | Archived Link

මෙම සටහන 2020 වසරේ සිට මේ වන තෙක් ෆේස්බුක් පරිශිලකයින් පන්දහසකට ආසන්න පිරිසක් අතර හුවමාරු වී තිබෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් මෑතකදී ද සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම ඡායාරූප සටහන් සඳහා ඇතැම් පිරිස් ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ‘නියඟලා අල’ බව දක්වමින් ඇතැම් පිරිස් සඳහන් කළේ මේ ආකාරයේ සටහන් ඔස්සේ මෙම ශාකය පිළිබඳ නොදන්නා පිරිස නොමග යන බවයි.

මේ හේතුවෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු විමසා බැලීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

උපහාසාත්මක කෝණයන්ගෙන් සටහන් නිර්මාණය කරන ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් උපකල්පනය කරනු ලබන්නේ, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සියල්ලන්ම පාහේ සෑම විශයන් කෙරෙහි අවබෝධයෙන් පසුවන දැනුවත් පිරිසක් යනුවෙනි.

මේ හේතුවෙන් ඇතැම් භයන්කර තත්ත්වයන් පිළිබඳ වුවද හුදෙක් විනෝදාත්මක ස්වරූපයෙන් ඉදිරිපත් කෙරෙන කරුණු ඇතුළත් සටහන් ඔස්සේ සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග යා හැකිවාක් පමණක් නොව ඇතැම් අවස්ථාවන් වලදී එ් පිළිබඳ නොදැනුවත් පිරිස එම කරුණු ක්‍රියාවට නැංවීමේදී භයානක, මාරාන්තික තත්ත්වයන් පවා ඇතිවීමේ ඉඩකඩක් පවති.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ දරණු විෂක් සහිත ‘නියඟලා ශාකයේ’ ඵල බවට බොහෝ දෙනා පවසා තිබූ බවක් ද අපට දැකගන්නට ලැබුණා.

උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්  

මෙම ඡායාරූපය අප උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සිරිල් විජේසුන්දර මහතා වෙත යොමු කරනු ලැබූ අතර ඒ මහතා ද තහවුරු කරනු ලැබුවේ, මෙම ශාකය නියඟලා ශාකයේ අල බවයි.

මෙය අධික විෂ සහිත ශාකයක් වන බවත්, නියඟලා ශාකය Colchicaceae කුලයට අයත් බවත්, කොල්විසීන් නමැති ඇල්කලොයිඩ (colchicine alkaloids) විෂ රසායනය පිරී පවතින බවත් මහචාර්ය සිරිල් විජේසුන්දර මහතා පවසා සිටියා.

මෙම ශාකයේ කුඩා ප්‍රතිශතයක් හෝ අනුභව කළහොත්, එය විෂ වීමෙන් ශරීරයේ හිසකෙස් ඇතුළු රෝම හැලීම වූ සිදුවීම් වාර්තා වී ඇති බවත්, මෙම ශාකයේ අල ආහාරයට ගැනීම වඩාත් විෂ සහිත වන බවත් ඒ තුළින් ජීවිත හානි පවා සිදුවිය හැකි බවත්, සත්ත්වයින් පවා මියැදෙන බවයි මහාචාර්ය වරයා සඳහන් කළේ.

නමුත් නියඟලා ශාකය ඖෂධ ගුණයෙන් යුතු ශාකයක් ලෙස හඳුන්වන බවත්, එහි ඇට අපනයනය කළ හැකි බවත්, රසායනික සංඝටක නිස්සාරණය කිරීම තුළින් එම ඖෂධ ගුණ ප්‍රයෝජනයට ගත හැකි බවත් ඒ මහතා පැවසුවා.

කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන හාස්‍ය ස්වරූපයෙන් සැලකිය යුතු කරුණක් නොවන බවත්, මේ ඔස්සේ ජනතාව නොමග යෑම සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියා.

උදාහරණයක් ලෙස මීට පෙර අවස්ථාවකදී ද ‘මදාරා නමැති ශාකය’ ආහාරයට ලබා ගැනීමෙන් ශක්තිය උත්පාදනය වන බව පැවසීම (Energy Boost) හේතුකොට ගෙන එක් පුද්ගලයෙකු එම ශාකය අනුභව කර ඇති අතර ඔහු ජීවිතක්ෂයට පත් වූ බවත්, මෙවැනි වැරදි තොරතුරු අනවබෝධයෙන් පසුවන පුද්ගලයන් වෙතට ලැබීමෙන් ජීවිත හානි සිදු විය හැකි බවයි ඔහු සඳහන් කළේ.

ඔබ නොදන්නා කිසිදු ශාකයක්, අනුභව කිරීමෙන් වළකින ලෙසත්, කුඩා දරුවන් අතට පත් වීමෙන් වළකන ලෙසත්, ඉතාමත් අලංකාර වර්ණයන්ගෙන් යුත් ඇට ජාති, මල් ජාතී කුඩා දරුවන් අතට පත් වීමෙන් වළකින ලෙසත් උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සිරිල් විජේසුන්දර මහතා අවධාරණය කරනු ලැබුවා.

නියඟලා /Niyagala /Gloriosa superba

'ලියනඟලා' යනුවෙන්ද සිංහලෙන් හඳුන්වනු ලබන නියඟලා ශාකය පොළවෙහි හෝ අධාරක ශාකයක් මත මීටර් 4 - 5 පමණ වර්ධනය වන බහුවාර්ෂික වැලකි. පැහැදිළි නටුවක් රහිත, කෙලවර තීවෘ වන පත්‍රයක් සෙ.මි 15 පමණ දිගට වර්ධනය වන අතර පළල සෙ.මි 5 පමණ වේ. ඇතැම් පත්‍රවල කෙලවර පහුරක් ආකාරයට නිර්මාණයවී තිබීම විශේෂත්වයකි. එය ආධාරකයකට සම්බන්ධ වීමට උපකාර වෙයි.

වඳවීමේ තර්ජනට මුහුණපා තිබෙන මෙම ශාක සංරක්ෂණ කිරීමට ද විවිධ වැඩ පිලිවෙලවත් ක්‍රියාත්මක වන අතර නියඟලා ශාක ආසියාවේ සහ අප්‍රිකාවේ වැඩිපුර දැක ගන්නට ලැබෙනවා. සිම්බාබ්වේ රාජ්‍යයේ ජාතික පුෂ්පය ද නියඟලා මලයි.

නියඟලා වැලෙහි හට ගන්නා රතු කහ තැඹිලි මිශ්‍ර පැහැයන්ගෙන් යුක්ත මල් ඉතා අලංකාරවත් ය. මල් මේරීමත් සමඟ රතු වර්ණට හැරෙයි.

මලෙහි වචිත්‍රත්වය සහ අලවල පවතින විෂ සහිත බව නිසා වඩාත් කතාබහට ලක්වන නියඟලා ශාකය Colchicaceae කුලයට අයත් ය.

උද්භිද විද්‍යාත්මකව නියඟලා ද්වීලිංගික ශාකයක් වුවත් අලයෙහි ස්වරූපය අනුව වෙදකමේදී ස්ත්‍රී සහ පුරුෂ ලෙස වර්ග කිරීමකට ලක් කර ඇත. ස්ත්‍රී අලය වටකුරු හැඩයෙන් යුක්ත බවත් පිරිමි අලය නඟුලක් වැනි (L) හැඩයකින් යුක්ත බවත් පොතපතෙහි සඳහන් වේ.

මූලාශ්‍ර : දේශීය වෛද්‍ය ශබ්දකෝෂය - කිරිඇල්ලේ ඤාණවිමල හිමි.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. වීඩියෝවක් මෙතනින්

නියඟලා විෂවීම මඟින් උදර වේදනාව, ඔක්කාරය, වමනය මෙන්ම ආමාශ ආන්ත්රයික, ස්නායු, හෘද හා ඇටමිදුළු විෂ වීම ඉතා වේගවත් සිදුවීමේ අවදානම පවතිනවා

නියඟලා ශාක ඇතැම් විට ගෙවතු අලංකරණය සඳහා ද යොදා ගත්ත ද මෙහි උග්‍ර විෂ සහිත තත්ත්වය හේතුවෙන් කුඩා දරුවන් සිටින නිවෙස්වල වැවීමට සුදුසු නැහැ. මේ පිළිබඳව මෙන්ම වෙනත් ගෙවත්තේ ද දක්නට තිබෙන විෂ සහිත ශාක කිහිපයක් පිළිබඳ කරුණු ඇතුළත් වර්තාවක් මෙතනින්.

එමෙන්ම මෙවැනි ආර්ථික අර්බුදයකට ජනතාව පත් වී ඇති මොහොතක, ආහාර හිඟ තත්ත්වයක් පවතින අවස්ථාවක, ඇතැම් පිරිස් කුමන හෝ ආහාරයක් අනුභව කිරීමෙන් ජීවිතේ ගෙට ගසා ගැනීමට පෙළඹී ඇති හෙයින්ද, ශාකය නම් නොකළ ඵල සහිත ඡායාරූපයක් මේ දිනවල ආහාරයට ගත හැකි ශාකයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම තුළින් ද, මේ පිළිබඳව අනවබෝධයෙන් පසු වන පිරිස් නොමග ගොස් ජීවිත හානි පවා සිදුවිය හැක.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නියඟලා අල සම්බන්ධ ඡායාරූප සටහනේ හුදෙක් විනෝදාස්වාද ස්වරූපයෙන් පළ කර තිබුණ ද එම ඡායාරූපයේ අදාළ ශාකය කුමක්ද යන්න නම් නොකර ආහාරයක් ලෙස අනුභව කළ හැකි ශාකයක ඵලයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම තුළින් මේ පිළිබඳ නොදනුවන් ජනතාව නොමග යාමේ හැකියාවක් ද පවතියි.

උග්‍ර විෂක් සහිත මෙම ශාකයේ ඵල ඇතුළු කොටස් අනුභවය කිරීමෙන් මරණය කරා ළඟා විය හැකි බවට උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහචාර්ය සිරිල් විජේසුන්දර මහතා ද පැවසුවා.

Avatar

Title:කාලා බලන්න ඕන කෑමක් ද? (Photo)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading