ලංකාව මේ වන විට දැඩි විදෙස් විනිමය අර්බුදයකට මුහුණදී තිබෙනවා. එම තත්ත්වය තුළ අත්‍යවශය ද්‍රව්‍ය පවා රටට ආනයනය කිරීම අපහසු තත්ත්වයකට පත්ව තිබෙනවා. රටට විදේශ විනිමය ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් ලංකාවට එවනු ලබන විදෙස් ප්‍රේෂණයි.

රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඉහල දමා ගැනීම සදහා නිත්‍යානුකූල ක්‍රම ඔස්සේ එනම් බැංකු පද්ධති හරහා ලංකාවට ප්‍රේෂණ එවීමට උනන්දු කිරීම සදහා රජය මගින් විදෙස් ශ්‍රමිකයන් සඳහා විවිධ දිරිගැන්වීම් යොදාගන්නා ආකාරයක් පෙනී යනවා. මෑතදී කැබිනට් මණ්ඩල තීරණයක් තීරණයක් හරහා, විදෙස් ශ්‍රමිකයන්ට තීරුබදු රහිතව ඉලෙක්ට්‍රික් වාහන ලංකාවට ගෙන ඒම සදහා යම් වැඩපිළිවෙලක් යෝජනා කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නොමගයවන සුලු සමාජ ජාලා සටහන් ද පළවූ අතර මේ එවන් නොමග යවනසුලු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්.

සමාජ ජාලා සටහන්

ඉලෙක්ට්‍රික් කාර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා ඩොලර් 60,000 ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට එවා තිබිය යුතු බවට සමාජ ජාලා සටහන් පළව තිබුණේ මෙලෙසින්.

“ඇමැති දුන් සිහිනය

එක ඩොලර් එකක් දළ වශයෙන් 350 න් වැඩි කළොත්

60,000 * 350 = 21,000,000

මෙම මුදල සෙවීමට මැදපෙරදිග සේවය කරන කෙනෙක්ට වසර කීයක් ගතවේද ? මෙම මුදල ලංකාවට එවා ඇත්නම් පමණක් ඉලෙක්ට්‍රොනික් මෝටර් ලංකාවට ගෙන ඒමට අවසර හිමිවනු ඇත. මෙය හුදෙක්ම සිහිනයක් පමණි.”

Facebook | Archived

එවැනි තවත් සටහනක් මෙතනින්

මෙම සටහන් සම්බන්ධයෙන් හිමිව තිබුණු ප්‍රතිචාර කිහිපයක් පහතින්.

මේ පිලිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම)

අප විසින් මේ හා සම්බන්ධව ප්‍රධාන මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය මුලින්ම සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඩොලර් 60,000 ක අවම මුදලක් ලංකාවට එවා ඇති විදෙස් ශ්‍රමිකයන්ට පමණක් , විද්‍යුත් මෝටර් රථයක් මිලට ගැනීම සදහා අවස්ථාවක් ලබාදෙන බව විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර තිබුනේ නැති බවයි.

අමාත්‍ය මනුෂගේ කරුණු දැක්වීම (කැබිනට් තීරණ දැනුම්දීම - අගෝස්තු 02)

විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවන ලද ප්‍රේෂණ සම්බන්ධයෙන් විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ඇමැතිවරයා විසින් අගෝස්තු මස 02 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව විස්තර කිරීමක් සිදුකර තිබුණා.

https://youtu.be/cxv1gNfcFj0?t=313

SLBFE

මෙහිදී ඇමැතිවරයා විසින් පවසන්නේ ඩොලර් 20,000 සිට ඉහළට, බැංකු පද්ධතිය හරහා ලංකාවට ප්‍රේෂණ ඒවා ඇති හෝ එවන විදෙස් ශ්‍රමිකයන්ට, තමන් එවූ එම මුදල මෙන් අඩක් වටිනාකම ඇති ඉලෙට්‍රික් වාහන / මෝටර් රථ ගෙන්වීමට අවස්ථාව සලසා දෙන බවයි. මෙහිදී එම වාහනය ආනයන කිරීම සඳහා බලපත්‍රය සපයන උපරිමය වන්නේ ඩොලර් 65,000ක් බව ද ඔහු පවසා සිටිනවා. එනම් යම් අයෙක් ඩොලර් 130,000 කට වඩා ඉහල මුදල් ප්‍රමාණයක් එවා තිබුණත් ඔහුට ගෙන්විය හැකි වාහනයේ උපරිම වටිනාකම ඩොලර් 65,000 ක් පමණයි.

එසේම මෙසේ ගෙන්වන විද්‍යුත් වාහනයන් කිලෝ මීටර් 300-500 අතර ධාවන පරාසසයක විය යුතුයි. අදාළ වාහන සූර්ය බල පද්ධතිය මඟින් ආරෝපනය කළ යුතු අතර එය තමන් විසින් ම සකස් කර ගැනීමට හෝ ගෙන්වා ගැනීමට කටයුතු කළ යුතු අතර ජාතික පද්ධතියෙන් මෙම වාහන චාර්ජ් (ආරෝපණය) කිරීමට අවසරයක් හිමිවන්නේ නැහැ.

එමෙන්ම විද්‍යුත් මෝටර් බයික් පිලිබදවත් අදහස් දක්වමින් අමාත්‍ය මනුෂ පවසන්නේ, ඩොලර් 3000 ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් එවා ඇති හෝ එවන අය වෙනුවෙන් ද ඉහත පරිදි අදාළ මුදලෙන් අඩක උපරිමයකට යටත්ව විද්‍යුත් මෝටර් බයිසිකලයක් ගෙන්වා ගැනීමේ අවකාශය ද ලැබෙන බවයි.

මෙම යෝජනාව මෙන්ම මෙරට ගුවන් තොටුපලේ දී හිමි වන තීරුබදු සහනය සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දැමීම පිළිබඳවත් අමාත්‍යවරයා කරුණු දක්වා සිටිනවා. මෙකී යෝජනා දෙක සඳහාම මුලික කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඇමැතිවරයා පවසන්නේ.

කෙසේ වෙතත් මෙහිදී මෙම යෝජනාව ක්‍රියාවට නංවන ආකාරය පිළිබඳව ඇමතිවරයා පවසන්නේ නැති අතර එසේ ගෙන්වීමට ඉඩ දෙන වාහනවල ස්වභාවය ආදිය පිලිබඳ ඉදිරියේ දී නිකුත් වීමට නියමිත චක්‍රලේඛය හරහා දැනුම්දෙනු ඇති බවත් පවසා සිටිනවා.

අගෝස්තු මස පළමුවැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව රජයේ නිල වෙබ් අඩවියේ සහ කැබිනට් කාර්යාල වෙබ් අඩවිවල සදහන් කරුණු වෙත පිවිසිය හැකියි මෙතනින් සහ මෙතනින්.Archived |Archived

කෙසේනමුත් මෙහිදී ඉහත වරප්‍රසාදය ලබාගැනීම සඳහා අදාළ මුදල් ඒවා තිබිය යුතු කාල පරාස පිලිබඳ අමාත්‍යවරයා සඳහනක් සිදුකර තිබුනේ ද නැහැ. මේ පිලිබදව වැඩිදුර තොරතුරු ලබාගැනීම සදහා අප ඇමැති මනුෂ නානායක්කාරව දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් මෙම සටහන තබන මොහොත වන විට ඔහු විදෙස්ගතව සිටි නිසා උත්සාහය සාර්ථක වුවේ නැහැ.

අප සමග අදහස් පලකල කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් වන එම්.ඩි.එම් .ඩි .කරුණාතිලක මහත්මිය පැවසුවේ, මේ කැබිනට් මණ්ඩල තීරණය හා බැඳි ව්‍යාපෘතිය බල ගැන්වීම සදහා මෙතෙක් අමාත්‍යංශ මට්ටමේ වැඩපිළිවෙලක් / නිර්ණායක සැකසී නොමැති බවයි. ඒ නිසා මෙය ක්‍රියාත්මක කිරීම සදහා වන අවසන් තීරණ මෙතෙක් ගෙන නොමැති බවත් ඇය පැවසුවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

“අද දෙරණ” මෙහෙයවූ රූපවාහිනී සාකච්ඡාවකට සහභාගී වෙමින්, ඉහත විද්‍යුත් වාහන ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා පැහැදිලි කිරීමක් සිදුකර සිටිනවා.

2021 වසරේ මැයි මාසයේ සිට වසර 2022 මැයි දක්වා වසරක කාලයක් සඳහා ඇමරිකානු ඩොලර් 3000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලංකාවට ප්‍රේෂණය කරන ලද පුද්ගලයින්, ඉහත පැවසු පරිදි එම මුදලෙන් අඩ වටිනාකමක් ඇතුළත, විද්‍යුත් මෝටර් බයිසිකලයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් හිමිවනු ඇති බවයි.

විද්‍යුත් මෝටර් රථ සඳහා කාල පරාසය ඊට වඩා වැඩි වන බවත් එය 2021 මැයි සිට 2022 දෙසැම්බර් මස අවසන් වන තුරු එනම් වසර එකහමාරක පමණ කාලයක දී අවමයක් වශයෙන් ඩොලර් 20,000 ඒවා ඇති පුද්ගලයින් මෙම වරප්‍රසාදයට හිමිකම් කියනු ඇති බවත් ප්‍රියන්ත සේනානායක මහතා පැහැදිලි කරනවා.

කෙසේවෙතත් මෙහි දී සිදුවන්නේ වාහන ගෙවීම අත්හිටුවා ඇති මෙම කාලයේ දී වාහන ආනයන කිරීම සඳහා අවසර පත්‍රයක් පමණක් වන අතර අදාළ බදු මුදල් ආදිය බලපැවැත්වෙනු ඇති බවත්, අදාළ චක්‍රලේඛ නුදුරේදී ම නිකුත්කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටිනවා. එම කරුණු දැක්වීම පහතින්.

https://youtu.be/fv8zGC3CuKY?t=1998

විදෙස්ගත ශ්‍රමිකයින් බහුතරයකට විද්‍යුත් මෝටර් රථයක් ලබාගැනීමේ ප්‍රයෝගික ගැටළු

සාමාන්‍යාධිකාරි ගේ පැහැදිලි කිරීම අනුව වුව ද අදාළ කාල පරාසය ඇතුළත ඇමරිකානු ඩොලර් 20,000 ලංකාව ඒවා තිබීමේ ඉලක්කය සපුරා, වාහනයක් ආනයන කිරීමට සුදුසුමක් ලැබීමට නම්, අදාළ පුද්ගලයා විසින් මාසක දී ඩොලර් දහසක (ආසන්න වශයෙන් මසක දී ලක්ෂ 3.5ක් පමණ) ප්‍රමාණයක් අවම වශයෙන් ප්‍රේෂණය කර තිබිය යුතුය. 

ඒ අනුව ඉහත සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු අගය වූ ඩොලර් 60,000 අගය නොමඟ යවන සුළු අතර ව්ද්‍යුත් මෝටර් රථයක් ආනයන කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට නම් ප්‍රේෂණය කර තිබු අවම මුදල වන්නේ ඇමරිකානු ඩොලර් 20,000 ක අගයකි. එනම් රුපියල් සමාජ මාධ්‍ය සටහන්හි දක්වා ඇති මිලියන 21 ක අගය නොව මිලියන 7 ක පමණ අගයකි (ඩොලරය රු.350 ලෙස ගණනය කළ විට) කෙසේනමුත් මෙය අගය ද ප්‍රායෝගික වශයෙන්, වසර එකහමාරක් වැනි කාලයක දී, විදේශගත ශ්‍රමිකයින් වැඩි ප්‍රමාණයකට ලඟා විය හැකි ඉලක්කයක් නොවේ.

එයට හේතුවන්නේ, ඉහත රූපවාහිනී සාකච්ඡාවේ මුල දී සඳහන් කර තිබුනේ මිලියන 1.2ක (ලක්ෂ 12) පමණ ලංකාවේ සිට විදෙස්ගත වී සේවය කරන ශ්‍රමිකයින් සංඛ්‍යාවක් සිටින බවත් එයිනුත් ලක්ෂ 8ක පමණ වැඩි ප්‍රතිශතයක් සිටින්නේ මැද පෙරදිග රටවල බවයි. මොවුන් අතර ද ඉහළ වැටුප් තළයන් හි සිටින පුද්ගලයින් සිටින නමුත්, සාමාන්‍යක් වශෙයෙන් විශාල ශ්‍රමිකයින් සංඛ්‍යාවක් ලංකාවට ප්‍රේෂණය කරන්නේ මසක දී ඩොලර් 300-400 අතර අගයකි. ඒ අනුව එම කාණ්ඩයට මසක දී ඩොලර් දහසක් පමණ ප්‍රේෂණය කොට, මෝටර් රථයක් ලබාගැනීමේ වරප්‍රසාදයක හිමිකම් කීමේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මැද පෙරදිග ට සාපේක්ෂව දකුණු කොරියාව, ජපානය , යුරෝපය ඇතුළු කලාපවල රැකියාවල නියුතු ශ්‍රමිකයින් සාමාන්‍යක් ලෙස වඩා ඉහළ වැටුප් තලයක සිටිනවා.

එසේම වාහන ගෙන්වීමේ දී බලපත්‍රයක් ලබාදීමේ සහනය කෙතරම් දුරට බහුතර අඩු වැටුප් තලයක සිටින විදෙස්ගත ශ්‍රමිකයින්ට ප්‍රායෝගික ද යන්නත්, එය මේ මොහොතේ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රධාන අවශ්‍යතාවක් ද යන්නත් ප්‍රශ්න කරමින් පළවූ වාර්තාවක් මාධ්‍ය වාර්තාවක් මෙතනින් | Archived

ලංකාවට එවන ප්‍රේෂණ ප්‍රමාණක වැඩිකරගැනීමේ අරමුණින් ලබාදෙන වරප්‍රසාද

2020 වසර දක්වා ඊට පෙර වසර කිහිපයේ ම සාමාන්‍ය අගයක් ලෙස ඩොලර් බිලියන 7ක පමණ වූ විදේශයන්ගේ සිට ලංකාවට සිදුවූ වාර්ෂික ප්‍රේෂණ, 2021 වසරේ දී ඩොලර් බිලියන 5.4ක් දක්වා අඩු වී තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත අනුව කොවිඩ්19 වසංගත හේතුවෙන් විශාල ශ්‍රමිකයින් පිරිසක් ලංකාවට පැමිණිමත් ඒ තුළින් මෙම ප්‍රේෂණ අඩුවීමට යම්කිසි බලපෑමක් සිදුව තිබුණත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් මේ වන විට නැවත විදෙස් රැකියා සඳහා යොමු වී තිබෙනවා.

එහෙත් 2022 වසරේ දී ද මේ දක්වා ලංකාවට නිල වශයෙන් එවන ලද ප්‍රේෂණ ප්‍රමාණය ඉතා පහළ අගයක පැවතීම හේතුවෙන්, සම්මත බැංකු ක්‍රම යටතේ ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ නැංවීමට සිදුකරන දිරිගැන්වීමක් ලෙසයි විද්‍යුත් මෝටර් රථ බලපත්‍රයක්, ගුවන්තොටුපලේ දී ලබාදෙන තීරුබදු සහන ඉහළ දැමීම යානා දී සහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ.

2015 සිට 2022 ජුලි මස දක්වා විදේශයන්හි සිට ලංකාව සිදුවූ ප්‍රේෂණ ප්‍රමාණ පිලිබඳ මහ බැංකු දත්තයන් පහතින්.

Table</p><p>Description automatically generated

ශ්‍රී ලාංකිය විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී ඇති දිරි දීමනා මෙතනින්

එසේම විදේශයන්හි පිහිටි තොරතුරු තාක්‍ෂණ/තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ සමාගමක, ලංකාවේ සිට සේවයේ යෙදෙන ශ්‍රමිකයින් ද වැටුප් ලෙස ඇමරිකානු ඩොලර් ලංකාවට ප්‍රේෂණය කරන බැවින් ඔවුන් සඳහා ද ඉහත පැරිදි වාහන ලබාගැනීමේ පහසුකම දීර්ඝ කිරීම පිලිබඳ ජනපති සමඟ සකච්ඡා කළ බවත්, ඔහු එයට ධනාත්මක ප්‍රතිචාරයක් දැක්වූ බවත් මනුෂ නානායක්කාර අමාත්‍යවරයා, අගෝස්තු මස 10 වන දා, ට්විටර් පණිවුඩයකින් සඳහන් කර තිබුනේ මෙලෙසින් | Archived

විද්‍යුත් මෝටර් රථවල මිලෙහි සීග්‍ර ඉහළ යාම

මේ වසරේ මුල් භාගයේ දී ලොව පුරා ඉන්ධන මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් වශයෙන් විද්‍යුත් මෝටර් රථ සඳහා වූ ඉල්ලුම ද සීග්‍ර ලෙස ඉහළ යාමක් දක්නට ලැබුණා. කෙසේනමුත් මෑත භාගයේ දී ගෝලීය ඉන්ධන මිලෙහි අඩු වීම සමඟ විද්‍යුත් මෝටර් රථ සඳහා නැඹුරු වීමේ ගෝලීය ප්‍රවණතාව ද සීග්‍රයෙන් අඩු වී තිබෙනු දක්නට ලැබෙන බවත් වාර්තා වෙනවා. එසේම හේතු රැසක් මුල් කරගනිමින් විද්‍යුත් මෝටර් රථයන් හි මිල තවදුරටත් වර්ධන වී ඇති ආකාරයක් ද නිරීක්ෂණය වෙනවා. ඒ පිලිබඳ වාර්තාවක් මෙතනින්

2022 වාසරේ දී මිල අඩුම නව විද්‍යුත් වාහන පිලිබඳ වාර්තාවක් මෙතනින්. නමුත් මෙහි අවම අගය ද ලංකාවට සිදුකරන ප්‍රේෂණ යටතේ, විද්‍යුත් වාහනයක් ලබාගැනීමේ අවම සීමාව වන ඇමරිකානු ඩොලර් 10,000 ට (ඩොලර් 20,000ක අවම ප්‍රේෂණ සඳහා) වඩා වැඩි අගයක් ගන්නවා. එසේම විද්‍යුත් මෝටර් රථ බලපත්‍රයක් ලබාදීමේ දී ආනයනය කිරීමට ඉඩ ලබාදෙන්නේ අලුත්ම මෝටර් රථ පමණක්ද , එසේ නැතහොත් පාවිචිචි කරන ලද වාහන ගෙන්වීමට ඉඩ ලබාදෙනවාද යන්න පිලිබදව මෙතෙක් අමාත්‍යංශය මඟින් කරුණු දැක්වීමක් සිදුකර තිබුනේ ද නැහැ.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News |TikTok

අවසාන නිගමනය

අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූ කාරණය වන්නේ ඩොලර් 60,000 ක් අවමය ලෙස ලංකාවට ඒවා ඇත්නම් පමණක් ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ආනයනය කිරීමට හැකිවන බවක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් පවසා තිබුනේ නැති බවයි. අමාත්‍යවරයා පවසා තිබුනේ මෙසේ විද්‍යුත් මෝටර් රථයක් ආනයනය කිරීමේ බලපත්‍රයක් ලබාගැනීමට ප්‍රේෂණය කර තිබු අවම මුදල විය යුත්තේ ඩොලර් 20,000ක් බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි පැහැදිලි කරන්නේ ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ආනයනය කිරීමට බලපත්‍රයක් ලබාගැනීමට අවම සුදුසුකම වන්නේ 2021 මැයි මස සිට 2022 දෙසැම්බර් දක්වා ඇමරිකානු ඩොලර් 20,000 ක අවමයක් සම්මත බැංකු ක්‍රම යටතේ තමාගේ හෝ පවුලේ අයෙකුගේ ගිණුමකට ප්‍රේෂණය කර තිබීම යනුවෙනි.

කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක විය කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් වැඩපිළිවෙලක් මෙතෙක් සකසා නැත.

Avatar

Title:ඉලෙක්ට්‍රික් මෝටර් රථයක් ලංකාවට ගෙන්වීම සදහා ඩොලර් 60,000 ක් ලංකාවට එවා තිබිය යුතුද?

Fact Check By: Kalana Krishantha

Result: Misleading