දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ගැම්බියාවේ කුඩා දරුවන්ට ‘කැස්ස’ සඳහා ලබා දෙන සිරප් වර්ග 4ක් හේතුවෙන් මේ වන විට ළමුන් 70කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙම සිරප් වර්ග ලංකාවට ආනයනය කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් මුල් කරගෙන මේ පිළිබඳව Fact Crescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

ගැමීබියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාව ඇතුළු රටවල් 42කට යවලා” යනුවෙන් සඳහන් කරමින් පුවත් පතක පළ වූ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

Facebook | Archived Link

දිවයින වෙබ් අඩවියේද, ඒ පිළිබඳව පළ වී තිබුණේ මේ අයුරින්. Archived Link

මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

මෙම සටහන් පිළිබඳ නිරවද්‍යතාව විමසා බලන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.

Explainer (කරුණු පැaහැදිලි කිරීම) :

පසුගිය සැප්තැම්බර් 05 වන දා ගැම්බියාවේ ළමුන් 66 දෙනෙකුට මරු කැඳවීමට හේතුව ලෙස කුඩා ළමුන්ට කැස්ස සඳහා ලබා දෙන සිරප් වර්ග 04ක් සම්බන්ධ විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමෙන් පසු ගෝලීය අනතුරු ඇඟවීමක් නිකුත් කළා.

ලෝක සෞඛ්‍ය සංවිධානය

ඔවුන් එම අනතුරු ඇඟවීමෙන් සඳහන් කර තිබුණේ, මෙම නිෂ්පාදන ගැම්බියාවේ දී හඳුනා ගත්ත ද, අවිධිමත් වෙළඳපළ හරහා, වෙනත් රටවලට හෝ කලාපවලට ද මේවා බෙදා හැර තිබීමේ හැකියාව පවතින හෙයිනි. මෙම ඖෂධ භාවිතය නිසා විශේෂයෙන් ළමුන් බරපතල තුවාල වලට හෝ මරණයට පත් විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවසන ලද එම සිරප් වර්ග 04 වන්නේ, Promethazine Oral Solution, Kofexmalin Baby Cough Syrup, Makoff Baby Cough Syrup සහ Magrip N Cold Syrup. මේවා නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියානු ඖෂධ සමාගමක් වන Maiden Pharmaceuticals විසිනි.

Maiden Pharmaceuticals ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද කැස්ස සිරප් සාම්පල පරීක්ෂා කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉන්දියාව පවසා තිබූ අතර නිෂ්පාදන සාම්පල වලින් ලද රසායනාගාර විශ්ලේෂණය අනුව, ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් (Diethylene glycol and Ethylene glycol) පිළිගත නොහැකි ප්‍රමාණයන් අඩංගු බව තහවුරු වී තිබුණා. ඒ පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තාව මෙතනින්.

මෙම ද්‍රව්‍ය විෂ සහිත වන අතර, උදරයේ වේදනාව, වමනය, පාචනය, මුත්‍රා පිට කිරීමට නොහැකි වීම, හිසරදය, වෙනස් වූ මානසික තත්ත්ව සහ මරණයට හේතු විය හැකි උග්‍ර වකුගඩු ආබාධ ඇතුළත් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබුණේ. ඒ පිළිබඳව පළ වූ ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

ඉන්දියාවේ නිෂ්පාදිත කැස්ස සිරප්වලට සම්බන්ධ යැයි සැලකෙන උග්‍ර වකුගඩු ආබාධයෙන් මිය ගිය දරුවන්ගේ සංඛ්‍යාව මේ වන විට 70 දක්වා ඉහළ ගොස් ඇති බව ගැම්බියා රජය පසුගිය 15 වන දා ප්‍රකාශ කළා. ඒ පිළිබඳ රොයිටර් වාර්තාව මෙතනින්. Archived Link

ශ්‍රී ලංකාවට මෙම සිරප් ආනයනය කරනවා ද?

Maiden Pharmaceuticals වෙබ් අඩවියේ දැක්වෙන පරිදි ඔවුන්ගේ නිෂ්පාදන ලංකාව ඇතුළු රටවල් රැසකටම අපනයනය කරන බව අපට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

Archived Link

නමුත් මේ දිනවල වැඩි ලෙස කතාබහට ලක්ව ඇති ළමුන් සඳහා ලබා දෙන ඉහත සඳහන් සිරප් වර්ග හතර මෙරටට ආනයනය කරනු ලබනවාද යන්න පිළිබඳ එහි විශේෂයෙන්ම සඳහන් වී නොතිබුණි.

BBC වාර්තා පෙන්වා දෙන්නේ, ඉන්දීය බලධාරීන් සහ මෙම සිරප් නිෂ්පාදන ඖෂධ සමාගම වන Maiden Pharmaceuticals පවසා ඇත්තේ, මෙම සිරප් අපනයනය කර ඇත්තේ ගැම්බියාවට පමණක් බවයි.

BBC | Archived Link

කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, නිෂ්පාදකයා විසින් දූෂිත ඖෂධ ලබා දී ඇත්තේ ගැම්බියාවට පමණක් බව ඉන්දියාවේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය පෙන්වා දුන්න ද, Maiden Pharmaceuticals ඖෂධ සමාගම වෙනත් නිෂ්පාදනවලට ද, ඉහත සිරප් වර්ග නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන ලද දූෂිත ද්‍රව්‍ය භාවිතා කර ඒවා දේශීයව බෙදා හැරීම හෝ අපනයනය කර ඇති බැවින් ගෝලීයව පැතිර යාමේ අවදානමක් පවතින බවයි. ඒ පිළිබඳව මෙතනින්.

ලංකාවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගිය සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම සිරප් නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මේ පිළිබඳ අවධානය යොමු කරමින් එම ඖෂධ වර්ග ඉදිරියේදීත් කිසිසේත් මෙරටට ගෙන්වීමක් සිදු නොකෙරෙන බව ද, අමාත්‍යවරයා එමගින් අවධාරණය කර තිබුණා.

මෙරට ඖෂධ ලියාපදිංචි කෙරෙන ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රට තුළට ඖෂධ ගෙන්වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ බෙදාහැරීම් කෙරෙන ඖෂධ සැපයුම් අංශය යන අදාළ ආයතනයන්ගෙන් මේ පිළිබඳව කළ සොයා බැලීමේදී සහ පසුගිය වකවානුව තුළ මෙරටට ලැබුණු පරිත්‍යාග පිළිබඳව සොයා බැලීමේදී ද, එම ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කර සිටිනවා. එම සම්පූර්ණ නිවේදනය මෙතනින්.

ශ්‍රී ලංකාව, ඝානාව, නයිජීරියාව සහ මොසැම්බික් යන රටවල් සියල්ලම ඉන්දීය ඖෂධ අපනයනයේ ගුණාත්මකභාවය පිළිබඳව මීට පෙරදී පැමිණිලි කර තිබුණා. "සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ ඖෂධාගාරය" ලෙස ඉන්දියාවේ කීර්ති නාමය බරපතල අනතුරක පවතින අතර ඒ බවට පළ වූ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තාවක් මෙතනින්. Archived Link

ගැම්බියාව සතුව දැනට පවතින ඖෂධ ආරක්ෂිත ද, නැද්ද යන්න පරීක්ෂා කළ හැකි රසායනාගාරයක් නොමැත. නමුත් මෙරට අලෙවිය සඳහා ඇති ඖෂධීය නිෂ්පාදනවල ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව පිළිබඳ අදාළ ප්‍රමිතීන් සපුරාලීම සහතික කරමින් මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා ත්, අධිකාරිය ඖෂධ, වෛද්‍ය උපකරණ, සීමාස්ථ නිෂ්පාදන, සායනික අත්හදා බැලීම් සහ සුවඳ විලවුන් නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටා තිබේ. ඖෂධීය නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහතික කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජාතික ඖෂධ තත්ව සහතික කිරීමේ රසායනාගාරය (NMQAL) ද ජාතික ඖෂධ නියාමන අධිකාරියෙහි විෂය පථය යටතේ ක්‍රියාත්මක වේ. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ

ඉන්දියාවේ මධ්‍යම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම ඖෂධ ප්‍රමිති පාලන සංවිධානය (CDSCO) ප්‍රකාශ කළේ, හර්යානා ප්‍රාන්ත ඖෂධ පාලක විසින් ඖෂධ නිෂ්පාදනය සඳහා නියම කර ඇති ප්‍රමිතීන් බරපතල ලෙස උල්ලංඝණය කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හර්යානා හි Maiden Pharmaceuticals Limited පරීක්ෂා කරන බවයි. හර්යානා සෞඛ්‍ය අමාත්‍ය අනිල් විජ් පවසා ඇත්තේ, බලධාරීන් ප්‍රාන්තයේ Sonepat නගරයේ Maiden කම්හලක් පරීක්ෂා කළ අතර ඖෂධ නිෂ්පාදනය සඳහා නියම කර ඇති නියමයන් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බවත්, නිෂ්පාදන කම්හල පරීක්ෂා කිරීමෙන් පසු අනාවරණය වූ බහුවිධ විෂමතා සම්බන්ධයෙන් එම කැස්ස සිරප් නිෂ්පාදනය නවතා දමා ඇති බවත්ය . මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින් සහ මෙතනින්

කෙසේවෙතත් Maiden Pharmaceuticals පවසන්නේ එය ජාත්‍යන්තරව පිළිගත් තත්ත්ව පාලන ප්‍රමිතීන්ට අනුකූල බවයි.

https://twitter.com/ANI/status/1578761607026331651

එසේවුවත් ඉන්දියාවේ දේශීය ප්‍රමිතීන්ට අනුකූල නොවීම හේතුවෙන් මීට පෙර ද අවස්ථා කිහිපයක දී මෙම ආයතනය ප්‍රශ්නගත තත්ත්වයන්ට මුහුණ දී තිබෙනවා. නිල වාර්තා පෙන්වා දෙන්නේ මෙම ආයතනය 2011 දී බිහාර් ප්‍රාන්තය විසින් අසාදු ලේඛනගත කරන ලද බවත්, තත්ත්ව පාලන උල්ලංඝනය කිරීම් සඳහා 2018 දී ඉන්දියාවේ ඖෂධ නියාමකයා විසින් නීතිමය ක්‍රියාමාර්ගවලට යටත් වී ඇති බවත් ය. තව ද 2020 දී ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ තත්ත්ව පාලන පරීක්ෂණයකින් අසමත් වී තිබු අතර 2022 දී කේරළ ප්‍රාන්තයේ තත්ත්ව පාලන පරීක්ෂණ හතර වතාවක් අසමත් වීම මෙන්ම ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන අපනයනය කිරීම සඳහා වියට්නාමය විසින් අසාදු ලේඛනගත කර ඇති ඉන්දියානු ඖෂධ සමාගම් 40 කට ආසන්න සංඛ්‍යාව අතර එම සමාගම ද අන්තර්ගත බව සඳහන්. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ගැම්බියාවේ දරුවන් 66කට මරු කැඳවූ ළමා සිරප් ලංකාවට?

By: Pavithra Sandamali

Result: Explainer