පවතින ආර්ථික අර්බුදය හමුවේ ,සියලු දෙනාම ජිවත්වෙන්නේ දැඩි අපහසුතා මධ්‍යයේ යි. එවන් තත්වයක් තුළ දිළිදුකම, ආහාර හිගය පිලිබදව සටහන් නිතර සමාජ ජාලාවල පැතිරෙනවා. දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා සිය පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර දමා ඇති බවට පුවත්පත් වාර්තාවක් පදනම් කර ගනිමින් පළවන සමාජ ජාලා සටහන් පිලිබදව අප විසින් කරුණු විමසා බැලුවා. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමක් පහතින්.

සමාජ ජාලා සටහන්

දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර හිගය නිසා පාසල් ගමන නවත්වා ඇති බවට සමාජ ජාලා සටහන් පළව තිබෙන ආකාරය දක්නට ලැබුණා.

"ගම් අටක දරුවෝ ආහාර අහේනියක..!

පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.

ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.

දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය.

(නිමල් ජයරත්න)"

Facebook | Archived

ජන ජිවිතයට බලපාන කරුණක් නිසා මේ පිලිබදව කරුණු විමසීමක් කිරීමට අප තීරණය කළා.

Explained (කරුණු විමසා බැලීම)

අප මුලින්ම ලංකාදීප පුවත්පතේ මෙම පුවත පළව ඇති ආකාරය විමසා බැලුවා. පුවත්පතේ පළව තිබු සටහනම මදක් කෙටියෙන් ලංකාදීප වෙබ් අඩවියේ පළව තිබුණේ මේ ආකාරයෙන්.

"පවතින ආර්ථික අහේනිය සහ සීඝ්‍රයෙන් බඩු මිල ඉහළ යෑමත් සමග පීඩාවට පත්ව සිටින තම ආදිවාසී පවුල්වල දරුවන්හට නිසි ආහාර වේලක් ලබාදීමට නොහැකිවීමෙන් කුසගින්නේ දවස ගත කරන ඔවුන් නිවෙස්වල මෙන්ම පාසල්වලට යෑමේදී කලන්තය සැදී බිම ඇද වැටීම මහා අවාසනාවන්ත තත්ත්වයකට පත්ව ඇති බව දිඹුලාගල දලුකාන ආදිවාසී නායකා කේ.ලිසිනෝනා මහත්මිය සඳහන් කළාය.

ආහාර හිඟ වීම නිසා තම ගම්මාන 8ක දරුවන් දාහකට අධික සංඛ්‍යාවක් පාසල් ගමන සම්පූර්ණයෙන්ම අතහැර ඇති බවත්, පවතින ආර්ථික තත්වය හමුවේ දරුවන්ට ආහාර සහ අනෙකුත් පාසල් උපකරණ ලබාදීමට නොහැකි තත්ත්වය මත ඇතැම් ආදිවාසී දරුවන් පාසල් නොයන මට්ටමට පත්ව සිටින බවද ලිසීනෝනා මහත්මිය කීවාය.

දිඹුලාගල දලුකාන, පරණ මිල්ලාන, කොළකනවාඩිය, යක්කුරේ, පහල යක්කුරේ, කලුකැලේ, ඇල්ලේවැව, කුඩාවැව, ඇතුළු ආදිවාසි ගම්මාන කිහිපයක දරුවන් එලෙස හාමතේ සිටින අතර මේ සඳහා ජනාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය මෙන්ම අනෙකුත් වගකීව යුතු ආයතන මැදිහත්ව ඊට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඇය ඉල්ලීමක් කළාය."

Lankadeepa | Archived

පුවත මුලින්ම පලකළ ලංකාදීප මාධ්‍යවේදියා

අප මුලින්ම මෙම පුවත ලංකාදීප පුවත්පතේ පලකළ මාධ්‍යවේදියා දුරකථනයෙන් සම්බන්ධ කරගත්තා. ඔහු පැවසුවේ මෙම සටහනට මුල්වූ සාකච්චාව සිදුවුවේ ලිසි නෝනා නම් ආදිවාසී නායිකාව සහ තමන් අතර බවයි. එමෙන්ම ඒ සදහා වෙනත් මාධ්‍යවේදීන් සම්බන්ධව නොසිටි බවත් ඔහු පැවසුවා. එමෙන්ම ලිසි නෝනා නම් ආදිවාසී නායිකාව මෙම අදහස් පලකල බවට වන හඩ පටද තමන් සතු බවයි ඔහු සදහන් කලේ. එමෙන්ම ප්‍රදේශයේ පවතින තත්ත්වය මෙම පුවත්පත් වාර්තාවේ සදහන් තත්වයට සමාන බවත්, පුවත පලකලේ එය සොයා බැලීමෙන් අනතුරුව බවත් අදාළ මාධ්‍යවේදියා පැවසුවා.

ලිසි නෝනා පුවත පිලිබඳ දැක්වූ අදහස්

ලිසි නෝනා නම් කාන්වතාව සම්බන්ධ කර ගැනීමට ද අපට හැකියාව ලැබුණු අතර ඇය පැවසුවේ තමන් සිසුන් 10 දෙනෙක් පමණ ආහාර ප්‍රශ්නය නිසා පාසල් නොයන බවක් මාධ්‍යවේදියාට පැවසූ විට ඔහුට එය ඇසී ඇත්තේ දහසක් පමණ ලෙස බවයි. කෙසේ වෙතත් ආහාර හිගය නිසා දුක් විදින පවුල් මෙම ගම්මානවල ඇති බවත් ඇය පැවසුවා. නමුත් පාසල් යන සිසුන්ට පාසල්වලදී උදේ සහ දිවා ආහාර පාසල් මගින් නොමිලේ ලබාදෙන බවයි ඇය පැවසුවේ.

කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍ය අංශය මෙම පුවත ප්‍රතික්ෂේප කරනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය පලකල නිවේදනය කියවිය හැකියි මෙතනින්. Archived

ජනාධිපති ලේකම්වරයාගේ උපදෙස් මත මේ පිලිබදව විමසීමක් සිදු කරන පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයාද මේ පිලිබදව සොයා බැලීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිතව දන්වා සිටින්නේ දිඹුලාගල ප්‍රදේශයේ එවන් තත්වයක් නොමැති බවද ,ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රදේශයේ පාසල් වලට සම්බන්ධ වෘත්තිකයන්ද එවන් තත්ත්වයක් නොමැති බව තහවුරු කරන බවයි. දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අදාළ පරිපාලන නිලධාරින් සමග අදාළ පුවත්පත් වාර්තාවේ සදහන් වන ගම්මාන වෙත ගමන් කර ඇති අතර එහිදී තහවුරුව ඇත්තේ එම ගම්මානවල ළමුන් අතර ආහාර හිගය නිසා සම්පුර්ණ පාසල් අධ්‍යාපනයම අතහැර දැමු පාසල් සිසුන් දහසක් සිටින බවට වන පුවත සාවද්‍ය බවයි. එමෙන්ම එහිදී අදාළ පුවත්පත් වාර්තාවට පාදකවන ප්‍රකාශය සිදු කල බවට පැවසෙන ආදිවාසි නායිකාවක් වන ලිසි නෝනා ද පවසා ඇත්තේ ආහාර හිගය නිසා සම්පුර්ණ පාසල් ගමනම නතර කළ සිසුන් එහි දක්නට නොමැති බවයි. ආර්ථික දුෂ්කරතා,දෙමව්පියන්ගේ නොසැලකිල්ල ,දෙමාපියන්ගේ මත්ද්‍රවය වලට ඇබ්බහිවිම් ඇතුළු විවිධ හේතුන් මත පාසල් ගමනකඩින් කඩ නතර කරන සිසුන් සිටින බවක් ඇය පවසා තිබෙනවා. එමෙන්ම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කණ්ඩායම දළුකාන මලියදේව ප්‍රාථමික විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකට ගොස් ඇති අතර එහිදී නිරීක්ෂණය වී ඇත්තේ එම පාසල්වල සිසුන්ට උදැසන සහ දිවා ආහාරය පාසල්වලින් නොමිලයේ ලබාදෙන බවයි.

පොළොන්නරු දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන් ඇතුලු කණ්ඩායම මේ පිලිබදව ඒ ප්‍රදේශයේ සිදුකල සංචාරයේදී ආදිවාසි නායිකා ලිසි නෝනා ව හමුවූ අවස්ථාව, එහිදී ඒ සම්බන්ධයෙන් ඇය දැක්වූ අදහස් මෙන්ම පාසලක විදුහල්පතිනියක් සහ ප්‍රදේශ වාසින් මේ සම්බන්ධයෙන් පලකරන ලද අදහස් පහත වීඩියෝවෙන් .

https://youtu.be/D1VTOJR_Oio?t=10

දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලය

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ දිඹුලාගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පැවසුවේ මේ පිලිබදව තම කාර්යාලය මගින් සොයා බැලීමක් සිදුකර ඇති බවයි. අධ්‍යාපන කලාපයේ මෙම පුවත්පත් වාර්තාවේ සදහන් වන ගම්වල දරුවන් පැමිණෙන පාසල් දහසයක විස්තර සොයාබැලු බවත් එහිදී කිසිදු පාසලක අසාමාන්‍ය ලෙස පැමිණීමේ අඩුවක් දක්නට නොලැබෙන බවයි ඇය සදහන් කලේ.

රජයෙන් උදේ ආහාර ලබාදීමේ වැඩපිළිවෙල ,Rise Up නමින් හැදින්වෙන වෙනත් වැඩසටහනක් මෙන්ම බාහිර සම්පත් දායකයන් මගින් ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ද ලෙසින් එම පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන් සදහා ආහාර ලබාදීමේ වැඩසටහන් 3 ක් ක්‍රියාත්මක වන බවයි ඇය පැවසුවේ. මෙම පාසල්වලින් සමහරක් පාසල්වල ද්විතික අංශය සදහාද මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවත් ඇය පැවසුවා. ඔවුන් විසින් සොයා බැලු පාසල් 16 ළමුන් 4000 පමණ ප්‍රමාණයක් සිටින බවත් ඉන් 1200 පමණ ප්‍රාථමික අංශයේ සිසුන් බවත් ඇය පැවසුවා.

සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය තාවදුරටත් පවසා සිටියේ දෛනිකව පාසල් නොපැමිණෙන සිසුන්ගේ ප්‍රතිශතය සාමාන්‍ය අගයක තිබෙන බවයි. පසුගිය මාස කිහිපය තුළ එම අගය විශේෂ ඉහළයාමක් හෝ පහළ යාමක් දක්නට නොමැති බව තම දත්ත අනුව නිරීක්ෂණය වන බවත් පැවසුවා. කවර කාලයක වුවත් පාසල් නොපැමිණෙන හෝ කඩින් කඩ පාසල් නොපැමිණෙන සිසුන් සිටින බව පැවසූ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය එය දෙමාපියන් මගින් දරුවන්ව පාසල් නොඑවීම ආදී හේතු ගණනාවක් මත පදනම්වන බවත් සදහන් කළා.

මිරිදිය ධිවර කටයුතු ආදී තම ජීවනෝපාය කටයුතු සදහා දරුවන් යොදා ගැනීම ,ගොවිතැන් කටයතු සදහා සම්බන්ධවීම , දෙමාපියන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම ආදී හේතු ගණනාවක් මත මෙම ප්‍රදේශයේ ඇතැම් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යම් ආකාරයක බාධා එල්ලවී තිබුණත් ආහාර හිගය නිසා පාසල් නොපැමිණෙන දරුවන් පිලිබදව වාර්තා නොවන බවත් ඇය සදහන් කළා.

දුප්පත් දෙමාපියන්ගේ දරුවන් සහ දෙමාපිය රැකවරණය අහිමිවූ දරුවන්  සදහා අවශ්‍ය පාසල් උපකරණ ලබාදීම ආදී සහන වැඩසටහන්ද මෙම ප්‍රදේශය තුළ ක්‍රියාත්මක බවත් ඇය හෙලිකලා.

මේ පිලිබදව වැඩිදුරටත් අප විසින් කරුණු විමසා බලන අතර එම තොරතුරු සමග මෙම ලිපිය යාවත්කාලින වෙනු ඇත.

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:දිඹුලාගල ගම්මාන 8 ක දරුවන් දහසක් ආහාර ගැනීමට මුදල් නොමැති වීම නිසා පාසල් ගමන සම්පුර්ණයෙන්ම නතර කර ඇතිද?

Fact Check By: Kalana Krishantha

Result: Explainer