නොවැම්බර් මුල් සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

වික්ටෝරියා වේල්ල නිර්මාණය කිරීමට එකදු යකඩ කම්බියක්වත් යොදා නොගත් බවට කියවෙන පුවතේ ඇත්ත කතාව!

ඇතැම්විට ඔබටත් ඇසී ඇති, වික්ටෝරියා වේල්ල එකදු යකඩ කම්බියක්වත් යොදා ගන්නේ නැතිව සෑදු බව දැක්වෙන, විශ්වාස කිරීමට අපහසු පුදුම සහගත ප්‍රකාශය, සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව සමාජ කතිකාවතක් ලෙස හුවමාරු වන්නේ අද ඊයේ සිට නොවේ.

Fact Crescendo විමර්ෂණයේ දී අනාවරණය වුයේ වික්ටෝරියා ජලාශය සහ වේල්ල පිළිබඳ පැහැදිලි කිරීමේ කාර්යයේ නියුතු පුද්ගලයෙකු විසින් අතිශයෝක්තියෙන් සිදුකර තිබු නොමඟ යවන සුළු කරුණු පැහැදිලි කිරීමක්, මෙම නොමඟ යවන සුළු අසත්‍ය ප්‍රකාශය සඳහා සඳහා මුල්වී තිබු බවයි.

වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වසන්ත ඇහළපිටිය සඳහන් කළේ, වෙනත් බොහෝ වේලි මෙන්ම වික්ටෝරියා වේල්ලේ ද විශේෂයෙන්ම වාන් දොරටු සවිකර ඇති ප්‍රදේශය (spillway) යකඩ/වානේ කම්බි මිශ්‍ර කොන්ක්‍රීට් (reinforced concrete) යොදාගනිමින් නිර්මාණය කර ඇති බැවින් යකඩ යොදා නොගත් බව අසත්‍යක් බවයි.

කෙසේනමුත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහනේ ඇතැම් කරුණු සත්‍ය වන අතර වික්ටෝරියා මෙන්ම එම අවධියේ මෙන්ම ඉන්පසුව බොහෝ වේලි නිර්මාණය කිරීමේ දී Roller Compacted Concrete (RCC) යොදාගෙන තිබෙනවා. සාමාන්‍ය කොන්ක්‍රීට් සඳහා යොදාගැනෙන අමුද්‍රව්‍ය ම මෙහිදී ද බොහෝදුරට යොදාගැණුන ද වෙනස් අනුපාතයන්ගෙන් මිශ්‍ර කෙරෙන අතර අඩු වියදම් සහ ඉක්මන් ඉදිකිරීම් සඳහා යෝග්‍ය වනවා.

වික්ටෝරියා වේල්ල එංගලන්ත රජයේ රුපියල් මිලියන 8400ක පරිත්‍යාගයක් ලෙස ඉදි කර ඇති නමුත්, සමාජ මධ්‍ය ජාලා ලිපි මගින් දැක්වූ පරිදි හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතා, එංගලන්ත මහ රැජිණ රවටා වික්ටෝරියා වේල්ල ඉදි කරවා ගත් බවට සදහන් කර තිබෙන ප්‍රකාශයේ සත්‍යතාවක් නොමැති බවත්, මෙවැනි රාජ්‍යතාන්ත්‍රික කටයුත්ක දී එවැනි වංචනික ක්‍රියා කිරිමට කිසිදු අවකාශයක් නොමැති බව වගකිමෙන් පැවසිය හැකි බවත්, වික්ටෝරියා ජලාශ වේල්ලේ නඩත්තු කටයුතු භාර ඉංජිනේරු සාලිය රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ, ජලය පිරෙන විට වේල්ල ඉස්සරහට සහ පිටුපසට චලනයක් සිදු වූවත්, එම ප්‍රමාණය පියවි ඇසට නොපෙනෙන තරම් ප්‍රමාණයක් බවත්, වේල්ල අභ්‍යන්තරයේ මිනිසුන් 50,000 කට පමණ රැදි සිටිය හැකි බවට සමාජ මාධ්‍ය ලිපි වල පළ කර ඇති කරුණ ද අසත්‍යක් බවත්, මහජනතාව වේල්ල අභ්‍යන්තරය නැරඹීම ඉතා අවදානම් වන අතර, එය වේල්ලෙ රාජකාරි කටයුතු සදහා ඉමහත් බාධාවක් වන බවයි.

මීටර් 122ක උසක් සහිත ද්විත්ව වක්‍ර ආරුක්කු වේල්ලක් ලෙස නිර්මාණය කර ඇති වික්ටෝරියා වේල්ල ලංකාවේ උසම වේල්ලට හිමිකම් කියනවා. එක්සත් රාජධානියෙන් ලැබුණු ආධාරයක් යටතේ 1978 වර්ෂයේදී ඉදිකිරීමට පියවර ගත් වික්ටෝරියා වේල්ල, 1985 දී එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වු මාග්‍රට් තැචර් අතින් විවෘත වූ මෙම වික්ටෝරියා වේල්ල කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ලංකා ජනතාවට ප්‍රයෝජන රැසක් උදා වී තිබෙනවා. ඒ අතර කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ගබඩා කරගැනීම, ජල විදුලිය නිශ්පාදනය, මිරිදිය ධීවර කර්මාන්තය නගා සිටුවීම, ගංවතුර පාලනය කිරීම ආදිය විශේෂයි.

Read the full Story here

නව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ නැන්දනියගේ දුෂ්කර කුඩා කාලය ලෙස හුවමාරු වන ව්‍යාජ සටහන් පෙළක්!

එක්සත් රාජධානියේ අභිනව අග්‍රාමාත්‍ය පදවි ප්‍රාප්ත රිෂි සුනක්ගේ නැන්දම්මා වන සුධා මූර්ති, කුඩාකල දුම්රිය ටිකට් පතක් නොමැතිව ගමන් කළ බවත්, දුම්රිය පරීක්ෂකවරුන්ට ඇයව හසු වීමෙන් පසුව කථිකාචාර්යවරියක් විසින් ඇයව බේරාගෙන හදා වඩා, අධාපන කටයුතු සඳහා යොමු කළ බවත් පැවසෙන කතාවක්, පළමුව ඉන්දියාවේත් පසුව ලංකාවේ සමාජ ජාල අවකාශයත් අතික්‍රමණය කරමින් හුවමාරු වන බව අපට දැකගන්නට ලැබුණා.

නමුත් FactCrescendo අප කණ්ඩායම සිදුකළ කරුණු විමසීමේදී තහවුරු වුයේ මෙම ව්‍යාජ සටහන් නිර්මාණය වීමට මුලික වී තිබුනේ The Day I Stopped Drinking Milk නමැති සුධා මුර්ති විසින්ම රචනා කරන ලද, වෙනත් පුද්ගලයින්ගේ අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වූ පොතක තිබු, Bombay to Bangalore නම් කතාවේ සාරය ඇසුරින් බවයි.

The Day I Stopped Drinking Milk නම් ග්‍රන්ථයේ පටුන කියවා බැලීමේ දී ඒත්තු ගැන්වෙන්නේ මෙම ග්‍රන්ථය රචනා කර ඇත්තේ ගුරුවරියක්, ලේඛිකාවක් සහ සමාජ සේවිකාවක් ලෙස සුධා මුර්ති සාමාන්‍ය මිනිසුන් සමඟ සම්බන්ධ වූ අවස්ථාවල දී ඔවුන් විසින් සපයන ලද ජීවිත අත්දැකීම් ඇසුරෙන් බවයි.මම ලියන්නේ ඔවුන්ගේ ප්‍රශ්න ගැන මා තුළ විශ්වාසය තැබූ බොහෝ මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතය ගැනයි,” යනුවෙන් සුධා මූර්ති පොතේ පෙරවදනෙහි සඳහන් කරනවා.

සුධා මුර්තිගේ ජිවිත කතාව සහ ඇයගේ කුඩා කාලය පිළිබඳව විස්තර කරන සංවාදයකක්ද අප විසින් අධ්‍යයනය කළා. එහිදී ඇය විසින් සිය දෙමාපියන්ට සහ ගුරුවරුන්ට කෘතවේදී වෙමින් කර්ණාටක ප්‍රාන්තයේ පරිගණක ඉංජිනේරු තාක්ෂණවේදය ඉගෙන ගැනීම පිළිබඳවත් පැහැදිලි කරනවා. නමුත් සමාජ ජාලා සටහන්වල දැක්වෙන ආකාරයේ දුෂ්කර ළමා වියක් පිලිබදව ඇය කිසිවිටෙකත් පවසා සිටියේද නැහැ.

ඉන්දීය තොරතුරු තාක්ෂණ දැවැන්තයෙකු වන Infosysහි සභාපතිනිය වන සුධා මුර්ති සහ එම සමාගමේ සම-නිර්මාතෘ නාරායන මූර්තිගේ දියණිය වන අක්ෂා මූර්ති විවාහ වී සිටින්නේ නව බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සමඟයි.

Read the full Story here

බුදුන් වහන්සේගේ පිළිරුවකට අපහාස වන අයුරින් ලබාගත් මෙම ඡායාරූපයේ සිටින්නේ විපක්ෂ නායකවරයාගේ නැගණිය නොවේ!

“බුදු දහමට නිගරු කරන සජිත් ප්‍රේමදාසගේ සහෝදරිය දුලංජලී ප්‍රේමදාස” යනුවෙන් සඳහන් කරමින් පළවූ මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ බොහෝ කාලයක සිටයි. නමුත් Factcrescendo අප කණ්ඩායමේ විමර්ෂණයේ දී අනාවරණය වුයේ මෙහි දැක්වෙන්නේ සජිත් ප්‍රේමදාසගේ නැගණිය වන දුලාංජලී ප්‍රේමදාස නොව වෙනත් කාන්තාවක් බවයි.

1969 වසරේදී උපත ලබා ඇති දුලංජලී ප්‍රේමදාසගේ තරුණ කාලයේ දී ලබාගත් ඡායාරුප මෙම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන සේයාරුව සමඟ සංසන්දනය කිරීමේ දී එහි මුහුණුවර වෙනස් බව බැලු බැල්මටම නිරීක්ෂණය වෙනවා.

මේ පිළිබඳ අප සමඟ අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය ලේකම්, රජිත කුමාර ද තහවුරු කළේ එම ඡායාරූපයේ සිටින්නේ දුලංජලී ප්‍රේමදාස නොවන බවයි.

සංසරණය වන ඡායාරුපය පිළිබඳව සොයා බැලු අපට දක්නට ලැබුණේ එම ඡායාරූපය ද ඇතුළුව එකම අවස්ථාවක දී ලබාගත් බව හැඟවෙන තවත් ඡායාරූප පෙළක් 2009 වසරේ සිට හුවමාරු වෙන බවයි. එමෙන්ම මෙහි දක්නට ලැබෙන, ඇමරිකාවේ වාසය කරන තරුණියගේ විස්තර ද අපට සොයාගැනීමට අපට හැකිවුණා. එම තරුණියගේ විස්තර අප මෙහි පළ නොකළේ එමගින් වසර 13ක් පැරණි සිදුවීමක් පිළිබඳ කතිකාවතක් නිර්මාණය වී එමඟින් ඇයගේ පුද්ගලිකත්වයට හානියක් සිදුවීමේ අවදානමක් පවතින බැවින්.

Read the full Story here

වකුගඩු 04ක් පරිත්‍යාග කිරීමේ හැකියාවක් ඇති බව සදහන් කරමින් හුවමාරු වන WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

හදිසි අනතුරකට මුහුණ දුන් සුධීර් නමැත්තෙකු සහ ඔහුගේ බිරිඳ මරණයට පත් වීම හේතුවෙන් (මොළය මිය යාම) ඔවුන්ගේ වකුගඩු පරිත්‍යාග කරන බවට පවසමින් අවශ්‍යතා ඇති අයට ඇමතීමට දුරකථන අංක ලෙස දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ, ඉන්දියාවේ වසර කිහිපයක සිට හුවමාරු වෙන ව්‍යාජ සටහනක සිංහල පරිවර්තනයක් බව අපට අනාවරණය කරගනන්ට ද ලැබුණා.

අප Fact Crescendo ඉන්දියානු කණ්ඩායම තහවුරු කළේ, එම සටහනේ දැක්වෙන්නේ ඉන්දියානු දුරකථන අංක බවයි. එම අංක තුනෙන් දෙකක් මේ වන විට භාවිතා නොවන බවත්, එක් අංකයක් ඉන්දියාවේ, මීරට් ප්‍රදේශයේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය සන්දීප් කුමාර් ගාර්ග්ට අයත් බවත්, කිසියම් පුද්ගල කණ්ඩායමක් විසින් ඔහුගේ දුරකතන අංකය මෙලෙස අවභාවිතා කර ඇති බවත් අප කණ්ඩායම අනාවරණ කරගෙන තිබුණා.

ඉන්දියාවේ වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සහ අවයව පරිත්‍යාග කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය පිළිබදවද අප කරුණු විමසා බැලුවා. මොළය මිය යාමෙන් පසු පැය හතරක් තුළ හදවත් බද්ධ කළ යුතු අතර අක්මාව සහ වකුගඩු පැය අටක් ඇතුළත බද්ධ කළ යුතු වන අතර, ඉන්දීය නීතියට අනුව ඉන්ද්‍රිය බද්ධ කිරීම කළ හැක්කේ ලියාපදිංචි රෝහල් හරහා පමණයි.

ඉන්දියාවේ 1994 මානව අවයව බද්ධ කිරීමේ පනත යටතේ වාණිජ අරමුණු සඳහා මිනිස් අවයව මාරු කිරීම වරදක් වන අතර 19 වැනි වගන්තිය යටතේ FIR වාර්තාවක් ගොනු කොට නඩුවක් ලියාපදිංචි කළ හැකි බවත් දක්වා තිබෙනවා.

කේරළයේ ප්‍රාන්ත රජයේ අවයව පරිත්‍යාග සිදු කෙරෙන අංශයක නියෝජිතයෙකු අප කණ්ඩායමට සඳහන් කර තිබුණේ ද, WhatsApp හරහා අවයව බද්ධ කිරීම පිළිබඳ තොරතුරු බෙදා ගැනීමට ඉන්දියාවේ නීත්‍යානුකූලව හැකියාවක් නැතිවාක් මෙන්ම හුවමාරු වන්නේ අසත්‍ය කරුණු ද සහිත නිවේදනයක් බවයි.

ඉන්දියාවේ දී අවයව ලබා ගන්නේ ලියාපදිංචි රෝහල්වල සිටින රෝගීන්ගෙන් පමණක් වන අතර, මොළය මිය ගිය බවට ප්‍රකාශ කරන ලද රෝගීන්ගේ අවයව බද්ධ කිරීමට ලබාගත හැක්කේ ඇගයීම් වට හතරකින් අනුමැතිය ලැබී ඇත්නම් පමණක් බව ද ඔවුන් පැහැදිලි කරනවා.

ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට ජාතික ඉන්ද්‍රිය හා පටක බද්ධ කිරීමේ සංවිධානය (NOTTO) නමින් වෙනම අංශයක් ඇත. එහිදී එය පරිත්‍යාග කිරීම සඳහා අවයව තිබේද යන්න සහ ප්‍රමුඛතා ලැයිස්තුව මත පදනම්ව ඒවා බෙදා හැරීම සොයා බලයි.

Read the full Story here

පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු පිරිසිඳු කිරීමේ පානය පිලිබඳ දැනුවත් විය යුත්තේ ඇයි?

ලෙඩ රෝග සඳහා අත්බෙහෙත්, ප්‍රතිකාර ක්‍රම ලෙස නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර, මෙවැනි ප්‍රතිකාර වලට බොහෝ දෙනා යොමු වීම බහුලව දක්නට ලැබෙනවා. වකුගඩුවල තැන්පත් වන විෂ හා ලවණ වර්ග ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස සඳහන් කරමින්, පාස්ලි කොළ උණු වතුර සමග විනාඩි 10ක් ලිපේ ලබා එම ජලය සිසිල් වීමට ඉඩ තබා පෙරා පානය කිරීම පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

මේ පිළිබඳව ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය අශාන් පතිරණ පැවසුවේ, ඇතැම් ප්‍රතිකාර හානිකර නොවන බව පෙනුණද, ආශ්චර්යමත් ප්‍රතිකාර සඳහා අහඹු ලෙස බෙහෙත් වට්ටෝරු අනුගමනය කිරීම / අත්හදා බැලීම මිනිස් සිරුරට දැඩි හානියක් විය හැකි බවයි. තවද ඒ ඔස්සේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කරා යොමු නොවීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළා.

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා සඳහන් කළේ, බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙවැනි ක්‍රම ප්‍රතිකාර ක්‍රම ලෙස අනුගමනය නොකරන බැවින් මේ පිළිබඳ තහවුරු කළ නොහැකි බවත්, වෛද්‍යවරුන් විසින් තහවුරු නොකරන ලද කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් වෙත යොමු නොවන ලෙසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, මනුෂ්‍ය ශරීරය නිර්මාණය වී ඇත්තේ ස්වභාවධර්මය විසින් නිවැරදිව යම් ආයු කාලයක් තුළ ජීවත් වීමට බවත්, අපගේ අත්‍යවශ්‍ය අවයව අපගේ ආහාර සහ හැසිරීම් (විහරණ) රටා ආදිය මගින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර නඩත්තු කරන බවයි. නමුත් ශරීරයක ඉතා වැදගත් අභ්‍යන්තර අවයව නොයෙකුත් ක්‍රම ඔස්සේ පිරිසිදු කිරීමට යන්නේ නම්, එය ශරීර සෞඛ්‍යයට බරපතල හානි දායක විය හැකි බවත් ඔහු පවසා සිටිනවා. කිසිදු ප්‍රතිකර්මයක් දුටු පමණින් වෛද්‍ය නිර්දේශයකින් තොරව ශරීරය තුළට ලබා ගැනීම සිදු නොකළ යුතු බව ද වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසුවා.

කෙසේ නමුත් ඖෂධීය පැළෑටියක් ලෙස පාසිලිහි ඇති ගුණාංග රැසක් පවතිනවා. එහි ප්‍රතිඔක්සිකාරක ගුණ හේතුවෙන් රෝගී තත්වයන්ට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව මෙන්ම අධි රුධිර පීඩනය අඩු කිරීමටත් වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කිරීමට උපකාරී වීම පිලිබඳව තොරතුරු ද හඳුනාගෙන තිබෙනවා.

එසේම ශාස්ත්‍රීය පර්යේෂණ පත්‍රිකා කිහිපයකම සඳහන් වී තිබුණේ පාස්ලි සමඟ ප්‍රතිකාර කළ මීයන්ගේ මුත්‍රා සමඟ කැල්සියම් සහ ප්‍රෝටීන් බැහැර වීම අඩු වී ඇති අතර, පාලන කණ්ඩායමකට සාපේක්ෂව මුත්‍රා pH අගය වැඩිවී තිබූ බවත් මුත්‍රා පිටවීම ද වැඩි වී ඇති බවයි. නමුත් පුද්ගලයින් යොදාගනිමින් මේ පිලිබඳ අවශ්‍ය තරම් පර්යේෂණ සිදුව නොමැති බැවින් මෙවැනි ප්‍රතිකාරයක් දිගටම භාවිතා කිරීම අවදානම් විය හැකියි. එයට හේතුව පාස්ලි ඉතා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම අනාරක්ෂිත වන අතර එමගින් රක්තහීනතාවය සහ අක්මා හෝ වකුගඩු ආබාධ වැනි වෙනත් අතුරු ආබාධ ඇති කළ හැකි බැවින් සහ ඇතැම් පිරිස් සඳහා සමේ ආසාත්මිකතා ද ඇති කිරීමයි.

Read the full Story here

සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු බවට සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් වාර්තා යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.