දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පාසල් ළමුන් ඔන්ලයින් අධ්‍යාපනයට මුවා වී පරිගණක හා ස්මාට් දුරකතන ක්‍රීඩාවලට ඇබ්බැහි වීමේ ඩිජිටල් වසංගතයක් මේ වන විට ලෝකය පුරා පැතිර යමින් පවතිනවා. එලෙස ඇබ්බැහි වූ පාසල් දරුවෙකුගේ තත්ත්වය යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ගේම් වලට ඇබ්බැහි වූ දරුවෙකුට සිදු වූ අවාසනාවන්ත ඉරණමයි මේයනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්.

Facebook

මෙම තේමාවෙන් පළ වූ වීඩියෝව ෆේස්බුක් ඔස්සේ පරිශීලකයින් අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.

එමෙන්ම මෙම වීඩියෝව සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ Online ක්‍රීඩාවල යෙදීම හේතුවෙන් මෙලෙස අසනීප තත්ත්වයක් ඇති වූ බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

මේ හේතුවෙන් මෙම වීඩියෝව සම්බන්ධයෙන් සත්‍ය කරුණු සොයා බැලීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප මේ පිළිබඳ විමසා බැලීම සඳහා ප්‍රථමයෙන්ම මෙම වීඩියෝවේ රූප රාමු Invid WeVerify ඔස්සේ Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී අපට, සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි සටහනක් නිර්මාණය වීමට මූලික වූ මූලාශ්‍රය සොයා ගැනීමට හැකිවුණා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් 2022 අප්‍රේල් 8 වන දින තෙළිඟු භාෂාවෙන් පළ වූ ලිපියක සඳහන් වූයේ, ඉන්දියාවේ, තමිල්නාඩුවේ තිරුනෙල්වේලි ප්‍රදේශයේදී අවුරුදු 17ක පාසල් ශිෂ්‍යයෙක් ඔන්ලයින් ක්‍රීඩාවට ඇබ්බැහි වීම, ඒ හා සමානව, Free Fire ක්‍රීඩා කිරීම ශිෂ්‍යයෙකුගේ මානසික සෞඛ්‍යයට දැඩි බලපෑමක් ඇති කර ඇති බව ත්, තුවක්කුවක් අතේ රඳවාගෙන ඇති අයුරින් අමුතු විදියට හැසිරී ඇති බව ත් ඔහුගේම ලෝකයක තනිවී ක්‍රීඩා කරන අයුරින් හැසිරී ඇති බවට ඔහුගේ දෙමාපියන් චෝදනා කරන බවයි.

ඔහුගේ ජංගම දුරකථනයෙන් නොමිලයේ Free Fire ක්‍රීඩා කිරීම නිසා ඔහුට මානසික ආබාධයක් ඇති වූ බව වෛද්‍යවරු ප්‍රකාශ කළ බව ත්එහි දක්වා තිබුණේ මේ අයුරින්. Archived Link

සත්‍ය සිදුවීම

අප මෙම සිදුවීම සම්බන්ධයෙන් කළ වැඩි දුර නිරීක්ෂණයේදී තහවුරු වූයේ ඔහු ජංගම දුරකතනය ඇබ්බැහි වූවත්, මෙය හුදෙක් එම ශිෂ්‍යා විසින් මවා පා ඇති අසනීප තත්ත්වයක් බවයි.

2022 අප්‍රේල් 4 වන දා රාත්‍රියේ මෙම තරුණයා තිරුනෙල්වේලි වෛද්‍ය විද්‍යාලයයට (Tirunelveli MCH) ඇතුළත් කර තිබෙනවා. අප Fact crescendo ඉන්දියානු කණ්ඩායම එම රෝහලේ පීඨාධිපති ආචාර්ය එම් රවිචන්ද්‍රන්ගෙන් විමසීමක් කර ඇති අතර ඔහු පවසා ඇත්තේ, ජංගම දුරකථනය භාවිත කිරීම නවත්වන ලෙසට එම දරුවාගෙන් දෙමාපියන් ඉල්ලා සිටි බැවින් ඔවුන්ගේ අවධානය ලබා ගැනීමට මෙම දරුවා එලෙස ක්‍රියා කර ඇති බවයි.

රෝහලට ඇතුළත් වී පැයක් වැනි කෙටි කාලයක් තුළ, ඔහු රෝහලට ගෙන ඒමේදී බියට පත් වූ බැවින් ඔහුගේ චලනයන් නතර වූ බවයි පීඨාධිපතිවරයා පැවසුවේ. එසේම පවුලේ අය ඔහුව පසුදා උදෑසන නිවසට ගෙන ගිය බවත් වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා.

එමෙන්ම මෙම සිදුවීම යම්කිසි පුද්ගලයෙකු විසින් රහසිගතව වීඩියෝ ගත කර අසත්‍ය තොරතුරු සමග සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර ඇති අතර මේ හේතුවෙන් එම පාසල් සිසුවාට තවදුරටත් අසනීප තත්ත්වයක් නොමැති බවට පරීක්ෂා කිරීමට නැවත රෝහල වෙතට ගෙන්වා පරීක්ෂා කළ බවත්, කිසිදු අසනීප තත්ත්වයක් නොමැති බවට තහවුරු වූ බවත්, වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණා. මෙම සත්‍ය සම්බන්ධයෙන් පළ වූ Times of India වාර්තාව මෙතනින්. Archived Link

මේ සම්බන්ධයෙන් Fact crescendo අප බෙංගාලි, ඇසෑමි, බංග්ලාදේශ, මලයාලම් සහ ගුජරාටි භාෂා කණ්ඩායම් වලින් සිදු කර ඇති කරුණු පරීෂාවන් කියවීමට අදාළ භාෂා මත ක්ලික් කරන්න.

අන්තර්ජාල ක්‍රීඩා , ඇබ්බැහි වීම සහ වළක්වාගැනීමේ වැඩපිළිවෙල්

අන්තර්ජාල ක්‍රීඩා යනු අර්ධ වශයෙන් හෝ මූලිකවම, අන්තර්ජාලය භාවිතයෙන් හෝ පරිගණක ජාලයක් භාවිතයෙන් ක්‍රීඩා කරන වීඩියෝ ක්‍රීඩා වේ. අන්තර්ජාල ක්‍රීඩා සිදු කළ හැකි උපාංග ලෙස පරිගණක, ලැප්ටොප්, පාලන පුවරු (Xbox, PlayStation) වැනි ජංගම පුළුල් පරාසයක් පුරා විහිදෙයි.

ඩිජිටල් ක්‍රීඩා නිර්මාණකරුවන් තම නිර්මාණ බිහිකිරීමේදී බොහෝවිට ඉලක්ක කරන්නේ තරුණ පරපුර වන අතර කුඩා ළමුන් හා වැඩිහිටියන් ද ඒවා ප්‍රිය කරති. වත්මන් අන්තර්ජාල යුගය තුළ ඒවා සමාජයේ සෑම තැනකටම ළඟා වී ඇති අතර, සෑම වයස් කාණ්ඩයක්ම ඒවා භාවිතයට හුරු වී ඇත.

ඇතැමුන් මේ ක්‍රීඩා හානිකර යැයි පවසද්දී ඇතැම්හු ඒවා විනෝදය සපයන බවත් තාර්කික බුද්ධිය වඩවන බවත් සිතීමේ පරාසයන් වැඩි කරන බවත් පවසති. ඇබ්බැහි වීමෙන් තොරව පරිගණක ක්‍රීඩාවල යෙදීම අහිතකර නොවූව ද, ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහි වීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මානසික ආබාධයක් ලෙස පිළිගනු ලැබුවේ මෙවැනි ක්‍රීඩා තුළ ස්වයං පාලනය අඩුවීමෙන් ඉච්ඡාභංගත්වයට පත්වන නිසාය. ඊට හේතුව එවැනි ක්‍රීඩාවල පරම අභිලාසය ක්‍රීඩකයාගේ ජයග්‍රහණය වන අතර, මුදල් සම්බන්ධ වීම නිසා ඊට ඇබ්බැහි වීම සූදුකෙළීමක් හා සමාන වීමයි.

ඩිජිටල් ක්‍රීඩා බොහොමයක් සැලසුම් කර ඇත්තේ ‍ ක්‍රීඩකයා වැඩිම කාලයක් හා වාර ගණනක් තරගයේ නිරත කිරීමට පෙලඹවීමට සහ ක්‍රීඩකයන් වැඩි ප්‍රමාණයක් එයට සහභාගි කරවා ගැනීමටයි. නැවත නැවතත් ක්‍රීඩාව කිරීමට ක්‍රීඩකයා පොලඹවා ගැනීමට විවිධ අභියෝගතා ඉදිරිපත් කරන අතර, දිගටම ක්‍රීඩා කිරීමට පොලඹවන වාසි ද අතරමඟදී ලබා දෙයි. මේ නිසා මනසින් ක්‍රීඩාවට බැඳෙන අතර, එක් ක්‍රීඩාවක ක්‍රීඩකයෝ අනිකුත් ක්‍රීඩාවක හෝ සන්නාමයක ක්‍රීඩකයන් හෙළා දකිති.

සමහරු ක්‍රීඩා ගණනක් ක්‍රීඩා කරන අතර කුඩා කණ්ඩායම් පිහිටුවාගත් ක්‍රීඩකයෝ ද සිටිති. එම ක්‍රීඩකයන්ට ක්‍රීඩාව තුළ තමන්ට රිසි චරිතයක් නිර්මාණයටත් එම චරිතය තම සිතිවිලි අනුව හැඩගැන්වීමටත් ඒ සඳහා උපාංග මිල දී ගැනීමටත් පෙලඹවීම නිසා ක්‍රීඩාව සමඟ අතිශය පෞද්ගලික බැඳීමක් ඇති කර ගනී. අඟල් 6 ක් පමණ වූ ස්මාර් ට් දුරකතන තිරයක ගොඩනැගෙන එම මනංකල්පිත ලෝකය ක්‍රීඩකයා වැඩිපුරම කැමති ස්ථානය බවට පත්වන්නේ නිරායාසයෙනි. කිසිවිටකත් තම ක්‍රීඩක සගයන් මුහුණට මුහුණ හමු නොවූවද එම තාවකාලික සමාගමය ප්‍රිය කිරීම මේ ක්‍රීඩා සඳහා ඇබ්බැහි වීමට ප්‍රධානම හේතුව විය හැක.

BBC සිංහල පුවත් සේවය මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් සමගින් කළ වාර්තාවක පෙන්වා දෙන්නේ, "දරුවෙක් වීඩියෝ ක්‍රීඩා කරන්නේ යම් කිසි කාල සීමාවක් තුළ පාලනයකින් යුතුව නම් ඒ දරුවා සම්පූර්ණයෙන් ඉවත් කරන්න කියා මනෝ වෛද්‍යවරු හැටියට අපට කියන්න බැහැ,” යනුවෙනි. සමස්ථයක් ලෙස දරුවෙක් දිනකට රූපවාහිනිය නැරඹීමට සහ වීඩියෝ ක්‍රීඩා කිරීමට ගතකරන කාලය පැය දෙකකට අඩු නම් එය ඇබ්බැහිවීම් යටතට නොගැනෙන බවත් සඳහන් එම වාර්තාව මෙතනින්.

පරිගණක ක්‍රීඩා සඳහා ඇබ්බැහි වූවන්ට තරවටු කිරීමෙන් හෝ දැඩි ක්‍රියාමාර්ග ගැනීමෙන් යහපත් ප්‍රතිඵලයක් ලබාගත නොහැකිය. ක්‍රීඩා හා සමාජයීය ක්‍රියාකාරකම්වල සමබරව යෙදෙන දරුවන් හා තරුණයන් වඩා සෞඛ්‍යමත් ජීවිත ගත කරන බව පෙනීයන බැවින් ඔවුන් පරිගණක, ජංගම දුරකතන තුළින් අන්තර්ජාලය භාවිත කිරීමේදී ඒ පිළිබඳ මවුපියන්ගේ දැනුම්වත්භාවය, අවධානය සහ නිරන්තර නිරීක්ෂණය ද අත්‍යවශ්‍ය වේ. එමෙන්ම අන්තර්ජාල ක්‍රීඩා හරහා සිදුවන අහිතකර ඵල විපාක අවම කර ගැනීමට නම් මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම ඩිජිටල් සාක්ෂරතාවද ලබා දීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Online ක්‍රීඩාවට ඇබ්බැහි වූ දරුවෙකුගේ තත්ත්වයක් ලෙස පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව නොමග යවන සුළු බවයි.

එය ඉන්දියාවේ, තමිල්නාඩුවේ තිරුනෙල්වේලි ප්‍රදේශයේදී වූ සිදුවීමක් වන අතර එම වීඩියෝවේ දැක්වෙන්නෙ සිසුවා ජංගම දුරකතනයට ඇබ්බැහි වූවෙකු වුවත්, මෙම වීඩියෝවේ දැක්වෙන්නේ හුදෙක් එම ශිෂ්‍යා විසින් මවා පා ඇති අසනීප තත්ත්වයක් බව ඔහු ඇතුළත් කළ තිරුනෙල්වේලි වෛද්‍ය විද්‍යාලයේ රෝහලේ පීඨාධිපති ආචාර්ය එම් රවිචන්ද්‍රන් පවසනවා. ජංගම දුරකථනය භාවිත කිරීම නවත්වන ලෙසට එම දරුවාගෙන් දෙමාපියන් ඉල්ලා සිටි බැවින් ඔවුන්ගේ අවධානය ලබා ගැනීමට මෙම දරුවා එලෙස ක්‍රියා කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Avatar

Title:Online ක්‍රීඩාවේ යෙදුණු පාසල් සිසුවෙකුට අත්වූ ඉරණමක් ද? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading