දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ ජාලාවල සැරිසැරූ සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයේ ඇත්ත කතාව!

මාර්තු 2 වන දින සුමාත්‍රා දිවයින අසල සිදුවූ රික්ටර් මාපාංක 9.2 ක් වූ භූ කම්පනයක් නිසා ලංකාවේ සුනාමි අවදානමක් ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් නිකුත් කරන ලද අනතුරු හැගවීමේ නිවේදනයක් ලෙස ඇඟවෙන සටහන් සමාජ ජාලා ඔස්සේ සංසරණය වුණා. නමුත් FactCrescendo කණ්ඩායම මගින් සිදුකරන ලද විමසා බැලීමේදී අනාවරණය වුවේ මෙය සැබෑ නිවේදනයක් නොව සුනාමි පෙර සුදානම් වැඩසටහනක් සදහා භාවිතා කරන ලද නිවේදනයක් පමණක් බවයි.

මේ පිලිබදව අප ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලිගෙන් කරුණු විමසා බැලුවා. ඔහු පැවසුවේ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශයන්හි පවතින පාසල් කිහිපයක් ඉලක්ක කරගනිමින් පසුගිය දින කිහිපය තුළ සිදුකරන ලද සුනාමි පෙර පුහුණු වැඩසටහනක් වෙනුවෙන් “අභ්‍යාස සදහා පමණයි” යන උද්ධෘතය යටතේ නිකුත් කරන ලද නිවේදනයක් මෙලෙස නොමයවන සුලු ආකාරයෙන් සමාජ ජාලා වල සංසරණය වන බවයි. මෙම ලිපියේ සදහන් දත්ත , පුහුණු කටයුතු සදහා පමණක් යොදාගන්නා මනඃකල්පිත දත්ත බවක් ඔහු පැවසුවා.

මේ පිලිබදව නිවේදනයක් ද නිකුත් කරමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය කටයුතු පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක හදුන්පතිරාජ පවසන්නේ මෙවැනි සුනාමි /ආපදා අවදානම් පිළිබද සැකකටයුතු ලිපි ලේඛන හුවමාරු වන අවස්ථාවලදී ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ හදිසි ඇමතුම් අංක 117 ඔස්සේ අමතා ඒ පිලිබදව ඇත්ත නැත්ත දැනගත හැකි බවයි.

සජිත්ගේ නැගණිය, දුලංජලි හා ව්‍යාජ මුදල් සම්බන්ධව හුවමාරු වන කතාවේ ඇත්ත නැත්ත!

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් කතාවක් අතරතුර දී දක්වා තිබු කරුණු අතර, සජිත් ප්‍රේමදාසගේ නැගණිය වන දුලාංජලි ජයකොඩි , ව්‍යාජ නෝට්ටු තොගයක් සමගින් අසුවූ බවට චෝදනාවක් ද එහිදී නීතිය ක්‍රියාත්මක වීම නිසි ලෙස සිදුවුණේ දැයි ප්‍රශ්න කර තිබුණා.

මේ හේතුවෙන් මීට වසර කිහිපයකට පෙර වාර්තා වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජයේ නැවත වරක් විශාල කතාබහක් ඇති වූ බැවින් මෙහි ඇත්ත නැත්ත පිළිබඳව කරුණු විමසන ලෙස අප Factcrescendo කණ්ඩායමට ද පාඨක ඉල්ලීම් කිහිපයක්ම ලැබුණා.

හිටපු ජනාධිපති, දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ දියණිය වන දුලාංජලී ප්‍රේමදාස 2014 වසරේ මාර්තු 25 වන දින කොළඹ බැංකුවක, ලක්ෂ 20ක මුදල් තැන්පත් කිරීමට ගිය අවස්ථාවකදී, ඒවා ව්‍යාජ මුදල් බවට බැංකු කළමණාකරු දන්වා තිබේ.

තම සැමියාගේ මව්පියන්ගේ ඉඩමක් විකුණා ලබා ගත් මුදල්, ආයෝජනය කිරීමට ඇතුල්කෝට්ටේ පදිංචි ක්‍රිෂාන්ත රොලිප් මොඩස්ටස් පෙරේරා නමැති ව්‍යාපාරිකයාට ලබා දුන් බවත්, එකී ආයෝජන වල ලාභය ඔහු විසින් ඇයට ලබා දී ඇති අතර ඇය එය පරීක්ෂා නොකොට එම මුදල් තැන්පත් කිරීමට අදාළ බැංකුව වෙත පැමිණි බවත් දුලාංජලී ජයකොඩි අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

දුලාංජලි ජයකොඩිට රුපියල් ලක්‍ෂ 20 ක ව්‍යාජ මුදල් ලබා දුන් පුද්ගලයා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට පසු දින 2014 මාර්තු (26දා) අළුත් කඬේ අංක 01 මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔහු 2014 අප්‍රේල් 03 වන දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර විත්තිකරුට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් අවස්ථාවේදී තමන් මෙම චෝදනාවට නිවැරදිකරු බව පැවසීම නිසා මෙම නඩුව 2014 අප්‍රේල් 23 දා සිට විභාග කිරීමට නියමිතව තිබූ අතර, නඩුව විභාග කිරීමට සූදානම් වූ අවස්ථාවේදී තමන් මෙම චෝදනාවට වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම් දී තිබිණි.

හිටපු ජනපති ආර්. ප්‍රේමදාසගේ දියණියට ව්‍යාජ 5000 නෝට්ටු ලබාදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු, ඇඟලුම් කර්මාන්තශාලා හිමිකරුවෙක් වන අතර, මෙම ව්‍යාපාරිකයාගේ නිවසේ තිබී තවත් රුපියල් මිලියන 2කට අධික ව්‍යාජ පන්දහසේ නෝට්ටු (424) සොයාගැනීමට ද එම අවධියේ දී පොලීසිය සමත්ව තිබෙනවා. ඔහු ව්‍යාජ නෝට්ටු සකස් කිරීමට යොදාගත් බව කියන උපකරණ තොගයක්ද පොලීසිය විසින් අත්අංඩංගුවට ගත් බවත් වාර්තා වෙනවා.

මේ අනුව දුලාංජලී ජයකොඩි වෙත රුපියල් මිලියන දෙකක වන්දි මුදලක් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග නියෝග කර තිබිණ. ඊට අමතරව ව්‍යාජ මුදල් නෝට්ටු යොදාගනිමින් දුලාංජලී ජයකොඩි වෙත වංක ලෙස පන්දහසේ නෝට්ටු ලබාදීම සහ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍ර ළඟ තබා යන අධිචෝදනා දෙකට විත්තිකරු වරද පිළිගැනීමෙන් පසු, එක් වරදකට ලක්ෂ 2.5 බැගින් ලක්ෂ 5ක වන්දි මුදල් ගෙවීමට ද නියම කෙරුණි. තවද, විත්තිකරු හට රුපියල් මෙම චෝදනා දෙකට, එක් චෝදනාවකට වසරක් බැගින්, වසර බැගින් දෙවසරක අත්හිටවූ සිර දඬුවමක් ද නියම කෙරුණි.

දුලංජලි ජයකොඩි විසින් මෙම ක්‍රියාව දනුවත්ම සිදු කළා යැයි අනුමාන කිරීම ප්‍රයෝගිය නැත. එනම් කිසිවකු විසින් හෝ තමන් සන්තකයේ ව්‍යාජ මුදල් ඇති බවක් ඇත්තටම දන්නේ නම්, ව්‍යාජ මුදල් හඳුනා ගැනීමේ උපකරණ පවතින, බැංකුවක් වැනි මුල්‍ය ආයතනයකින්, විශේෂයෙන්ම මෙතරම් විශාල මුදලක්, තමන් විසින්ම, තැන්පත් කිරීමට යනු ඇතැයි ද සිතීම ප්‍රයෝගිය නැත. එනම් මෙලෙස ව්‍යාජ මුදල් වැඩි ප්‍රමාණයක් තමන් සන්තකයේ තබාගෙන, ස්වකැමැත්තෙන් වරදකරුවෙකු වීම සිදුවිය නොහැක.

2014 වසරේ දී, මෙම සිදුවීම සම්බන්ධයෙන් මුලික විමර්ෂණ සිදුකිරීමෙන් පසුව, එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ද අදහස් දක්වා තිබුණා. ඔහු පවසා තිබුණේ ““රුපියල් ලක්ෂ 20 ක මුදලට 5000 නෝට්ටු 400 ක් ඇතුළත් විය යුතුව තිබුණත් ඒ මුදල් පරීක්ෂා කිරීමේදී එතැන නෝට්ටු 403 ක් තිබුණා. ඒ කියන්නේ රු.15,000 ක් වැඩිපුර තිබුණා. එයින් පැහැදිලි වෙන්නේ මේ මුදල් සැකකරු විසින් දුලාංජලීට දුන්නාට පසුව ඇය විසින් ගණන් කිරීමක් හෝ නොකොට බැංකුවට ගෙනවිත් ඇති බවයි. ඒ හින්දා ඇයට මෙම ජාවාරමට චේතාන්විතව සම්බන්ධ වූ බවක් හිතන්නට අමාරුයි. අනික ඒ මුදල් සාමාන්‍යයෙන් පරීක්ෂා කර බැලුවානම් A4 කොළවල මුද්‍රණය කළ ෆොටෝ කොපි කරන ලද ඒවා බව ඕනම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා ඇය එකී මුදල් ව්‍යාජ බව දැන දැන තැන්පත් කිරීමට පැමිණියා යයි හිතන්නට බෑ” යනුවෙන්.

අනුර කුමාර දිසානායක විසින් දුලාංජලී ජයකොඩි සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය පිළිබඳව, ඇයගේ නීතීඥයින් විසින් ජාතික ජන බලවේගයේ නායකයා වෙත ලිපියක් යොමු කර තිබුණා. එම ලිපියේ සඳහන් වන්නේ ව්‍යාජ මුදල් මුද්‍රණය කොට ගනුදෙනුවක් පියවීම සඳහා ඒවා සිය සේවාදායිකාව වෙත ලබා දුන් H.M.A.K.R. පෙරේරා නම් පුද්ගලයා වැරදිකරු කරමින් කොළඹ මහ අධිකරණය 2017 වසරේ දී දඬුවම් ලබා දුන් බවත්, රු. ලක්ෂ 20ක වන්දි මුදලක් ඒ සඳහා දුලාංජලී ජයකොඩිට ලබා දුන් බවයි. එම සිද්ධිය පදනම් කරගෙන ව්‍යාජ ප්‍රකාශ නිකුත් කළ අනුර දිසානායකට මෙන් ම ඒවා සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරි අයට එරෙහිව ද නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් එම ලිපියේ සඳහන් කර තිබුණා.

ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ, හමුදාවට අයත් රථ පෙළ පාළියක් නිකරුණේ මහ මඟ සංදර්ශනයක යෙදෙන බව කියවෙන වීඩියෝවේ ඇත්ත කතාව!

“කන්න නෑ, බෙහෙත් නෑ මුං පාරේ රගනවා. අද 28 මොරටුවේ දී ආ විරෝධය” යන තේමාව යටතේ ආරක්ෂක හමුදාවට අයත් වාහන රථ පෙළක වීඩියෝවක් සංසරණය වුනේ, යුධ හමුදාව දැඩි දෝෂාරෝපණයක් එක්කරමින්. කෙසේනමුත් FactCrescendo මේ පිලිබදව සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුණේ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන්නේ නොමඟයවන සුළු අර්ථ දැක්වීමක් බවයි.

මේ පිළිබඳ විමසා බැලීමක් සඳහා අප හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ, ශ්‍රී ලංකා සංඥා බලකායේ බ්‍රිගේඩියර් රවී හේරත්ව සම්බන්ධ කරගනු ලැබුවා. බ්‍රිගේඩියර් රවී හේරත් සඳහන් කළේ, මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ, එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි සාමසාධක රාජකාරීන් සඳහා ඉදිරි කාලයේ දී මාලි රාජ්‍ය බලා පිටත් වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම් පුහුණු කටයුතුවල නිරත වන අවස්ථාවක් බවයි.

මෙම රථ ලංකාවේ නිෂ්පාදනය කරන අතර හමුදා භට කණ්ඩායම් මෙන්ම, උපකරණ ද, මෙහෙයුම් සඳහා යොදා ගන්නා බැවින් ඒ සඳහා ද, ගෙවීම් සිදුකරන බවත්, ඒවා තුළින් ද, සිදු වන්නේ විදේශ විනිමය මෙරටට ලබා ගැනීම බවත්, හමුදා මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළා.

තවද, සාමසාධක හමුදා සඳහා පුහුණු කිරීම් විවිධ තත්ත්වයන් යටතේ සිදුවන බැවින් නාගරික ස්ථානවලද, ඇතැම් අවස්ථාවන්හි දී අවශ්‍ය පුහුණු කිරීම් සිදු කරන බැවින්, මෙලෙස හමුදා කණ්ඩායම් පිටවීමට මත්තෙන් පෙරහුරු සහ පුහුණු කිරීම් නිරන්තරයෙන් සිදුවන බවත්, එය මීට පෙර ද සිදුවී තිබෙන සාමාන්‍ය දෙයක් බවත් බ්‍රිගේඩියර් රවී හේරත් පෙන්වා දුන්නා.

මාධ්‍යවේදී චතුර අල්විස් රටහැර ගියා ද?

‘දෙරණ’ නාලිකාවේ චතුර අල්විස්, සිය පවුලේ සමාජිකයින් සමඟ, ලංකාව හැරදා කැනඩාවේ පදිංචියට ගිය බව පවසමින්, කැනඩාවේ ගුවන් තොටුපළේ දී ලබාගත් බවට ඡායාරූප සටහනක් ද සමඟින් සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එසේම දේශපාලන රැකවරණ ලබාගැනීමේ අරමුණින්, චතුර මේ ආකාරයෙන් කැනඩාවට පිටත්ව ගිය බවට ද ඇතැමුන් පෙන්වා දුන්නා. නමුත් FactCrescendo කණ්ඩායම ඒ පිලිබදව සිදුකල කරුණු විමසීමේදී තහවුරු වුවේ එම සටහන් නොමගයවන සුලු ඒවා වන බවයි.

චතුර අල්විස් සමග ඉහත ඡායාරූපයේ පෙනී සිටින කැනඩාවේ පදිංචිව සිටින ශ්‍රී ලාංකික ප්‍රබල ව්‍යාපාරිකයෙක් වන Riyaz Rauf ගෙන් අප මෙම ඡායාරූපයේ දැක්වෙන අවස්ථාව පිළිබඳව විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, තමන් ලංකාවේ බොහෝ මාධ්‍ය හා සම්බන්ධ පිරිස් හොඳින් හඳුනන බවත්, ලංකාවේ සිටි අවස්ථාවලදී ද හොඳ දැන හැඳුනුම්කමක් තිබු චතුර අල්විස්, කැනඩාවට පැමිණීම හේතුවෙන්, පෞද්ගලිකව තමන්ගේ අභිමතය පරිදි ඔහුව පිළිගැනීමට ගුවන්තොටුපොළ වෙත ගිය බවත්, එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයකට වැරදි අර්ථකතනයක් ලබාදෙමින් ඇතැම් පිරිස් ව්‍යාජ අදහසක් ජනගත කිරීමට උත්සාහ ගන්නා බවයි.

එසේම, චතුර අල්විස් පැමිණියේ ‘දෙරණ’ නාලිකාව වෙනුවෙන් වැඩසටහන් කිහිපයක පටිගත කිරීම් සඳහා බවත්, මෙවර කැනඩා සංචාරය සඳහා ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින් පැමිණියේ නැති බව ද Riyaz Rauf තහවුරු කළේය.

කෙසේවුවත් මේ පිළිබඳව වැඩිදුර කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ‘දෙරණ’ මාධ්‍ය ආයතනයෙන් විමසා සිටියා. ඔවුන් සඳහන් කළේ, ‘දෙරණ’ නාලිකාවේ විකාශනය වන චතුර විසින් මෙහෙයවන ‘Travel with Chatura’ සහ ‘Talk with Chathura’ වැඩසටහන් කිහිපයක් පටිගත කිරීම සඳහා කැනඩාව බලා පිටත්ව ගොස් ඇති බවත්, එය නිමාවත් සමඟ ඔහු නැවත මෙරටට පැමිණීමට නියමිත බවත්, මෙය කිසිලෙසකත් කැනඩාවේ පදිංචියට යාමක් නොවන බවයි.

භික්ෂුවක සහ කාන්තාවක සමීපව සිටින ආකාරයක් නිරුපණය වන සේයාරුව පිළිබද කරුණු පැහැදිලි කිරීමක් !

කාන්තාවක ඉතා සමීපව ස්වාමීන් වහන්සේ නමක් වැළදගෙන සිටින ආකාරයක් දැක්වෙන ඡායාරුප පෙළක් සහිත සමාජ ජාලා සටහන්, විවිධාකාරයේ අර්ථකතන ඔස්සේ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුණා.

Reverse Image සෙවුමක් හරහා, බොහෝ දෙනා අනුමාන කර තිබු පරිදි, අදාළ ඡායාරූප පෙළ, සත්‍ය ලෙසම ස්වාමින් වහන්සේ නමක් කාන්තාවක් සමඟ සමීපව සිටි දර්ශනයක් නොව, නළු නිලියන් උපයෝගී කර ගනිමින් සකසන ලද කෙටි චිත්‍රපටයකින් ලබාගත් සේයාරුවක් බව Factcrescendo කණ්ඩායමටත් අනාවරණය වුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ “සංසාරිකා” නම් කෙටි චිත්‍රපටයකින් ලබාගත් සේයාරුවක්. මෙහි ස්වාමින් වහන්සේ නමක් ලෙස රගපාන්නේ, සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂවරයා/නිෂ්පාදකයා වන චලින් මනුරංග යි. කාන්තාව ලෙස රගපාන්නේ සුලෝචනා වීරසිංහයි.

මෙම කතාවේ දක්නට ලැබෙන ආකාරයට ස්වාමින් වහන්සේගේ ගිහි කල බිරිඳ වන්නේ එම කාන්තාවයි. ඇය විසින් ඔහුව අතහැර දමා වෙනත් විවාහ ජිවිතයකට ඇතුල් වීමෙන් පසුවයි මොහු පැවිදි වන්නේ. අලුත් විවාහ ජීවිතය අසාර්ථක වීමෙන් අනතුරුව, අදාළ කාන්තාව ස්වාමින් වහන්සේ මුණ ගැසීමට අවශ්‍ය බව පවසන අතර, මේ ඔවුන් දෙදෙනාගේ හමුවීම සිදුවන අවස්ථාවේ දර්ශනක ඡායාරුපයකුයි මෙහි දැක්වෙන්නේ.

ඉන් අනතුරුව මෙම කාන්තාව විසින් ස්වාමින් වහන්සේගෙන් නැවත ගිහි ජිවිතයකට පැමිණෙන ලෙස ඉල්ලා සිටියත් ස්වාමින් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. ඉන් දුකට පත්වන කාන්තාව ක්ලාන්තවී ඇදැවටී මරණයට පත්වෙනවා. “සංසාරිකා” කෙටි චිත්‍රපටයේ සාරාංශය එයයි.

කෙසේ නමුත් භික්ෂු විනය සම්බන්ධයෙන් සලකන කල මෙම කතාවේ සිටින භික්ෂු චරිතයෙන් විනය නීති උල්ලංඝනය වීමක් සිදුවෙනවා. එමනිසා ඇතැම් භික්ෂුන් වහන්සේලා මෙම කතාවේ සදාචාරාත්මක බව පිලිබඳව ප්‍රශ්න කර තිබුණා. එහෙත් මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කිරීම ආදිය අනුව අපට දැකගන්නට ලැබෙන්නේ, මෙම සිනමා පටයේ සිදුවන සිදුවීමටත් වඩා භික්ෂු විනය උල්ලංඝනය වන අවස්ථාද අද සමාජයේ ඕනෑතරම්, ඇතැම් සැබෑ භික්ෂුන් වහන්සේලා අතින් සිදුවන බවයි. උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසින් පිළිපැදිය යුතු විනය නීති රීති 227 ක් තිබෙනවා. කාන්තාවන්, හා සම්බන්ධව කටයුතු කිරීමේදී පනවා ඇති නීති රීතින් බොහොමයක් ඒ තුළ අන්තර්ගතයි.

තුර්කි ඛේදවාචකයේ සංවේදී අවස්ථාවක වීඩියෝවක් ද? (Video)

“තුර්කි ඛේදවාචකයේ දැක්ක…සහෝදර ප්‍රේමය” යන තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් පසුගිය සමයේ පළ වී තිබුණා. එහිදී දැක්වුණේ වයස අවුරුදු තුනක පමණ කුඩා දැරියක් මගින් ළදරුවෙකුට කිරි පෙවීමට උත්සාහ කරන ආකාරයේ දර්ශනයක්. සමාජ ජාලා සටහන් තුළින් අදහස් කර තිබු ආකාරයට එමගින් නිරුපණය වන්නේ මව මියගිය නිසා සිය කුඩා සොහොයුරාට කිරි ලබාදීමට උත්සාහ කරන කුඩා දැරියක්.

නමුත් FactCrescendo ගවේෂණයේදී අනාවරණය වුවේ මෙම වීඩියෝව, තුර්කි-සිරියා භූමිකම්පාව සිදුවීමට මාස කිහිපයකට පෙර, එනම් පසුගිය වසරේ නොවැම්බර් මස TikTok වෙත එකතුකරන ලද කුඩා දැරියකගේ සුරතල් හැසිරීම් දැක්වෙන වීඩියෝවක් මිස මෑතක සිදුවූවක් නොවන බවයි.

මෙහි මුල් වීඩියෝවේ වීඩියෝවට සම්බන්ධ පසුබිම පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහන් වී නොමැති අතර #children laughing humor(ළමුන්ගේ හාස්‍යමුසු වීඩියෝවන්) යන ශීර්ෂ පාඨයක් එහි දක්වා තිබුණා.

එම දැරියගේ සුරතල් හැසිරීම් දැක්වෙන තවත් බොහෝ වීඩියෝ anelya.495 යන TikTok ගිණුම යටතේ පළ කර ඇති බවද අපට දැක ගන්නට ලැබුණා. (නමුත් මේ සටහන තබන මොහොත වන විට එමගිණුමේ මෙම වීඩියෝ කිසිවක් දැක ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ)

ලංකාවේ තිබෙන අතහැර දමන ලද දුම්රියක ඡායාරුපයක් ද?

ලංකාවේ ඇති අතහැර දමන ලද දුම්රියක සේයාරුවක් බව හඟවමින් “නුවරඑළිය, රාගල නානුඔය අතර දුම්රිය මාර්ගය 1927 වසරේදී නායයෑම හේතුවෙන් නැවත රැගෙන ඒමට නොහැකිව රාගල හයිෆොරස්ට් ප්‍රදේශයේ අත්හැරදමා ඇති දුම්රිය” යනුවෙන් විස්තරයක් ද සමඟින් සමාජ ජාලා සටහන් හුවමාරු වන බවක් දැකගන්නට ලැබුණා.

එහෙත් Reverse Image සෙවුමක් ඔස්සේ FactCrescendo කණ්ඩායම සිදුකළ පරික්ෂාවේදී අපට දැකගන්නට ලැබුණේ මෙය රුසියාවට අයත් අතහැර දමා ඇති දුම්රිය රැසක් තිබෙන ප්‍රදේශයක තිබෙන තවත් එක් අතහැර දමන ලද දුම්රියක් බවයි.

රුසියාවේ Ural නම් ප්‍රදේශයේ Shumkovo නමැති දුම්රිය ස්ථානයට නුදුරින් මේ ආකාරයේ දුම්රිය සොහොන් බිමක හැඩ ගන්නා ප්‍රදේශය දැකගන්නට ලැබෙනවා. එහි අත්හැර දමා ඇති පැරණි වාෂ්ප දුම්රිය එන්ජින් සහ කොච්චි පෙට්ටි බොහොමයක් පවතිනවා. මෙම දුම්රිය බොහොමයක් 1940-50 සමයේ නිෂ්පාදනය වූ දුම්රිය ලෙස සැලකෙනවා. වර්තමානයේ මෙම ස්ථානය සංචාරකයන්ගේ සහ දුම්රිය පිලිබඳ උනන්දුවක් දක්වන පිරිසගේ සිත්ගත් ස්ථානයක් බවට පත්ව තිබෙන අතර එසේ පළවූ ඡායාරුපයකුයි ලංකාවේ මේ දිනවල හුවමාරු වන්නේ.

නානුමය දුම්රිය ස්ථානයෙන් අප සිදුකල විමසුමකදී ඔවුන්ද අපට තහවුරු කර සිටියේ රාගල හයිෆොරස්ට් ප්‍රදේශයේ, ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ අතහැරදමන ලද දුම්රියක් දැකගනන්ට ලැබෙන්නේ නැති බවයි. කෙසේනමුත් මීට දශක ගණනාවකට, විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ දී, මෙම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක් පැවතිය ද, පසුව එය නවතා දමන ලද බවත්, මේ වන විට එහි පවතින්නේ නෂ්ඨාවශේෂ පමණක් බවයි ඔවුන් පැවසුවේ.