දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

කාලීන සිදුවීම් සම්බන්ධ කරගනිමින්, ජාතික ජන බලවේගයේ සමාජිකයින් මෙන්ම ගාලුමුවදොර අරගලය සම්බන්ධ පිරිසි බවටත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ සහ අසත්‍ය සටහන් බහුලව සංසරණය වනවා. පසුගියදා දුම්රියේ වැසිකිළියක හැරදමා ගොස් තිබූ සතියක් පමණ වයසැති බිළිඳා සම්බන්ධ සිදුවීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ එවැනි අසත්‍ය සටහන් පෙළක් සම්බන්ධයෙන් Fact Crescendo අප කළ විමර්ශනයයි, මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“ආදරයේ අරගලයේ ආදරණීයම තෑග්ග” යන තේමාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ යුවළකගේ ඡායාරූපයක් රැගත් සටහනක් සංසරණය වූයේ දුම්රියේ වැසිකිළියක් තුළ දමාගොස් තිබූ බිළිඳාගේ දෙමාපියන් යුවළ ලෙස හඟවමින්.

Facebook | Archived Link Facebook | Archived Link

එම තේමාවෙන් ෆේස්බුක් ඔස්සේ බහුලව සටහන් සංසරණය වූයේ මෙලෙසින්.

“අපි හම්බුනේ ගෝල්ෆේස් අරගලයේ වේදිකාව හදනකොට කොච්චියෙ බිළිදා දමාගිය යුවල රටටම පේන්න හඳුනාගනී. අපි හම්බුනේ ගෝල්ෆේස් එකේ අරගලයට වේදිකාව හදනකොට කොච්චියේ බිළිදා දමා ගිය යුවල ගෝල්ෆේස් අරගලයෙන් හමු වූ දෙන්නා හඳුනා ගනී.” යනුවෙන් ඉහත ඡායාරූපය ඇතුළත් ව තවත් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

ෆේස්බුක් පරිශීලකයින් අතර මෙම සටහන ද, සංසරණය වූයේ මෙලෙසින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර පහළින්.

“බිළිඳා දුම්රියේ දමා ගිය අවිවාහක තරුණිය NPP ක්‍රියාකාරී සාමාජිකාවක්. පෙම්වතා මුණගැසී ඇත්තේ ගෝල්ෆේස් අරගල භූමියෙන්” යනුවෙන් සඳහන් කරමින් සත්‍ය සිදුවීමේ පොලීසිය විසින් මවගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේ ඡායාරූපයක් යොදා ගනිමින් සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණා.

Facebook | Archived Link

සමාජ මාධ්‍ය පරිශීලකයින් අතර මෙම සටහන ද, බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එසේම “පිං ඇති කලාකරුවෝ මෙන්න අපිට ළමයි නෑ අපිට එයාව දෙන්න මම එයාව හදාගන්නම් ෂෙරිල් සහ රුවන් පොලීසියෙන් ඉල්ලයි” යනුවෙන් සඳහන් කරමින් ඉහත දරුවා සම්බන්ධ කරමින් තවත් ඡායාරූප සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

මේ හේතුවෙන් මෙම සටහන් වල දැක්වෙන කරුණුවල නිරවද්‍යතාව විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

බිළිදෙකු දුම්රියේ වැසිකිළියක දමා ගොස් තිබූ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ එම බිළිඳාගේ සත්‍ය දෙමව්පියන් දෙදෙනා සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් පළ කර ඇති තොරතුරුවල ඔවුන් පසුගිය වසරේ ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් වූ බවට හෝ ඔවුන්ගේ දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කර තිබුණා ද, යන්න අප පරීක්ෂා කළා. නමුත් එවැනි පුවතක් පළ වී නැති බවට තහවුරු වුණා.

බණ්ඩාරවෙල සහ කොස්ලන්ද පොලිසිය

ඉන් අනතුරුව අප මෙම සිදුවීම සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගත් කොස්ලන්ද පොලිස් ස්ථානයෙන් හා මව අත්අඩංගුවට ගත් බණ්ඩාරවෙල පොලීසියෙන් ද, මෙම දෙමාපියන් අරගලයේ සාමාජිකයන් බවට හෝ මොවුන් ජාතික ජන බලවේගයේ සාමාජිකයන් බවට තොරතුරු වාර්තා වූ වාද යන්න අප විමසීමක් සිදු කළා. ‍

එම පොලිස් ස්ථානවලින් තහවුරු කළේ, එවැනි තොරතුරු විමර්ශනයේදී අනාවරණය නොවූ බවත්, එවැනි තොරතුරක් කිසිදු අවස්ථාවකදී පොලිසිය විසින් ප්‍රකාශයක් හෝ නොකළ බවයි. එමෙන් ම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් බිළිඳාගේ දෙමාපියන් දෙදෙනාම ලබන 15 ‍වන දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් ඔවුන්ව බදුල්ල බන්ධනාගාරයට යොමු කොට ඇති බවට ද, අදාළ පොලිස් ස්ථාන වලින් පවසා සිටියා.

අත්අඩංගුවට පත් මව බණ්ඩාරවෙල පොලිස් ස්ථානාධිපති විසින් ප්‍රශ්න කරන අවස්ථාවේ මාධ්‍යවල පළ වී තිබූ වීඩියෝව මෙතනින්. Archived Link

එමෙන් ම බිළිඳාගේ දෙමව්පියන් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත ඡායාරූපය දෙස ද, අපගේ අවධානය යොමු වූ අතර එම ඡායාරූපයේ සිටින කාන්තාව කවුරුන් ද, යන්න අප පරීක්ෂාවක් සිදු කළා.

GGG අරගල භූමියට 2022 මැයි 09 එල්ල වූ ප්‍රහාරයට නුදුරු දිනකදී ගත් ඡායාරුපයක්!

ඒ අනුව මෙහි දැක්වෙන්නේ ගාලුමුවදොර අරගලයට සම්බන්ධ චතුරාංගනී නම් කාන්තාවක් බවට ඇතැමුන් සිදුකර තිබු ප්‍රකාශ ඔස්සේ, මෙම සිදුවීම පිළිබඳව අප චතුරංගනීව සම්බන්ධ කර ගනිමින් කරුණු විමසා සිටියා. ඇය පවසා සිටියේ තමාගේ ඡායාරූපයක් අවභාවිත කරමින් අසත්‍ය ප්‍රචාරයක් සිදු කෙරෙන බවයි. තමන් , ‘ගෝඨා ගෝ ගම’ ගාලුමුවදොර පිටියේ අරගල භූමියේ ටී ෂර්ට්, බැනර් මුද්‍රණය කරමින් චිත්‍ර අඳිමින් දායකත්වය සැපයූ බවත් ඇය පවසා සිටියා. එසේම හුවමාරු වන ඡායාරූපයේ පසුබිම විස්තර කරමින් චතුරංගනී පවසන්නේ, පසුගිය මැයි 09 වන දා ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය හමුවේ තමන් ගේ කූඩාරම ද, අහිමිව වෙනත් අට්ටාලයක නිදා සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක්, ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න මහතාගේ ඡායාරූප ඇල්බමයේ පළ වී තිබූ අතර, මෙම ව්‍යාජ සටහන් සඳහා යොදාගෙන තිබෙන්නේ එම ඡායාරූප ඇල්බමයේ සේයාරුවක් බවයි. එම ඡායාරුපය මෙතනින්. Archived Link මෙසේ තමා සිටින ඡායාරූපයක් යොදා ගෙන එම ඡායාරූපයට මේ දිනවල කතාබහට ලක්වෙන බිළිඳාගේ ඡායාරූපයක්ද, එකතු කරමින් අරගලයට මඩ ගැසීමට භාවිත කරන බවත් චතුරංගනී පවසනවා. එම ඇල්බමයේ ඇය සිටන තවත් අවස්ථා දැක්වෙන ඡායාරූප මෙතනින් සහ මෙතනින්.

තමන්ගේ අවසරයකින් තොරව පසුගිය වසරේ මැයි 13 වැනි දින තමා විසින් ඡායාරූපකරණය කළ චතුරංගනීගේ ඡායාරූපය යොදාගෙන චතුරංගනීට සහ පොදුවේ අරගලයට මඩ ගැසීමට ගත් උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවට එම ඡායාරූප ශිල්පී රුවන් ගුණරත්න සිට ෆේස්බුක් ගිණුමේ පළ කළ සටහනක් මෙතනින්. Archived Link

මේ අනුව අත්අත්අඩංගුවට පත්ව සිටින්නේ මෙම අරගල භුමියේ දී ලබාගත් ඡායාරූපයේ සිටින යුවල නොවන බව පැහැදිලියි.

සංගීත ශිල්රුපී රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ අළලා පළවූ අසත්‍ය සටහන්!

කලාකරු යුවළක් වන රුවන් හෙට්ටිආරච්චි සහ ඔහුගේ බිරිඳ වන ෂෙරිල් ඩෙකර් විසින් ඉහත සිදුවීමට සම්බන්ධ දරුවා හදාවඩා ගන්න කැමැත්ත පළ කරමින් පොලීසියෙන් ඉල්ලීමක් සිදු කළ බවට දැක්වෙන සටහන් අසත්‍ය බව රුවන් හෙට්ටිආරච්චිගේ සම්බන්ධීකාරක විසින් අප කළ විමසීමේදී පවසා සිටියා. ඔවුන් විසින් එවැනි ඉල්ලීමක් සිදු කළ නොකළ බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

දුම්රිය වැසිකිළියේ අතහැර දමා ගොස් බිලිඳාගේ පුවත

පසුගිය 10 වන දා රාත්‍රියේදී කොළඹ කොටුවේ සිට - මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ''මීනගයා'' රාත්‍රී තැපැල් දුම්රියේ මැදිරියක වැසිකිළියක් තුළ බිළිඳෙකු සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත දුම්රිය ආරක්ෂක අංශය කළ සෝදිසි කිරීමේදී මෙම බිළිඳා සොයා ගෙන තිබුණා.

ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ ඉපදී සතියක් පමණ වන මෙම බිළිඳා, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල වෙත ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඔවුන් පොලීසියට පවසා තිබුණේ, ඔවුන් දෙදෙනා අවිවාහක බැවින් දරුවා ලැබුණු පසු ඒ පිළිබඳව මව්පියන්ට පැවසීමට බිළිඳාගේ මව අකමැති වූ නිසා බිළිඳා දුම්රියේ දමා යන්නට තීරණය කළ බවත්, කවුරුන් හෝ බිළිඳා රැගෙන ගොස් හොඳින් හදා වඩා ගනීවී යැයි සිතා ඔවුන් දරුවාව දුම්රියේ තබා ගිය බවයි. ඒ පිලිබඳ පුවතක් මෙතනින් සහ මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:දුම්රියේ වැසිකිළියක අතහැර දමා ගොස් තිබූ බිළිඳා සම්බන්ධ සිදුවීම පිළිබඳ අසත්‍ය සටහන් පෙළක්!

Fact Check By: Pavithra Sandamali

Result: False