දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් තේමාවන් යටතේ නොමග යන සුළු සටහන්, වීඩියෝ සහ ඡායාරූප බහුලව සංසරණය වනවා. එලෙසින් හාමුදුරුවන්ට දානය සඳහා පිළිගැන්වූ පානයක් හේතුවෙන් සමාජ මාධ්‍ය පරිශිලකයින් නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

"සමිමා ෂැමිපෙන්" යන තේමාව යටතේ බෞද්ධ ස්වාමීන් වහන්සේලා පිරිසකට හෝටලයකදී මත්පැන් පිළිගන්වන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුනේ පහත අයුරින්.

Facebook

“සම්මා 🍻යනුවෙන් සඳහන් කරමින් ද ඒ අදහසින්ම මෙම වීඩියෝව හුවමාරු වූ තවත් අවස්ථාවක් මෙතනින් සහ මෙතනින් Archived Link

ඉහත වීඩියෝව වට්ස්ඇප් ඔස්සේ ද, හුවමාරු වී තිබූ අතර එම වීඩියෝව එම ෆේස්බුක් පිටුවෙන් ඉවත් කර ඇති බැවින් එහි දක්වා ඇති සබැඳිය මේ වන විට ක්‍රියාත්මක නොවේ.

බොහෝ දෙනෙකු මෙහි දැක්වෙන්නේ ස්වාමින්වහන්සේලාට මත්පැන් පිළිගන්වන අවස්ථාවක් ද යන්න පිළිබඳ අපෙන් විමසීමක් කර තිබූ බැවින් මෙහි සත්‍යතාව පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

මෙම වීඩියෝව බැලූ බැල්මට දැක ගන්නට ලැබෙන්නේ හෝටල් කාර්ය මණ්ඩලය විසින් මත්පැන් වර්ගයක් (වයින්/ෂැමිපෙන්) වැනි පානයක් ස්වාමීන්වහන්සේලා හිඳ සිටින මේසයකට පිළිගන්වන අයුරුයි.

නමුත් මෙම වීඩියෝව හොඳින් නිරීක්ෂණය කිරීමේදී එහි සේවකයෙකු විසින් මෙම පානය සහිත බෝතලයේ මූඩිය ඉවත් කිරීමේ රූපරාමුවේදී එම පානය සහිත බෝතලය කුමක්ද යන්න දැක ගැනීමට හැකි වන අතර එහි Fruit Cocktail ලෙස සඳහන් වන ආකාරයක් දැක ගන්නට ලැබෙන්නේ මෙලෙසින්.

ඒ අනුව අප එම පානය සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී එය මත්පැන් නොවන පළතුරු වලින් සාදා ඇති පානයක් බවට දැක ගන්නට ලැබුණා.

luxecolombo

එම වීඩියෝවේ දැක්වෙන හෝටල් සේවකයා ඇඳ සිටින නිල ඇඳුමේ අදාළ හෝටලයේ නම Hotel Queensbury ලෙස සඳහන් වී තිබුණි. ඒ ඔස්සේ කළ නිරීක්ෂණයේදී එය කඩුවෙල පිහිටි Hotel Queensbury හෝටලය බවට හඳුනාගත් අතර මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා එම හෝටලයේ කළමණාකරුගෙන් අප විමසීමක් කළා.

Hotel Queensbury කළමනාකාරිත්වය

තරිඳු දේශිත නම් ඔහු සඳහන් කළේ, මෙය නිතරම දානමය පින්කම්වලට සම්බන්ධ වන පුද්ගලයෙකු විසින් තම හෝටලයේදී හාමුදුරුවන්ට දානය පිරිනමන අවස්ථාවක් බවත්, එම වීඩියෝවේ දැක්වෙන්නේ මධ්‍යසාර නොව පළතුරු වලින් සාදන ලද කොක්ටේල් එකක් බවත්, මේ එම පුද්ගලයා විසින් 5වන වතාවටත් පවත්වන දානමය අවස්ථාවක් බවයි.

මීට පෙර ද සෑම අවස්ථාවකදී ම මෙම පානය පිළිගැන්වූ බවත්, නොයෙකුත් පන්සල් වලින් රැස්කර ගන්නා ස්වාමීන්වහන්සේලා ට මෙලෙසින් දානය පිළිගන්වන අතර මෙවර හාමුදුරුවරු 185 දෙනෙකු සහභාගී වූ බව ද, ඔහු වැඩිදුරට ත් සඳහන් කළා.

එමෙන් ම එම පානය ඉහත ඡායාරූපයේ අප සඳහන් කළ පානය බව ද, ඔහු තහවුරු කළා.

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හෝටලයේ කළමනාකාරිත්වය තවදුරටත් පවසන්නේ පසුගිය මාර්තු 19 පැවති මෙම දානමය පින්කමේ දර්ශන පෙළක් සමාජගත කර තිබු පුද්ගලයා, තාවකලික පදනම යටතේ වේටර්වරයෙකු වශයෙන් සේවයේ නිරතව සිටියදි සොරකම් කිරීමක් හේතුවෙන් සේවයෙන් පහකළ පුද්ගලයෙකු බවත්, ඒ හේතුවෙන් ඉහත ආකාරයෙන් නොමඟ යවන සුළු කෝණයෙන් ෆේස්බුක් වෙත වීඩියෝ දර්ශන පෙළක් පලකර තිබු බවත්ය. මෙම වීඩියෝව මුල්වරට පළකර තිබු පුද්ගලයාට එරෙහිව නීතිමය පියවර ද ගැනීමට බලාපොරොත්තු වන බවත් දන්වමින් පළකර තිබු සම්පුර්ණ නිවේදනය පහතින්. Archived

සැ.යු : මෙලෙසින් දානය පිළිගන්වන අයුරු හෝ දානය සඳහා මෙවැනි පානයන් ස්වාමීන්වහන්සේ ලා සඳහා පිළිගැන්වීම සුදුසු ද, නැද්ද යන්න පිළිබඳ අප මින් කිසිදු අදහසක් දක්වා නොමැති අතර ඉහත පානය මත්පැන් නොවන බවට පමණක් අප මෙහිදී කරුණු විමර්ශනය කර ඇත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, බෞද්ධ ස්වාමීන්වහන්සේ ලා පිරිසකට හෝටලයකින් මත්පැන් පිළිගන්වන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ දැක්වෙන්නේ, මත්පැන් නොව, මත්පැන් අඩංගු නොවන බව සඳහන් කර ඇති, පළතුරු කොක්ටේල් වර්ගයකි. ඒ බවට එම වීඩියෝව නිරීක්ෂණයෙන් ද, තහවුරු වන අතර එම දානය පිළිගන්වා තිබූ හෝටලයේ කළමණාකරු විසින් ද, තහවුරු කරන ලැබුවා.

Avatar

Title:බෞද්ධ ස්වාමීන්වහන්සේ ලා පිරිසකට හෝටලයකින් මත්පැන් පිළිගන්වන අයුරු? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading