සමාජ ජාලා තුළ පැතිරෙන වැරැදි හෝ නොමගයවන සුළු සටහන් ඔබට හැඟෙන ඡායාරූප, වීඩියෝ හෝ වෙබ් පුවත් යනාදිය 0771514696 ඔස්සේ Fact Crescendo කණ්ඩායමට වට්ස්ඇප් හරහා යොමු කොට කරුණු තහවුරු කර ගත හැක.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ගල්කන්දේ ධම්මානන්ද හිමියන් අවුරුදු චාරිත්‍ර හෑල්ලුවට ලක්කරමින් ප්‍රකාශයක් සිදුකළා ද?

-කලණ ක්‍රිශාන්ත -

කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පැවසූ බවට වන සටහන් සමාජ ජාලා වල පැතිරුණා. ආණ්ඩුවට විරෝධය පළකිරීම සදහා සිංහල අලුත් අවුරුද්දට ගොම මිශ්‍ර කිරි උතුරුවන ලෙසට ධම්මානන්ද හිමියන් රූපවාහිනී වැඩසටහනක් අතරතුර දී ඉල්ලීමක් කල බවට හඟවමින් මෙම සටහන් පැතිරුණා.

නමුත් FactCrescendo අප කණ්ඩායම මගින් සිදු කල කරුණු විමසුමේදී තහවුරු වුවේ එම සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි.

මුලින්ම අප පරික්ෂා කළේ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කර ඇති ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා කර තිබුනේ ද යන්නයි. නමුත් එවැන්නක් දක්නට ලැබුණේ නැහැ.

ඉන් අනතුරුව අප විමසා බැලුවේ සමාජ ජාලා සටහන්වල දක්නට ලැබෙන සේයාරුවේ සඳහන් පරිදි “සිරස” රුපවාහිනි නාලිකාවේ “පැතිකඩ” වැඩසටහන අතරතුර දී උන්වහන්සේ විසින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබුනේ ද යන්නයි .

සමාජ මාධ්‍ය සටහන නිර්මාණය කර තිබෙන පසුබිම දැක්වෙන “සිරස පැතිකඩ” වැඩසටහන පවත්වා තිබුණේ මීට වසර 3 කට පෙර, එනම 2020 මැයි මස 8 වැනි වෙසක් පෝය දිනයේදී යි. එහිදී ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ කොරෝනා අවදානම හමුවේ වෙසක් උත්සවය සහ ජිවිත යතාර්තයන් පිලිබඳවයි. නමුත් එහි කිසිඳු අවස්ථාවක දී සිංහල අවුරදු චාරිත්‍ර සම්බන්ධව උන්වහන්සේ අදහස් දැක්වීමක් කරන්නේ නැති අතර වෙසක් පොහොය සම්බන්ධයෙන් හෝ ආණ්ඩුවට විරෝධය පළකරන අන්දමින් ප්‍රකාශයක් සිදුකරන්නේ නැහැ.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සටහන් සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුව හරහා අදහස් දක්වමින් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් පවසන්නේ තමන් මෙවන් ප්‍රකාශයක් සිදුකලේ නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අප හා සමග අදහස් දැක්වූ ගල්කන්දේ ධම්මානන්ද හිමියන් තහවුරු කර සිටියේ ද තමන් කිසිදු අවස්ථාවක අවුරුදු සිරිත් විරිත් සහ දේශපාලනය සම්බන්ධ කර ගනිමින් සමාජ ජාලා වල පළවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි.

ඉස්සන් සමඟ විටමින් C ආහාරයට ගැනීමෙන් මරණාසන්න තත්වයක් ඇතිවන්නේ නැහැ!

-පවිත්‍රා සඳමාලි -

ඉස්සන් සමඟ විටමින් C ලබා ගැනීමෙන් හදිසි මරණාසන්න තත්ත්වයක් ඇති වන බවට පවසමින්, එලෙසින් වූ සිදුවීමක් බවට කතා පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වී තිබුණා. ඒ සම්බන්ධයෙන් අප FactCrescendo කණ්ඩායම මගින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුවේ එම සටහන් අසත්‍ය සහ පදනම් විරහිත බවයි.

කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ අවස්ථාවකදී, එයට හේතුව සොයාගත නොහැකිව සිටියදී වෛද්‍යවරයාගේ නිගමනය වුයේ පෙර දින රාත්‍රියේ දී ඉස්සන් සහ කකුළුවන් ආහාරයට ගැනීමත්, පසුව විටමින් සී ලබාගැනීම බවටත් මෙම මරණයට හේතු වී තිබු බවයි, යනුවෙන් සඳහන් ෆේස්බුක් සටහන්, ඉතා විශාල පිරිසක් හුවමාරු කරගෙන තිබුණා. මෙම සංයෝගය ලබාගැනීමේ දී ආහාර විෂකාර ආසනික් නිපදවීම හේතුවෙන් මෙම අහිතකර තත්වය උදාවන බවත්, ඉස්සන් සහ වීටමින් C එකට ලබාගැනීමෙන් වැලකී සිටින ලෙසත් එම සටහන් මඟින් ඉල්ලීමක් සිදුකර තිබුණා.

අප ප්‍රථමයෙන්ම පරීක්ෂා කර බැලුවේ ඉහත සඳහන් සටහන් වල දැක්වෙන පරිදි සිදුවීමක් මෙරට හෝ ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය ධාරාවක වාර්තා වී තිබුණා ද යන්නයි. නමුත් විටමින් සී සමගින් ඉස්සන් හෝ කකුළුවන් ආහාරයට ගැනීමෙන් කාන්තාවක් මිය ගිය බවට පුවතක් වාර්තා වී තිබෙනු දැක ගන්නට ලැබුනේ නැහැ.

සමාජ සටහන්හි දැක්වෙන “විටමින් C + ඉස්සන්” පිළිබඳ ඉහත සඳහන් මිථ්‍යාවේ ආරම්භය, 1985 දී චිකාගෝ ට්‍රිබියුන්හි පළකර තිබු Illinois විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද පර්යේෂණ අධ්‍යයනයක් වෙත දිවෙනවා. එහි සඳහන් වන්නේ විටමින් C විශාල ප්‍රමාණයක් සහ ඉස්සන් ආහාරයට ගැනීම තුළින් ඇතැම් සංයෝග, ආසනික් බවට පරිවර්තනය කළ හැකි බවයි. කෙසේ වෙතත්, එම තත්වය මඟින් උග්‍ර ආසනික් විෂවීමක් ඇති කළ හැකි බව ලිපියෙන් කියවෙන්නේ නැති නමුත්, විටමින් C විශාල මාත්‍රාවක් සමගින් ඉස්සන් නිරන්තරයෙන් ආහාරයට ගැනීමෙන් කාලයත් සමඟ පිළිකා අවදානම වැඩි කළ හැකි බව අඟවයි.

කෙසේවෙතත්, මෙම ලිපිය මගින් පර්යේෂණ තත්වයන් පිළිබඳව පුළුල් වශයෙන් තොරතුරු සපයා නොමැති අතර, එම අධ්‍යයනයේ යම් ප්‍රධාන ආකාරයේ දෝෂ සහිත විය හැකි බවටත්, තොරතුරු නොමැතිකම නිසාත්, විටමින් සී කොපමණ ප්‍රමාණයක් විශාල මාත්‍රාවක් ලෙස සැලකේ ද වැනි වැදගත් ප්‍රශ්න ගණනාවකට පිළිතුරු නොමැති බවත් ඇතුළු අඩුපාඩුකම් රැසක් ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. එසේම මෙය 1985 වර්ෂයේ සිදු කළ එක් අධ්‍යයනයක් පමණක් වන අතර, එතැන් සිට මෙම විෂය සම්බන්ධයෙන් අමතර විශ්වාසදායක තොරතුරු හෝ තහවුරු කිරීමක් දැක ගන්නට ලැබෙන්නේ ද නැහැ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයෙන් ද අප මේ පිළිබඳව විමසූ අතර ඔවුන් සඳහන් කළේ, ආසනික් යනු ස්වභාවිකව පවතින මූලද්‍රව්‍යයක් මිස, විටමින් සී සමඟ මිශ්‍ර කිරීමෙන් නිපදවන සංයෝගයක් නොවන බවත්, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ අසත්‍ය තොරතුරක් බවයි. එමෙන්ම ඉස්සන් සහ කකුළුවන් ආහාරයට ගැනීමෙන් ඇතැම් පුද්ගලයන්ට අසාත්මිකතා ඇතිවීමේ ඉඩකඩ ඇති වූවත්, මරණය සිදුවිය හැකි බවට පැවසීමට මෙතෙක් කිසිදු අධ්‍යනයකින් වාර්තා නොවන බවත් එහි වෛද්‍යවරුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමනිසා, සාමාන්‍ය විටමින් සී මාත්‍රාවක් සමඟ ඉස්සන් එක ආහාර වේලක් අනුභව කිරීම ආසනික් විෂ වීමේ මාරාන්තික සිද්ධියකින් “පැය කිහිපයක් ඇතුළත” මිය යාමට හේතු විය හැකි බව මෙතෙක් සිදු කරන ලද අධ්‍යයන මඟින් සොයාගෙන නොමැත.

නාමල් සහ මහින්දානන්ද සමග ඡායාරූපවල සිටින්නේ එකම පුද්ගලයාද?

-පවිත්‍රා සඳමාලි -

“එකම Factory යෙ නිෂ්පාදන අසුවීම නොවීම ඔබේ හැකියාවයි” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණා. එහිදී ඡායාරූප දෙකක් දෙපැත්තේ දක්වා තිබු අතර, එම ඡායාරූප දෙකෙහිම එකම පුද්ගලයෙකු සිටින බවට හඟවා තිබුණා. නමුත් FactCrescendo අප කණ්ඩායම මගින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරුවුවේ ඒ පුද්ගලයන් දෙදෙනෙක් බවයි.

ඉහත දක්වා ඇති වම් පස ඡායාරූපයේ පසුබිම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ද, සිටි බැවින් එම අවස්ථාව කුමක් ද යන්න පිළිබඳ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම හරහා අප නිරීක්ෂණය කළා.

ඒ අනුව, නාමල් රාජපක්ෂ විසින් පසුගිය අප්‍රේල් 04 වන දා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සජීවිව(Live) පැමිණි අවස්ථාවේ වීඩියෝවේ දැක්වෙන පසුබිම ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පසුබිමට සමාන බව දැක ගන්නට ලැබුණි.

එම සජීවි වීඩියෝව සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමේදී ඉහත පළමු ඡායාරූපයේ සිටින තරුණිය ද, දැක ගන්නට ලැබෙන අතර එම අවස්ථාවේ නාමල් රාජපක්ෂ විසින් පවසන්නේ, ඔහු විසින් මෙහෙයවනු ලැබූ ෆේස්බුක් සජීවි අවස්ථාවේ දසත ලංකා News වෙබ් අඩවියට , ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දෙන බවයි. එහිදී ඉහත ඡායාරූපයේ දැක්වෙන තරුණිය විසින් පැන යොමු කරන හෙයින්, අප ඇය පිළිබඳව මෙන්ම ඉහත ඡායාරූපයේ දැක්වෙන අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා දසත වෙබ් අඩවිය සම්බන්ධ කර ගැනීමට පියවර ගත්තා.

දසත වෙබ් අඩවියේ අධ්‍යක්ෂ පී.එස් මධුසන්ක විසින් පැවසූවේ, ඡායරුපයේ සිටින්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සාමාජිකාවක් බවත්, ඉහත දකුණු පස තිබෙන හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සමගින් ඇති ඡායාරූපයේ සිටින්නේ තමන් නොව වෙනත් පුද්ගලයෙකු බවයි.

එසේම දසත ලංකා කණ්ඩායමේ අධ්‍යක්ෂ පවසන්නේ, නාමල් රාජපක්ෂ සජීවි විකාශය ආරම්භ කිරීමට පෙර එම ඡායාරුපය තමා විසින්ම ලබාගත් බවත්, සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර තිබූ බවයි. එය අවභාවිතා කරමින් නොයෙකුත් අසත්‍ය තොරතුරු සංසරණය වන බවයි.

කෙසේ වෙතත් ඉහත පළමු සටහනේ ඡායාරුප සංසන්දනයේ දකුණු පසින් සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප අප පරීක්ෂා කළ අතර, එහිදී දැක ගන්නට ලැබුණේ, මහින්දානන්ද අලුත්ගමගේ විසින් රජයේ සහනාදාර වැඩපිළිවෙළක් යටතේ පස්බාගේ කෝරළේ හා ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල වලට සහනාධාර බෙදූ අවස්ථාවේ පළකර කර තිබූ ඡායාරූප ඇල්බමයේ එක් ඡායාරූපයක් මේ සඳහා යොදාගෙන තිබෙන බවයි.

අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය අංශය සම්බන්ධ කර ගත් අතර මාධ්‍ය ලේකම් තහවුරු කළේ, දකුණු පස ඡායාරූපයේ අමාත්‍යවරයා සමගින් සිටින පුද්ගලයා හා පළමු ඡායාරූපයේ සිටින්නේ පුද්ගලයින් දෙදෙනෙකු බවත්, අමාත්‍යවරයා සමගින් සිටින පුද්ගලයාද, අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ නොවන අතර එදින සහනාධාර වැඩපිළිවෙළට පැමිණි ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරියෙකු බවයි.

එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට?

-පවිත්‍රා සඳමාලි -

“එකම උපාධියක් වැඩිම කාලයක් කිරීමේ ගිනස් වාර්තාව වසන්ත මුදලිගේට” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් පළ වුණා. එම ඡායාරූපයේ වසන්ත මුදලි විසින් ගිනස් වාර්තාවේ සහතිකයක් හොවා ගෙන සිටින බවට ද, දක්වා තිබුණා.

නමුත් FactCrescendo කණ්ඩායම මගින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වුයේ මෙම සේයාරුව සංස්කරණය කරන ලද්දක් බව සහ සැබවින්ම වැඩිම කාලයකින් උපාධියක් සම්පුර්ණ කිරීමේ ගිනස් ලෝක වාර්තාව අයත්වන්නේ වෙනත් පුද්ගලයෙක්ට බවයි.

බොහෝ පිරිසක් උපහාසාත්මක කෝණයෙන් ඉහත ඡායාරූපයට ප්‍රතිචාර දක්වා තිබුණ ද , සත්‍ය වශයෙන්ම විශ්ව විද්‍යාල උපාධියක් වැඩිම කාලයක් ගෙන සම්පූර්ණ කිරීමේ ගිනස් වාර්තාවක් තිබේ ද, එසේනම් එය හිමි වන්නේ කිනම් පුද්ගලයෙකුට ද යන්න පිළිබඳ අප ගිනස් වාර්තා වෙබ් අඩවිය ඔස්සේ පරීක්ෂා කළා.

ඒ අනුව, විශ්ව විද්‍යාල උපාධියක් සම්පූර්ණ කිරීමට වැඩිම කාලයක් ගත වූ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ එක්සත් රාජධානියේ රොබට් එෆ්.පී. ක්‍රොනින් නැමැත්තෙකුටයි. ඒ, 1948 පෙබරවාරි 9 වන දින ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සි හි ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් ආරම්භ කළ සිය ජීව විද්‍යා උපාධිය, වසර 52 කුත් දින 111 කට පසුව සම්පුර්ණ කරමින්, 2000 මැයි 30 දින සිය උපාධිය ලබා ගැනීම හේතුවෙනි.

කෙසේ වෙතත් මුදලිගේද රජරට විශ්ව විද්‍යාලය තුළ සිය උපාධිය තවමත් ලබා නොගැනීම පිළිබඳ මෙන්ම ඒ හා සම්බන්ධ ප්‍රශ්න කිහිපයක් සඳහා පසුගිය පෙබරවාරි 02 වන සිරස නාලිකාවේ වැඩසටහනකදී පිළිතුරු සපයනු ලබනවා.

එහිදී ඔහු පවසා සිටින්නේ තමන් රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හැදැරීම 2015 මැයි 11 වන දා ආරම්භ කළ බවත්, විශේෂවේදී උපාධියක් සඳහා විශ්ව විද්‍යාල පනතේ සඳහන් ලෙස අවුරුදු 8ක කාලයක් හිමි වන බවයි. ඒ අනුව ලබන වසර තෙක් උපාධිය අවසන් කිරීම සඳහා කල් ඇති බවත්, එය තමන් ට පමණක් නොව විශ්ව විද්‍යාල පනත යටතේ ශිෂ්‍යන්ට හිමි වන අයිතියක් වන බවත් ඔහු පවසා තිබුණා.

දමිතයි රැට්ටයි විවේචනය කරමින් දුලීකා මාරපනගෙන් ප්‍රකාශයක්?

-පවිත්‍රා සඳමාලි -

“අරගලේ හිටපු අය මටත් කොකා පෙන්නලා මඩි තර කර ගත්තා. මට ලැබුණු කොටස පවා රැට්ටලා දමිතලා යටි මඩි ගහ ගත්තා. ඒ නිසයි මම අරගලයෙන් එළියට බැස්සේ. මට අන්තිමට ඉතුරු වුණේ, කැනඩාවෙ පදිංචි දමිළ සහෝදරයෙක් එවපු කරේ දාගෙන ඉන්න මේ චේන් පට විතරයි.” යනුවෙන් රංගන ශිල්පිනී දූලිකා මාරපන විසින් ෆේස්බුක් හි සජීවි හමුවකට පැමිණ ප්‍රකාශ කළ බවට හඟවමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණා.

නමුත් FactCrescendo කණ්ඩායම මගින් සිදුකරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ ඇය විසින් එවැන්නක් පවසා නොමැති අතර එම සමාජ ජාලා සටහන් ව්‍යාජ ලෙස නිර්මාණය කර තිබු බවයි.

දුලීකා මාරපන විසින් මෙවන් ප්‍රකාශයක් සිදු කළා ද, යන්න පිළිබඳව ඇයගේ නිල ෆේස්බුක් ගිණුම හරහා අප නිරීක්ෂණය කළා. ඇය විසින් එලෙසින් අරගලය සම්බන්ධයෙන් හෝ අරගලයට දායකත්වය සැපයූ රතිඳු සේනාරත්න(රැට්ටා) සම්බන්ධයෙන් හෝ රංගන ශිල්පී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හෝ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන පරිදි ප්‍රකාශයක් කර තිබුනේ නැහැ.

ඉන් අනතුරුව අප අවධානය යොමු කළේ, දුලීකා මාරපන විසින් සිය ෆේස්බුක් ගිණුම හරහා ඉහත ඡායාරූපයේ දැක්වෙන පරිදි සජීවිව පැමිණි අවස්ථාවක් ඇත් ද යන්නයි. ඒ අනුව දුලීකා මාරපන විසින් එම අවස්ථාවේ ඇඳ සිටි ඇඳුමට සමාන අයුරින් වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුම හරහා දැක ගන්නට ලැබෙනවා. එහි පසුබිම පරික්ෂා කිරීමේ දී සමාජ මාධ්‍ය සටහන් සඳහා මෙම වීඩියෝවේ රුප රාමුවක් යොදාගෙන ඇති බව පැහැදිලි වූ බැවින් අප මෙම වීඩියෝව වෙත අවධානය යොමු කළා.

එම ෆේස්බුක් සජීවි වීඩියෝවේදී ද, දුලීකා මාරපන විසින් ඉහත සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන පරිදි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන අතර එම වීඩියෝව පුරාවට අදහස් ප්‍රකාශ කරමින් දුලීකා පවසන්නේ, ඇය එම අවස්ථාවේ සහභාගී වෙමින් තිබූ නාට්‍ය රූගත කිරීමක් සම්බන්ධයෙනි.

එමෙන්ම එම සජීවි වීජියෝව හරහා ප්‍රේක්ෂකයින් අසනු ලබන පැන වලට පිළිතුරු සපයන අතර අවස්ථා දෙකකදී ඇයට යොමු කරන ප්‍රශ්නයක් වන දේශපාලනයට එනවාද යන්න ප්‍රශ්න සඳහා තමන් දේශපාලනයට නොපැමිණෙන බව ද, දුලීකා පවසා සිටිනවා. ඒ හැරුණු කොට ඇය විසින් කිසිදු අවස්ථාවක දමිතා හෝ රැට්ටා සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් හෝ මෙම වීඩියෝවේ දී සිදු නොකරයි.

එමෙන්ම ඇය විසින් වෙනත් අවස්ථාවක හෝ ඉහත සඳහන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද යන්න පිළිබඳ අප “Keyword” භාවිත කරමින් පරීක්ෂා කළ ද, එවැනි සටහනක් හෝ වීඩියෝවක් දැක ගන්නට නොලැබුණි.

අප මේ පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා දුලීකා මාරපන මහත්මියව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා. ඇය සඳහන් කළේ, තමන් කිසිදු අවස්ථාවක රැට්ටා හෝ දමිතා සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු නොකළ බවත්, ඔවුන් දේශපාලනයට පැමිණිය ද, තමන්ට කිසිදු විවේචනයක් හෝ ඒ සම්බන්ධයෙන් නොමැති බවත්, තමන් රූගත කිරීමකට සහභාගී වූ අවස්ථාවේ ෆේස්බුක් සජීවි වීඩියෝවක් කළ බවත්, එම අවස්ථාවේ ඡායාරූපයක් අවභාවිත කොට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැමුන් අසත්‍ය තොරතුරු පතුරුවන බවයි.

අසනීප තත්ත්වයේ පසුවන ලෝක ප්‍රකට ගායිකා Celine Dion, සිය පුතුගේ විවාහ මංගල්‍යයට රෝද පුටුවකින් පැමිණ නර්තනයක යෙදෙන අයුරුද?

-කලණ ක්‍රිශාන්ත -

සුප්‍රකට ටයිටැනික් නැව මුහුදුබත්වී පසුගිය අප්‍රේල් 15 දිනට  අවුරුදු 111 ක් ගතවෙනවා. ඒ අනතුර ඇසුරු කොට නිපදවුණු ටයිටැනික් චිත්‍රපටයේ තේමා ගීතය ඇතුළු ලෝකප්‍රකට ගීත ගණනාවක් ගායනය කරමින් බොහෝ දෙනාගේ ආදරයට පත් ප්‍රකට ගායිකා සෙලින් ඩියෝන් (Celine Dion), දුර්ලභ ස්නායු රෝගී තත්වයකට ගොදුරු වීම පිලිබඳ ඇයගේ රසිකයින් සිටින්නේ ඉමහත් කණස්සල්ලෙන්.

එවැනි පසුබිමක් තුළ සමාජ ජාලා හරහා පැතිරෙන වීඩියෝවක් මගින් කියවෙන්නේ, අපහසුතා මධ්‍යයේ සෙලීන් සිය පුතුගේ විවාහ මංගල උත්සවයට රෝද පුටුවකින් පැමිණි බවත් එහිදී ඉතා සංවේදනිය ලෙස පුතු සමඟ නර්තනයකට සම්බන්ධ වූ අයුරු එමඟින් නිරුපණය වන බවයි.නමුත් FactCrescendo කණ්ඩායම සිදුකල විමසා බැලීමේදී තහවුරු වුවේ එම වීඩියෝවේ සිටින කාන්තාව සෙලින් නොවන බවයි.

වීඩියෝවේ දැක්වෙන්නේ ඇමරිකාවේ ෆ්ලොරිඩාහි වෙසෙන 55 හැවිරිදි Kathy Poirier නමැති කාන්තාවකි.කෙසේවෙතත් ඇය ද සෙලින් මෙන්ම දුර්ලභ ස්නායු ආබාධ තත්වයකින් පෙළෙන අතර ඉච්චානුග  මාංශ පේශි චලනයන් සීමා කරන Amyotrophic lateral Sclerosis (ALS) රෝගයෙන් පෙළෙන බව වාර්තා වෙනවා.

Good Morning America වැඩසටහන සමඟින් අදහස් දක්වමින් Kathy පවසන්නේ, ඇය තම පුතාගේ (Zak Poirier) විවාහ මංගල උත්සවයේ නර්තනයට පෙර යම්කිසි චකිතයක් තිබුණත්, තම පුතුන් ළඟට පැමිණීමත් සමඟ ඇයට නර්තනය සඳහා කිසිඳු තැතිගැනීමක් නැති බවයි. මෙම අනුවේදනීය නර්තනය අතුරතුර, Kathyගේ සහයට ඇයව අත්දෙකෙන් අල්ලාගෙන දෙපැත්තෙන් වාරු කරමින් නර්තනය සහය ලබාදෙන්නේ, කැතිගේ අනෙකුත් පුතුන් දෙදෙනායි.