දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර එකම පුද්ගලයෙක් ද?

-Fact Crescendo Team -

පාර්ලිමේන්තුවේදී විශේෂ හෙලිදරව්වක් සිදුකරමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසා තිබුනේ, X-Press Pearl නැව අයත් නැව් සමාගම මගින් විශාල වන්දි මුදලක් ශ්‍රී ලංකා රජයට ගෙවීමෙන් වැලකීමට, අදාළ පාර්ශවයන්ට බලපෑම් කිරීමේ අරමුණින්, ඩොලර් මිලියන 250ක මුදලක්, චාමර ගුණසේකර නම් පුද්ගලයෙකුගේ ගිණුමට බැරකර ඇති බවත්, එම බැංකු ගිණුම ලියාපදිංචි කර ඇත්තේ බ්‍රිතාන්‍ය තුළ ලියාපදිංචි බැංකුවක බවයි. ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ චාමර ගුණසේකර යනු කවුරුන්ද බව හෝ තොරතුරේ නිරවද්‍ය බව නොදන්නා බව සහ මෙම තොරතුර තමන් රහස් පොලිසියට ලබාදුන් බවයි.

මේ හේතුවෙන් බොහෝ දෙනා චාමර ගුණසේකර කවුරුන්ද යන්න පිළිබඳව විමසිලිමත් වුණා. මෙවන් පසුබිමක චාමර ගුණසේකර යනු වෙනත් කවරෙකුත් නොව මංජු නිශ්ශංක නැමැත්තෙකු බවට ලංකා ඊ නිව්ස් ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබුණු අතර ඔවුන්ගේ බ්ලොග් අඩවියේ ලිපියක ද ඒ සම්බන්ධ සටහනක් පළව තිබුණා. එහි දැක්වෙන්නේ මංජු නිශ්ශංක යනු හිටපු වෙරළ සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා සමඟ සමීපව කටයුතු කල පුද්ගලයෙකු බව සහ චාමර ගුණසේකර නමින් හැදින්වෙන්නේ ද මංජු නිශ්ශංකම බවයි.

නමුත් මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර ලෙස හැදින්වෙන්නේ එකම පුද්ගලයෙක් බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් සඳහන් කර තිබුණේ නැහැ. මේ පිලිබදව විමසීමට මංජු නිශ්ශංක සම්බන්ධ කර ගැනීමට අපට හැකිවූ අතර ඔහු පැවසුවේ තමාට එල්ලවන චෝදනා සම්පුර්ණ අසත්‍ය බවයි.

එමෙන්ම සිය මුල් නම මංජුල නලින් නිශ්ශංක බවත් පසුව එය “මංජු නිශ්ශංක” ලෙස නිත්‍යානුකූලව වෙනස් කල බව ඔහු අප සමග අනාවරණය කළා. මෙයට අමතරව කිසිඳු නමක් තම නමට කිසිඳු අවස්ථාවක තිබී නැති බව අධාරණය කරමින් අප වෙත ඔහුගේ ජාතික හැදුනුම්පතේ සහ ගමන් බලපත්‍රයේ පිටපත් ද ලබාදුන් අතර අතර එහි සඳහන්ව ඇත්තේ ද මංජු නිශ්ශංක යන නම පමණයි.

එලෙසම තමන් ගම්පහ ප්‍රදේශයේ උපන් අයෙක් බැවින් පසුගිය මැතිවරණයේ දී පොහොට්ටුවේ නියෝජිතයෙක් ලෙස මහ මැතිවරණයට ගම්පහින් ඉදිරිපත්වූ නාලක ගොඩහේවාට ද සහාය දැක්වූ බව මංජු නිශ්ශංක පැවසුවා.

කෙසේ නමුත් කාලයක් සමග දේශපාලන තලයේ සිදුවූ වෙනස්කම් සලකා බලා ගාලු මුවදොර අරගලයට තමන් බොහෝ සෙයින් සහාය ලබාදුන් බවත් ඔහු පිළිගත්තා. එමෙන්ම ඊ නිව්ස් වාර්තාවේ සඳහන් සිය අධ්‍යාපනය සම්බන්ධ තොරතුරු සත්‍ය බවත්, නමුත් එහි සඳහන්ව තිබෙනවාටත් වඩා තමන්ට අධ්‍යාපන සුදුසුකම් ඇති බවත් නිශ්ශංක අප සමග පැවසුවා.

කෙසේ නමුත් චාමර ගුණසේකර නම් පුද්ගලයෙක්ව හෝ නොදන්නා බවත් චාමර ගුණසේකර නැමැත්තෙකුට තමා කිසි ලෙසක මුදල් ලබා දී නොමැති බවත් පවසමින් මංජු තවදුරටත් පවසන්නේ එංගලන්තයේ Natwest බැංකුවේ ගිණුමක්වත් තමාට නොමැති බවයි. එසේම මෙම අසත්‍ය පුවත පළකල ඊ නිව්ස් වෙබ් අඩවියට එරෙහිව එම වෙබ් අඩවියේ මෙහෙයුම් කටයුතු සිදුවන බ්‍රිතාන්‍යයේ අධිකරණයක නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයතු කරන බවත් මංජු සඳහන් කළා.

සත්‍ය වශයෙන් ම චාමර ගුණසේකර නමැති පුද්ගලයෙක් සිටිනවා ද නැද්ද යන්න පැවසීමට අපට ප්‍රමාණවත් තොරතුරු නොලැබුණත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ලබා ගත හැකි නිල තොරතුරු අනාවරණය වන්නේ නම් ඒ පිළිබඳ අප වෙබ් අඩවිය මගින් තොරතුරු යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන අතර ඉහත කරුණු විමසීමෙන් අපට පෙනී ගියේ මංජු නිශ්ශංක සහ චාමර ගුණසේකර යන අය දෙදෙනා එක් අයෙකු බවට පිළිගත හැකි පිළිගත හැකි කිසිඳු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දිනයේ, උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමිපාණන් සහභාගී නොවුණේ ඇයි?

-පවිත්‍රා සඳමාලි -

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරුදින, කුරිරු බෝම්බ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කිතුනු දේව මෙහෙයට සහභාගී නොවූයේ මන්දැයි ප්‍රශ්න කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මේ පිළිබඳව බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබු බැවින් කරුණු විමසා බැලීමක් සිදුකිරීමට අප FactCrescendo කණ්ඩායම උත්සුක වුණා.

අප මේ පිළිබඳ විමසීමක් කලේ ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමාගෙන්.

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු වසරවලදී එම කුරිරු ප්‍රහාරයට ලක්වූ දේවස්ථානයන්හි උදෑසන දේව මෙහෙයට කාදිනල් හිමි සහභාගී වීමත් සමඟ බොහෝ දෙනා මේ පිලිබඳ වැරදි වැටහීමක් ලබාගෙන ඇති බව සඳහන් කරමින් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පවසා සිටියේ ඊට පෙර ඉතිහාසයේ එකදු අවස්ථාවක දී හෝ පාස්කු ඉරිදින උදෑසන කිසියම් හෝ පල්ලියක පැවැත්වෙන දේව මෙහෙයට අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී වී නොමැති බවයි. එයට හේතුවන කාරණා ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් විස්තර කලේ මෙලෙසින්.

“අපගේ නත්තල, පාස්කුව යන දේව මෙහෙයන් දෙක අප පවත්වන්නේ මධ්‍යම රාත්‍රියේ. ඒ පාස්කුවේ සහ නත්තල් දේව මෙහෙයන් වල මධ්‍යම රාත්‍රී දේව මෙහෙය තමයි ප්‍රධාන වෙන්නේ. නත්තලට රාත්‍රී දේව මෙහෙයට හේතුව ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනා කියලා පිළිගැනෙන්නේ නත්තල් දින අළුයම (එනම් දෙසැම්බර් 24 දින මැදියම් රැයේ). එසේම ක්‍රිස්තුස් වහන්සේ මරණින් පසු නැවත උත්ථාන වුණා කියලා පිළිගැනෙන පාස්කු ඉරුදින එළිවෙන්නයි. මේ අනුව පාස්කු ඉරුදින අළුයම, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කෙරෙන අතර, එම අවස්ථාව සිහිකරමින් ආලේලූයියා සෙනසුරාදා (එනම් මහසිකුරාදාට පසුදින) මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව පැවැත්වීම සම්මතය බවත්, එමඟින් ක්‍රිස්තුස් වහන්සේ අඳුරු රාත්‍රියෙන් පසුව ආලෝකයත් සමග උත්ථානය වුණා කියන දෙය කතෝලික සභාව පිළිගන්නා බැවින්, මෙම කරුණු සැළකිල්ලට ගනිමින් බොහෝ ප්‍රධාන කතෝලික දේවස්ථානවල පාස්කු දේව මෙහෙයන්, පාස්කු ඉරුදිනට පෙර සෙනසුරාදා දිනයේ රාත්‍රී 10 ට හෝ 11ට ආරම්භ වන අතර මෙම දිව්‍ය පූජාවන් පසුදා අළුයම 1 ත් 2ත් අතර අවසන් වනවා.

මෙම රාත්‍රී දේව මෙහෙයට සහභාගි වන කතෝලික පිරිස්, පසුව දා පවත්වන පාස්කු ඉරිදා උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වන්නේ නැහැ. බොහෝ අවස්ථාවන් වල උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වන්නේ, මධ්‍යම රාත්‍රි දිව්‍ය පූජාවට සහභාගී වීමට අපහසු පිරිසයි. මධ්‍යම රාත්‍රී දේව මෙහෙයේදී ගින්දර ආශිර්වාදය, ජලය ආශිර්වා ද ඉටිපහන් දල්වා කෙරෙන අතර, බොහෝ දෙනා දේවස්ථානයට පැමිණෙන්නේ මෙම ප්‍රධාන දේව මෙහෙයට වන අතර, පාස්කු දින උදෑසන පැවැත්වෙන්නේ සාමාන්‍ය දිව්‍ය පූජාවක් පමණකි.”

එබැවින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙතෙක් සහභාගී වූයේ ආලේලූයියා සෙනසුරාදා මධ්‍යම රාත්‍රියේ සහ පාස්කු ඉරුදින අළුයම් කාලය අතර පවත්වනු ලබන ප්‍රධාන දේව මෙහෙයට බවත්, 2019 වසරේ ද එම දේව මෙහෙයට සහභාගී වූ බවත්, මේ හේතුවෙන් ඊට පසු දින (පාස්කු ඉරුදින) උදේ වරුවේ කිසිඳු හෝ පල්ලියක පැවැත්වෙන දේව මෙහෙයට අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සහභාගී නොවූ බවත්, එතුමන්ගේ ඉතිහාසයේ පුරාවටම, කිසිදු හෝ පල්ලියක පාස්කු ඉරුදින උදෑසන දිව්‍ය පූජාවට සහභාගී වී නොමැති බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැහැදිලි කර සිටියා.

එසේම අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ආසන දෙව්මැදුර වන්නේ කොටහේන සාන්ත ලුසියා දේවස්ථානය බවත්, නිල වශයෙන් රදගුරුතුමෙක්ට දේවස්ථානයක් අයිති බවත්, රදගුරුතුමන් ප්‍රධාන දේව මෙහෙයන් පවත්වන්නේ තම ආසන දෙව් මැදුරේ එනම් කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ බවත්, ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පවසා සිටියා.

එසේම ආලේලූයියා සෙනසුරාදා රාත්‍රී දිව්‍ය පූජාවට අමතරව මහ බ්‍රහස්පතින්දා රාත්‍රි දිව්‍ය පූජාව, මහ සිකුරාදා දිව්‍ය පූජාව යනාදී දේව මෙහෙයන් සියල්ලම පිළිගත් ක්‍රම වේදයට අනුව කාදිනල් රංජිත් හිමිපාණන් ඉතිහාසයේ සිටම පවත්වන්නේ කොටහේන දෙව්මැදුරේ බවත්, උන්වහන්සේ ඒ සඳහා සහභාගී විය යුතු බවත් ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් පැහැදිලි කර සිටියා.

මේ හේතුවෙන් පාස්කු ප්‍රහාරයට පෙර කිසිදු අවස්ථාවකදී අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ හෝ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ප්‍රධාන දේව මෙහෙයන් පවත්වා නොමැති බවත්, පාස්කු ප්‍රහාරයෙන් පසුව, එම දේවස්ථානයන්හි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වර්ෂ පූර්ණ නිමිත්තෙන් අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ප්‍රධාන දේව මෙහෙයන් පවත්වන බවත්, ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමන් වැඩි දුරටත් සඳහන් කළා.

පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාවක් බවට හුවමාරු වූ කතාවේ ඇත්ත නැත්ත!

-පවිත්‍රා සඳමාලි -

“පානදුර මුස්ලිම් දේවස්ථාන 23කට හදිසි පොලිස් ආරක්ෂාව” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා. පාස්කු ප්‍රහාරයට වසර 4ක් පිරෙන අවධියේ මෙම සටහන් හුවමාරු වීමත් සමඟ බොහෝ දෙනෙක් මෙහි සත්‍ය තතු විමසා තිබු බැවින් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට FactCrescendo කණ්ඩායම තීරණය කළා.

පානදුර මුස්ලිම් දේවස්ථාන 23 කට හදිසි පොලිස් ආරක්ෂාව ලබා දුන් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න අප ප්‍රථමයෙන් ම නිරීක්ෂණය කළා. ඒ අනුව ඇතැම් ප්‍රධාන පුවත්පත් දෙකක් වාර්තා කර තිබුණේ, පානදුර පොලිස් වසම් තුනක පිහිටා තිබෙන මුස්ලිම් දේවස්ථාන 23 ක් සහ පොදු ස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවූ බව පානදුර කොට්ඨාසයේ ජේෂ්ඨ පොලිස් අධිකාරී (වෙනුවට වැඩබලන) සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න පැවසූ බවයි. එමෙන් ම මෙම පුවත් වාර්තා දෙක ම එකම පුද්ගලයෙකු වාර්තා කර තිබුණා.

කෙසේ වෙතත් මෙම පුවතේ නිරවද්‍යතාව විමසා බැලීමට අප ප්‍රථමයෙන් පානදුර දකුණ පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකරගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ, පානදුර ප්‍රදේශයේ ඉස්ලාම් දේවස්ථාන පමණක් ඉලක්ක කර ගනිමින් විශේෂ ආරක්ෂාවක් සපයා නොමැති බවත්, රාමසාන් උත්සවය හේතුවෙන් එම සතිය තුළ දිවයිනේම ඉස්ලාම් දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාව සපයා ඇති බවයි.

එමෙන් ම අප මේ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගෙන් ද, විමසා සිටි අතර ඒ මහතා ද තහවුරු කළේ, රාමසාන් පැවැත්වෙන සතියේදී මුළු දිවයිනේ ම ඉස්ලාම් දේවස්ථාන වලට පොලිස් විශේෂ ආරක්ෂාවක් සැපයූ බවත්, එය පානදුර ප්‍රදේශයට පමණක් ලබා දුන් විශේෂ ආරක්ෂාවක් නොවන බවයි.

පසුගිය අප්‍රේල් 18 වන දා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ 118 දුරකතන අංකයට, අකුරණ නගරයේ ඉදිරි දිනකදී බෝම්බ ප්‍රහාරයක් සිදු වන බවට තොරතුරක් ලැබී තිබු බවත්, එම තොරතුර ව්‍යාජ බවට හෝ සත්‍ය බවට අනාවරණය කර ගන්නා තුරු, අලවතුගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී යන නිලධාරින් අකුරණ නගරයේ ප්‍රධාන ඉස්ලාම් දේවස්ථානයට ගොස්, එහි ආගමික නායකයන් හමු වී, එම ප්‍රදේශයේ පිහිටි අනිකුත් ඉස්ලාම් දේවස්ථාන වල ආගමික නායකයන් සහ එම නගරයේ වෙළඳ සංගම් ද සමඟ සාකච්ඡා කොට ආරක්ෂක වැඩ පිළිවෙළක් යෙදවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා.

එමෙන් ම අප්‍රේල් 19 වන දා තවත් තොරතුරක් ඉහත ඇමතුම ලබාදුන් පුද්ගලයා විසින් ම ලබා දුන් අතර එම පුද්ගලයා සඳහන් කර තිබුණේ, යම්කිසි සංවිධානයක් විසින් මුස්ලිම් ජනතාව වැඩිපුර වාසය කරන ගම් ප්‍රදේශ වලට ප්‍රහාරයක් එල්ල කරන බවයි. ඒ අනුව එම තොරතුරු වල නිරවද්‍යතාව හෙළිකර ගන්නා තුරු මුස්ලිම් ජනතාව වැඩිපුර වාසය කරන දේවස්ථාන වලට පොලිස් විශේෂ ආරක්ෂාව සැපයූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩිදුරටත් පවසා සිටියා.

කෙසේ වෙතත් දින තුනක් ඇතුළත මෙම තොරතුර ලබා දුන් පුද්ගලයා සොයා ගත් අතර ඔහුගෙන් විමසීමේදී අනාවරණය වූයේ මෙම තොරතුර ව්‍යාජ බවයි. එසේ ව්‍යාජ තොරතුරක් ලබා දීමට සුවිශේෂි හේතුවක් සඳහන් කර නොමැති අතර පසුගිය 22 වන දා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් මෙම අවුරුදු 21 හැවිරිදි මුස්ලිම් තරුණයා හාරිස්පත්තුව බටුගොඩ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගත් බවත් කෙසේ වුවද, පානදුර ප්‍රදේශය පමණක් ඉලක්ක කර ගනිමින් පොලිස් විශේෂ ආරක්ෂාවක් සපයන බවට පළ වූයේ අසත්‍ය තොරතුරක් බවත් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළා.

පොදුජන පෙරමුණේ මෙවර මැයි රැළියට සම්බන්ධ ඡායාරූපයක් ද?

-පවිත්‍රා සඳමාලි -

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 වන දාට සමගාමිව පැවත්වෙන මැයි දිනය සැමරීම සඳහා, වසර කිහිපයකට පසුව, ප්‍රධාන දේශපාලන පක්ෂ සූදානම් වනවා. මේ අතර මෙවර පොදු ජන පෙරමුණේ මැයි රැළියේ තේමා පාඨයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතා බහට ලක්වූ ඡායාරූපයක් බහුලව සංසරණය වනවා. කෙසේනමුත් මේ පිළිබඳව Factcrescendo කරුණු අනාවරණයේ දී තහවුරු වුයේ හුවමාරු වන්නේ වසර 5 ක් පැරණි සේයාරුවක් බවයි.

2023 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පැවැත්වමට නියමිත මැයි රැළිය ඒකාබද්ධ මැයි රැළියක් බවත් එහි තේමා පාඨය “බදුබරට, පාවාදීමට, බැඳුම්කර මංකොල්ලයට, ජාතික සම්පත් විකිණීමට, මර්ධනයට එරෙහි. ඒකාබද්ධ මැයි රැළිය” බවත් හඟවමින් ඡායාරූප සටහනක් බහුලව සංසරණය වී තිබුණා.

ඡායාරුපයේ තොරතුරු පරික්ෂා කිරීමේ දී එය 2018 මැයි මස ෆේස්බුක් හි පළකර තිබු බව දැකගනන්ට ලැබෙනවා. ඒ එම අවධියේ දී ගාල්ල සමනල ක්‍රීඩාපිටියේ පැවැත්වූ, එවකට පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට සමගාමීවයි.

එමෙන් ම මෙවර පොදුජන පෙරමුණ මැයි දින රැළියේ පාඨය සම්බන්ධයෙන් ද, අප විමසීමක් සිදු කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැහැදිලි කළේ මෙවර මැයි රැළියේ තේමාව වන්නේ, “අභියෝග බිඳ අභිලාශ ජයගමු” යන්න බවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ තිබෙන්නේ 2018 වසරේ පැවැත්වූ මැයි රැළියට පෙර ලබාගත් සේයාරුවක් බවත්, එම තේමාව මෙවර වේදිකාවේ දැක්වෙන්නේ නැති බවත්ය.

සිය නිදහස ඉල්ලා ජිවිත තර්ජන නොතකමින් නැගී සිට ගීත ගායනා කරනා අරාබි කාන්තාවක්ද?

-කලණ ක්‍රිශාන්ත -

කාන්තාවක විසින් එළිමහන් සංගීත සංදර්ශනයක , ගීතයක් ගායනා කරන ආකාරය සහිත වීඩියෝවක් පළකර තිබුණේ පහත වාක්‍ය ඛණ්ඩයන් ද සමගින්.

“අරාබි කාන්තාවක් ඔවුන්ගේ කාන්තා නිදහස වෙනුවෙන් එලියට ඇවිත් ගායනා කරන ගීත. මරණතර්ජන කොතෙකුත් කලත් ඇයට.. එය නොතකා කාන්තාවන්ගේ නිදහස වෙනුවෙන්ම ගායනා කරන්නේය… දැඩි ආරක්ෂාවක් ඇයට හා නිදහස වෙනුවෙන් පෙනීසිටින අනිත් කාන්තාවටත්…..”

අප මුලින්ම Invid- We Verify ඔස්සේ ඉහත වීඩියෝව පිළිබඳව සොයා බැලුවා. එහිදී අපට අනාවරණය වුයේ මෙම දර්ශන මඟින් පෙන්නුම් කරන්නේ අරාබි / මැදපෙරදිග කාන්තාවක්, විමුක්තිය උදෙසා ගීත ගායනා කරන අවස්ථාවක් නොව, මධ්‍යම ආසියානු රටක් වන තජිකිස්ථානයේ වෙසෙන, ප්‍රකට ගායිකාවක වන Noziya Karomatullo බවයි.

නොසියා මෙම අවස්ථාවේදී හින්දි , පර්සියානු, තජික් ගීත පෙළක් ද ගායනා කරන අතර එම ප්‍රසංගය පවත්වා තිබුනේ තජිකිස්ත්නායේ ප්‍රධානතම අංගනයක් වන Istaravshan ක්‍රීඩාංගනයේ දී බව මේ පිලිබඳව 2014 වසරේ දී යුටියුබ් ඔස්සේ පළවූ වීඩියෝවක් හරහා දැක ගන්නට ලැබුණා.

Nago Nago ගීතය හරහා ලංකාවේ ප්‍රේක්ෂකයින් අතරට ද සමීප වූ Noziya Karamatullo යනු සිය මව් භාෂාව වන තජික් බසින් පමණක් නොව, පර්සියානු, හින්දි බසින් ද ගීත ගායනට ප්‍රසිද්ධියක් ලබා සිටින තජිකිස්ඨාන ගායිකාවකි. ඉන්දීය කළා ආයතනයකින් ශාස්ත්‍රීය වශයෙන් සංගීතය හදාරන ලද මෙම ගායිකාව 2010 වසරේදී සිය පළමු සංගීත ප්‍රසංගය පවත්වා තිබෙනවා.

1988 වසරේ උපත ලද Noziyaගේ පියා වුයේ Karomatullo Qurbonov නම් ප්‍රකට තජිකිස්ථාන සංගීත ශිල්පියායි. වයස අවුරුදු 4 දී ඇයගේ පියා ඝාතනයට ලක්වන්නේ Popular Front ලෙස හැදින්වූ කොම්යුනිස්ට් වාදයට ලැදි මිලිටරි කල්ලියක් මගින් එල්ල කල ප්‍රහාරයකින්. ඒ තජිකිස්ථාන සිවිල් යුද්ධය පැවති වකවානුවෙයි. පසුකාලීනව මෙම මිලිටරි කල්ලිය සහ රජය අතර පැවති එදිරිවාදිකම්, සාම ගිවිසුමකින් අවසන් කර තිබෙනවා.

එසේම Noziyaගේ සමාජ මාධ්‍ය ගිණුම් පරික්ෂා කිරීමේ දී ද ඇය මෑතක දී ද ප්‍රසිද්ධියේ ප්‍රසංග පවත්වා තිබෙන බව දැක ගන්නට ලැබෙනවා. Noziya Karamatullo ට මරණ තර්ජන එල්ලවීමක් සම්බන්ධව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් විශේෂයෙන් වාර්තා කර තිබුනේ නැති වුවද තජිකිස්ථානයේ ඇතැම් පිරිස් ඇයගේ මේ ආකාරයේ ගායනා සඳහා එතරම්ම ප්‍රසාදයෙන් පසුවන්නේ නැහැ. එසේම ඉස්ලාම් රාජ්‍යයක් වන තජිකිස්තානයේ ද කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් පවතින්නේ එතරම් යහපත් තත්ත්වයක් නොවේ. තජිකිස්ඨාන දේශසීමාවක පිහිටි, කාන්තාවන්ට දැඩි සීමා පැනවීම් තිබෙන රාජ්‍යයක් වන ඇෆ්ගනිස්තානයේ අප FactCrescendo ඇෆ්ඝන් කණ්ඩායමද එම තොරතුරු තහවුරු කළා.