දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකතන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීම අපට නිතර දැක ගන්නට ලැබෙනවා. එලෙසින් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ, කළුතර දැරියගේ මරණයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් පළ වූ නොමඟ යවන සුළු, ව්‍යාජ ඡායාරූප සටහන් කිහිපයක් පිළිබඳ අප කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ලෙස හඟවමින්, සැකකරුගේ සත්‍ය ඡායාරූපයට සමානකම් ඇති තවත් ඡායාරුපයක සංසන්දනයක් මඟින් පෙන්වා තිබුනේ, මෙම කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, පසුගිය සමයේ පැවති අරගලයේ සිටි පුද්ගලයෙක් බවයි. ඒ සඳහා පසුගිය වසරේ අරගලය සමයේ ලබාගත් සේයාරුවක් ද යොදාගෙන තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන් ම මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ ද, බහුල ව හුවමාරු වී තිබුණේ ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කළුතර දැරිය සම්බන්ධ සිදුවීමේ සැකකාර පුද්ගලයා බවට හඟවමින්.

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ ඉහත ඡායාරූපයේ පළමු ඡායාරූපයේ සිටින්නේ අරගලයට සම්බන්ධ පුද්ගලයා සත්‍ය සැකකරු බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවටයි.

එසේම සිද්ධියට අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලෙස හඟවමින් තවත් ඡායාරූපයක් පළ කර තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර වලින් ද, මෙහි සිටින්නේ සත්‍ය සැකකරු බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබුණා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ඉහත පළමු ඡායාරූපයේ අරගලයේ සිටින අයුරු දැක්වෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීම සඳහා අරගලයේ සක්‍රීය දායකත්වය සැපයූ සාමාජිකයන් කිහිපදෙනෙකුගෙන් තොරතුරු විමසා සිටියා. ඔවුන් සඳහන් කළේ, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ නමින් ශාලික රුක්ෂාන් සේනාධීර නමැති කලාවට සම්බන්ධ පුද්ගලයෙකු‍ගේ ඡායාරූපයක් මෙලෙසින් අවභාවිත කොට අසත්‍ය පතුරුවන බවයි. එමෙන් ම අරගලයේදී දිස්ත්‍රික් සංවිධායක මෙන් ම වෙනත් තනතුරු හෝ සාමාජිකයන් අතර බෙදී ගිය නොගිය බවත් ඔවුන් තහවුරු කළා.

ඒ අනුව අප ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර අපට දැක ගන්නට ලැබු‍ණේ ඔහු විසින් 2022 වසරේ ජූනි 27 වන දින පළ සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ඡායාරූප ඇල්බමයේ එක් ඡායාරූපයක් ඉහත අසත්‍ය සටහන් නිර්මාණය කිරීම සඳහා යොදා ගෙන තිබුණ බවයි.

Facebook | Archived Link

අප මේ පිළිබඳ අප ශාලික රුක්ෂාන් සේනාධීරගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අරගලයට සහභාගී වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය පැතිරවීම සඳහා මෙවැනි අසත්‍ය දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන බවයි.

එමෙන් ම අප දෙවන සටහනේ ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් ද අනාවරණය කර ගත් අතර ඔහු chama නමැති යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන චාමර ඩිල්ෂාන් නමැති පුද්ගලයායි.

අප මේ පිළිබඳ ව තහවුරු කර ගැනීම සඳහා චාමර ඩිල්ෂාන් හා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වූ අතර ඔහු සඳහන් කළේ ද, විනෝදාත්මක ස්වරූපයෙන් තමන් කළුතර සිදුවීමේ සැකකරු ලෙස හඟවමින් සටහනක් හුවමාරු වූවත් බොහෝ පිරිසක් එය සත්‍ය ලෙසින් පිළිගෙන ඇති බවයි.

චමා සම්බන්ධයෙන් පුවත නිවැරදි කර තිබූ සටහනක් පහතින්.

එමෙන් ම ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන විසින් සත්‍ය සැකකරුගේ නම ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති පුද්ගලයෙකු බවට හෙළි කර තිබුණේ මෙලෙසින්. ඒ අනුව ඉහතින් සැකකරු ලෙස හඟවමින් පළ කර තිබූ ඡායාරූප වල දක්වා තිබුණේ වෙනත් පුද්ගලයන් බවට ද, ඔවුන්ගේ නම් හරහා ද තහවුරු වේ.

තව ද, මේ වන විට එම සත්‍ය සැකකරු සිටින්නේ පොලිස් රැඳවුම් භාරයේ බව බැවින් ශාලික රුක්ෂාන් සේනාධීර හෝ චාමර ඩිල්ෂාන් හෝ මේ වන විට සිටිය යුත්තේ පොලිස් රැඳවුම් භාරයේය.

කෙසේ වෙතත් සත්‍ය සැකකරු අරගලයේ සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත්දැයි යන්න පිළිබඳ විමසීම සඳහා අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනය සිදුවෙමින් පවතින බවත්, ඔහු අරගලයේ සිටි පුද්ගලයෙක් ද,නැද්ද යන්න වග අනාවරණය නොවූ බවත් , යම් සිදුවීමක් දේශපාලනික කරුණක් නොවන තුරු සැකකරුවෙකුගේ දේශපාලනය විමර්ශන වලට අදාළ නොවන බැවින් ඒවා විමර්ශනය නොකරන බවයි. එමෙන් ම එම පුද්ගලයා අරගලයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක වැනි තොරතුරු අනාවරණය කර ගත් නොවූ බව ත්, විමර්ශනයට භාජනය නොවූ එවන් තොරතුරක් මාධ්‍ය වෙතට පොලිසිය මගින් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකර බවත්, එමෙන් ම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ නම ධනුෂ්ක ගයාන් සහබන්දු බවට ද, තහවුරු කරනු ලැබුවා.

එමෙන් ම කළුතර ප්‍රදේශයෙන් අරගලයට ප්‍රධාන වශයෙන් සක්‍රීය දායකත්වය සැපයූ පුද්ගලයන් කිහප දෙනෙකුගෙන් ද, සිද්ධිය සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු අරගලයේ සංවිධායක වැඩකටයුතු සඳහා පෙරමුණ ගෙන කටයුතු කළ පුද්ගලයෙක් ද යන්න පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, කළුතර ප්‍රදේශය පාදක කර ගෙන සිදුවූ අරගලයේ මෙවන් පුද්ගලයෙකු ඇස නොගැටුණු බවයි. එමෙන් ම අරගලයට වර්ෂයක් පිරීම හේතුවෙන් පැරණි ඡායාරූප වීඩියෝ නැවත කරළියට පැමිණ ඇති අතර ඒවා ද, පරීක්ෂා කළ ත්, එවන් පුද්ගලයෙක් ඔවුන්ට දැක ගන්නට නොලැබුණු බවයි ඔවුන් තහවුරු කළේ.

කළුතර පාසල් සිසුවියගේ ඝාතනය පිළිබඳ වාර්තා වී ඇති තොරතුරු

පසුගිය 05 වන දා කළුතර ගාලු පාර හෝටලයක් පිටුපස තරුණියකගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගය අසල වැටී තිබියදී සොයා ගෙන තිබූ අතර එලෙස අබිරහස් අයුරින් මියගොස් තිබුණේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි, කළුතර ප්‍රදේශයේ බාලිකා විදුහලක එකොළොස් වන වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් බවට අනාවරණය වුණා. සිද්ධිය සම්බන්ධයෙන් දැරිය සමඟ එම හෝටලයට පැමිණි බව කියන තරුණයකු සහ තරුණියක අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමඟ හෝටල් කාමරයේ රැඳී සිටි බව කියන පුද්ගලයෙකු පළාගොස් තිබුණා. පසුගිය දිනවල එම පුද්ගලයා සොයා පොලීසිය විමර්ශන අරඹා තිබු අතර, අද (09) උදෑසන එම පුද්ගලයා ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බවත්, සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේ දී අද අළුයම වැටලීම කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ. එම වීඩියෝව මෙතනින්. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබාගැනීමට නියමිත බවද සඳහන්.

සිසුවියගේ මරණය සම්බන්දයෙන් කළුතර දකුණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, අද (10) දින අධිකරණයට ඉදිරිපත් කල ප්‍රධාන සැකකරු, පැය 48 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාදී තිබෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ ඡායාරූපය සමඟ හුවමාරු වන අනෙකුත් ඡායාරුප මඟින් පෙන්වන්නේ එම සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති පුද්ගලයාගේ සේයාරූ නොව වෙනත් පුද්ගලයින් බවයි. එම පුද්ගලයින් දෙදෙනාම අත්අඩංගුවේ පසු නොවන අතර තමන් ඉලක්ක කරගනිමින් මෙසේ ව්‍යාජ පුවත් නිර්මාණය වී ඇති බව අපට දුරකථනයෙන් තහවුරු කරනු ලැබුවා.

සත්‍ය සැකකරුගේ ස්වරූපයට සමාන ස්වරූප ඇති පුද්ගලයන්, හුදෙක් අරගලයට සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර පැතිරීම සඳහා මෙන්ම හුදෙක් විනෝස්වාදය සඳහා නිර්මාණය කරන ලද මෙම ව්‍යාජ සටහන් හේතුවෙන් මෙලෙසින් ජනතාව නොමග ගොස් තිබුණා.

එමෙන්ම සැකකරු අරගලයේ කළුතර ප්‍රදේශයේ සංවිධායකයෙක් ද ,නැද්ද යන්න වග අනාවරණය නොවූ බවත් , යම් සිදුවීමක් දේශපාලනික කරුණක් නොවන තුරු සැකකරුවෙකුගේ දේශපාලනය විමර්ශන වලට අදාළ නොවන බැවින් විමර්ශනයට භාජනය නොවූ එවන් තොරතුරක් මාධ්‍ය වෙතට පොලිසිය මගින් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අප කළ විමසීමේදී තහවුරු කළා.

Avatar

Title:කළුතර දැරියන් කෙළසූ උපකාරක පංති ගුරුවරයාගේ ඡායාරුපයක් ද?

Fact Check By: Pavithra Sandamali

Result: False