*මෙහි සංවේදී දර්ශන ඇතුළත් වේ. View discretion is advised*

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විවිධාකාරයේ හේතු මත ජනතාව අතර අනිසි බියක් ඇති කිරීමේ අරමුණින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් අසත්‍ය සහ ව්‍යාජ තොරතුරු පතුරුවනු ලබනවා. මේ අසත්‍ය තොරතුරු ග්‍රහණය කිරීම තුළින් ජනතාව නොමඟ යනවා පමණක් නොව කැළඹීමට ද පත්වෙනවා. පසුගිය සති කිහිපයේ උතුරු පළාතේ ළමා පැහැරගැනීමේ සිදුවීම් පිළිබඳ සමාජය තුළ කතිකාවතක් නිර්මාණය වී තිබූ පසුබිමක, වවුනියාව ප්‍රදේශයේ පාසල් ළමුන් පැහැර ගෙන ගොස් ඝාතනය කරනු අයුරු බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

ඉතාමත් සාහසික අයුරින් තරුණියන් දෙදෙනෙකුගේ ගෙල ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව මේ දිනවල සංසරණය වූයේ එය වවුනියාවේ පාසල් සිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කරන සිදුවීමක් ලෙසට දක්වමින්.

විශේෂයෙන්ම දමිළ පාඨකයින් අතර සීග්‍රයෙන් සංසරණය වූ මෙම වීඩියෝව සමග හඬ පට දෙකක් ද සංසරණය වී තිබුණා. එමඟින් වැඩිදුරටත් කියවෙන්නේ, මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිරිපු, මන්නාරම සහ වවුනියාව ප්‍රදේශවලදී ළමුන් පැහැරගෙන ගොස් ඇති බවත් මෑතකදී මන්නාරම ප්‍රදේශයේදී ළමුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් පසුව මුදාගෙන ඇති බවයි.

දමිළ බසින් පළ වූ එම හඬ පට දෙක මෙතනින් සහ මෙතනින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන් ම වවුනියාවේ මෙලෙසින් ළමුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමක් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න පරීක්ෂා කළ අතර එලෙසින් පුවතක් හෝ වීඩියෝවක් පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර ඇති බවට දැක ගන්නට නොලැබුණි.

එමෙන් ම ඉහත වීඩියෝවේ පසුබිමින් ඇසෙන හඬවල් දමිළ භාෂාව හෝ මෙරට භාවිත කරන භාෂාවක් නොවන බව පැහැදිලියි. එබැවින් අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

එමඟින් අනාවරණය වුයේ මෙම දර්ශන පෙළ මීට වසර පහකට පමණ පෙර, එනම් 2018 වසරේ සිට, අන්තර්ජාලයේ හුවමාරු වන වීඩියෝවක් බවයි. මෙය බ්‍රසීලයේ මැර කල්ලියක සාමාජිකයන් විසින් සිදු කරන ලද ක්‍රියාවක් බවත්, ඔවුන් පෘතුගීසි භාෂාවෙන් පවසන්නේ, එම කාන්තාවන් ඔවුන්ට ගරු කළ යුතු බවත්, ඔවුන් ‘PPC’ නමැති මැර කල්ලියක සාමාජිකයන් බවත් යන්න, මෙම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබූ පෘතුගීසි කතිකයින් දක්වා තිබුණා.

මෙම වීඩියෝව පිළිබඳ දක්වා තිබූ වාර්තා දෙකක් මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link. 2018 වසරේ පළවූ මෙම වාර්තා මඟින් ද වාර්තා වන්නේ මෙම කුරිරු ඝාතනය බ්‍රසීලයේ මැර කල්ලියක සාමාජිකයෙකු විසින් සිදුකළ ක්‍රියාවක් බවයි.

ඉහත වීඩියෝව ම්ලේච්ඡත්වය එහි උපරිමයෙන් ප්‍රදර්ශනය කළ අවස්ථාවක් හේතුවෙන් එය බොහෝ සමාජ වෙබ් අඩවි මගින් ඉවත් කිරීම හේතුවෙන් මේ පිළිබඳව වැඩිදුර නිශ්චිත තොරතුරු වාර්තා වී නොතිබුණි.

බ්‍රසීලයේ මෙවැනි ඝාතන උත්සන්න වී තිබූ බවට අප ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

කෙසේ වෙතත් එම වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට සිදුවීමක් වීඩියෝවක් නොවන බවට තහවුරු වේ.

එමෙන් ම අප ඉහත WhatsApp පණිවිඩයේ සඳහන් කර ඇති ආකාරයට මෙවැනි පැහැර හැරීම් වාර්තා වනවා ද යන්න පිළිබඳව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අප වවුනියා සහ පුදුකුඩිරිපු පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එලෙසින් ළමුන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීම් වාර්තා නොවුණු බවයි.

එමෙන්ම මේ පිළිබඳව අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් ද, විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ එම වීඩියෝව මෙරට සිදුවීමක් නොවන බවත්, එය අසත්‍ය තොරතුරුක් බවයි.

පසුගියදා මන්නාරම දිස්ත්‍රීක්කයේ පාසල් ළමුන් දෙදෙනෙකු පැහැර ගැනීමේ සිදුවීම් සම්බන්ධ පැමිණිලි ලැබීමත් සමග මෙරට ආරක්ෂක අංශ විසින් පාසල් ඉදිරිපිටට සහ මංමාවත් වලට විශේෂ ආරක්ෂාවක් සපයා තිබුණා.

වෑන් රථයකින් පැමිණි කිසියම් පිරිසක් පාසල් ළමුන් දෙදෙනෙකුට කිසියම් ආහාර වර්ගයක් ලබාදී එම ළමුන් දෙදෙනා පැහැරගැනීමට උත්සහ දරා ඇති බවත් ළමුන් දෙදෙනො එම පිරිසෙන් බේරී කෑගැසීමත් සමග ප්‍රදේශවාසීන්ට බිය වී අදාල වෑන් රථය පලා ගොස් තිබූ බවටයි වාර්තා වුණේ. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, මේ පිළිබඳව විමර්ශන තව දුරටත් සිදුවන බවත්, එකම පාසලේ සිසුන් දෙදෙනෙකු විසින් මෙලෙස පැමිණිලි කළ බවත් මෙම ප්‍රදේශයේ CCTV දර්ශන පරීක්ෂා කළත්, එලෙසින් පැහැර ගැනීමට ලක් කරන බවට තොරතුරු වාර්තා නොවූ බවයි.

එමෙන්ම එම සිසුන් විසින් ද, වරින් වර තම ප්‍රකාශයන් ද, වෙනස් කිරීමට ලක් කර තිබු බවත්, එහෙත් පාසල් සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ එම ප්‍රදේශයේ පාසල් අවට ආරක්ෂක අංශ විසින් විශේෂ ආරක්ෂාවක් දමා ඇති බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ඒ සම්බන්ධයෙන් සිදු කළ වැඩි දර පැහැදිලි කිරීම මෙතෙනින්.

මේ පිළිබඳව අප Fact Crescendo දමිළ භාෂා කණ්ඩායම සිදු කළ කරුණු විමර්ශන වාර්තාව මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන්නේ ලංකාවේ වීඩියෝවක් ද ?

Fact Check By: Pavithra Sandamali

Result: False