දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය වකවාණුවේ ළමුන් පැහැර ගැනීමේ භීතිකාවක් සමාජයේ දැඩි ලෙස පැතිරීමට හේතු වූයේ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමග යවන සුළු සටහන් සහ මන්නාරම් ප්‍රදේශයේ පාසල් ළමුන් පැහැර ගැනීමට උත්සහ දැරූ බවට වාර්තා වන තොරතුරු හේතුවෙනි. කෙසේ වෙතත් දිනෙන් දින පැහැර ගැනීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ආකාරයෙන් දැනුවත් වීම් බහුලව සිදු කරන අතර එලෙසින් පළ වූ නොමග යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ දරුවන් පැහැරගන ඇති අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

මෙම වීඩියෝවේ හඬපටයක් ද වාදනය වන අතර එහි සිංහල බසින් සඳහන් වූයේ, මෙලෙසින් හඬකවන පුද්ගලයා විසින් එවන ලද ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ ජීවත් වන පුද්ගලයෙක් බව ත්, කුඩා දරුවන් පැහැරගනු ලබන්නේ එම පුද්ගලයා බවත්, කොළඹ පොලීසිය මගින් එම පුද්ගලයා හඳුනාගෙන ඇති බව ත්, මුස්ලිම් පාසලක දරුවෙකු පැහැර ගැනීමට යාමේදී ඔහු අසුවී ඇති බව ත්, මුස්ලිම් දරුවන් මෙන්ම සියලු දරුවන් රැක ගත යුතු බව ත් මෙම පණිවිඩයෙන් පැවසෙනවා.

එමෙන් ම මෙවැනි පුද්ගලයන් දරුවන් ට පැණිරස කෑම(චොක්ලට්, ටොෆි) ලබා දී මෙලෙස දරුවන් පැහැර ගන්න බවයි ඔහු සඳහන් කළේ. තව ද, දමිළ භාෂාවින් මෙම පණිවිඩය පැමිණි බව ත්, සියලු දරුවන් ආරක්ෂා කර ගත යුතු බැවින් සිංහල බසින් ද, මෙම පණිවිඩය ගෙන ආ බවයි එහි වැඩිදුරටත් පවසන්නේ. එම වීඩියෝව පහතින්.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප කටයුතු කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

අප ප්‍රථමයෙන්ම මෙලෙසින් කොළඹ දිස්ත්‍රික්කයේ ළමුන් පැහැර ගැනීමක් සිදු වූ බව ට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණේ ද, යන්න හා ඉහත වීඩියෝව ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වල පළ වී තිබුණේ ද යන්න පරීක්ෂාවක් සිදු කළා.

නමුත් එලෙසින් කිසිදු පුවතක් වාර්තා වී නොතිබුණි.

අප ඉහත වීඩියෝවේ රූප රාමූ Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර ඒ ඔස්සේ අනාවරණය වූයේ මෙය ඉන්දියාවේ ළමුන් ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීමට නිර්මාණය කරන ලද වීඩියෝවක් බවයි. එනම් මෙය සත්‍ය සිදුවීමක් නොවන බවට යි.

ඉහත WhatsApp ඔස්සේ සංසරණය වූ වීඩියෝවේ සම්පූර්ණ වීඩියෝව 2022 වසරේ ඉන්දීය ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook

නමුත් මෙම සම්පූර්ණ වීඩියෝවේ තත්පර 0:30 දී හින්දි සහ ඉංග්‍රීසි භාෂාවෙන් පණිවිඩයකින් දැක්වෙන්නේ, "කරුණාකර මෙම පණිවිඩය ප්‍රවේශමෙන් කියවන්න. මෙය සැබෑ සිදුවීමක් නොවේ." යන්නයි.

එමෙන් ම එම වීඩියෝවේ ම තත්පර 1:28 හිදී,  තවත් ප්‍රකාශයක් ඇති අතර එහි සඳහන් වූයේ, "මෙම වීඩියෝව සම්පූර්ණ ප්‍රබන්ධයකි, වීඩියෝවේ ඇති සියලුම සිදුවීම් තිර රචනය කර දැනුවත් කිරීමේ අරමුණින් සාදා ඇත. එය කිසිදු ආකාරයක මෙවැනි ක්‍රියාකාරකම් කිරීමට පෙළඹවීමට හෝ කිසිදු ආකාරයක චාරිත්‍රයක් අපකීර්තියට පත් කිරීමක් සිදු නොකරන අතර. මෙම වීඩියෝව කිසිදු සත්‍ය සිදුවීමකට සම්බන්ධ නොමැති බව”ට එහි දක්වා තිබෙනු දැක ගන්නට ලැබේ.

එමෙන් ම මෙම වීඩියෝවේ දැක්වෙන්නේ සත්‍ය වීඩියෝවක් බවට ප්‍රධාන එරට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ හෝ වාර්තා නොවූ අතර එරට නොයෙකුත් ප්‍රාන්ත වල පසුගිය වසරේ ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු වාර්තා වූ බවට පළ වූ කරුණු විමර්ශන වාර්තාවක් මෙතනින්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෙරට වාර්තා වන ළමා පැහැර ගැනීම් සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් සිදු කළා.

නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, එවැනි ළමුන් පැහැර ගැනීමක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව ත්, මේ පිළිබඳ ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් පසුවන බවයි. කෙසේ වෙතත් පසුගිය දිනයන්හි ළමුන් පැහැර ගැනීමට උත්සහ දරන බවට මන්නාරම, මීගමුව, වෙන්නප්පුව, කොට්ටව සහ කල්මුණේ වැනි ප්‍රදේශ වලින් පැමිණිලි ලැබී තිබුණත් අදාළ පොලිස් ස්ථාන වලින් ඒ පිළිබඳ කළ විමර්ශන වලදී අනාවරණය තිබුණේ ඒවා අසත්‍ය තොරතුරු බවයි. ජනතාව මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බව ත්, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන අසත්‍ය තොරතුරු හුවමාරු නොකොට ඒ පිළිබඳ සොයා බලන ලෙසත් පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිහාල් තල්දූව මහතා පවසා සිටියා.

එමෙන් ම ළමුන් පැහැර ගැනීම් කළ පුද්ගලයන් යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ඡායාරූප සම්බන්ධයෙන් අදහස් දක්වමින් තල්දූව මහතා සඳහන් කළේ, පොලීසිය විසින් එලෙසින් කිසිදු පුද්ගලයෙක් සම්බන්ධයෙන් එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහය දක්වන ලෙස පවසා සමාජයෙන් උපකාර නොඉල්ලූ බව ත්, ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සත්‍ය වශයෙන් ම සිදුවී නොමැති වට පිටාවක කිසිදු පුද්ගලයෙක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නිකුත් නොකළ අසත්‍ය තොරතුරු ඡායාරූප සංසරණය වන බව ත්, නිරන්තරයෙන් සත්‍ය තොරතුරු පමණක් විශ්වාස කරන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Also Read :ගාල්ල අක්මීමන පාසල් ළමුන් පැහැර ගැනීමක් සිදුව ඇති බවට හුවමාරු වන ප්‍රචාර අසත්‍යයි!

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවේ දැක්වෙන්නේ මෙරට ළමුන් පැහැර ගත් අවස්ථාවක වීඩියෝවක් නොව ඉන්දියාවේ සිදු කරන ලද ළමුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරමින් නිර්මාණය කරන රංගනයක අවස්ථාවකි. එනම් එය සත්‍ය වීඩියෝවක් නොවන බවයි.

එමෙන් ම, මෙරට සංසරණය වූ ඉහත වීඩියෝවේ පවසන පරිදි කොළඹ ප්‍රදේශයේ හෝ දිවයිනේ නොයෙකුත් ස්ථාන වලින් ළමුන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් සත්‍ය සිදුවීම් මෙතෙක් වාර්තා නොවී ඇති බව ත් ලැබුණු පැමිණිලි ද, අසත්‍ය බවට විමර්ශන වලින් තහවුරු වූ බව ත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා තහවුරු කළා.

Avatar

Title:මෙරට පැහැර ගත් ළමුන්ව ගනුදෙනු සිදුකරන අයුරු බවට දැක්වෙන වීඩියෝවේ ඇත්ත, නැත්ත!!

Written By: Pavithra Sandamali

Result: False