දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ඊලෝන් මස්ක් විසින් ට්විටර්හි පාලන බලතල ලබාගැනීමත් සමඟ එහි බොහෝ ප්‍රතිපත්ති සහ හරයන් විශාල පරිවර්තනයකට ලක්වී තිබෙනවා. සමාගම විසින් අලුතෙන් හඳුන්වා දුන් විවිධ වර්ගයේ ලාංඡන සඳහා දායක ගාස්තුවක් අය කිරීම ආරම්භ කිරීමත් සමඟ, ට්විටර් ගිනුම් සත්‍යාපනය කිරීමේ සැලකිය යුතු වෙනසක් ඇතිවී තිබෙනවා.

ට්විටර් ආයතනය විසින් ලබාගත් මෙම පියවර සඳහා විවිධ පාර්ශ්වවලින් විවිධාකාරයේ ප්‍රතිචාර ලැබී තිබෙනවා. බොහෝ අය මෙම මාසිකව ගෙවීමක් සිදුකරන ආකෘතිය සමඟ ඉදිරියට නොයෑමට තීරණය කර ඇති අතර, දායකත්ව ගාස්තු ගෙවා පවත්වාගෙන යන ගිණුම්වල විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්න ද ඇති වී තිබෙනවා.

මේ අතර, ශ්‍රී ලංකාවේ විදෙස් කටයුතු පිළිබඳව අමාත්‍යවරයාගේ ට්විටර් ගිණුම රජය නියෝජනය කරන බව පෙන්වීමට අළු පැහැති හරි සලකුණක් සමඟ පවත්වා ගැනිම සඳහා ශ්‍රී ලංකා විදෙස් අමාත්‍යංශය විසින්, ට්විටර් සමාගමට මසකට ඇමෙරිකන් ඩොලර් 1000ක ගෙවීමක් කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනා.

සමාජ මාධ්‍ය සටහන්

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ට්විටර් ගිණුමේ අළු හරි සලකුණ පවත්වා ගැනීමට විදෙස් අමාත්‍යංශය මසකට ඇමෙරිකානු ඩොලර් 1000ක් වැයකරන බව ඇතැම් ට්විටර් පරිශීලකයන් පිරිසක් ප්‍රකාශ කරන අතර රට තුල සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලින ලැබෙන අරමුදල් භාවිත කර මෙවැනි පියවරක් ගැනීම කොතරම් දුරට සාධාරණදැයි ප්‍රශ්න කරනවා. රට අර්බුදකාරි අවස්ථාවකට මුහුණ දී සිටින වාතාවරණයක් යටතේ මෙවැනි තීරණ කෙතරම් තාර්කිකදැයි ඔවුන් විමසා සිටිනවා.

https://twitter.com/krishna_perera/status/1678288839578898432

Archived

ට්විටර් පරිශීලකයින් පහත පරිදි මීට විවිධාකාරයේ අදහස් එක් කර තිබුණු අතර මෙහි සත්මේ‍යතාවය පිළිබඳව ද බොහෝ දෙනා විමසිලිමත් වී තිබුණු බැවින් අප කරුණු විමර්ෂණය කර සත්‍ය සොයාබැලීමට කටයුතු කළා.

කරුණු විමර්ෂණය

පළමුව අපි ට්විටර් තහවුරු කිරීමේ ක්‍රමවේදය (verification process) පිළිබඳව වැඩි විස්තර සඳහා විශ්වාසදායක මූලාශ්‍ර පරීක්ෂා කළා.

ඊලෝන් මස්ක් හට ට්විටර් සමාගමේ හිමිකාරීත්වය ලැබීමත් සමඟ නිල් ලාංඡන තහවුරු කිරීමේ ක්‍රමවේදය වෙනස්වීම් වලට භාජනය වී තිබෙනවා. මෙහිදී මෙම ක්‍රියාවලිය සඳහා බොහෝ තොරතුරු අවශ්‍ය වන අතර, ඕනෑම අයෙකුට මාසික දායක ගාස්තුවක් ගෙවීමෙන් නිල් ලාංඡනය ලබා ගැනීමේ විකල්පය විවෘත වුණා.

කෙසේ වෙතත්, මෙම පියවරෙන් පසු ට්විටර් මාධ්‍යයෙන් හුවමාරු කරගන්නා තොරතුරුවල සත්‍ය අසත්‍යභාවය පිළිබඳව විශ්වාසය කඩ කිරීමක් සිදු වී ඇත. එම ගැටලුවට විසඳුමක් වශයෙන් ට්විටර් සමාගමෙන් මෙවැනි ලාංඡන කිහියක්ම හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව නිල් ලාංඡනයට අමතරව, රන් සහ අළු ලාංඡනද ඔවුන් විසින් ඉදිරිපත් කළා.

2022 වසරේ නොවැම්බර් මාසයේ දී රජයට සම්බන්ධ නිලධාරීන් සහ සංවිධාන සඳහා අළු හරි සලකුණක් සහිත ලාංඡනය හඳුන්වා දුන්නා. වාර්තාවලට අනුව පැවසෙන්නේ මෙම ක්‍රියාවලිය නොමිලයේ ක්‍රියාත්මක වන්නක් බවයි. වැඩිදුර තොරතුරු සඳහා මෙතනින්. Archived.

නමුත්, අළු පැහැති හරි සලකුණක් ආරම්භ කර පැය 48කින් පසු, ඔවුන් මෙම සලකුණ පිළිබඳව තීරනය වෙනස් කර එම ලාංඡන සියල්ල ඉවත් කරගත්තා. ඒ පිළිබඳව ලිපියක් මෙතනින් Archived

මේ අතර, ට්විටර් සමාගමේ හිමිකරු වන ඊලෝන් මස්ක් ප්‍රකාශ කළේ ඉදිරි මාස කිහිපය තුළ තවත් මෙවැනි විවිධ ආකාරයේ අත්හදාබැලීම් සිදුවනු ඇති බවයි. එම ට්විටර් සටහනට පිවිසිය හැකියි මෙතනින්

මේ වන විටදීත්, ට්විටර් සතුව නිසි ක්‍රියාපටිපාටියක් නොපවතින අතර පර්‍යේෂණාත්මක වෙනස්කම් සිදු කරමින් සහ ඒවා අධ්‍යනය කරමින් පවතිනවා.

ට්විටර්හි වර්තමාන ලාංඡන

ට්විටර් වෙබ් අඩවියට අනුව,

නිල් පැහැති හරි සලකුණ සඳහා යම් ට්විටර් ගිනුමක් සුදුසුකම් ලබන්නේ, ට්විටර් බ්ලූ (Twitter Blue) වෙත සක්‍රිය දායකත්වය සපයා ඇති විටදීයි. ට්විටර් බ්ලූ සඳහා දායකත්වය සැපයීම සඳහා ලබාදෙන නිල් පැහැති හරි සලකුණ, පෙර ක්‍රියාවලියේදී භාවිතා වුණ සක්‍රිය, කැපී පෙනෙන සහ සත්‍ය නිර්ණායක සපුරාලන බව තහවුරු කිරීම සමාලෝචනයට භාජනය වෙන්නේ නැහැ.

රන් පැහැ හරි සලකුණෙන් අදහස් වන්නේ අදාල ගිණුම ට්විටර් විසින් තහවුරු කෙරුණු සංවිධානයක් සඳහා පවතින නිල ව්‍යාපාරික ගිණුමක් බවයි.

අළු පැහැති හරි සලකුණෙන් අදහස් වන්නේ ගිණුමක් රජයේ/බහුපාර්ශ්වික සංවිධානයක් හෝ රජයේ/බහුපාර්ශ්වික නිලධාරියෙකු නියෝජනය කරන බවයි. පහත සුදුසුකම් නිර්ණායකවලට නොගැලපෙන අතිරේක රජයේ සහ බහුපාර්ශ්වික ගිණුම් සඳහා තහවුරු කරගත් සංවිධාන මඟින් අළු පැහැති හරි සලකුණ ලබාගත හැකියි.

ජාතික මට්ටමේ සුදුසුකම් ලත් රාජ්‍ය සංවිධාන මේ සඳහා ඇතුලත් විය හැකියි: ප්‍රධාන විධායක කාර්‍යාල ගිණුම්, ප්‍රතිපත්තිවල නිශ්චිත ක්ෂේත්‍ර අධීක්ෂණය කරන නියෝජිත ආයතන ගිණුම්, තානාපති කාර්‍යාල සහ කොන්සල් ගිණුම් සහ පාර්ලිමේන්ති හෝ ඊට සමානාඅයතනික කමිටු ගිණුම්, ප්‍රාන්ත සහ ප්‍රාදේශීය මට්ටමින් සුදුසුකම් ලත් රාජ්‍ය සංවිධානවලට අයත් ප්‍රධාන විධායක කාර්‍යාල සහ අර්බුධ ප්‍රතිචාරය සඳහා ඇති ගිණුම්, මහජන ආරක්ෂාව, නීතිය ක්‍රියාත්මක කිරීම සහ නියාමන ගැටළු අධීක්ෂණය කරන ප්‍රධාන ආයතන ගිණුම් මීට අයත්.

සුදුසුකම් ලත් රජයේ පුද්ගලයින් වන්නේ: රාජ්‍ය නායකයින් (ජනාධිපතිවරු, අගමැතිවරුන් සහ රජවරුන්), නියෝජ්‍ය රාජ්‍ය නායකයින් (උප ජනාධිපතිවරුන්, නියෝජ්‍ය අගමැතිවරුන්), ජාතික මට්ටමේ කැබිනට් සාමාජිකයින් හෝ ඊට සමාන විධායක ශාඛාවේ ප්‍රාථමික නිල ප්‍රකාශකයා හෝ ඊට සමාන අය සහ උත්තරීතර පාර්ලිමේන්තුවේ හෝ ජාතික සමූහාණ්ඩුවේ සියළුම මන්ත්‍රීවරුන්

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ට්විටර් වෙබ් අඩවියෙන් කියවිය හැක මෙතනින්

ඉහත තොරතුරු අනුව, කැබිනට් අමාත්‍යවරයෙකුට අළු පැහැති හරි සලකුණ සහිත ලාංඡනය ලැබිය හැකි බව පැහැදිලිවන්නේ ඔවුන් ඒ සඳහා සුදුසුකම් ලත් පුරවැසියන් අතර සිටින නිසාවෙනුයි.

මේ වන විට අළු පැහැති හරි සලකුණ සහිත ලාංඡනයේ තත්ත්වය කුමක්ද? එය නොමිලේ ලැබෙන්නක්ද?

ට්විටර් ආයතනය පවසන්නේ නිල් හෝ රන් පැහැති හරි සලකුණු ලාංඡන සඳහා මාසිකව ඇමෙරිකානු ඩොලර් 1000 බැගින් ගෙවිය යුතු බවත්, ඊට අමතරව එම අදාල පුද්ගලයින්ට ඔවුන්ගේ යටතේ සේවය කරන්නන්ගේ ගිණුම් ද ඊට අනුබද්ධ ගිණුම් ලෙස එක් කිරීමට අවශ්‍ය නම්, එවැනි එක් ගිණුමක් සඳහා තවත් අමතර ඇමෙරිකානු ඩොලර් 50ක් ගෙවිය යුතු බවයි. මෙය ශ්‍රී ලංකාවටද වලංගු වන තත්වයක්. මේ පිළිබඳව ට්විටර් වෙබ් අඩවියේ ඇති විස්තර මෙතනින්. Archived

කෙසේ වෙතත් සුදුසුකම් ලත් සංවිධාන සහ නිලධාරීන් විසින් අළු පැහැති හරි සලකුණ සහිත ලාංඡනය සඳහා ගෙවීමක් සිදු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ට්විටර් වෙබ් අඩවිය තුල කිසිදු සඳහනක් සොයා ගැනීමට ලැබෙන්නේ නැහැ. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඔහුගේ ඇතැම් ඇමතිවරුන් මෙන්ම රාජ්‍ය ආයතනවල පිරිස් සහ දේශපාලන නායකයින්ටද කිසිදු ගෙවීමකින් තොරව මෙම සලකුණ ලැබුණ බවට ප්‍රවෘත්ති වාර්තාවලින් හෙලි වෙනවා. ට්විටර් සමාගම, වෙනත් පුද්ගලයින් විසින් ප්‍රසිද්ධ පුද්ගල චරිත ආරෝපණය කරගෙන ක්‍රියා කිරීම වැළක්වීම සඳහා මෙම පියවර ගත් බව පවසනවා.

මේ අතර, ට්විටර් ගිණුම් තහවුරු කරගැනීමේ ක්‍රියා පටිපාටිය සඳහා මුදල් නොගෙවන බවට නිවේදනයක්, ඇමරිකාවේ ධවල මන්දිරය විසින් අප්‍රේල් මාසයේ මුලදී නිකුත් කෙරුණා. ඒ අනුව එක්සත් ජනපද ජනාධිපතිවරයා, ඉහළ නිලධාරීන්, තානාපතිවරුන් යනාදීන්ගේ අළු පැහැති හරි සලකුණ සහිත ලාංඡනය තවමත් ට්විටර් ඔස්සේ දැකගත හැකියි.

මෙයින් පැහැදිලි වන්නේ රජයේ නිලධාරීන්ට, ඇමතිවරුන්ට, රාජ්‍ය නායකයින්ට සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ට මෙම අළු පැහැති හරි සලකුණු ලාංඡනය නොමිලයේ ලබාදෙන බවයි. ශ්‍රී ලංකා ජනාධිපත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ට්විටර් ගිණුමේ ද මෙම අළු පැහැති හරි සලකුන දැකගත හැකියි. ඒ පිළිබඳව වැඩි විස්තර මෙතනින් සහ මෙතනින්. Archived

අපි විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා අමතා මෙම ප්‍රකාශවල සත්‍යතාව පිළිබඳ විමසීමක් සිදු කළා. අමාත්‍යවරයා සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන මෙම ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කළ අතර, ට්විටර්වලදී ඔහුගේ අළු හරි සලකුණ සඳහා රජයෙන් කිසිදු මුදල් ගෙවීමක් සිදුවී නැති බවත්, එය තමාට සම්පූර්ණයෙන් නොමිලයේ ලැබුණ පහසුකමක් නිසා එයට කිසිම ගෙවීමක් සිදුකිරීමට අවශ්‍ය නොවෙන බවත් සඳහන් කළා.

වැඩිදුර විස්තර තහවුරු කිරීම සඳහා අපි සෘජුවම Twitter Inc සමඟ සම්බන්ධ වී තිබෙනවා. මේ පිළිබඳව ඔවුන්ගේ පැහැදිලි කිරීම් ලබාගැනීමෙන් අනතුරුව, ඒ පිළිබඳව මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:ට්විටර් සමාජ මාධ්‍ය තුළ, අමාත්‍ය අලි සබ්‍රි සඳහා අළු පැහැ හරි සලකුණ පවත්වා ගැනීම සඳහා විදේශ අමාත්‍යංශය මාසිකව අමෙරිකානු ඩොලර් 1000ක ගෙවීමක් සිදු කරන්නේ නැහැ!

Written By: Kalana Krishantha

Result: Misleading