දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

පසුගිය දා ජර්මනියේ මාධ්‍ය නාලිකාව ක් සමග පැවැත් වූ මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී චැනල් 4 නාලිකාව විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියා යොමු කළ පැනයකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා දුන් පිළිතුරක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාවය පිළිබඳ සොයා අප කළ විමසා බැලීමක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගන්න බැහැ, කිසිසේත්ම ජාත්‍යන්තර පරීක්ෂණයක් කරන්නෙ නැහැ” යනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ මෙහි බොහෝ දෙනෙකු මෙය සත්‍යයක් බව ට උපකල්පනය කර ඇති බවයි.

මෙහි නිරවද්‍යතාව පිළිබඳ අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

Explainer (කරුණු පැහැදිලි කිරීම) :

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ Deutsche Welle (DW) මාධ්‍ය ආයතනය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට පසුගිය දා එක් වුණා.

එම සාකච්ඡාවේ අතරතුරදී ඉහත සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දී ඇති ප්‍රකාශයක් මෙරට ජනාධිපතිවරයා විසින් පැවසුවා ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අප මුලින්ම එම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පරීක්ෂා කළා.

එම සම්පූර්ණ වීඩියෝව පහතින්.

https://twitter.com/dw_hotspotasia/status/1708843107674894414

එහි විනාඩි 04.34 දී නිවේදක විසින් චැනල් 04 නාලිකාව විසින් නිකුත් කළ වාර්තාමය වීඩියෝව සම්බන්ධයෙන් ජනාධිපති වෙත පැනයක් යොමු කරනු ලබනවා. එම පැනයේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දුන් පිළිතුරු වල සිංහල පරිවර්තනය මෙසේ ය.

නිවේදක: පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් අවධානයට ලක්වූ මාතෘකාවක් ගැන අප දැන් කතා කරමු. රජයට සම්බන්ධ පිරිස් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ලද කුමන්ත්‍රණයක් බවට අනුමාන කර ඇති, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ වාර්තාමය චිත්‍රපට කථාංගය පිළිබද අවධානය යොමු කළහොත් ?

ජනාධිපති: ඇයි ඔබ චැනල් 4 නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ.

නිවේදක: නැහැ. මම එලෙස හිතන්නේ නැහැ.

ජනාධිපති: බ්‍රිතාන්‍යයේ ද විශාල පිරිසක් ඒ විදිහට සළකන්නේ නැහැ කියා මම විශ්වාස කරනවා.

නිවේදක: ඔබ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරිම සාධාරණද ?.

ජනාධිපති: ඇයි ඔබ චැනල් 4 ගැන පමණක් ප්‍රශ්න කරන්නේ?‍

නිවේදක: මම චැනල් 4 ගැන අහන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.‍

ජනාධිපති: මාධ්‍ය විසින් එල්ල කරන චෝදනාව නිසාම ඇයි මම එහෙම කරන්නේ? හොඳයි, මම කියන්නේ… හිටපු නීතිපතිවරයා චෝදනාවක් එල්ල කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා චෝදනාවක් කර තිබෙනවා. ඇයි ඔබ එකක් ගැන විතරක් අහන්නේ. අනිත් ඒවා ගැනත් අහන්න.

නිවේදක: ඇත්තටම චැනල් 4 නාලිකාව පමණක් නොවෙයි, කතෝලික පල්ලිය තමයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඇත්තටම ඔබතුමා සේවය කළ හිටපු ජනාධිපතිවරයෙකුත් පරික්ෂණයක් ඉල්ලා තිබෙනවා ?

ජනාධිපති: මමත් අහන්නේ එයයි. ඔබ මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම ඔබට බල කළ විට පමණයි කිව්වේ හිටපු ජනාධිපතිතුමා පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. ඔබ කතා කළේ චැනල් 4 වාර්තාව පරම සත්‍යය ලෙස තබාගෙනයි.

නිවේදක: මෙතන තිබෙන කාරණාව පරම සත්‍ය පිළිබඳ නොවයි ?

ජනාධිපති: විශේෂයෙන්ම චැනල් 4 චෝදනා සම්බන්ධයෙන් මම කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒ වගේම හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකුගෙන් එම කමිටුව සමන්විත වෙනවා.

නිවේදක: කොමිසමේ නිදහස හැර වෙනත් දෙයක් කිරීමට තරම් මෙම කොමිසමට හැකියාවක් තිබෙනවා කියා කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ ?

ජනාධිපති: එය ඔබේ මතය, මගේ මතය නොවෙයි.

නිවේදක: නැහැ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්.

ජනාධිපති: නැහැ. මට කතා කර අවසන් කරන්න දෙන්න

නිවේදක: ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත්නම් උත්තර අවශ්‍ය නෑ. නමුත් මට අහන්න පුළුවන්.

ජනාධිපති: නැහැ. මම කියන්නේ එය ඔබේ මතය පමණයි. මගේ මතය නොවෙයි කියලා.

නිවේදක: කතෝලික පල්ලිය තමයි මේ පිළිබඳව කතා කරන්නේ ?

ජනාධිපති: එය අමතක කරන්න. මම කතා කරන්නේ කතෝලික පල්ලිය ගැන නොවයි. මම ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. ඒ වගේම මම ගනුදෙනු කරන්නේ රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමග නෙවෙයි. කතෝලික සභාවට කොමිසමේ සියලු වාර්තා අවශ්‍ය බව දැනුම් දුන්නා. මම ඒ සියල්ල දුන්නා.

නිවේදක: ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක් ?

ජනාධිපති: ඔවුන් එකඟ වූ ස්වාධීන කොමිෂන් සභාව එයයි. ඔබ රදගුරු සම්මේලනය සමඟ ගනුදෙනු කරන්නේ නැහැ. නමුත් මම කරනවා. ඒ වගේම ඔවුන් පැමිණ මාව මුණගැසෙනවා. ඔවුන් හමුවෙන්නේ මම මිස ඔබ නොවෙයි. ඔබ මෙතන වාඩි වී කඩදාසියක් අතට අරගෙන කියවනවා. නමුත් මම කතෝලික සභාව සමග සාකච්ඡා කළා. මම නැවත මගේ රටට ගියවිටත් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.

දෙවැන්න තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඉතින් යම් අතපසුවීමක් සිදුවුවහොත් නැවත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ පිළිබඳ කටයුතු කරයි. අවසාන වශයෙන් කරන්නේ මොකක්ද කියා තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.

හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ කාරණය සම්බන්ධයෙන් කථා කළහොත්, මම ආපසු ගිය පසුව ඔහු හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුද මේ සම්බන්ධව කොමිසමක් පත් කළා, ඔහුට තවදුරටත් මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි ද කියා මම සාකච්ඡා කරනවා. මම මේකට සම්බන්ධත් නැහැ. මම උත්සාහ කරන්නේ මෙයට විසඳුමක් ලබාදීමටයි.

ඔබ කාදිනල්තුමා ලබා දුන් කඩදාසියක් අරගෙන ඔහුට පේන්න එය කියවනවා. ඔබ කතෝලික සභාවත් සමඟ කතා කර තිබෙනවාද? ඔබ කතෝලික පූජකවරුන් සමඟ කතා කර තිබෙනවද?

නිවේදක: නැහැ. මම කතා කර නැහැ.

ජනාධිපති: එසේනම් ඔබට මගෙන් මේ ප්‍රශ්නය ඇසීමට කිසිඳු අයිතියක් නැහැ. එය සම්පූර්ණයෙන්ම වැරදියි කිසිම ගැටළුවක් සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නැහැ.

එක්සත් රාජධානියට එහෙම වෙලා නැහැ. ජර්මනියට එහෙම වෙලා නැහැ. ඔබට මොනවද ලැබී තිබෙන්නේ? ඔබ සහභාගී වී තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ මොනවාද? එක්සත් රාජධානිය සහභාගී වී තිබෙන ඒවා මොනවාද? ඇයි අසරණ ශ්‍රී ලංකාවේ අපට සහ ආසියාතිකයින්ට විතරක් මෙහෙම කරන්නේ? ඔබ හිතන්නේ අපි පහත් රටවල් කියාද?

නිවේදක: නැහැ

ජනාධිපති: එහෙනම් ඇයි එහෙම අහන්නේ?

නිවේදක: මොකද කිසිවක් සිදු නොවු කොමිෂන් සභා සම්බන්ධයෙන් ඔබට 2008 සිට අද දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබෙනවා. මට ඒ පිළිබඳ ලයිස්තුවක් කිව හැකියි. උදුලාගම, උගත් පාඩම්….

ජනාධිපති: පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තමයි මේ. ඒ හැමදෙයක් සඳහාම අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

ප්‍රශ්නය: ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවසාන වාර්තාවේ තත්ත්වය කෙතරම් අශෝභන වී තිබෙනවාද කිවහොත්, මේ වන විට ඇමරිකානු කොංග්‍රසයේ සිටින 12 දෙනෙකු විසින් ඔබේ රජයට බලපෑම් කරන ලෙස බයිඩ්න් පාලනයෙන් ඉල්ලා සිටිනවා.

ඇත්තටම සිදුවී ඇති අපයෝජන මොනවාද යන්න සහ ඒවා මැඩපවත්වන්නේ කෙසේද සොයා බැලීමට ඔබ මීට මාස කිහිපයකට පෙර සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ප්‍රකාශයට පත් කළා. මම පෙන්වා දුන් ඒවාට මෙන්ම මෙම කොමිසමටත් බලයක් නැහැ

පිළිතුර: ඔබ එය වැරදියටයි වටහාගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් නොවෙයි.

අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවා ඇති බවට මේ රටවල් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින අතර අපි බටහිර රටවල් සමගත් සාකච්ඡා කරනවා. සෙනෙට් සභිකයින්ට මෙයට මැදිහත් විය හැකිය

සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මම ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව බරපතල ප්‍රශ්න ඇති වී නැහැ

නිවේදක: මම විශ්වාස කරනවා ඔබ මීට මාසයකට පමණ පෙර නිකුත් වු එක්සත් ජාතීන්ගේ වාර්තාව දකින්න ඇති කියලා ?

ජනාධිපති: එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

නිවේදක: කවුද ඒක ප්‍රතික්ෂේප කළේ ?

ජනාධිපති: ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කවුද එය ලබා දුන්නේ? මම එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුමත කරන්නේ නැහැ.

නිවේදක: මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැරදී කියලද ඔබ කියන්නේ?

ජනාධිපති: එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවෙයි. මානව හිමිකම් කොමිෂම වැරදියි.‍

නිවේදක: මානව හිමිකම් කොමිෂම වැරදියි වගේම Amnesty සහ human rights watch ද වැරදියි ද?

ජනාධිපති: මානව හිමිකම් කොමිෂම වැරදියි.

නිවේදක: අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔබ කටයුතු කරනවා ද? ඔබේම ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් එය ඉල්ලා සිටිනවා…

ජනාධිපති: කවුද ඇමතිවරුන්?

නිවේදක:මම හිතන්නේ ප්‍රනාන්දු මහත්මයා.

ජනාධිපති: කොයි ප්‍රනාන්දු ද?

නිවේදක: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදු කිරීමට එකඟයිද?

ජනාධිපති: ප්‍රනාන්දු නම තිබෙන ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. වෙළඳ හා වාණිජ කටයුතු ඇමතිවරයා ප්‍රනාන්දු කෙනෙක්. සංචාරක ඇමතිවරයාත් ප්‍රනාන්දු කෙනෙක්.

ඒ අයගෙන් කිසිම කෙනෙක් මගෙන් මෙවැනි ඉල්ලීමක් කර නැහැ. ඔබ බරපතළ චෝදනාවක් කර තිබෙන්නේ. ඒ නිසා එය පැහැදිළිව සඳහන් කරන්න.

නිවේදක: බරපතළ චෝදනාව මොකද්ද?

ජනාධිපති: විමර්ශනයක් අවශ්‍ය බව පැවසූ මගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමතිවරු දෙදෙනා කවුද කියලා?

නිවේදක: එය චෝදනාවක් නොවෙයි. ඇත්තටම එය ප්‍රසිද්ධ කරුණක්.

ජනාධිපති: නැහැ, ඔබ වැරදියි. මට තේරෙන විදියට නම් ඉන්නේ එක් අයෙකු පමණයි.

නිවේදක: මේ පිළිබඳ සොයා බලන ලෙස මට ඉල්ලීමක් කළ හැකිද ?

ජනාධිපති: නීතියට අනුව, ඔබේ රටේ වගේම මගේ රටෙත් යම් විමර්ශනයක් සිදු කළ හැක්කේ පොලිසියට පමණයි. ඉන්පසුව, පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළහොත්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළ හැකියි.

නිවේදක: ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා විමර්ශනය සිදු කරනවාද? ඔබ ඊට කැමතිද?

ජනාධිපති : ඇත්තවශයෙන්ම, ඔවුන් විමර්ශනයක් සිදු කරනවා.

නිවේදක: ඒ වගේම විනිවිදභාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් හෝ ඔවුන්ගේ සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?

ජනාධිපතිතුමා: නැහැ. ඔබගේ රටේ පවතින නඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් සිටිනවාද?

මෙම සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසන්නේ චැනල් 4 නාලිකාවේ චෝදනා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් පත් කර ඇති බවත්, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන බවත්, හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකුගෙන් එම කමිටුව සමන්විත වන බවයි.

මෙහිදී චැනල් 4 නාලිකාවේ වාර්තාව පරම සත්‍යයක් බව ට පිළිගනිමින් නිවේදක ප්‍රශ්න යොමු කරන බව දක්වමින් ජනාධිපතිවරයා සහ නිවේදක සමගින් උණුසුම් කතා බහක් ඇතිවූ අතර එම සාකච්ඡාව අතරතුර “චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගන්න බැහැ” යනුවෙන් ජනාධිපති විසින් ප්‍රකාශ නොකරනු ලබයි.

එමෙන් ම නිවේදක විසින් විනිවිදභාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් හෝ ඔවුන්ගේ සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට කිසිදු ප්‍රශ්නයක් නොමැතිද යන්න පැනයක් යොමු කරන විට ජනාධිපති විසින් එහිදී ඔබගේ රටේ පවතින නඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් සිටිනවාද යනුවෙන් පැනයක් නිවේදකට යොමු කරමින් එම පැනයට පිළිතුර ලෙස ජාත්‍යන්තර නිරීක්ෂකයින්ගේ අතපෙවීමට තමන් එකඟ නොවන බව අඟවනු ලබනවා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:චැනල් 4 නාලිකාව රාජපක්ෂලාට එල්ල කරන චෝදනා පිළිගැනීමට නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා ද?

Written By: Pavithra Sandamali

Result: Insight