දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගැනීමට හොඳ පුරුදු යනුවෙන්, විවිධාකාරයේ න්‍යායන් මෙන්ම දේශීය අත්බෙහත් ක්‍රම, දේශීය ප්‍රතිකාර ක්‍රම යනාදිය පිළිබඳව අදහස් පලවීම නිරන්තරයෙන්ම සිදු වෙනවා. මෙලෙස පලවන ඇතැම් මත විවිධ නිරීක්ෂණ පමණක් පාදක කරගත්, යතාර්ථවාදී ඒවා වෙන අතර, සමහර මත, පදනම් විරහිත, නොමඟ යවන සුළු සටහන් පමණක් වෙනවා.

ඒ අයුරින්ම හුවමාරු වී තිබු තවත් සටහන් පෙළකින් පෙන්වා දී තිබුනේ ස්නානය කරන විට මුලින්ම ඔලුව වතුරට ඇල්ලීම ආඝාතය තත්ත්වය ඇතිවීමට අවදානමක් ඇති කරන බවටයි. නමුත් මේ පිලිබඳ විමර්ශණයේදී අපට තහවුරු වුයේ මෙය ද නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවයි.

සමාජ මාධ්‍ය පලකිරීම්(Social Media Posts)

නාන කාමර තුල මිනිසුන් වැඩි වශයෙන් ආඝාතයට ගොදුරුවන්නෙ, බොහෝ දෙනා ස්නානය පටන් ගන්නේම පළමුව හිස කොටස ජලයට නිරාවරණය කිරීම නිසා බවත් එය ඉතා වැරදි චර්යාවක් බවත් එයින් වැලකී සිටිය යුතු බවට හේතු දක්වමින් පළව තිබු විස්තරාත්මක සටහනක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණි.

Facebook | Archived

එම සටහනේ වැඩිදුරටත් කරුණු විස්තර කර තිබුනේ මෙලෙසින්.

"ඔබ ජලයට පළමුව හිස කොටස නිරාවරණය කළහොත් සිදුවන්නෙ හිස පෙදෙසට ඉතා ඉකමනින් ලේ ගමනාගමනය සිදුවී ධමනි රුධිර නාල වලට හානි සිදුවීමයි. මේ හේතුවෙන් අඝාතය ඇතිවී ඔබ නානකාමරය තුල ඇද වැටීමකට ලක්වේ. එවිටම හිස බිම වැදීමෙන් තවත් හානි සිදුවීමට හැකිය.

කැනඩා වෛද්‍ය සංගමය මගින් ප්‍රකාශයට පත්කළ ජ'නල් වාර්තාවක ද අඝාතයේ පවතින බරපතලකම පෙන්වා දී ඇත.

ලොවපුරා සිදු කල සමීක්ෂණ ගණනාවකින්ම නානකාමරය තුලදී සිදුවන ආඝාතය හේතුවෙන් සිදුවන මරණ හා අංශබාග තත්වය දවසින් දවස වැඩි වන බව පෙනීගොස් ඇත. එ නිසාවෙන්ම නෑමේදි අනුගමනය කළ යුතු පියවර කීපයක් වෛද්‍යවරු හදුන්වා දී ඇත.

ස්නානය කිරීමේදී මුලින්ම හිස සහ හිසකෙස් ජලයට නිරාවරණය නොකල යුතුය. මිනිස් සිරුරේ රුධිර සංසරණය නිශ්චිත උෂ්ණත්වයක පවතින බැවිනි. ශරීර උෂ්ණත්වය බාහිර උෂ්ණත්වයට හැඩගැසීමට යම් කාලයක් ගතවේ. වෛද්යවරුන් පවසන පරිදි, හිස මත ජලය මුලින්ම රුධිර සංසරණය වේගය වැඩි කරයි. එම අවස්ථාවේදී ආඝාත අවදානමද වැඩි විය හැක. අධික රුධිර පීඩනයට මොළයේ ධමනි ඉරා දැමිය හැක.

නෑමේ නිවැරදි රීතිය :-

මුලින්ම දෙපා වතුරට අල්ලන්න. ඉන්පසු උරහිස් සහ පහළ කොටස් වතුරට නිරාවරණය කරන්න. ඉන් පසුව මහුණ ප්‍රදේශයට වතුර වැටෙන්න සලස්වන්න.

ඔබ හිස ජලයට නිරාවරණය කල යුත්තෙ ඉහත පියවර වලින් පසුවයි.

අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල් සහ ඉරුවාරදය ඇති අය විශේෂයෙන් මෙම ක්‍රමය අනුගමනය කළ යුතුය.

මේ පිළිබඳ ඔබගේ අම්මා,තාත්තා, නෑදැ හිතමිතුරන් දැනුවත් කරන්න."

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන් කාලයක් තිස්සේ බහුලව හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මේ පිළිබඳව කරුණු විමර්ෂණය කර සත්‍ය සොයාබැලීම සඳහා අපි කටයුතු කළා.

කරුණු විමර්ෂණය(Fact Check)

අපි පළමුවෙන්ම ආඝාතය නම් රෝගී තත්වයේ, එනම් strokesවල විද්‍යාත්මක පසුබිම විමසා බැලුවා.

ආඝාතය යනු කුමක්ද?

ආඝාතය සාමාන්‍ය ව්‍යවහාරයේදී මොලයේ ලේ කැටි සිරවීම, මොලේ නහර පුපුරා යාම ලෙසත් හඳුන්වනවා. එම නම් වලින් පැහැදිලි වන ලෙසම මෙහිදී සිදුවන්නේ මොලයට රුධිර සැපයුම් කෙරෙන රුධිර නාල යම් හේතුවක් නිසා අවහිර වීම හෝ මොලය තුළ හදිසි රුධිර වහනයක් සිදු වීම නිසායි. මේ අනුව මොලයේ රුධිර සැපයුම අවහිර වීම නිසා ඇතිවන ආඝාතය Ischemic stroke ලෙසත්, මොලය තුළ සිදුවන රුධිර වහනයක් නිසා ඇතිවන ආඝාත තත්ත්වය Hemorrhagic stroke ලෙසත් හැඳින්වෙනවා. Ischemic stroke තත්ත්වයකදී මොලයේ රුධිර සැපයුමට බාධා එල්ල වී මොලයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂ්‍ය ද්‍රව්‍ය ලබා ගත නොහැකිව, මිනිත්තු ගණනක් තුළ දී මොලයේ සෛල මිය යාම ආරම්භ වෙනවා. Hemorrhagic stroke තත්ත්වයකදී කාන්දු වන රුධිරය මඟින් මොලයේ සෛල මත පීඩනය ඇති කර ඒවාට හානි ඇති කරනවා.

කෙසේ නමුත් මෙම තත්ත්ව දෙකේදීම මොලයේ සෛල වලට විශාල වශයෙන් බලපෑම් එල්ල කරනවා. එලෙස ඇතිවන ආඝාත තත්ත්ව දිගුකාලීනව ඇතිවන මොලයේ හානි සහ ආබාධ මෙන්ම මරණය පවා ඇති කිරීමට හේතු වෙනවා. මේ පිළිබඳව වාර්තාවක් මෙතනින්.

ආඝාත රෝගයේ ලක්ෂණ ලෙස මුහුණේ, අත් පා සහ විශේෂයෙන් ශරීරයේ එක් පැත්තක ඇතිවන හදිසි හිරිවැටීමක් හෝ දුර්වල වීමක් (අංශභාග තත්ත්වයක්), හදිසි ව්‍යාකූලත්වය, කතාකිරීමේ අපහසුතාව සහ අපැහැදිලි ලෙස කතා කිරීම, එක් ඇසක් හෝ ඇස් දෙකේම හදිසියේ ඇතිවන පෙනීමේ දුර්වලතා, ඇවිදීමේ අපහසුතා, කැරකැවිල්ල, සමබරතාව නොමැතිකම වැනි දේ පෙන්නුම් කරනවා. මෙවැනි අවස්ථාවකදී සුදුසුම පිළියම වන්නේහැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර කරා යොමුවීමයි. ප්‍රතිකාර ලබාගැනීමට ප්‍රමාද වීම දිගුකාලීන අංශභාගයට ගොදුරු වීම, ජීවිත අවදානම පවා ඇති කරනවා. ආඝාතය සඳහා ප්‍රතිකාර සහ ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වැඩි විස්තර මෙතනින්.

ආඝාතය ඇතිවීමට හේතු

ආඝාතය ඇතිවීම සඳහා ප්‍රධානතම හේතු ලෙස සැලකෙන්නේ අධි රුධිර පීඩනය, දුම්වැටි පානය සහ ද්විතීක දුම්පානය, ඉහළ කොලෙස්ටරෝල් මට්ටම, දියවැඩියාව, අධික ස්ථුලතාවය ආදියයි. ආඝාතය ඇතිවීම යම්තාක් දුරට මඟහරවා ගැනීම සඳහා ඉහත ප්‍රධාන කරුණු කිහිපයෙන් ආරක්ෂාවී සිටීම වැදගත්. මීට අමතරව හදවතේ ඇතිවන යම් යම් දුර්වලතා, මොලයේ නහරවල දුර්වලතා මෙන්ම මානසික ආතතිය ආදී විවිධ කරුණු ආඝාතය ඇතිවීම සඳහා හේතු වෙනවා. මේ පිළිබඳව වැඩිදුර තොරතුරු අඩංගු වාර්තාව මෙතනින්.

ජලය සහ ආඝාතය අතර සබඳතාව

විජලනය රුධිරය සාන්ද්‍ර වීම සඳහා හේතු වෙනවා. මෙහිදී එලෙස උකු බවට පත්වන රුධිරය මොලය කරා ප්‍රවාහනය කිරීම සඳහා දුෂ්කරතාවක් ඇතිවීමට ඉඩ කඩ පවතිනවා. මෙලෙස ඝන වූ රුධිරය රුධිර වාහිණී හරහා ගමන් කිරීමට ගන්නා උත්සාහයේදී ආඝාත තත්ත්වයක් ඇතිවීමට අවස්ථාව පවතිනවා.

විවිධ අධ්‍යනවලට අනුව හොඳින් ජලය පානය කරන පුද්ගලයින්ට වඩා, අඩුවෙන් ජලය පානය කරන පුද්ගලයින් ආඝාතයට ගොදුරු වීමට ඇති ඉඩ කඩ ඉහළ බවයි. මේ පිලිබඳව වැඩිදුර තොරතුරු මෙතනින්.

ස්නානය සහ ආඝාතය අතර සම්බන්ධය

සාමාන්‍යයෙන් ආඝාතය යනු ඕනෑම අවස්ථාවක ඕනෑම ක්‍රියාකාරකමක යෙදෙන අයෙකුට වැලඳිය හැකි රෝග තත්ත්වයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත්, ස්නානයේදී ආඝාතයට ලක් වන පිරිස පිළිබඳව 2011 වසරේ ජනවාරි සිට 2015 වසරේ දෙසැම්බර් මාසය තෙක් සිදුකළ සායනික සමීක්ෂණයක් ඔස්සේ ස්නානයේදී ආඝාතයට ලක් වීමට වැඩි අවදානමක් පවතීදැයි යන්න විමසා බලා තිබෙනවා. මෙම සමීක්ෂණයට අනුව රෝගීන් 1939 දෙනෙකුගෙන් ස්නානයේ යෙදෙන අතරේදී ආඝාතය උද්ගතව ඇත්තේ රෝගීන් 78 දෙනෙකුට පමණයි. එය 4%ට ආසන්න ප්‍රතිශතයක් ලෙස දැක්විය හැකියි. මීට අදාල වාර්තාව මෙතනින්. ඒ අනුව ස්නානය කරන විට ආඝාතය ඇතිවීමට වැඩි ඉඩ කඩක් පවතිනවා යන්න සත්‍ය වීමට පවතින ඉඩ කඩ ඉතා අවම බව පෙනී යනවා.

මීට පෙර කිහිප වරක්ම ඉහත ලිපියේ අඩංගු කරුණු වෙනත් රටවල පවා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා. එයට අදාලව AFP Fact Check විසින් සිදු කළ කරුණු විමර්ෂණයකදී ඔවුන් විසින් Monash Healthහි ස්නායු විද්‍යා පර්‍යේෂන ප්‍රධානී වෛද්‍ය ථාන් ෆාන් මහතාව සම්බන්ධ කරගෙන තිබුණා.

මෙහිදී ඔහු ආඝාතයෙන් දිවි ගලවා ගත් අය සඳහා ස්නානය කළ යුතු ආකාරය පිළිබඳව ඇමරිකානු හෘද සංගමය ව්සිසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශනයක් පෙන්වා දෙමින් ප්‍රකාශ කර තිබුණේ ආබාධිත රෝගීන් හට ආරක්ෂිතව ස්නානය කිරීමට අදාල අනුපිළිවෙල හැර වෙනත් එවැනි කිසිදු ස්නානය කිරීමේ පිලිවෙලක් ගැන එහි සඳහන් නොවන බවයි. එම ලිපිය මෙතනින්.

ජ්‍යේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය L.P.A. කරුණාතිලක

තවදුරටත්, මෙම මතය සඳහා සිංහල ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඇති පදනම පිළිබඳව විමසා බැලීම සඳහා අප විසින් ජ්‍යේෂ්ඨ ආයුර්වේද වෛද්‍ය L.P.A. කරුණාතිලක මහතාව සම්බන්ධ කරගත්තා. එතුමා පැවසුවේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ආඝාතයෙන් වැලකීම සඳහා ස්නානය කළ යුතු අනුපිළිවෙලක් නති බවයි.

මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍යතුමා ප්‍රකාශ කර සිටියේ සාමාන්‍යයෙන් අධික උෂ්ණත්වයක සිට පැමිණ සෘජුවම ඉතා සිසිල් වතුරින් ස්නානය කිරීම වැනි අවස්ථාවලදී මෙවැනි අවදානමක් මතුවිය හැකි බවයි. සාමාන්‍යයෙන් ශරීරයේ බාහිර සාධක (උෂ්ණත්වය, පීඩනය වැනි) කෙටි කලක් තුළදී විශාල වශයෙන් විචලනයට ලක් වීම ආඝාතය ඇති වීමට හේතු විය හැකි බවයි.

උදාහරණයක් වශයෙන් තද අව්වක සිටින අයෙකු, එක් වරම තදින් වායු සමීකරණය කර ඇති කාමරයකට පිවිසීමේ දී ශරීරයේ බාහිර උෂ්ණත්වය ඉතා විශාල වෙනසකට ක්ෂණිකව ලක් වීම සිදු වනවා. මෙහිදී, ශරීර උෂ්ණත්වය යාමනය කිරීම සඳහා සිරුරේ රුධිර නාල සංකෝචනය වීම සිදු වෙනවා. මෙය ක්ෂණිකව සිදුවන නිසා එහිදී රුධිර නාලිකාවල පීඩන වෙනස්කම්, අවහිරවීම් වැනි තත්ත්ව උද්ගත වී, ආඝාතය තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකිබව එතුමා ප්‍රකාශ කළා.

ඉහළ උෂ්ණ පරිසරයක සිට ක්ෂණිකව දහදිය නිමා නොගෙන ස්නානයට නොයන ලෙස මතයක් පවතින්නේ මේ ඉහත කරුණ නිසාවෙනුයි. කෙසේ නමුත්, වැඩි උෂ්ණ ස්ථානයක සිට ක්ෂණිකව ස්නානය කිරීමට ගොස් හිස තෙමා ගැනීම මේ අනුව අනතුරුදායක විය හැකි බව වෛද්‍යතුමා වැඩිදුරටත් පවසා සිටියා. ඒ වෙනුවෙට ක්‍රම ක්‍රමයෙන් එම උෂ්ණත්වය සඳහා ශරීරය හැඩගස්වාගෙන නෑම සුදුසු බවයි එතුමා පැවසුවේ.

නාන කාමරවල ඇති වතුර මල්වල හැඩය, හොඳින් ජලය විසිරී යන පරිද්දෙන් හැඩ ගස්වා පවතින්නේද, සිරුරේ සෑම කොටසකටම ක්‍රමවත්ම ජලයෙන් තෙමා, සිසිලස ලබා දෙන අන්දමටයි. එවිට ක්ෂණික උෂ්ණත්ව වෙනස්වීම්වලින් සිරුර ආරක්ෂා කෙරෙනවා.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ෂණයෙන් සොයා ගැනුනේ නාන කාමරවලදී මිනිසුන් වැඩි වශයෙන් ආඝාතයට ගොදුරු වීම පිළිබඳව කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් දැනට නොපවතින බවත්, ස්නානයේදී මුලින් හිස අල්ලා සේදීම ආඝාතයට හේතු නොවන් බවත්. නමුත් ඉතා උෂ්ණ පරිසරයක සිට පැමිණ දේහට සිසිලට හැඩගස්වා නොගෙන ක්ෂණිකව ස්නානය කිරීමේදී මෙය යම් ගැටළුකාරී තත්ත්ව ඇති කිරීමට ඉඩ කඩ පවතින බවත් මින් තහවුරු වුණා.

Also Read: උණුසුම් ජලය පානය කිරීම ඇතැම් රෝග සුව කරනවා ද? ශීත ජලය පානය කිරීම හෘදයාබාධ ඇති කරනවාද?

උණුසුම් කාලගුණය තුළ සිසිල් ජලය පානය කිරීම, ස්නානය කිරීමේ අවදානම පිලිබඳ පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත!

Avatar

Title:ස්නානය කරන විට පළමුව හිස ප්‍රදේශය ජලයට නිරාවරණය කිරීම නිසා ආඝාතය ඇති වීමේ අවදානමක් ඇති වනවාද?

Written By: Fact Crescendo Team

Result: Misleading