දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

තලෙයිමන්නාරම් දුමරිය මාර්ගය ඉතා දියුණු තාක්ෂණික ක්‍රම යොදාගෙන ඉදිකරන බවට දක්වමින් කෙටි වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතිනවා. මේ පිළිබඳව විමසා බැලීමක් අප විසින් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ලෙස සංසරණය වන වීඩියෝවකින් දැක්වෙන්නේ, දුම්රිය මාර්ගයේ දිගට දුම්රිය පීලි  ස්ථානගත කිරීම යන්ත්‍රයක් ආධාරයෙන් ඉතා වේගයෙන් සිදු කරන බවයි. මෙම යන්ත්‍රය කාර්‍යක්ෂමව සහ ක්‍රමවත්ව පීලි තැම්පත් කරන බවක් පෙනී යනවා. මෙයට පැහැදිළි කිරීමක් ලෙස මේ සම්බන්ධ සටහන්වල දක්වා තිබුණේ “චීන රජයේද සහය ඇතිව තලෙයිමන්නාරම නව දුම්රිය මාර්ගය ඉදිවෙමින් පවතිනවා. නවීන තාක්ෂණය භාවිත කරන ආකාරය පුදුම සහගතයි.” යනාදී වශයෙනුයි.

Facebook| Archived

එම තේමාව යටතේම සංසරණය වූ වීඩියෝවක් මේවන විට නැරඹුම් වාර ලක්ෂයක් ද පසු කර තිබුණේ මෙලෙසින්.

Facebook

මෙම මිනිත්තු 2කට ආසන්න කාලයක් දිවෙන මෙම වීඩියෝව බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයන් තුළ උනන්දුවක් ඇති කර තිබුණා.

"චීන තාක්ෂණයෙන් තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය හැදෙන හැටි" යනුවෙන් එම දර්ශන පෙළම TikTok හි පළවූ අවස්ථාවක් මෙතනින්.

මේ පිළිබඳව කරුණු විමසා බැලීමට අපි තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)

වීඩියෝවේ මූලාරම්භය පිළිබඳව පැහැදිලි තොරතුරක් ලබා ගැනීම සඳහා අප මුලින්ම Google Reverse Image සෙවීමක් සිදු කළා. චීනයේ නිශ්පාදිත රේල් පීලි පද්ධති ස්ථානගත කිරීමේ ක්‍රියාවලියක් බවට විස්තර කරමින්, මෙම දර්ශන පෙලම, මීට දින කිහිපයකට පෙර පළවී තිබුණේ මෙලෙසින්.

එසේම මීට සති කිහිපයකට ප්‍රථම X (Twitter) ඔස්සේ පලවුණු සටහනක ද මෙම දර්ශන සහිත විඩියෝ පලකිරීමක් සොයා ගැනුණා. එහි සඳහන් වුණේ “මැලේසියාවේ නැගෙනහිර වෙරළ (East Coast)හි දුම්රිය මාර්ගයේ රේල් පීලි තැබීම ආරම්භ වුණා.” යනුවෙනුයි.

https://twitter.com/TripInChina/status/1744611284463825114?s=20

X | Achieved 

චීනයේ වීඩියෝ හුවමාරු වීම සඳහා පවතින යෙදවුමක් වන ‘Ixigua’හිද මෙම වීඩියෝව හුවමාරු වී තිබුණේ චීන භාශාවෙන් විස්තරයක් ද සමඟින්. එම සටහන පරිවර්තනය කළ විට එහි දක්වා තිබුණේ ද, ‘මැලේසියාවේ නැගෙනහිර දුම්රිය මාර්ගයේ ඉදිකිරීමේ අවස්ථාව’ ලෙසයි.

තවද, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන කෙටි වීඩියෝව සමීපව පරීක්ෂා කිරීමේදී චීන අකුරුවලින් සමන්විත පාඨයට පහළින් ලියා ඇති “China Communications Construction” යන ඛණ්ඩය පැහැදිලිවම නිරීක්ෂණය වෙනවා. 

වැඩිදුර සොයාබැලීමේදී, 2023 දෙසැම්බර් මස 12වන දින චීනයේ රාජ්‍ය මාධ්‍ය වන Global Timesහි ද පළවී තිබු මීට අදාල පුවත් අපට හමුවුණා. “BRI යටතේ මැලේසියාවේ නැගෙනහිර වෙරළ දුම්රිය මාර්ගයේ රේල් පීලි ස්ථානගත කිරීම ආරම්භ කෙරේ.” යන ශීර්ෂපාඨය යටතේ මේ පිළිබඳව පුවත් ඉදිරිපත් වී තිබුණා. එම ලිපිවල වැඩිදුරටත් සඳහන් වන්නේ චීනයේ China Communication Constructions සමාගම මැලේසියානු නැගෙනහිර වෙරළ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර ඇති බවයි.

මෙම වාර්තාවේ රේල් පීලි ස්ථානගතකිරීම සිදුකරන යන්ත්‍රයේ ඉදිරිපස පෙනුම පැහැදිළිව දක්වා තිබෙනවා. එහි එක් පැත්තක චීන අක්ෂර සහ අනෙක් පස ඉංග්‍රීසි භාශාවෙන් MRL යන්නද සඳහන් කර තිබෙනවා. මෙහි තේරුම වන්නේ Malaysia Rail Link යන්නයි. ඒ අනුව මෙම වීඩියෝවේ දැක්වෙන දුම්රිය මාර්ග ඉදිකිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම දුම්රිය මාර්ගය ඉදිකිරීමට සම්බන්ධයක් නොමැති බව පෙනී යනවා.

Global Times

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් X (Twitter) හි 2023 දෙසැම්බර් මස 13 දිනැති අදාල සටහනක්ද අප විසින් සොයා ගැනුණා. එමඟින්ද මෙම වීඩියෝව මැලේසියාවට අදාලවන එකක් බවත්, ශ්‍රී ලංකාවට කිසිදු සම්බන්ධයක් නොමැති එකක් බවත් තහවුරු කරනවා. X | Archived

ඒ අනුව, East Coast Rail Link (ECRL) ව්‍යාපෘතියේ කොටසක් ලෙස China Communication Constructions Company (CCCC) සමාගම මෙම රේල් පීලි ස්ථානගත කිරීමේ වීඩියෝවෙන් පෙන්වා දෙන බව පැහැදිළි වෙනවා. ECRL යනු මැලේසියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශය, මැලේසියාවේ වඩාත් සංවර්ධිත යැයි සැලකෙන බටහිර වෙරළ ප්‍රදේශයට සම්බන්ධ කිරීම සඳහා චීනය සමඟ ඒකාබද්ධ වී මැලේසියාව විදින් සිදු කරගෙන යනු ලබන ඒකාබද්ධ දුම්රිය ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතියට අනුව දුම්රිය මාර්ගය කිලෝමීටර් 665ක් (සැතපුම් 413ක්) පුරා විහිදී යන අතර, ප්‍රාන්ත 4ක් හරහා ගමන් කරනවා. මෙහි ඉදිකිරීම් 2017 වසරේ අගෝස්තු මස ආරම්භ වූ අතර, 2025දී එහි කටයුතු අවසන් වීමට නියමිතයි. 2023 දෙසැම්බර් මාසයේදී මැලේසියානු රජු සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ශාහ් සහ නිලධාරීන් එක්ව චීනයේ අනුග්‍රහය සහිත මෙම ව්‍යාපෘතිය සඳහා රේලි පීලි තැබීමේ යන්ත්‍රයක් දියත් කිරීමේ උත්සවයේ විඩියෝවක් මෙතනින්.

China Communication Construction (CCCC) සමාගම ලංකාවේ මේ ආකාරයට දුම්රිය පීලි සැකසීමේ ව්‍යාපෘතියකට දායක වී නොතිබුණ ද මේ වන විට ලංකාවේ දැවැන්ත ව්‍යාපෘතියක ද කොටස්කරුවෙක්. Port City Colombo යනු මෙම CCCC සමාගම සහ ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව ගොඩනඟන දැවැන්ත ව්‍යාපෘතියක්.

මන්නාරම් දුම්රිය මාර්ගය 

මන්නාරම දුම්රිය මාර්ගය මීට වසර ගණනාවකට පෙර යෝජනා වූවක් වන අතර, පසුව මෙය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ සැලැස්මේ කොටසක් ක්‍රියාවට නැංවීමක් ලෙස ඉදි කෙරුණා. ශ්‍රී ලංකාවේ යුධ සමයේ අවසන්වීමත් සමඟ, ඇතැම් කොටස් අබලන්ව පැවති මෙම දුම්රිය මාර්ගයට නව පුනර්ජීවනයක් ලැබුණා.

එසේම ඉන්දියාවේ දුම්රිය අමාත්‍යංශයට අයත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ සමාගමක් වන Indian Railway Construction (IRCON) International Ltd සමාගම, 2011 වසරේ මාර්තු මස, මඩු සිට තලෙයිමන්නාරම දක්වා ඇති දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කළා. ඉන්දීය රාජ්‍ය ආධාර යටතේ ඉදිවූ මෙම ව්‍යාපෘතිය, දියත් කරන ලද්දේ 2015දි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ සහභාගිත්වයෙන්. මේ පිළිබඳව සටහනක් මෙතනින්.

කොළඹ සහ තලෙයිමන්නාරම් තොට යාකරමින් නව දුම්රිය සේවාවක් 2023 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරුණා. Talaimannar Pier Express නමැති මෙම සීඝ්‍රගාමී දුම්රිය, පෙරවරු 4.15ට තලෙයිමන්නාරම් තොටෙන් පිටත් වී පෙරවරු 10.34 වන විට කොළඹ කොටුව වෙත ලඟා වෙනවා. එසේම සවස 3.35ට කොළඹ කොටුවෙන් තලෙයිමන්නාරම් තොට බලා පිටත් වන මෙම දුම්රිය, පැය 6ක පමණ ගමනකින් අනතුරුව නැවත සිය ගමනාන්තයට ළඟා වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටිනවා. මේ පිළිබඳව වැඩි විස්තර මෙතනින් සහ මෙතනින්.

මේ පිළිබඳව අප ඉංග්‍රීසි බසින් සිදුකළ කරුණු විමසුම මෙතනින්.

https://www.youtube.com/embed/I3kU1np3kUw

අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැනගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන යන්ත්‍රානුසාරයෙන් දුම්රිය පීලි ස්ථානගත කරමින් වේගවත්ව ඉදිවන දුම්රිය මාර්ගයක වීඩියෝව, තලෙයිමන්නාරම හෝ ශ්‍රී ලංකාව තුළ කිසිදු ස්ථානයක සිදුවූ ඉදිකිරීමක දී ලබාගත් දර්ශන පෙළක් නොව, චීන සහයෝගිතාව යටතේ, China Communication Construction Company (CCCC) විසින්, මැලේසියාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශයට අයත් East Coast Link ව්‍යාපෘතියේ දුම්රිය පීලි ස්ථානගත කිරීමේ කටයුතු සිදුවන ආකාරය දැක්වෙන වීඩියෝවකි.

Avatar

Title:තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ ඉදිවීම දැක්වෙන දර්ශන පෙළක් ද?

Written By: Fact Crescendo Team

Result: False