දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

ඩුබායි යනු මැදපෙරදිග, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ(UAE) පිහිටා ඇති නගරයක් සහ ප්‍රාන්ත ප්‍රදේශයක්.2024 අප්‍රේල් 16 දිනයේදී ඩුබායිවල කැපීපෙනෙන තරමේ අධික වර්ෂාපතනයක් ලැබීම සිදු වුණා. දිනක් ඇතුලත මෙසේ ලැබුණ වර්ෂාව, සාමාන්‍යයෙන් ඩුබායිවලදී වසරක් තුළදී ලැබෙන සම්පූර්ණ වර්ෂාපතනයට වඩා ඉහළ අගයක්. මේ හේතුවෙන් එහි දරුණු ගංවතුර තත්ත්වයක්ද ඇතිව තිබුණා .

කෙසේ නමුත්,එරට ජාතික කාළගුණ විද්‍යා මධ්‍යස්ථානයට අනුව, මෙය පසුගිය වසර 75කට පසුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතිවූ විශාලතම වර්ෂාපතනයයි. මෙම තත්ත්වය පිළිබඳව සිදු කළ විමර්ෂණාත්මක සටහනක් මෙතනින්.

මෙම තත්ත්වය පිළිබඳව විවිධ මත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සිදු කෙරෙනවා. මේ පිළිබඳව එසේ තබා තිබු සටහන් කිහිපයක්  පිළිබඳව විමසා බැලීමට අප තීරණය කළා.

සමාජ මාධ්‍ය පලකිරීම්

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ දෙස් විදෙස් පලකිරීම්, වීඩියෝ ආදී රැසක පෙන්වා දී තිබුණේ මෙලෙස ඩුබායිහි ඇති වූ වැස්ස කෘත්‍රිම වැස්සක් බවයි. ඩුබායි රජය විසින් මේ වන විට සිදුකරගෙන යමින් පවතින වගා කටයුතු වැඩි දියුණු කිරීම සඳහා මෙම තත්ත්වය ඇති කළ බවයි. මේ පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කෙරුණු සමාජ මාධ්‍ය පලකිරීම් කිහිපයක් පහතින්.

Facebook | Archived |Facebook | Archived| Facebook | Archived

කෙසේ නමුත්, විවිධ සමාජ මාධ්‍ය තුළ මෙම පලකිරීම් සමඟ ඇතිවූ කතාබහත් සමඟ මෙහි විද්‍යාත්මක පසුබිම ඇසුරින් කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශණය)

අප්‍රේල් 16 ඩුබායිහිදී ඇතිවූ වර්ෂාව

වසර 75කට පසු ඩුබායිහි වාර්තාවන ඉහළම වර්ෂාපතනය 2024 අප්‍රේල් 16 දා ලැබී තිබෙන බව වාර්තා වෙනවා. ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනය පැය 24කටත් වඩා අඩු කාලයක් තුළ මිලිමීටර් 250ක් තරම් වන ලෙස දැක්වෙනවා. කෙසේ නමුත් ඩුබායිහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය වන්නේ මිලිමීටර් 100ක් පමණයි.

මේ පිළිබඳව දැක්වුණ වාර්තාවක් මෙතනින්.

කෘත්‍රිම වර්ෂාව -

කෘත්‍රිම වර්ෂාව යනු මිනිසුන් විසින් ඇති කරන, උද්දීපනය කෙරෙන වර්ෂාවක්. මෙම වර්ෂාව වැඩි වශයෙන් ඇති කරනු ලබන්නේ චීනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, රුසියාව වැනි රටවල් තුළයි. මෙම ක්‍රියාවලිය විශාල මුදලක් වැය වන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් තද නියං කාලගුණ තත්ත්ව ආදිය හමුවේදී මෙය වැඩිවශයෙන් සිදුකෙරෙනවා.

මෙහිදී වර්ෂාව හෝ හිම සෑදීම සඳහා හේතුවන රසායනික ද්‍රව්‍ය ඉහළ අවකාශය වෙතට මුදාහැරීම සිදු කරනවා. මෙය සිදුකරන්නේ ගුවන් යානා භාවිතයෙන්. මෙහිදී වර්ෂාව ඇති කිරීමට දායක වන රසායනික ද්‍රව්‍ය ලෙස යොදාගැනෙන්නේ සිල්වර් අයඩයිට්, පොටෑසියම් අයඩයිඩ් හෝ ඩ්‍රයි අයිස් (ඝණ තත්ත්වයේ පවතින කාබන්ඩයොක්සයිඩ්) ආදියයි. මෙම ද්‍රව්‍ය සාමාන්‍ය වළාකුළු තුළදී, ක්‍රියා කර ඒවා තුළ වර්ෂාව ඇතිකිරීමේ හැකියාව ඉහළ දමනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ කාන්තාර පර්‍යේෂණ ආයතනය පෙන්වා දෙනේ කෘත්‍රිම වර්ෂාව ඔස්සේ සෘතුමය වර්ෂාව 10%කින් පමණ ඉහළ නැංවිය හැකි බවයි. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය 2019 වසරේදී තක්සේරු කර තිබුණේ මෙම තත්ත්වය 20% දක්වා පමණ ඉහළ යාහැකි බවයි.

නෙවාඩා ප්‍රාන්තයේ පර්‍යේෂ්ණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරල් ඔමාර් අල් යසීඩි මහතා

ඔමාර් අල් යසීඩි මහතා මාධ්‍ය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිවල සිදුවූ මෙම සිදුවීම කෘත්‍රිම වර්ෂාවක් හේතුවෙන් සිදුවූවක් නොවන බව තහවුරු කළා. මෙම අවස්ථාවේදී වැසි ඇතිවීම සඳහා එක්සත් අරාබි එමීර් රජය හෝ වෙනත් ආයතනයක් විසින් කිසිදු වළාකුළු වෙත කෘත්‍රිම වැසි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය යෙදීම සිදු කර නොතිබූ බවත් ඔහු පෙන්වා දුන්නා. ඔහු වැඩි දුරටත් පෙන්වා දී තිබුණේ, කෘත්‍රිම වර්ෂාව ඇතිකිරීම සඳහා සුදුසු පාරිසරික තත්ත්ව පවතින බවයි. ඒ අනුව එය සිදු කෙරෙන්නේ වැස්සට පෙර, එහි මුල් අවධියේදීයි. ඒත් දැඩි ගිගිරුම් තත්ත්ව හමුවේදී මෙම ක්‍රියාවලිය සිදු කිරීම අපහසු බවත් පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම ක්‍රියාවලිය හේතුවෙන් විශාල වර්ෂාපතනයන් ඇතිකිරීම සිදුකල නොහැකි බවත් එතුමා පෙන්වා දී තිබුණා.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ්හි දේශගුණ විද්‍යාව පිළිබඳව ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය ෆ්‍රෙඩිකෙ ඔටෝ මහත්මිය

ආචාර්‍ය ෆ්‍රෙඩ්‍රික් ඔටෝ මහත්මිය රොයිටර් පුවත් සේවයට පැවසුවේ දේශගුණය වැඩි වැඩියෙන් උණුසුම් වන විට ලොව පුරා වර්ෂාපතනය දැඩි වන බවයි. එවිට උණුසුම් වායුගෝලයට වැඩිවශයෙන් තෙතමනය රඳවාගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ තත්ත්ව සමඟ මෙවන් වර්ෂාපතන තත්ත්ව හදිසියේ ඇතිවීමේ අවස්ථාවක් පවතින බව මෙයින් පෙනී යනවා. මෙතුමිය මෙම තත්ත්වයට කෘත්‍රිම වැස්සක් සම්බන්ධ බවට දැක්වෙන ප්‍රකාශ නොමඟ යවන සුළු ඒවා බව පවසා සිටිනවා.

මේ සම්බන්ද ලිපියක් මෙතනින්.

ශ්‍රී ලංකා කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරල් අතුල කරුණානායක මහතා

අතුල කරුණානායක මහතා පෙන්වා දුන්නේ මෙම සිදුවීම හැක්කේ දේශගුණ විපර්‍යාස නිසා ඇතිවී ඇති ගෝලීය උණුසුම ඉහළ යාම ආදී අතුරු ප්‍රතිඵල නිසා අනතුරු ඇඟවීම්වලින් තොරව ඇතිවන ආන්තික දේශගුණික තත්ත්වයක් ලෙස මෙය පෙන්වා දිය හැකි බවයි. මේ වන විට දේශගුණික විපර්‍යාසවල බලපෑම හමුවේ ලොව පුරා අනපේක්ෂිත ලෙස මෙවැනි ආන්තික කාලගුණික වෙනස්වීම ඇතිවිය හැකි බවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සතුව පවතින තාක්ෂණය ඉතා දියුණු වුවද, ඒවාට පවා මෙවන් තත්ත්ව පිළිබඳව නිවැරදිව පුරෝකතනය කිරීමට නොහැකිව මෙවන් අවස්තා එළඹිය හැකි බවත් එතුමා පෙන්වා දුන්නා.

එතුමා වැඩි දුරටත් පවසා සිටියේ මෙම තත්ත්වය කෘත්‍රිම වැස්සක් හේතුවෙන් ඇතිකළ හැක්කක් නොවන බවයි. සාමාන්‍යයෙන් කෘත්‍රිම වර්ෂාවක් ඔස්සේ මෙතරම් විශාල වර්ෂාවක් ලැබීමට ඇති ඉඩ කඩ අවම බවට එතුමා පෙන්වා දුන්නා. ශ්‍රී ලංකාවේ ද වරක් මෙවැන්නක් උත්සාහ කර තිබුණා. එහිදී සිල්වර් අයඩයිඩ් භාවිතයෙන් කෘත්‍රිම වැස්සක් ඇතිකරවීමේ උත්සාහයක් දැරුවත් එය 100%ක්ම සාර්ථක වුනේ නැතිබව එතුමා පෙන්වා දුන්නා.

අපගේ කරුණු විමර්ෂන පිළිබඳව තොරතුරු දැනගැනීමට එක් වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය)

ඒ අනුව මෙම දරුණු කාළගුණ තත්ත්වය ඩුබායි වෙත ඇතිවුණේ කෘත්‍රිම ව ඇති කරන ලද වර්ෂාවක් නිසා නොවිය හැකි බව පෙනී යනවා. මීට හේතුව විය හැක්කේ විවිධ හේතූන් නිසා ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන දේශගුණික විපර්‍යාස සහ ගෝලීය උෂ්ණත්වය වන අතර, මෙම තත්ත්වය ඒ නිසා ඇතිවූ අතුරු ප්‍රතිඵලයක් විය හැකි බව විශේෂඥයින් මත පලකරනවා.

Avatar

Title:ඩුබායිහි ඇතිවූ ධාරානිපාත වර්ෂාව කෘත්‍රිම වර්ෂාවක්ද?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading