දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

මේ වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණ මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත පක්ෂ නායකයින් ලබා ගන්නා ඡන්ද ප්‍රතිශත කවරේද යන්න පිළිබඳ අනුමාන කිරීමට නොයෙකුත් සමීක්ෂණයන් විවිධ මාධ්‍ය ආයතන/සංවිධාන විසින් පසුගිය කාලය පුරාවටම සිදුකරමින් පවතින අතර ඒවා ඇසුරින් නිර්මාණය වූ සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම සංසරණය වනවා. එලෙසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් ලෙස සඳහන් කරමින් පළවූ සටහන් පෙළක සත්‍ය කරුණු සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

“UNHCR Sri Lanka වාර්තාව පැයක් යන්නත් කලින් ලීක් වේ. 2024 සජිත්ට ජය. මාලිමාවට 339%ක ඡන්ද වර්ධනයක්. මිලියන දෙකකට වැඩි ඡන්ද දායකයන් සමීක්ෂණයට. පොහොට්ටුව බිඳ වැටෙයි.” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන සමඟ යොමු කර තිබූ ලිපියේ සඳහන් වූයේ සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා ශාඛාව (United Nations High Commissioner for Refugees – Sri Lanka) විසින් සිදු කළ සමීක්ෂණයක වාර්තාව, ඔවුන්ගේ ප්‍රධාන කාර්යාලයට යොමු කිරීමටත් පෙර, පිටතට ලැබී තිබූ බවයි.

“මෙම වාර්තාව, විශ්ව විද්‍යාලයීය සිසුන් 330 දෙනෙක් විසින් දින 20ක් පුරා කල සමීක්ෂණයක් බව එහි සඳහන්. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයක්ම, සෑම මැතිවරණ ආසනයක්ම නියෝජනය කරමින් ජනතා අදහස් ලබා ගත් බවත්, සෑම ජන වර්ගයක් වගේම, සෑම වෘත්තීය භාවයන් උසුලන පුද්ගලයන්ද මෙම අදහස් විමසීමට ලක් කරන ලද බව ඔවුන් මෙම වාර්තාවේ පවසා සිටිනවා. පිටු විසි අටකින් සමන්විත මෙම වාර්තාව තුල පහතින් සඳහන් කරුණු සනාත වෙනවා.

මෙම වාර්තාවට අනුව එළැඹෙන ජනපතිවරණයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි ඔවුන් සඳහන් කරන්නේ. ඒ 36.31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී ඔහු ලබාගත් ප්‍රතිශතය 41.19%ක්. ඒ අනුව ඔවුන් 4.88%ක පසු බෑමක් පෙන්නුම් කරනවා.

ඔවුන් සමඟ කරට කර සිටිමින් ඊලඟට වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බවට ඔවුන් අදහස් කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ 34.53ක් ලබා ගනිමින්. 2019 ජනපතිවරණයේදී, පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. අද වනවිට ඔවුන් 17.72%ක දැවැන්ත පසු බෑමක් පෙන්නුම් කරනවා.

16.35%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තෙවැනි තැන රැඳී සිටින්නේ, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන එක්සත් ජාතික පක්ෂයයි.

10.59%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන සිව්වැනි තැන සිටින්නේ ජාතික ජන බලවේගයයි. පසුගිය ජනපතිවරණයේදී ඔවුන් ලබා ගත්තේ 3.16%ක ප්‍රතිපලයක්. එම ප්‍රතිපලය 2019ට සාපේක්ෂව 339%ක වර්ධනයක්.

මෙම වාර්තාවට අනුව කොළඹ, ගම්පහ, මහනුවර, මාතලේ, පොලොන්නරුව, බදුල්ල, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි ජයග්‍රහණය හිමිවන්නේ සමගි ජන බලවේගයට. ඒ වගේම නුවර එළිය, යාපනය, වන්නි, ත්‍රීකුණාමලය, දිගාමඩුල්ල, මඩකලපුව දිස්ත්‍රික්කවල ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමට නියමිතයි. කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, මොණරාගල දිස්ත්‍රික්කවල ජයග්‍රහණය හිමි කරගන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව UNHCR Sri Lanka සඳහන් කරනවා.”

අරගල News නමැති එම වෙබ් අඩවියේ පළ වූ ඉහත වාර්තාව මෙතනින්. Archived Link

එම තොරතුරු ඇතුළත් කරමින් පළව තිබු තවත් සටහනක් පහතින්.

මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසමින් අප වෙත ලැබුණු ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ කරුණු පරීක්ෂාවක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින්, මෙලෙසින් එළඹෙන ජනපති මැතිවරණය ඉලක්ක කරගනිමින් මැතිවරණය ජයග්‍රහණය සම්බන්ධ සමීක්ෂණයක් සිදු කළ බවට පරීක්ෂා කළත්, එවැනි සමීක්ෂණයක් සිදු කළ බවට සහය දක්වන කිසිදු නිල තොරතුරක් පිළිබඳ අනාවරණය නොවුණි.

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඉහත සමීක්ෂණය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා කාර්යාලය විසින් සිදු නොකළ බවත්, එය සම්පූර්ණයෙන් ම ව්‍යාජ ඉදිරිපත් කිරීමක් බවත්, දක්වමින් ඔවුන් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණේ මේ අයුරින්.

Facebook

තවද පසුගිය ජනාධිපතිවරණ වලදී මෙලෙසින් සමීක්ෂණක්, ලංකාවේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන කිසිවක් විසින් සිදු කර තිබුණේ ද යන්නයි. නමුත් එවැනි සමීක්ෂණයක් සිදු කළ බවට පිළිගත හැකි නිල තොරතුරුක් හෝ දැක ගන්නට නොලැබේ.

එසේම සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකා ශාඛාව (UNHCR Sri Lanka) විසින් විශේෂයන්ම මෑතකාලීන සිදුකෙරෙන ව්‍යාපෘති පිළිබඳව හෝ තොරතුරු දැක ගැනීමට නොලැබෙන අතර ඉහත එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවේ නිවේදනයෙන් ද දැක්වෙන්නේ ද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු කිසිවක් අවශ්‍ය නම් සිය නිල කාර්යාලය සමඟ ඊමේල් හරහා සම්බන්ධ වන ලෙසයි.

අප මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන්ගේ පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok|WhatsApp

Avatar

Title:එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂිත ප්‍රතිඵල පිළිබඳව UNHCR Sri Lanka සිදුකළ සමීක්ෂණ වාර්තාවක් ද?

Written By: Pavithra Sandamali

Result: False