දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ශ්‍රී ලංකාව තුළ, වාණිජ වැවිලි කර්මාණ්තය සහ ඒ ආශ්‍රිත ආයෝජන නිසි නියාමනයකින් තොරව, වංචා ඇතුළු අභියෝග රැසකට මුහුණ පාමින් සිටිනවා. මෙම නියාමන ගැටළු හේතුවෙන්, සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වන බොහෝ නොමඟ යවන සුළු අන්තර්ගතයන් බහුල වීම සහ බොහෝ වංචාවන් සිදුවීම හරහා, ඇතැම් කර්මාන්ත වල කීර්ති නාම පළුදු වීම් පවා සිදු වෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇතැම් නීත්‍යානුකූල ආයතනවලට පවා, වංචනික ව්‍යාපාර ලෙස වැරදි ලෙස චෝදනා කිරීම සිදු වෙනවා. එමෙන් ම, මෙම නිසි අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් සැබෑ අවංක ව්‍යාපාර පවා හානියට ලක් වීම සිදු වන අතර ආයෝජකයන් තුළ එවන් ආයතන කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීමට ඉඩ කඩ පවතිනවා. මෙය කර්මාණ්තයේ වර්ධනය අඩාල කිරීමට හේතු විය හැකියි.

සමාජ මාධ්‍ය සටහන් :

සදාහරිත වැවිලි සමාගම, මැඩගස්කරයේ වැනිලා වගාවක් පවත්වා ගෙන යනු ලබන බවට ව්‍යාජ ලෙස පෙන්වා දෙමින්, මූල්‍ය වංචාවක් සිදු කරගෙන යන බවත්, එමඟින් ආයෝජකයින් රවටා ඇති බවටත් මෑත කාලීනව පලවූ සමාජ මාධ්‍ය සටහන් චෝදනා කරනවා.

ශ්‍රී ලංකාවේ පවතින වාණිජ වැවිලි ව්‍යාපෘතියක නීත්‍යානුකූලභාවය පිළිබඳව සැකයට ලක් කරමින් මෙම සටහන් ඔස්සේ පෙන්වා දී ඇත්තේ, සදාහරිත වැවිලි සමාගම සතුව මැඩගස්කරයේ වැනිලා වගාවක් නොමැති බවයි. ඒ අනුව මෙහිදී සිදුවන වංචාව නිසා, මේ සඳහා මුදල් ආයෝජනය කළ ශ්‍රී ලාංකීය ආයෝජකයින් මූල්‍යමය පාඩු ලබනු ඇති බව මෙයින් පැහැදිළි කෙරෙනවා.

Facebook | Archived

මෙවැනි තවත් සටහන්, වෙනත් සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ද හුවමාරු කරගෙන තිබෙනවා. එම සටහන් මෙතනින් සහ මෙතනින්.

ඒ අනුව මේ පිළිබඳව කරුණු විමසා බැලීමට Fact Crescendo අප තීරණය කළා.

Fact Check (කරුණු තහවුරු කිරීම):

අපි මුලින්ම විමසා බැලුවේ සදාහරිත වැවිලිකරුවන් විසින් ක්‍රියාත්මක කළ, මැඩගස්කරයේ සදාහරිත රන් වැනිලා ව්‍යාපෘතිය සම්බන්ධ ආයෝජන සැලසුම් ආකාර පිළිබඳවයි. මෙතනින්, මෙතනින් සහ මෙතනින් දැක්වෙන පරිදි, ඔවුන්ගේ සමහර සමාජ මාධ්‍ය සටහන් පෙන්වා දෙන අන්දමට, වසර 4 – 11 දක්වා ආයෝජන සැලසුම් ඔවුන් සතු බව පෙනී යනවා.

එබැවින්, සදාහරිත රන් වැනිලා ව්‍යාපෘතිය පිළිබඳ වැඩි අවබෝධයක් ලබාගැනීම සඳහා අපි පාර්ශ්වකරුවන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගත් අතර, ඒ ආශ්‍රිත මූලාශ්‍ර කිහිපයක්ද විමසා බැලුවා.

සමාගමේ ලියාපදිංචිය:

වාණිජ වන වගාව සම්බන්ධ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන සදාහරිත වැවිලි සමාගම, සමාගම් ලියාපදිංචි කිරීමේ අංකය - PB 3579 යටතේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී තිබෙනවා. සමාගමේ ලියාපදිංචි තොරතුරු, සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ පවතින අතර, එම තොරතුරු සදාහරිත වැවිලි සමාගම විසින් සපයන ලද තොරතුරුවලට ගැලපෙනවා.

සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂතුමා :

මේ පිළිබඳ වැඩි දුර තොරතුරු විමසා බැලීම සඳහා අප සදාහරිත සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ සතිශ් නවරත්න මහතා සම්බන්ධ කර ගනු ලැබුවා.

ඒ මහතා සඳහන් කළේ,“2002 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගම, දශක 2කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන බවයි. ඔවුන් ශ්‍රී ලංකාවේ වල්ලපට්ට (Agarwood), මැහෝගනී, වැනිලා සහ අනෙකුත් වාණිජමය වශයෙන් වටිනා ශාක වගා කරනවා. මෙම සමාගම විසින් මැඩගස්කරයේ වැනිලා සහ ඔයිල් පාම් (කටුපොල්) ගස් වගා කිරීමේ ව්‍යාපෘතිය 2022 වසරේදි ආරම්භ කර ඇති අතර, එය මැඩගස්කරයේ අම්බ්‍රොහිත්‍රලනානා (Ambohitralanana) හි අක්කර 5000කට අධික භූමියක් ආවරණය කරනවා. මෙම ව්‍යාපෘතිය සඳහා සදාහරිත වැවිලි සමාගම, මැඩගස්කරයේ ලියාපදිංචි වී ඇති අතර, ඒ Sadaharitha Plantation Madagascar Limited (සදාහරිත වැවිලි මැඩගස්කර් සමාගම) යන නමින්” එමෙන්ම එහි සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් යවා ඇති බවද ඔහු සඳහන් කළා.

නවරත්න මහතා මෙම වගාව සඳහා මැඩගස්කරයේ ලියාපදිංචිය සිදු කෙරුණු ලියාපදිංචි ලේඛන ද අප වෙත ලබා දුන්නා. මැඩගස්කර් වතු යායේ වැනිලාවලට අමතරව කටුපොල් හෙවත් ඔයිල් පාම් ශාකයද වගා කෙරෙන බව ද පවසා සිටියා.

එමෙන්ම, 2022 දී සදාහරිත වැවිලි සමාගම සිය 20 වන සංවත්සරය සනිටුහන් කරන අවස්ථාවේදී , ඔවුන් පිළිබඳව පළ කරන ලද පුවත් ලිපියක, මෙම මැඩගස්කරයේ සිදු කෙරෙන වැනිලා සහ ඔයිල් පාම් වගාවක් වෙත ආයෝජනය පිළිබඳවත් සඳහන් කර තිබුණා. එම ලිපිය මෙතනින්. Archived Link

මැඩගස්කරයේ වැනිලා වගා කෙරීම විශේෂ වන්නේ ඇයි?

මැඩගස්කර් වැනිලා ලෝකයේ ඉහළම තත්ත්වයේ වැනිලාවලින් එකක් ලෙස සැලකෙනවා. මෙය එහි ඇති ඉතා අනර්ඝ සහ උකු රසය සහ ඒවාගේ මල් හා පළතුරුවල ඇති ඉහළ සුවඳ නිසා ඉතා ප්‍රසිද්ධයි. මැඩගස්කරයේ ඇතිවන නිරන්තර වර්ෂාපතනය සහ පාංශු තත්ත්වයන් සහිත, ආවේණික උණුසුම් සහ තෙතමන තත්ත්වයක් පවතින නිවර්තන දේශගුණය වැනිලා වගාව සඳහා ඉතාම සුදුසු පරිසර තත්ත්වයන්. සාමාන්‍යයෙන් පැළ සිටුවා වසර 3කට පමණ පසු වැනිලා වගාවේ පළමු අස්වැන්න ලබාගැනීමට පටන් ගත හැකියි. වැනිලා නිශ්පාදනය වසර 12-14ක් පමණ කාලයක් අඛණ්ඩව කරගෙන යා හැකියි. වැඩි විස්තර මෙතනින්.

සදාහරිත වැවිලි මැඩගස්කර් සමාගමේ සේවකයෙක්:

මැඩගස්කරයේ ඇති, සදාහරිත සමාගමේ වැනිලා වගාවන්වල වත්මන් මෙහෙයුම් සමබ්න්ධයෙන් වැඩිදුර විස්තර ලබාගැනීමට අප විසින් දැනට මැඩගස්කරයේ පදිංචිව සිටිය මෙම සමාගම යටතේ සේවය කරන, ශ්‍රී ලාංකික විධායක නිලධාරියෙකුව සම්බන්ධ කරගනු ලැබුවා.

මෙම ව්‍යාපෘ තියට අදාල පළමු වැනිලා වගාවේ අස්වැන්න තවත් වසර එක හමාරක පමණ කාලයක් තුළදී ලබාගෙන, එය නිෂ්පාදනය සඳහා යොමු කිරීමට අපේක්ෂා කරගෙන සිටින බව ඔහු පෙන්වා දුන්නා. මෙය සදාහරිත සමාගමෙන් සිදුකරන ලද ප්‍රවර්ධනයන්ගේ සඳහන් පරිදි, ආයෝජන සඳහා ඇති අවම ප්‍රතිලාභ කාලය (වසර 4ක්, 2022 සිට 2026 වසර දක්වා) සමඟ අනුපාත වෙනවා.

මෙම ව්‍යාපෘතියේ ශ්‍රම බලකායෙන් බහුතරයක් මැඩගස්කර් ජාතිකයින්ගෙන් සමන්‍විත වන බවත්, ඒ අනුව ශ්‍රී ලාංකිකයින් 13ක් පමණ මෙහි මැඩගස්කර් දේශීය ජනතාව 80ක පමණ ප්‍රමාණයක් සමඟ මෙහි කටයුතු කරන බව විධායන නිලධාරීතුමා පෙන්වා දුන්නා.

මැඩග්ස්කරයේ ඇති සදාහරිත වැවිලි සමාගමේ වගාබිමේ ඡායාරූප:

පහත දැක්වෙන්නේ මැඩගස්කරයේ වැනිලා වගාවේ වීඩියෝවක්.

http://srilanka.factcrescendo.com/english/wp-content/uploads/2024/05/WhatsApp-Video-2024-05-29-at-16.50.22.mp4

ඉහත දර්ශනවල නිෂ්පාදන පහසුකම් කිසිවක් නොපෙනෙන නිසා, අපේක්ෂිත අස්වැන්න සඳහා නිෂ්පාදන සැකසුම පිළිබඳව අපි විමසා සිටියා. එවිට විධායක නිලධාරීතුමා පැවසුවේ අනාගතයේදී ඔවුන්ගේම නිෂ්පාදන මධ්‍යස්ථනයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවයි.

අප විසින් මැඩගස්කරයේ සදාහරිත වැවිලි සමාගමේ මැඩගස්කර් නියෝජිතවරයාද සම්බන්ධ කරගත් අතර, ඔහු තොරතුරු සනාථ කරමින් පැවසුවේ සම්පූර්ණ භූමි අක්කර 5000ක් පමණ මෙම වගාව මඟින් ආවරණය වන බවයි. මෙයින් අක්කර 3500ක් පමණ ඔයිල් පාම් (කටුපොල්) වගාව සඳහා යොදවා ඇති අතර, ඉතිරියෙන් අක්කර 600-700ක් අතර භූමි ප්‍රමාණයක් දැනට වැනිලා වගාව සඳහා යොදාගෙන තිබෙනවා. වැනිලා වගාවේ පළමු අදියර 2022 මැද භාගයේදී ආරම්භ වූ අතර, පළමු අස්වැන්න 2025 වසරේ අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. පළමු අස්වැන්නෙන් පසු, වැනිලා ශාකවල සාමාන්‍ය ආයු කාලය වන වසර 11-12 දක්වා කාලය දක්වා වාර්ෂිකව අස්වැන්න ලබා ගත හැකි බවටත් ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව 2022දී ආයෝජනය කළ ආයෝජකයින්ට 2026 වසර වන විට, පොරොන්දුවූ ආදායම ලබා ගත හැකිවනු ඇති බවට එම නියෝජිතයා සඳහන් කරනු ලැබුවා.

පිහිටීම මඟින් තහවුරු කිරීම:

Google Maps සහ Google Earth භාවිත කරමින් මෙම වගාව සිදු කර ඇති බවට සඳහන් කළ මැඩගස්කරයේ Ambohitralanana පිහිටීම පරීක්ෂා කළ අතර Ambohitralanana යනු සාවා (Sava) කලාපයේ අන්ටලාහා (Antalaha) දිස්ත්‍රික්කයේ කොටසක් වන, උතුරු මැඩගස්කරයේ නගරයක් සහ කොට්ඨාසයක් බව තහවුරු වුණා.

Google Maps හි තොරතුරු දැක්වීමට අනුව සදාහරිත වැවිලි මැඩගස්කර් සමාගම පිහිටා ඇත්තේ අන්ටලාහා (Antalaha) දිස්ත්‍රික්කයේ Ambohitralanana ප්‍රදේශයේ වන අතර, එම පිහිටීම පහත සලකුණු කොට දක්වා තිබෙනවා.

සදාහරිත සමාගමේ වෙබ් අඩවිය පවසන්නේද ඔවුන් අක්කර දහස් ගණනක් ආවරණය වන පරිදි වැනිලා වගාවක් සඳහා ආයෝජනය කර ඇති බවයි. මෙම වගාවේදී එහි රසය සහ සුවඳ සඳහා සුවිශේෂී වන උසස් තත්ත්වයේ කාබනික වැනිලා වගාවක් පවත්වා ගෙන යාම කෙරෙහි විශේෂයෙන් අරමුණු කරගෙන තිබෙනවා. එමෙන්ම, වැනිලා නිෂ්පාදනයේ තිරසාර බව සහ ඉහළම ගුණාත්මක බව සහතික කිරීම සඳහා දැඩි මාර්ගෝපදේශ යටතේ වගාව කලමනාකරණය කෙරෙනවා. මෙහි වෙබ් සටහන මෙතනින් කියවන්න.

දේශීය බලධාරීන්ගෙන් සිදුකළ විමසීම්:

පොලිස් මාධ්‍ය කොට්ඨාශය: සදාහරිත වැවිලි සමාගම විසින් සිදුකෙරෙන මැඩගස්කර් ව්‍යාපෘතිය ඔස්සේ සිදු කෙරෙන මූල්‍ය වංචාවක් පිළිබඳව මෙතෙන් ශ්‍රී ලංකා පොලිසියට කිසිඳු පැමිණිල්ලක් ලැබී නැහැ.

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL):

ශ්‍රී ලංකා මහ බැංකුව වැවිලි ව්‍යාපෘති හෝ ඒ ආශ්‍රිත ආයෝජන නියාමනය නොකරන බවත්, “Plantation” (වගාවන්) යන නම යටතේ කිසිඳු ආයතනයක් මහ බැංකුවේ ලියාපදිංචි වී නැති බවත් මහ බැංකුවේ ප්‍රකාශිකාව පැවසුවා.

විශේෂයෙන්, පිරමීඩ යෝජනා ක්‍රම සම්බන්ධයෙන් අතීතයේදී ඇති වූ ගැටලු සැලකිල්ලට ගෙන, වැවිලි ආකාරයේ ආයෝජන ක්‍රමවල අවදානම් බව පිළිබඳව එතුමිය අනතුරු ඇඟවූ අතර, මෙවැනි ආයෝජන මහ බැංකු නියාමනයට යටත් කිරීම සඳහා දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බවද සඳහන් කළා.

සැ.යු: මෙම කරුණු පරික්ෂාවේදී අප විමසා බලා ඇත්තේ මැඩගස්කරයේ ඇති සදාහරිත වැනිලා වැවිලි ව්‍යාපෘතිය පිළිබඳව පමණක් වන අතර, එය ශ්‍රී ලංකාව තුළ පවතින ඔවුන්ගේ අනෙකුත් ව්‍යාපෘති හා සම්බන්ධ නොවේ.

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

සදාහරිත වැවිලි සමාගම විසින් මැඩගස්කරයේ වැනිලා වගා ව්‍යාපෘතිය සමබන්ධයෙන් මූල්‍යමය වංචාවක් සිදුකරන බවට සිදුකෙරෙන ප්‍රකාශයන් සනාථ කිරීම ප්‍රමාණවත් තරම් සාධක මැහැ. මෙම සමාගම නිල වශයෙන් ලියාපදිංචි වූ සමාගමක් වන අතර ඊට අදාල ලියකියවිලි සහ ඊට අදාළ සාක්ෂි ලබා දී තිබෙනවා. එමෙන්ම භූගෝලීය වශයෙන්ද අදාල වතුයායේ පිහිටීම තහවුරු කරන අතර, සමාගමේ නිල වෙබ් අඩවිය ඔස්සේ ව්‍යාපෘතියේ නීත්‍යානුකූලභාවය සහ ගුණාත්මක බව පෙන්වීමට දායක වී තිබෙනවා.

මීට අමතරව, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට කිසිඳු පැමිනිල්ලක් ලැබී නැති අතර, 2022දී ආරම්භ කරන ලද ව්‍යාපෘතිය සඳහා අවම ආයෝජන කාලය වන වසර 4ක්, 2026 වන විට කල් පිරීමට නියමිතයි. ඒ වන විට පොරොන්දු වූ ලාභය ආයෝජකයින් වෙත ලබාදිය හැකි බවට සමාගම පවසා සිටිනවා.

කෙසේවෙතත්, විභව ආයෝජකයන් වැවිලි ආකාරයේ ආයෝජනවල අදාල ආයෝජන සැලසුම්වලට යොමුවීමට පෙර, ප්‍රවේශම් විය යුතු අතර, නිසි සැලකිල්ලකින් සිදු කළ යුතුයි. මෙවැනි ආයතන කිසිවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ඒවා බව සැලකිල්ලට ගැනීම වැදගත්.

Avatar

Title:සදාහරිත වැවිලි සමාගමේ මැඩගස්කරයේ වැනිලා ව්‍යාපෘතිය පිළිබඳ පැහැදිලි කිරීමක්!

Fact Check By: Fact Crescendo Team

Result: Misleading