ඉතිහාසය පුරා ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයන් විශාල පිරිසක් තරග කළත්, බොහෝ අවස්ථාවල එය ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනකුගේ තරගයක් බවට පමණක් පත්වෙනවා.

ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ මනාප අනුපිළිවෙල ක‍්‍රමයක් යටතේ යි. මේ අනුව, ඡන්ද දායකයකුට තමන් කැමති එක් අපේක්ෂකයකුට හෝ තමන් කැමති අනුපිළිවෙලට අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ලබා දිය හැකි ය.

ඔබට අවශ්‍ය නම් එක් අපේක්ෂකයකුට පමණක් කතිරයක් ගසා මනාපය ලබා දීමට හැකි අතර, අපේක්ෂකයන් තුන් දෙනෙකු හෝ වැඩි ගණනක් හෝ ඉදිරිපත් වූ විට, අවශ්‍ය නම් 1, 2, 3 ලෙස තමන්ගේ කැමැත්තේ අනුපිළිවෙලට, අපේක්ෂකයින් තිදෙනෙකුට ඡන්දය ලබා දිය හැකියි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා මෙවර අපේක්ෂකයින් 39 දෙනෙකු නාමයෝජනා පත්‍ර දී ඇති අතර ඔවුන් සැප්තැම්බර් 21 වන දා තරඟ වදිනු ලබන්නේ ඉතිහාසයේ ඉදිරිපත් වුණු වැඩිම දිගම ඡන්ද පත්‍රිකාව යටතේයි.

මෙවන් තත්වයක් යටතේ, සැබවින්ම මේ සා විශාල අපේක්ෂකයින් සංඛ්‍යාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඔවුන්ගෙන් බොහොමයක් ලබාගන්නා ඉතා සුළු ඡන්ද ප්‍රමාණයන් ගැන විග්‍රහයක යෙදිම කාලෝචිත කරුණක්.

මේ සඳහා අප පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂක ලෙස තරඟ වැදුණු අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිශත වෙත අවධානය යොමු කෙරේ.

ජනාධිපතිවරණය - 1982 (ප‍්‍රථම)

ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 81ට වැඩි පිරිසක් මෙහිදී ඡන්දය භාවිත කළ අතර, අපේක්ෂකයන් හය දෙනක් ඉදිරිපත් වූහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ ජේ.ආර් ජයවර්ධන 52.91%ක ප‍්‍රතිශතයක් ලබාගෙන ඡන්දය ජයග‍්‍රහණය කරමින් ශ‍්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දුන්නේය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ හෙක්ටර් කොබ්බෑකඩුවට ලබා ගත හැකි වූයේ 39.07%ක ඡන්ද ප‍්‍රතිශතයකි. ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ඡන්ද 273,428ක් ලබා ගත්තේය. එය ප‍්‍රතිශතයක් වශයෙන් 4.19%කි.

සමස්ත ලංකා දෙමළ කොංග‍්‍රසය නියෝජනය කළ කුමාර් පොන්නම්බලම් 2.67%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබූ අතර, ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු කොල්වින් ආර්.ද සිල්වා සහ නව සමසමාජ පක්ෂය නියෝජනය කළ වාසුදේව නානායක්කාර ද සුළු ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්හ. වැඩිදුර තොරතුරු මෙතනින්

ජනාධිපතිවරණය - 1988

ජනපති සටන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස 50.43%ක් ලබාගෙන එවර මැතිවරණය ජයග‍්‍රහණය කළේය. ප‍්‍රතිවාදීන් වන සිරිමාවෝ බණ්ඩාරනායක 44.95% ඡන්ද ප‍්‍රතිශතයක් ද සහ ඔස්වින් අබේගුණසේකර 4.63%ක් ද ලබා ගත්හ.

ලියාපදිංචි ඡන්ද දායකයන්ගෙන් 55.32% ක් පමණක් එවර ඡන්දය භාවිත කළහ. රට පුරා ඇවිළී ගිය භීෂණය මෙයට හේතු වූ අතර, අඩුම පිරිසක් ඡන්දය භාවිත කළ ජනාධිපතිවරණය ලෙස එය ඉතිහාසගත විය. වැඩිදුර තොරතුරු මෙතනින්

ජනාධිපතිවරණය - 1994

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඡන්ද 47,09,205ක් ලබා ගත් අතර, එය ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 62.28%කි. එය මෙතෙක් ජනපතිවරණ ඉතිහාසයේ වාර්තාවක් ලෙස සටහන් වේ.

මේ දක්වා පැවති ජනාධිපතිවරණ ජයග‍්‍රහණ කළ අපේක්ෂකයන් කිසිවෙකුත් 60% ඡන්ද ප‍්‍රතිශතය ඉක්මවා යෑමට සමත් වූයේ නැත. එමෙන්ම ජනපති සටනට ප‍්‍රථම වතාවට කාන්තාවන් ඉදිරිපත් වූයේ ද 1994 ජනාධිපතිවරණයේදී ය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරග වැදුණු ශ‍්‍රීමා දිසානායක ඡන්ද 27,15,283ක් ලබාගත් අතර, එය ප‍්‍රකාශිත ඡන්ද ප‍්‍රමාණයෙන් 35.91%කි. මෙහි දී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ හඞ්සන් සමරසිංහට ලබා ගැනීමට හැකි වූයේ 0.78%ක් වැනි ඉතා අඩු ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. වැඩිදුර තොරතුරු මෙතනින්

සිංහලයේ මහාසම්මත භූමිපුත‍්‍ර පක්ෂයෙන් තරග වැදුණු හරිශ්චන්ද‍්‍ර විජයතුංග ඡන්ද 0.43%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අතර, ස්වාධීන අපේක්ෂකයෙකු වන ඒ.ජේ.රණසිංහ සහ ශ‍්‍රී ලංකා ප‍්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරමින් ජී.ඒ. නිහාල් (නිහාල් ගලප්පත්ති)0.30% බැගින් ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත්හ. එවර ප‍්‍රධාන පක්ෂවලින් තරග වැදුණු අපේක්ෂකයන් දෙදෙනා සහ අනෙකුත් අපේක්ෂකයන් අතර විශාල ඡන්ද පරතරයක් දක්නට ලැබිණි.

ජනාධිපතිවරණය - 1999

1999 දෙසැම්බර් 21 පැවැති ජනාධිපතිවරණයෙන් චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග 51.12%ක ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් අතර, එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක රනිල් වික‍්‍රමසිංහ ලබා ගත්තේ 42.71%ක් පමණි.

ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලකට 4.08%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලැබුණ අතර, අන් කිසිදු අපේක්ෂකයෙකුට 1% ඡන්ද ප‍්‍රතිශතය පසු කිරීමට නොහැකි විය. වැඩිදුර තොරතුරු මෙතනින්

ජනාධිපතිවරණය - 2005

නියමිත කාලයට වසරකට පෙරාතුව ජනාධිපතිවරණය පැවැත්වීම නිසා, සිය දෙවෙනි ධූර කාලයට එය එකතු විය යුතු බව පවසමින් චන්ද‍්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළාය. නමුත්, පෙත්සම නිශ්ප‍්‍රභ කළ අධිකරණය මැතිවරණය පැවැත්වීමට ක‍්‍රියා කරන ලෙස තීන්දුවක් ප‍්‍රකාශ කළේය.

එවර ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් රනිල් වික‍්‍රමසිංහ තරග වැදුණු අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ෆෙඩරල් ක‍්‍රමයක් ප‍්‍රතික්ෂේප කිරීම සහ එල්ටීටීඊ සංවිධානය සමග නැවත සාම ගිවිසුමක් සඳහා සාකච්ඡා පැවැත්වීමේ පොරොන්දු මත ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමය ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී මහින්ද රාජපක්ෂට සහය ලබා දුන්හ.

මේ අතර ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය සහ වතුකරය නියෝජනය කරන දෙමළ පක්ෂ රනිල් වික‍්‍රමසිංහට සහය පළ කළහ.

ඉතා තියුණු තරගයක් වූ මෙම මැතිවරණයේ, “මහින්ද චින්තන” ප‍්‍රතිපත්ති මාලාව ද එළිදක්වමින් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය ලැබුවේ 50.29%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගනිමින්. රනිල් වික‍්‍රමසිංහ 48.43%ක ප‍්‍රතිශතයක් ලබා ගත් අතර, තෙවෙනි අපේක්ෂකයා වන එක්සත් සමාජවාදී පක්ෂයේ සිරිතුංග ජයසූරියට ලබා ගත හැකි වූයේ 0.36%ක ඡන්ද ප‍්‍රතිශතයක් පමණි. එමෙන්ම, පිළිවෙළින් 4, 5 ස්ථාන ලබාගත් අශෝක සුරවීර 0.32% , වික්ටර් හෙට්ටිගොඩ 0.15% යන ඡන්ද ප‍්‍රතිශත ලබා ගෙන තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්

ජනාධිපතිවරණය - 2010

2009 වන තෙක් පැවති දරුණු සටන්වලින් පසු එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමට රටෙහි සේනාධිනායක වූ මහින්ද රාජපක්ෂට හැකි වීම නිසා, ඔහු අතිශය ජනප‍්‍රියත්වයට පත් වී සිටියේය. මේ හේතුවෙන් නියමිත ධුර කාලයට වසරකට පෙර මහින්ද රාජපක්ෂ නැවත ජනාධිපතිවරණයක් කැඳවීය. එවර විපක්ෂ කිහිපයක එකතුවෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද ලබමින් හිටපු හමුදාපති ජෙනරල් (එවක) සරත් ෆොන්සේකා හංසයා ලකුණෙන් පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට ඉදිරිපත් විය.

යුද ජයග‍්‍රහණ සඳහා උර දුන් ප‍්‍රධාන පුද්ගලයන් අතරින් දෙදෙනෙකු ඉදිරිපත්වීම නිසා මැතිවරණය පෙර සිතුවාට වඩා උණුසුම් විණි. කෙසේවෙතත්, 57.88% ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ඉතා පහසුවෙන් ජයග‍්‍රහණය කළේය. මෙතෙක් සිටි සෑම ජනපතිවරයෙකුටම සිය පළමු ධූර කාලයට වඩා දෙවැනි ධූර කාලවලදී ලබන ඡන්ද ප‍්‍රතිශතය අඩු වීමක් දක්නට ලැබුණ ද, මෙවර එහි වෙනසක් සිදු වීය. ජෙනරල් සරත් ෆොන්සේකා 40.15%ක් ඡන්ද ප‍්‍රතිශතයක් ලබද්දී තෙවෙනියා වශයෙන් ද මොහොමඞ් කාසීම් මොහොමඞ් ඉස්මයිල් නමැති අපේක්ෂකයාට හිමි වූයේ 0.38%ක ඡන්ද ප‍්‍රතිශතයකි. එමෙන්ම, පිළිවෙළින් 4, 5 ස්ථාන ලබාගත් අචල අශෝක සුරවීර 0.25% , චන්න ජනක සුගත්සිරි ගමගේ 0.22% යන ඡන්ද ප‍්‍රතිශත ලබා ගෙන තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්

2010 ජනාධිපතිවරණයේදී රටේ සමස්ත ඡන්ද භාවිතයේ ප‍්‍රතිශතය 74% ක්‌ වුවත් යාපනය හා වන්නි දිස්‌ත‍්‍රික්‌කවල ඡන්ද භාවිතයේ ප‍්‍රතිශතය පිළිවෙළින් 25.66% ක්‌ 40.33% ක්‌ විය. එම ප‍්‍රදේශවල ජනතාව යුද්ධයේ ප‍්‍රතිඵලයක්‌ ලෙස අවතැන්ව සිටීම සහ හැඳුනුම්පත් නොමැතිකම ඊට හේතු විය.

අපේක්ෂකයන් 22ක් ඉදිරිපත්වූ අතර, මෙතෙක් කල් වැඩිම පිරිසක් තරග වැදුණු ජනාධිපතිවරණය බවට එය සටහන්ව තිබිණි. මහින්ද රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා හැර සෙසු අපේක්ෂකයන් සියලූදෙනාටම ලබාගත හැකි වූයේ ප‍්‍රතිශතයක්‌ වශයෙන් 1.97% ක් පමණි.‌ මේ හේතුවෙන් එම අපේක්‌ෂකයන් 20 දෙනාගේම ඇප මුදල් රාජසන්තක විය.

ජනාධිපතිවරණය - 2015

නැවත වරක් සිය ධූර කාලය දීර්ඝ කර ගැනීමේ බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් කැඳවීය. ඔහු ඉදිරිපත් වූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමිනි.

නමුත්, මෙවර ද එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක එකතුවකින් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළේය. මහින්ද රාජපක්ෂ පාලනයේ සෞඛ්‍ය ඇමති සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව සිටි මෛත‍්‍රීපාල සිරිසේන එම අපේක්ෂකයා විය.

ප‍්‍රබල තරගයකින් පසු මෛත‍්‍රීපාල සිරිසේන ඡන්ද 62,17,162ක් ලබා 51.28% ක ප‍්‍රතිශතයකින් ජනාධිපතිවරණය ජය ගත්තේය. “යහ පාලන ආණ්ඩුවක්” ලබා දීම ඔහුගේ ප‍්‍රධාන මැතිවරණ සටන් පාඨය විය. මහින්ද රාජපක්ෂට හිමි වූයේ 47.58%ක ඡන්ද ප‍්‍රතිශතයකි. එමෙන්ම, පිළිවෙළින් 3, 4, 5 ස්ථාන ලෙස ඒ.ආර් සිරිසේන 0.15% , නාමල් රජපක්ෂ 0. 13% හා ඉබ්‍රහිම් මිෆ්ලර් - 0.12% යන ඡන්ද ප‍්‍රතිශතය ලබා ගෙන තිබේ. අපේක්ෂකයන් 19 දෙනෙකු තරග වැදුණු එම ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටි දෙදෙනා හැර අන් කිසිවෙකුටත් 0.15% සීමාව පසු කිරීමට නොහැකි විය. වැඩිදුර තොරතුරු මෙතනින්

ජනාධිපතිවරණය - 2019

2019 ප‍්‍රතික්ෂේපිත වූ ඡන්ද ගණනද සුළුපටු නොවූ අතර එය ඡන්ද 135,452ක් වූයේය. ප‍්‍රතිශතයක් වශයෙන් එය 0.857%ක් විය. සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 15,992,096ක් වුවද ඡන්දය ප‍්‍රකාශ කළේ 13,387,951 දෙනෙකි. එය ප‍්‍රතිශතයක් හැටියට 83.72%ක ඉහළ අගයක් ගත්තේය.

ඇතැම් නම් ඡන්දයට ලියාපදිංචි කළේ අපේක්‍ෂකයන් වශයෙන් ඇතුළත් කළේ ප‍්‍රධාන පක්ෂවල අපේක්‍ෂකයාගේ නම, නාමයෝජනා භාර ගැනීමේදී අනපේක්ෂිත ලෙස ඉවත් වුවහොත් විකල්පයක් හැටියටය. තවත් අපේක්‍ෂකයන් ඉදිරිපත් වූයේ තම නාමය තරග ඉතිහාසයට එක්කර ගන්නා අටියෙන්ය. තවත් සමහරු ප‍්‍රධාන විරුද්ධවාදියා යැයි සිතන අපේක්‍ෂකයාගේ ඡන්ද කඩන්නට ඉදිරිපත් වූවෝ, ඒ අතර ඡන්ද ප‍්‍රතිඵලය තමන්ට වාසිදායක ලෙස හදාගත හැකි වන තුරුම්පු අපේක්‍ෂකයෝද වූහ. සියලූම අපේක්‍ෂකයන්ගේ ගණන 35ක් විය.

ජනාධිපතිවරයා ලෙස තේරීපත්වූ ගෝඨාභය රාජපක්ෂ වලංගු සමස්ත ඡන්ද ප‍්‍රමාණයෙන් 52.25%ක් ලබාගෙන ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරද්දී ඔහුගේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා වූ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වලංගු ඡන්ද ප‍්‍රමාණයෙන් ලබාගත්තේ 41.99%ක් පමණි. ජනාධිපතිවරණයේ තුන් වැනි ස්ථානය ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායකට ලබාගත හැකිවුයේ වලංගු සමස්ථ ඡන්ද ප‍්‍රමාණයෙන් 4.2%ක් පමණි. පිළිවෙළින් 4, 5 ස්ථාන ලෙස මහේෂ් සේනානායක 0. 39% , එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ් 0. 29% යන ඡන්ද ප‍්‍රතිශතය ලබා ගෙන තිබේ. වැඩිදුර තොරතුරු මෙතනින්

ජනාධිපතිවරණය ආසන්න වන විට තව තවත් අපේක්‍ෂකයන් ඊට එක්වනු ඇති අතර ඒ හැමදෙනාද කිසියම් සුළු හෝ ඡන්ද ප‍්‍රමාණයක් ලබාගනු ඇත. එය මෙතෙක් සිදුව තිබෙන ආකාරය අනුව මෙය තවදුරටත් විග‍්‍රහ කරගත හැකිය.

2019 අවසන් වරට පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්‍ෂකයන් විමසා බැලූ විටද එය වටහා ගත හැකිය. ඊට ඉදිරිපත් වූ අපරැක්කේ පඤ්ඤානන්ද හිමි, එස්. අමරසිංහ ඉද්දිස් මොහොම්මදු ඉල්ලියාස්, ඒ. එච්. එම්. අලවි, පිළිවෙළින් ස්වාධීන 1 සිට 4 යටතේ ඉදිරිපත් වූහ. එසේම ආරියවංශ දිසානායක, ඒ. එම්. එදිරිසිංහ, සරත් කීර්තිරත්න, කෝරලගේ සමන්සිරි, සිරිතුංග ජයසූරිය, අජන්තා ද සොයිසා, අරුණ ද සොයිසා, දුමින්ද නාගමුව, රොහාන් පල්ලෙවත්ත, ජයන්ත කැටගොඩ, සමන් පෙරේරා, අනුරුද්ධ පොල්ගම්පොළ, මිල්රෝයි ප‍්‍රනාන්දු, බත්තරමුල්ලේ සීලරතන හිමි, බද්දෙගමගේ නන්දිමිත‍්‍ර, සරත් මනමේන්ද‍්‍ර, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්.ඒ. එම්. හිස්බුල්ලා, නාමල් රාජපක්‍ෂ, ඒ. එස්. පී. ලියනගේ, අශෝක වඩිගමංගාව, පියසිරි විජේනායක, අජන්තා පෙරේරා, රජීව් විජේසිංහ, සමරවීර වීරවන්ති, සුබ‍්‍රමනියම් ගුණරත්නම්, මහේෂ් සේනානායක යන නම් යටතේ විවිධ අරමුණු වෙනුවෙන් අපේක්‍ෂක ලැයිස්තු පිරී ගිය අතර ඒ සියලූ දෙනාගේම ඡන්ද අපතේ යන තරමේ නොවැදගත් සංඛ්‍යාවක්ම වූයේය.

ශ‍්‍රී ලාංකිකයන් නැවතත් ජනාධිපතිවරණයකට සූදානම් වෙමින් සිටිති. පසුගිය ජනාධිපතිවරණ හතේදීම ජයග‍්‍රහණය කළ පුද්ගලයා 50%ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ඇත. එසේ නොවුවහොත් දෙවෙනි ස්ථානය දිනාගත් අපේක්‌ෂකයාගේ සහ සෙසු අපේක්‌ෂකයන්ගේ දෙවැනි මනාපය ගණන් කළ යුතුව තිබිණි.

ජනාධිපතිවරණයජයග්‍රාහකයා සහ ප්‍රතිශතය2 වැනියා සහ එම ප්‍රතිශතය3 වැනියා සහ එම ප්‍රතිශතය4 වැනියා සහ එම ප්‍රතිශතය5 වැනියා සහ එම ප්‍රතිශතයඉතිරි අපේක්ෂකයින්ගේ ප්‍රතිශයන්ගේ එකතුව
2019ගෝඨාභය රාජපක්ෂ -52.25%සජිත් ප්‍රේමදාස - 41.99%අනුර කුමාර දිසානායක - 4.2%මහේෂ් සේනානායක - 0. 39%එම්.එල්.ඒ එම් හිස්බුල්ලාහ් - 0. 29%0.88%
2015මෛත‍්‍රීපාල සිරිසේන - 51.28%මහින්ද රාජපක්ෂ - 47.58%ඒ.ආර් සිරිසේන - 0.15%නාමල් රජපක්ෂ - 0. 13%ඉබ්‍රහිම් මිෆ්ලර් - 0.12%0.74%
2010මහින්ද රාජපක්ෂ - 57.88%ජෙනරල් සරත් ෆොන්සේකා - 40.15%මොහොමඞ් කාසීම් මොහොමඞ් ඉස්මයිල්හිමි -0.38%අචල අශෝක සුරවීර - 0.25%චන්න ජනක සුගත්සිරි ගමගේ - 0.22%1.12%
2005මහින්ද රාජපක්ෂ - 50.29%රනිල් වික‍්‍රමසිංහ -48.43%සිරිතුංග ජයසූරිය - 0.36%අශෝක සුරවීර - 0 .32%වික්ටර් හෙට්ටිගොඩ - 0.15%0.45%

මෙවර ද ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙකු තරඟ වදින අතර එසේම අපේක්ෂකයන් වැඩිවීමෙන් ඡන්ද ක‍්‍රියාවලියේ සංකීර්ණභාවය ඉහළ යා හැකි අතර ඡන්ද ගණන් කිරීම සඳහා ද විශාල කාලයක් ගත විය හැකි ය.

කිසිඳු අපේක්ෂකයෙකු ප‍්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 50%ක ප‍්‍රතිශතයක් ඉක්මවා ඡන්ද ලබා නොගතහොත් නැවත දෙවන හා තුන්වන මනාප ගණන් කිරීමට ද නිලධාරීන්හට සිදුවනු ඇත.

1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය සියයට 4.08කි.

ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.

ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ 2.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණී.

ඒ අනුව 2%ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින් සියලුදෙනාගේම ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.

ඇප මුදල් වැඩි කිරීම

2023 වර්ෂයේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා වැඩි කිරීමට මීට පෙර රජය යෝජනා කර තිබුණා. පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු දැනට තැන්පත් කළ යුතු රු.50,000ක ඇප මුදල රු. ලක්ෂ 26 දක්වා ද, ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු රු.75,000ක ඇප මුදල රු. ලක්ෂ 31 දක්වා ද වැඩි කිරීමටයි රජය යෝජනා කළේ.

පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රු. ලක්ෂ 26 ක මුදලින් රු. ලක්ෂ 25ක් ආපසු ගෙවන මුදලක් ලෙස ද ඉතිරි රු. ලක්ෂය ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස ද තැන්පත් කිරීමට එහි සඳහන් වී තිබුණා.

මේ අතර ස්වාධීන අපේක්ෂකයකු තැන්පත් කළ යුතු බවට යෝජනා කර ඇති රු. ලක්ෂ තිස් එකක මුදලින් රු. ලක්ෂ 30 ක් ආපසු ගෙවන ඇප මුදලක් ලෙස ද, ඉතිරි රු. ලක්ෂයක මුදල ආපසු නොගෙවන ඇප මුදලක් ලෙස ද තැන්පත් කිරීමට යෝජනා කර තිබේ. මේ අතර ,පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල ද ඉහළ දැමීමට එම යෝජනා වල සඳහන්.

ඒ අනුව, පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමක් දැනට නොකෙරෙන අතර, පාර්ලිමේන්තු මැතිවරණයට පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයන් රු. 10,000ක මුදලක් ද, පළාත් සභාවට ඉදිරිපත් වන අපේක්ෂකයකු රු. 5000ක මුදලක් සහ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකු රු. 2000 ක මුදලක් ද ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවට යෝජනා කර තිබුණි. ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

2024 වසරේ අප්‍රේල් 09 වන දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති බන්දුල ගුණවර්ධන මහතා විසින් මැතිවරණ සඳහා ඇප තැන්පත් මුදල් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන් කළා. ඒ සම්බන්ධයෙන් පළ වූ පුවත් වාර්තා මෙතනින් සහ මෙතනින්.

එමෙන් ම, මැතිවරණ සඳහා තැන්පත් කෙරෙන ඇප තැන්පතු මුදල් අසීමිත ලෙස ඉහළ දැමීමට රජය තීරණය කිරීමෙන් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ව්‍යවස්ථාවෙන් ඡන්ද අපේක්‍ෂකයන්ට ලබාදී ඇති අයිතිය උල්ලංඝනය වන බව පවසමින් ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වූ නමුත් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් සංශෝධනයක් සිදුවූයේ නැත. මෙවරද, ජානාධිපතිවරණය සඳහා තැම්පත් කරන ඇප මුදල 1981 දී තීරණය කළ අගයයි.

අපේක්ෂකත්වය සඳහා තැන්පත් කරන ඇප මුදල් ප‍්‍රමාණය අඩුවීම මෙලෙස අපේක්ෂකයන් විශාල ප‍්‍රමාණයක් වෙනත් හේතුමත ජනාධිපතිවරණයට තරග කිරීම හේතුව බවට බොහෝ අය පෙන්වා දී තිබෙනවා.