
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සෑම වසරක ම නොවැම්බර් මාසය මහවිරු මාසය ලෙස හඳුන්වන අතර, නොවැම්බර් 21 වන දා සිට නොවැම්බර් 27 වන දා දක්වා මහවිරු සතිය ලෙස නම් කරමින් මහවිරු සැමරීම පවත්වනු ලබනවා. යුද්ධයේදී මියගිය විරුවන් සැමරීම මෙම මහවිරු සතියේදී සිදුකරනු ලබනවා.
ඒ සම්බන්ධයෙන් සෑම වසරකම පාහේ විවිධ මතවාද ඉදිරිපත් වන අතර, මෙවර මහ මැතිවරණයෙන් වත්මන් රජයට උතුරේ සහය ද, හිමි වීමත් සමග වෙනදාට වඩා මෙම සැමරුම සම්බන්ධයෙන් බොහෝ පාර්ශවයන්ගේ අවධානය යොමුව තිබෙනවා.
එබැවින් ඒ සම්බන්ධයෙන් බහුලව අසත්‍ය තොරතුරු පැතිර වීම දිගින් දිගට ම සිදුවූ අතර අප විසින් ම අවස්ථා කිහිපයකදී එම අසත්‍ය තොරතුරු පිළිබඳව කරුණු විමර්ෂණය කිරීම් සිදුකරනු ලැබුවා. ඒ අනුව තවත් එවැනි නොමඟ යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් එහි සත්‍ය සොයා විමර්ෂණයක් සිදුකළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):
“සමරනවා සැමරිල්ලක් ආයේ ලොවෙත් නැතිවෙන්න” යනුවෙන් සඳහන් කරමින් මෙරට මහවිරු සැමරුමක් ලෙස වීඩියෝවක් ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ මේ අයුරිනි.
මෙම වීඩියෝව ලක්ෂ 3 කටත් අධික වාර ප්‍රමානයක් පමණ නරඹා තිබූ අතර බොහෝ පිරිසක් ෆේස් බුක් ඔස්සේ මෙම වීඩියෝව හුවමාරු කරගෙන ද තිබුණා.
මෙවැනි වීඩියෝ සඳහා බොහෝ දෙනෙක් අදහස් දක්වා තිබුණු අතර බහුතරයක් මෙය ලංකාවේ සිදු වූ මහවිරු සැමරීමක් ලෙස සිය අදහස් ද දක්වා තිබුණා.
එමෙන් ම ඇතැමුන් මෙය 2022 වසරේ දී ඕස්ට්‍රේලියාවේදී සිදු වූ සැමරුමක් ලෙසත් අදහස් දක්වා තිබුණේ මේ අයුරිනි.
මෙම වීඩියෝව මෙවර මෙරට සිදුකළ මහවිරු සැමරුමක් ද එසේත් නොමැතිනම් 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ සිදුකරන ලද මහවිරු සැමරුමක එකක් ද යන්න පිළිබඳව සොයා අප කරුණු විමර්ෂණයක් සිදුකළේ මේ අයුරිනි.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවේ පසුබිම කුමක් ද?
සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝව 2022 වසරේ දී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වුණු එකක් බවට බොහෝදෙනා අදහස් දක්වා තිබුණා. එබැවින් 2022 වසරේ ද ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු මහවිරු සැමරුමේ වීඩියෝ ද අප විසින් පරීක්ෂා කරනු ලැබුවා. 2022 වසරේදී ඕස්ට්‍රේලියාවේදී පැවැත්වුණු මහවිරු සැමරුමේ වීඩියෝව මෙසේ ය.
2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති මහවිරු සැමරුම දමිළ වෙබ් අඩවියක වාර්තා කර තිබුණේ මේ අයුරිනි. එම වෙබ් අඩවියේ ද 2022 වසරේ ඔස්ට්‍රේලියාවේදී සිදුකළ මහවිරු සැමරුමේ වීඩියෝවක් සහ ඡායාරූප පළ කර තිබූ අතර ඒවා මෙම වීඩියෝව සමඟ සන්සන්දනය කර බැලීමේදී තහවුරු වුණේ මෙය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ සිදු වූ මහ විරු සැමරුමක් නොවන බවයි.
මෙලෙස සන්සන්දනය කර බැලීමේදී 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති මහවිරු සැමරුමේදී නර්තනාංග ඉදිරිපත් කර ඇත්තේ වේදිකාවක නොවන බව තහවුරු වෙනවා. එමෙන් ම එම වසරේ ප්‍රධාන පහන් ද්විත්වයක් දල්වා ඇති අතර එම පහන් බඳෙහි කහ, රතු වර්ණයෙන් යුක්ත රෙදි වලින් ආවරණය කර තිබෙනවා.
නමුත් මෙම වීඩියෝවේ දැක්වෙන රූප රාමු සමඟ සංසන්දනය කර බැලීමේදී පෙනී යන්නේ වීඩියෝවේ දැක්වෙන ප්‍රධාන පහන රතු කහ වර්ණයෙන් යුත් රෙදිවලින් ආවරණය කර නොමැති බවයි. ඒ අනුව මෙය 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ සිදුකරන ලද මහවිරු සැමරුම නොවන බව තහවුරු වනවා.
මෙම වීඩියෝවේ දැක්වෙන සැමරුම පැවැත්වුණු ස්ථානය කුමක් ද යන්න අප තවදුරටත් පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වුණේ මෙය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණු එකක් බවයි.
එසේනම් එය කුමන වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණු එකක් ද යන්න අප සොයා බැලීමක් සිදුකළා.
මේ වසරේ (2024) සිඩ්නි නුවර පැවති මහවිරු සමරුවේ වීඩියෝවක් !
මෙම වීඩියෝව ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ TikTok ගිණුමක පළ කළ වීඩියෝවක් උපුටා ගනිමිනි.
එබැවින් එම ගිණුම ද අප පරීක්ෂා කළ අතර අප පැහැදිලි වුණේ එය මීට දින දෙකකට පෙර පළ කරන ලද වීඩියෝවක් වන බවයි. නමුත් ඉන් මෙම වීඩියෝවේ පැහැදිලි විස්තරයක් අපට අනාවරණය කරගත නොහැකි විය.
අප තව දුරටත් මෙය පරීක්ෂා කළ අතර එහිදී අපට අනාවරණය වුණේ මෙය 2024 වසරේ නොවැම්බර් 26 වන දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණු මහවිරු සැමරුමකට අයත් වීඩියෝවක් වන බවයි.
ෆේස් බුක් ගිණුම් කිහිපයක ම 2024 වසරේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණු මෙම මහවිරු සැමරුම පිලිබඳ තොරතුරු පළ කර තිබූ අතර එහි එක් ගිණුමක ඡායාරූප පළ කර තිබුණා. අප එම ගිණුමේ ඇති ඡායාරූප සහ ලංකාවේ සැමරුමක් ලෙස පළ කර තිබූ වීඩියෝව ද සංසන්දනය කර බැලුවේ මෙලෙසිනි.
එම ඡායාරූප පළ කර තිබූ ඇතැම් ගිණුම් ද අප පරීක්ෂා කළ අතර එහිදී පැහැදිලි වුණේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි කිහිපදෙනෙක් ද එසේ ඡායාරූප පළකර තිබු බවයි.
ඒ අනුව ලංකාවේ සැමරුමක් ලෙස ඇතැමුන් උපකල්පනය කර තිබු මෙම වීඩියෝව සහ 2024 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණු මහවිරු සැමරේ ඡායාරූප සංසන්දනය ඔස්සේ පැහැදිලි වන්නේ මෙම කෙටි වීඩියෝව, 2024 වසරේ ඔස්ට්‍රේලියාවේ මහවිරු සැමරුමේදී සිදුකරන ලද නර්තනාංගයක වීඩියෝවක් වන බවයි.
2024.11.26 (මහවිරු දින) ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මහවිරු සැමරුම සිදුකළ ස්ථානයේ සිට සිදුකළ සජීවී වීඩියෝවක් ද අපට හමු වූ අතර එම වීඩියෝවේ පසුබිම සහ ලංකාවේ සැමරුමක් ලෙසට පළ කර තිබූ වීඩියෝව ද සංසන්දනය කර බැලීමේදී තවදුරටත් තහවුරු වුණේ මෙය 2024 වසරේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති මහවිරු දිනයේ වීඩියෝවක් බවයි. එම වීඩියෝව මෙතනින්.
එදින මහවිරු සැමරුමේ තවත් වීඩියෝවක් මෙසේ ය.
එම වීඩියෝව ද පළ කර තිබුණේ 2024.11.26 වන අතර එය පළ කිරීමේදී එය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර එකක් බව සඳහන් කර තිබුණා. ඒ අනුව පැහැදිලිව ම මෙය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර 2024 වසරේ මහවිරු සැමරුම බව පැහැදිලිවනවා.
තවත් ෆේස් බුක් ගිණුම් කිහිපයක මෙම සැමරුමේ ඡායාරූප පළ වී තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි. ටික් ටොක් ගිණුමක ද මෙම වසරේ සිඩ්නි නුවර පැවැත්වුණු මහවිරු සැමරුමේ වීඩියෝ පළ කර තිබුණේ මේ අයුරින් සහ මේ අයුරිනි.
ඒ අනුව මෙම සියලු ඡායාරූප සහ වීඩියෝ පරීක්ෂා කර බැලීමේදී මෙය 2024 නොවැම්බර් 26 දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවති මහවිරු සැමරුමක වීඩියෝවක් බව පැහැදිලිවනවා.
ලංකාවේ පැවැත්වූ මහවිරු සැමරුම් සිදුවුයේ මේ අයුරින් ද ?
මෙරට මහවිරු සැමරුම් පිළිබඳව පසුගිය දිනවල දැඩි කතා බහක් සිදු වූ අතර එහිදී LTTE ත්‍රස්ත සංවිධානය සැමරීමක් හෝ එහි ලාංඡන, කොඩි, රූප භාවිතා කළ නොහැකි බව නිරන්තරයෙන් ම රජය විසින් දැනුවත් කිරීම් සිදුකරනු ලැබුවා. එහිදී ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස විසින් ද ඒ පිළිබඳව දැනුවත් කරනු ලැබුවේ මේ අයුරින් සහ මේ අයුරිනි.
ඒ අනුව රජය විසින් මෙම තත්වය පැහැදිලි කර ඇති පසුබිමක LTTE ත්‍රස්ත සංවිධානයට අයත් ලාංඡන, කොඩි, රූප භාවිතා කරමින් ප්‍රසිද්ධියේ සැමරීම් සිදුකරනු ලැබුවේනම් එය මෙරට ප්‍රධාන මාධ්‍ය තුළ අනිවාර්‍යෙන් ම ප්‍රධාන පුවතක් ලෙස වාර්තා වනවා.
මෙම වසරේ එවැනි සිදුවීමක් ලෙස වාර්තා වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් විසින් ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමේදී ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් සහිත බැනරයක් ප්‍රදර්ශණය කර තිබීමයි. නමුත් පොලිසියේ මැදිහත් වීමත් සමඟ එම ඡායාරූපය ද බැනරයෙන් ඉවත් කිරීම සිදුවුණා. එම පුවත මෙසේ ය.
ඊට අමතරව මෙරට සිදුකළ මහවිරු සැමරුම්හි LTTE ත්‍රස්ත සංවිධානයට අයත් ලාංඡන, කොඩි, රූප භාවිතා කිරීමක් සිදුව තිබු බවට ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ නෑ. මෙවර මෙරට මහවිරු සැමරුම් පිළිබඳව මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්, මේ අයුරින් සහ මේ අයුරිනි.
මීට අමතරව Tamil Guardian වෙබ් අඩවිය යාපනය, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වාර්තා කර තිබුණා. එම ඡායාරූප හෝ වීඩියෝ කිසිවක් තුළ LTTE ත්‍රස්ත සංවිධානයට අයත් ලාංඡන, කොඩි, රූප භාවිත කර ඇති ආකාරයක් දැකිය නොහැකි ය.
ඒ අනුව ෆේස්බුක් ඔස්සේ පළ කර තිබූ ආකාරයේ වීඩියෝවක් හෝ සැමරුමක් මෙරට කිසිඳු මාධ්‍යක වාර්තා කර ඇති ආකාරයක් අපට දැක්ගත හැකි නොවී ය.
අප එවන් සැමරුමක් උතුරු, නැගෙනහිර පළාත්වල සිදු වූයේ ද යන්න ප්‍රාදේශීය වාර්තාකරුවන්ගෙන් ද විමසූ අතර එවැනි සැමරීමක් සිදු නොවූ බව ඔවුන් තහවුරු කරනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Also Read – දමිළ ‘මහවිරු’ දිනය සැමරීමට දෙමළ ජනතාවට තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?
Also Read – යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම පිළිබඳව පළවන නොමඟ යවන සුළු ඡායාරූප පෙළක්!
Also Read – ලංකාවේ ‘මහවිරු සැමරුමක’ වීඩියෝවක් ද?
නිගමනය (Conclusion) :
ලංකාවේ සිදුකළ මහවිරු සැමරුමක් ලෙස පළ කර තිබූ වීඩියෝව ලංකාවේ එකක් නොවන අතර එය 2024 නොවැම්බර් 26 වන දින ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වුණු මහවිරු සැමරුමේ වීඩියෝවකි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මේ ආකාරයට පසුගිය වසර කිහිපයක පුරා වට ද නොවැම්බර් මස මේ ආකාරයටම මහවිරු සැමරුම් සිදුකර තිබුණා.

Title:ලංකාවේ සිදුකළ මහවිරු සැමරුමක් ලෙස හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!
Fact Check By: Fact Crescendo TeamResult: Misleading
