
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම්විට හුවමාරුවන තොරතුරු ජනතාව නොමඟ යවන තොරතුරුවන අතර එමඟින් අනවශ්‍ය බියක් කලබලයක් පවා ඇතිවන අවස්ථා පවතිනවා.ඒ අනුව මේ දිනවල උණුසුම් කාලගුණ තත්වයක් සම්බන්ධයෙන් නිකුත් කළ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවට තොරතුරු හුවමාරුවන බැවින් අප ඒ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා.
සමාජ මාධ්‍ය සටහන් (Social Media):
ඉංග්‍රීසි භාෂාවෙන් මෙම උණුසුම් කාලගුණ තත්වය පිළිබඳ අනතුරු ඇඟවීම නිකුත්වන අතර එහි සිංහල පරිවර්තනය මෙසේ ය.
“දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත…
අප්‍රේල් 29 සිට මැයි 12 දක්වා, උදේ 10 සිට සවස 3 දක්වා, කිසිදු පුද්ගලයෙකු (විවෘත අහස යට) පිටතට නොයා යුතුය, මන්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ යනු ඇති බවයි, එබැවින් ඕනෑම පුද්ගලයෙකුට හුස්ම හිරවීමක් දැනේ නම් හෝ හදිසියේ අසනීප වුවහොත්, වහාම වෛද්‍යවරයෙකුගෙන් විමසන්න, වාතාශ්‍රය ලැබෙන පරිදි කාමරය තුළ දොර විවෘතව තබා ගන්න, ජංගම දුරකථන භාවිතය අඩු කරන්න, ජංගම දුරකථන පුපුරා යාමේ හැකියාවක් ඇත, කරුණාකර ප්‍රවේශම් වන්න සහ ජනතාව දැනුවත් කරන්න, කිරි, බටර් මිල්ක්, ලී ඇපල් යුෂ වැනි සිසිල් පාන වර්ග හැකිතාක් භාවිතා කරන්න.
අතිශයින්ම වැදගත් තොරතුරු
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්වරයා පුරවැසියන්ට සහ නිවැසියන්ට පහත සඳහන් කරුණු පිළිබඳව අනතුරු අඟවයි.
සෙල්සියස් අංශක 47 සිට 55 දක්වා උෂ්ණත්වය ඉහළ යාම සහ ඉදිරි දිනවලදී සමුච්චිත වලාකුළු පැවතීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල හුස්ම හිර කරන වාතාවරණය හේතුවෙන්, මෙන්න අනතුරු ඇඟවීම් සහ පූර්වාරක්ෂාවන් කිහිපයක්.
මේවා කාර් වලින් ඉවත් කළ යුතුයි
1. ගෑස් ද්‍රව්‍ය 2. ලයිටර් 3. කාබනීකෘත පාන වර්ග 4. සාමාන්‍යයෙන් සුවඳ විලවුන් සහ උපකරණ බැටරි 5. කාර් ජනේල තරමක් විවෘතව තිබිය යුතුයි (වාතාශ්‍රය) 6. කාර් එකේ ඉන්ධන ටැංකිය සම්පූර්ණයෙන්ම පුරවන්න එපා 7. සවස් කාලයේ කාර් එකට ඉන්ධන සපයන්න 8. උදේ වරුවේ කාර් එකෙන් ගමන් කිරීමෙන් වළකින්න 9. විශේෂයෙන් ගමන අතරතුර කාර් ටයර් අධික ලෙස පිම්බීමෙන් වළකින්න.
ගෝනුස්සන් සහ සර්පයන් ඔවුන්ගේ ගුල්වලින් පිටතට පැමිණ සිසිල් ස්ථාන සොයමින් උද්‍යාන සහ නිවාසවලට ඇතුළු විය හැකි බැවින් ඔවුන් ගැන සැලකිලිමත් වන්න.
ඕනෑ තරම් ජලය සහ තරල පානය කරන්න, ගෑස් සිලින්ඩරය අව්වේ තබා නොගැනීමට වග බලා ගන්න, විදුලි මීටර අධික ලෙස පටවා නොගැනීමට වග බලා ගන්න සහ නිවසේ වාඩිලාගෙන සිටින ප්‍රදේශවල පමණක් වායු සමීකරණ යන්ත්‍රය භාවිතා කරන්න, විශේෂයෙන් ගිම්හානයේදී. පැය දෙක තුනකට පසු විනාඩි 30 ක් විවේක ගන්න. 45-47° පිටත, නිවසේ වායු සමීකරණය 24-25° හි තබා ගන්න, ඔබේ සෞඛ්‍යය සහ යහපැවැත්ම යහපත් වනු ඇත. විශේෂයෙන් උදේ 10 සිට සවස 3 දක්වා කාලය තුළ හිරු එළිය සමඟ සෘජුව සම්බන්ධ වීමෙන් වළකින්න.
අවසාන වශයෙන්: කරුණාකර මෙම තොරතුරු බෙදා ගන්න, මන්ද අනෙක් අය එය නොදන්නවා විය හැකි අතර එය පළමු වරට කියවන බැවිනි.
සුභ පැතුම්, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල්.”
වට්සැප් ඔස්සේ ද මෙය බොහෝදෙනා අතර හුවමාරු වී තිබුණේ මෙලෙසින්.
මෙම පණිවිඩය ලංකාවේ පමණක් නොව ලෝකය පුරා ද බොහෝදෙනෙක් හුවමාරුකරගෙන අති ආකාරයට අපට දැකගත හැකිවිය.
කෙසේ වෙතත් මෙවැනි දැඩි උණුසුම් තත්වයක් සම්බන්ධයෙන් මෙරට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිවේදනයක් නිකුත්කර තිබේද යන්න සම්බන්ධයෙන් අප කරුණු විමසීමක් සිදුකළේ මෙලෙසින්.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
සාමාන්‍යයෙන් කාලගුණය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරන්නේ නම් එය ප්‍රධාන මාධ්‍ය ඔස්සේ වාර්තා කරන බැවින් අප්‍රේල් 29 වන දින එවැනි නිවේදනයක් පිළීබඳව මාධ්‍ය ඔස්සේ මහජනතාව දැනුවත්කරමින් වාර්තාකර තිබේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමුකරනු ලැබුවා.
එනමුත් උණුසුම් තත්වයක් සමබන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ කිසිඳු වාර්තා කිරීමක් ඊයේ දිනයේ හෝ අද දිනයේ සිදුකර තිබුණේ නෑ. දිස්ත්‍රික්ක කිහිපයක ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවට පමණක් තොරතුරු වාර්තා කර තිබුණා. ඊයේ දිනයේ කාලගුණ පුවත් කිහිපයක් මෙතනින් සහ මෙතනින්.
අප කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ද පරීක්ෂා කර බැලුවේ, අනතුරු ඇඟවීමක් නිකුත් කරන්නේ නම් එම නිවේදන වෙබ් අඩවියේ පළකරන බැවිනි.
ඒ අනුව අද දිනයේ දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවටයි අද දිනය (30) සඳහා කාලගුණ අනාවැකිය නිකුත්කර තිබුණේ.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලංකා සිතියමක මෙරට විවිධ ප්‍රදේශවල කාලගුණ තත්වයන් අද දිනට(30) දක්වා තිබුණේ මෙලෙසින්.
ඇතැම් ප්‍රදේශවලට වැසි තත්වයන් මෙන් ම තවත් ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණ තත්වයක් ඇති බවට එහි පෙන්වාදී ඇත.
කෙසේ වෙතත් අප වැඩිදුරටත් වෙබ් අඩවිය පරීක්ෂා කළ අතර එහි ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්වයක් සම්බන්ධයෙන් අප්‍රේල් 29 සහ 30 වන දිනට පමණක් බල පැවැත්වෙන පරිදි නිවේදනයක් නිකුත් කර තිබුණා.
එනමුත් මෙම නිවේදනය සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස අප්‍රේල් 29 සිට මැයි 12 දක්වා නිකුත් කළ නිවේදනයක් ද නොවන අතර එය දැඩි උණුසුම් අනතුරු ඇඟවීමක් ද නොවේ. එසේම සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ආකාරයේ කිසිඳු කරුණක් එහි අන්තර්ගත නොවේ.
මෙය කිසිසේත් උණුසුම් තත්වයක් පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නොවන අතර එම නිවේදනයේ දක්වා ඇත්තේ, උතුර, නැගෙනහිර, උතුරු මැද පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කල යුතු ” මට්ටමක පැවතිය හැකි බවටයි.
එමෙන් ම මෙම නිවේදනයේ අවධාරණය කර කියාසිටිනේ “ මෙය විය හැකි උපරිම වායුගෝලීය උෂ්ණත්වය නොවේ.” යනුවෙනි. එමෙන් ම අවධානය යොමු කළ යුතු මට්ටමේ උෂ්ණත්ව මට්ටම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දක්වා ඇත්තේ සෙල්සියස් අංශක 39-45 මට්ටමයි.
සමාජ මාධ්‍යයේ දැක්වෙන්නේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සිට සෙල්සියස් අංශක 55 දක්වා ඉහළ යනු ඇති බවයි. එනමුත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවැනි තත්වයක් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කර නොමැති බව මෙම නිවේදනය දෙස අවධානය යොමු කිරීමේදී ඔබට පෙනෙනවා ඇති.
සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් තනතුර
සමාජ මාධ්‍ය සටහනේ සඳහන්වන්නේ එම නිවේදනය සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂ ජනරාල් නිකුත් කළ බවටයි. එනමුත් ලංකාවේ එවැනි තනතුරක් නොමැති අතර පවතින්නේ, මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයක් පමණි. ඒ අනුව එය ආරක්ෂක අමාත්‍යංශයට අයත් වන අතර ශ්‍රී ලංකාවේ කිසිසේත් ආරක්ෂක අමාත්‍යංශයෙන් මෙවැනි කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් නොකරනු ලබයි. කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කරේ ද, එවැනි නිවේදනයක් නිකුත් නොකළ බව ත්, එවැනි කාර්ය භාරයක් ඔවුන්ගේ විෂය පථයට නොවැටෙන බව ත් ය.
එසේ ම කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිවේදනයේ ද සඳහන් වන්නේ, මෙම නිවේදනය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ සහයෝගය සහ උපදෙස් අනුව සකසා ඇති බව පමණි.
ඒ අනුව මෙම තොරතුරු ඔස්සේ ද මෙම උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් පළවන තොරතුරු ව්‍යාජ බව පෙනී යනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
අප වැඩිදුරටත් තහවුරු කරගැනීම සඳහා මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදුකළා. ඒ අනුව අකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සඳහන් කළේ වෙබ් අඩවියේ දක්වා ඇති නිවේදනයට අමතරව දැඩි උණුසුම් තත්වයක් සම්බන්ධයෙන් අප්‍රේල් 29 සිට මැයි 12 වැනි දීර්ඝ කාලයක් සඳහා කිසිඳු උණුසුසුම් කාලගුණය සම්බන්ධ අනතුරු ඇඟවීමක් සිදුකර නොමැති බවයි.
එමෙන් ම ඊයේ(29) ඩේලි මිරර් වෙබ් අඩවිය ද වාර්තා කර තිබුණේ, උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 දක්වා ඉහළ යන බවට සමාජ මාධ්‍යවල දැනට සංසරණය වන අධි අනතුරු ඇඟවීමේ නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළ බවයි.
රාජකාරියේ නියුතු කාලගුණ විද්‍යාඥයෙක් ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ, මහජනතාවට ප්‍රවේශම් වන ලෙස උපදෙස් දෙමින් එවැනි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.
ඊයේ(29) දිනට උණුසුම් කාලගුණ උපදේශනයක් පමණක් නිකුත් කර ඇති බවත්, උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සමහර ප්‍රදේශවල මෙන්ම මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ‘අවධානය යොමු කල යුතු’ මට්ටමට ළඟා වීමට ඉඩ ඇති බවත් ඔවුහු පැහැදිලි කර තිබෙනවා.
ලෝකයේ වෙනත් රටවල උණුසුම් කාලගුණය
වෙනත් රටවල ද බොහෝදෙනෙක් මෙම පණිවිඩය හුවමාරුකරගෙන තිබූ බැවින් අප කරුණු පරීක්ශා කිරීමක් සිදුකළේ, ලෝකයේ කිසියම් රටක හෝ මෙවැනි අධි උණුසුම් තත්වයක් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේද යන්නයි.
එනමුත් මේ ආකාරයෙන් ම පුවතක් හෝ නිවේදනයක් නිල වශයෙන් නිකුත් කර ඇති ආකරය දැකගත නොහැකි විය.
එනමුත් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉහළ උණුසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබුණේ මෙලෙසින්.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් අද (30) දින පළකළ පුවත්වල සඳහන් වන්නේ, ඩුබායි -එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ දැඩි ඌණුසුම් කාලගුණය හේතුවෙන්, එරට ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) රට පුරා නිවේදනයක් නිකුත්කර ඇති බවයි. ඒ අනුව එම මධ්‍යස්ථානය සඳහන් කරන ලෙස එරට අභ්‍යන්තර ප්‍රදේශවල 42°C සහ 46°C අතර දැවෙන උෂ්ණත්වයක් සහ වෙරළබඩ ප්‍රදේශ සහ දූපත් වල 39°C සිට 44°C දක්වා උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙන බව සඳහන්. කඳුකර ප්‍රදේශ පවා උපරිම උෂ්ණත්වය 32°C සහ 39°C අතර වන බවත් සඳහන් වනවා.
ඊයේ(29), අබුඩාබියේ අල් ෂවාමාක් හි රටේ ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් ලෙස වාර්තා වූ බවට සඳහන්.
එනමුත් සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ලෙස කාලවකවානු සහ එහි සඳහන් තොරතුරු මෙම පුවත්වල අන්තර්ගත වන්නේ නෑ.
එනමුත් මෙවැනි පුවත් මෙම සමාජ මාධ්‍ය සටහන්වලට හේතු වූවා විය හැකිය.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි උණුසුම් කාලගුණ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බවට වන සටහන ව්‍යාජ එකක් වන අතර මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එවැනි නිවේදනයක් නිකුත් කර නොමැත.

Title:උණුසුම් කාලගුණයක් පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කරල ද?
Fact Check By: Piumika LakshaniResult: False
