දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට පවතින හේතු සාධක අතර මෙරට සුන්දර වෙරළ තීරයත් මුලිකම සාධකයක්. පාසිකුඩා, උණවටුන, මාබල් බීච්, ආරුගම්බෙ ඇතුළු වෙරළ තීරයන් වටා, ජල ක්‍රීඩා ආදියේ ද නිරත වෙමින් කල් ගතකරන විදේශිකයින්, එම ප්‍රදේශවලට සුලභ දසුනක්.
මේ අතර ආරුගම්බෙ (Arugam Bay) අවට සැරිසරන විදේශිකයන්ගේ හැසිරීම මුල් කරගනිමින්, එම ප්‍රදේශවාසින් විසින් ක්‍රියාත්මක කළ ‘බිකිනි’ තහනමක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පෝස්ටරයක නිරවද්‍යතාව සහ වැඩිදුර කරුණු සොයා Factcrescendo Sri Lanka අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :
“No Bikini”ලෙස සඳහන් පෝස්ටරයක් ආරුගම්බේ වෙරළ තීරයේ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් දැනුවත් කරමින් දැන්වීමක් ලෙස අළවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් බහුලව සංසරණය වුණා.
එම පෝස්ටරය ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ අතර එහි සිංහල පරිවර්තනය මෙසේ ය.
“බිකිනි එපා!
හිතවත් අමුත්තනි,
ආරුගම්බේ වෙත සාදරයෙන් පිළිගනිමු! ඔබ මෙහි සිටීම ගැන අපි සතුටු වන අතර ඔබගේ පැමිණීම සැබවින්ම අගය කරමු. අපගේ දේශීය සංස්කෘතියට ගරු කිරීම සඳහා, පොදු ස්ථානවල බිකිනි ඇඳීමෙන් වළකින ලෙස අපි කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සම්ප්‍රදායන් කෙරෙහි ඔබ දක්වන ගෞරවය අපගේ ප්‍රජාව විසින් අගය කරන්නෙමු. ඔබේ අවබෝධයට ස්තූතියි, ඔබ සුන්දර අරුගම්බේ හි ඔබේ කාලය භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු!
උණුසුම් සුභ පැතුම්, ප්‍රාදේශීය ජනතාව
ආරුගම්බේ, පොතුවිල්.”
මෙම පෝස්ටරය ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය සටහන් මේ පිළිබඳ විවේචනය කරමින් පළකර තිබුනේ මේ ආකාරයේ “බිකිනි තහනමක්” ආරුගම්බේ ප්‍රදේශයේ ක්‍රියත්මක වන බවක් හඟවමින්.
Facebook | Archived Link Facebook | Archived Link FB FB
මේ පෝසටරය ඔස්සේ තව ත් සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබු අවස්ථා කිහිපයක් පහතින්.
මෙම බිකිනි තහනම සත්‍ය වශයෙන්ම සිදුවුණි දැයි මේ ඔස්සේ ඇතැමුන් ප්‍රශ්න කර තිබු අතර, මෙවැනි තහනමක් සිදුවීම සම්බන්ධයෙන් වත්මන් රජයට ද දෝෂාරෝපණය ඒ අතර දැකගන්නට ලැබෙනවා.

එසේම, මේ ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් ද, සටහන් පළ වී තිබුණේ මේ අයුරින්.
සත්‍ය වශයෙන් ම ආරුගම්බෙ වෙරළ තීරයේ සංචාරයකයින් දැනුවත් කරමින් මෙවන් තීරණයක් මුස්ලිම් ප්‍රජාව විසින් සිදු කර තිබෙනවාද? ‘බිකිනි’ ඇඳීමට සංචාරකයින්ට තහනම් ද? අප මේ ගැන කරුණු විමර්ශනයක් සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.
Fact Check (කරුණු විමර්ශනය කිරීම) :
මෙම පෝස්ටරය පසුගිය සති අන්තයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන් ගත් අතර මෙලෙසින් පෝස්ටරයක් ආරුගම්බේ වෙරළ තීරයේ ප්‍රදර්ශනය කිරීමට පියවර ගත්තේ ද යන්න හෝ ඒ සඳහා අවසර ලබා දුන්නේ ද, යන්න පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා අදාළ අංශයන්ගෙන් විමසීම් කිරීමට පියවර ගනු ලැබුවා.
පොතුවිල් ප්‍රාදේශීය සභාව
ආරුගම්බේ අයත් වන පොතුවිල් ප්‍රාදේශීය සභාවෙන් අප මේ පිළිබඳව විමසීමක් කරනු ලැබුවා. එහි ප්‍රධාන කළමනාකරණ නිලධාරියා සඳහන් කළේ, ඒ ආකාරයේ දැනුවත් කිරීමක් පොතුවිල් ප්‍රාදේශීය සභාව විසින් සිදු කර නොමැති බවයි. එමෙන් ම එවැනි දැන්වීම් එම ප්‍රදේශයේ පළ කර නොමැති බවයි.
පොතුවිල් පොලිස් ස්ථානය
පොතුවිල් පොලිස් මූලස්ථානයට අයත් ආරුගම්බේ පොලිස් සංචාරක මුරපොළේ ඉහළ නිලධාරිවරයෙකු අප දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු සඳහන් කළේ, මෙවැනි පෝස්ටරයක් පළ කිරීමට හෝ විදේශිකයින් දැනුවත් කරමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙස හෝ නියෝගයක් නොලැබී ඇති බව ත්, මෙවැනි පෝස්ටරයක් හෝ ආරුගම්බේ වෙරළ තීරයේ හෝ දක්නට නොලැබෙන බවයි.
තවද විදෙස් සංචාරක කාන්තාවන් වෙරළ ‘බිකිනි’ වැනි ඇඳුමින් සැරසී සිටියත්, බහුල වශයෙන් එම ඇඳුමින් මහ මාර්ගයේ ගමන් නොකරන බවත් ඔහු සඳහන් කර සිටියා.
ආරුගම්බේ සංචාරක හෝටල්
අප සංචාරක කර්මාන්තය රඳා පවතින ආරුගම්බේ ප්‍රදේශයේ හෝටල් කිහිපයකින් මේ පිළිබඳ විමසීමක් කළ අතර ඔවුන් පවසා සිටින්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන ආකාරයේ පෝස්ටරයක් සැබවින්ම ආරුගම්බේ අවට හෝ වෙරළ තීරයේ හෝ ප්‍රදර්ශනය කර ඇති බවට දැක ගන්නට නොලැබෙන බවයි.
නමුත් මෙම ප්‍රදේශයේ සියලු ආගම්, ජාතීන් සිටින බැවින් සංචාරකයින් දැනුවත් කරමින් 2017/ 2018 වසරේ “NO Bikini On Street” ලෙස ව්‍යාපෘතියක් ගෙන ගිය බවත්, මෙම තේමාව බොහෝ ත්‍රී රෝද රථ වල මෙන් ම ආරුගම්බේ ප්‍රදේශයේ ඇතම් ස්ථාන වල ද, ප්‍රදර්ශනය කළ බව ත්, එය ද සංචාරක කර්මාන්තය රැක ගැනීම පිණිස එම ප්‍රදේශ වාසීන් විසින් පවත්වාගෙන යන “Arugam bay development forum” නමැති “ආරුගම්බේ සංවර්ධන සංසදය” විසින් ගත් තීරණයක් බවයි.
මේ වන විට එම පොස්ටර් ද, දැක ගන්නට නොලැබෙන අතර බොහෝ විදේශිකයින් බිකිනි ඇඳුමින් මහ මාර්ගයේ ගමන් නොකරන අතර එලෙසින් ගමන් ගන්නා විදේශිකයින්ට ද, එලෙස නොයෙන ලෙස ඇතැම් අවස්ථා වල ඉල්ලීමක් පමණක් කරන අතර ඔවුන් බොහෝ විට වෙරළ තීරයේ පමණක් බිකිනියෙන් සැරසී සිටින බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
අප විසින් “NO Bikini On Street” ලෙසින් දැන්වීම් පළ කර තිබුණේ ද, යන්න ද, පරීක්ෂා කළ අතර එහිදී 2017 වසරේ පළ වූ දැන්වීමක් අපට මෙලෙසින් දැක ගන්නට ලැබුණා.
විදෙස් සංචාරකයින් ගැන තවදුරටත් අදහස් දක්වමින් අරුගම්බේ සංචාරක හෝටල් පවසන්නේ, මේ කාලය ආරුගම්බේ ප්‍රදේශයට විදෙස් සංචාරකයින් වැඩියෙන් ඇදී එන කාලය බවයි.
ඇතැම් විදේශිකයින් හිස් ආවරණ නොමැතිව (හෙල්මට්) ද යතුරු පැදිවල ගමන් කිරීමට පෙළඹී ඇති බවත්, ඒ පිළිබඳව ඔවුන් දැනුවත් කරමින්, සංචාරක කර්මාන්තය ද ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීමට උත්සාහ කරන බවයි.
නමුත් සංචාරකයින් සිටින හෝටල් ආශ්‍රිතව හෝ බිකිනි නොඅඳින ලෙසට ඔවුන් දැනුවත් කරමින් දැන්වීම් පළ කර නොමැති බවත් මාර්ගෝපදේශයක් ඉදිරිපත් කිරීම වැනි ක්‍රියාවන් හෝ සිදු කර නොමැති බව ත්, ඔවුන් තහවුරු කරනවා.
කෙසේ වෙතත් ඉහත සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස පොදු ස්ථානවල බිකිනිඇඳීමෙන් වළකින ලෙස පැවසූවත් මුහුදු වෙරළ තීරය ද, පොදු ස්ථානයක් වන බැවින් එය ප්‍රායෝගික නොවන බවයි සංචාරක හෝටල් සඳහන් කරන්නේ.
මේ ගැන සංචාරක කර්මාන්තයේ නියැලෙන කිහිපදෙනෙක් අදහස් දක්වා තිබු අයුරු පහතින්.
ආරුගම්බේ ප්‍රාදේශීය වාර්තාකරුවන්
ආරුගම්බේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන්නේ, ඇතැම් අයගේ පෞද්ගලික මති මතාන්තර තිබිය හැකි නමුත්, සමස්තයක් ලෙස ගත් කළ එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව විසින් මෙවැනි විරෝධතාවක් දක්වා නොමැති බවයි.
සියලු ම ප්‍රජාවන්ගේ නියෝජනයක් ආරුගම්බේ ප්‍රදේශයේ ඇති අතර ඈත අතීතයේ සිට විදෙස් සංචාරකයින් එම ප්‍රදේශයේ සංචාරය කරන බැවින් මෙවැනි ඇඳුම් ඇඳගෙන ඔවුන් ගමන් ගත්ත ද, ඒවාට ප්‍රදේශවාසින් හුරු වී ඇති බවයි ඔවුන් පවසා සිටියේ.
එසේම එම ප්‍රදේශයේ මුස්ලිම් ආගමික දේවස්ථාන වලින් ද, මෙලෙසින් විරෝධතාවක් එල්ල නොවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. නමුත් යම් කොට්ඨාශයක් විසින් ජාතීන් අතර ගැටලුවක් ඇති කිරීමට මෙය උපයෝගී කර ගන්නා ආකාරයක් දැක ගන්නට ලැබෙන බව ත්, ඔවුන් සඳහන් කළා.
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ
එමෙන් ම මේ පිළිබඳ අදහස් දක්වමින්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කරන්නේ, මෙම සිද්ධිය දේශපාලනික වාසි ලබා ගැනීම සඳහා අසත්‍ය තොරතුරු සමාජ ගත කරමින් තිබෙන අවස්ථාවක්.
ඔහු පෙන්වා දෙන්නේ, ආරුගම්බේ ප්‍රදේශයේ සති කිහිපයකයකට කලින් යම්කිසි පුද්ගලයෙකු නිරුවතින් ප්‍රධාන මාර්ගයේ ගොස් ඇති බවයි. මීට එම ප්‍රදේශයේ ප්‍රජාවගේ විරෝධතාවය ගොඩ නැගුණු අතර මෙලෙසින් එම පුද්ගලයා නිරුවතින් ගමන් කිරීම ද, යම්කිසි කඩාකප්පල්කාරී කණ්ඩායමක් විසින් සිදු කරන ලද ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
සමාජ මාධ්‍ය සටහන් වලට මුල් වූ සටහන්
මෙවැනි සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වීමට මුල් වී තිබුණේ, Nowzad Arugam-Bay නමැති ෆේස්බුක් ගිණුමකින් මෙම ඡායාරූපය පළ වී තිබීමයි.
මේ වන විට ඉවත් කර ගෙන ඇති එම සටහන පිළිබඳ විමසීමට අප දුරකතන මාර්ගයෙන් ඔහු සම්බන්ධ කරගනු ලැබුවා. ඔහු පවසා සිටියේ එම සටහන වෙනත් ෆේස්බුක් ගිණුමක පළ කර තිබූ සටහනක් බවත් තමන් එය තමන්ගේ ජංගම දුරකතනයට බාගත කරගෙන නැවත තමන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කළ බවයි.
ආරුගම්බේ වෙසෙන ඔහුට පසුගිය මැයි 18 වන දා තමන්ගේ ව්‍යාපාරය සිදු කරන ස්ථානය ඉදිරියෙන් සම්පූර්ණ නිරුවතින් විදේශිකයෙකු ඇවිදින් යන බව දක්නට ලැබුණු බව ත්, විදේශිකයින්ගේ නොදැනුවත් භාවයට හෝ මෙලෙස මහ මාර්ගය ගමන් කරන විට ප්‍රදේශවාසින් බොහෝ අපහසුතාවයකට පත් වන බවත් පෙන්වා දෙමින්, අප වෙත එම වීඩියෝව ද, යොමු කරනු ලැබුවා.
ඉන් පසු ‘No Bikini’ ලෙස සඳහන් වූ මෙම සටහන තමන් හඳුනන පුද්ගලයෙකුගේ ෆේස්බුක් ගිණුමක පළ වූ බැවින් තමන් ද ඒ ඔස්සේ මෙම සටහන හුවමාරුකර ගත් බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත් එම පුද්ගලයා ද, එම සටහන ෆේස්බුක් ඔස්සේ ඉවත් කර තිබූ බැවින් සහ තමන්ගේ සටහන ෆේස්බුක් ඔස්සේ වෛරල් වී තමන් ජාතීන් අතර ගැටලු ඇති කරන බවට පවසමින් වෛර ප්‍රකාශ එල්ල වූ බැවින් එම සටහන ඉවත් කර ඇති බව ත්, ඔහු පැවසුවා.
මීට පෙර වර්ශ වලදී, දිවයිනේ ස්ථාන දෙකක මුහුදු වෙරළේ මෙවැනි දැන්වීම් පළ කර ඇති බව ට දැක ගන්නට ලැබුණු අතර ඒවාද, තමන්ගේ කැමරා කාචයේ සටහන් කරගෙන ෆේස්බුක් ඔස්සේ පළ කළ අවස්ථා ද, ඔහු අප වෙත යොමු කළා.
පසුගිය වසරේ(2024) ජනවාරි 17වන දා වැලිගම, අහංගම ප්‍රදේශයේ දී “පිහිනුම් ඇඳුම් වෙරළ තීරයේ පමණක් ඇඳීමට අවසර ඇත” යන අර්ථයෙන් ඉංග්‍රීසි මෙන් ම ජර්මන් සහ රුසියානු භාෂාවෙන් සඳහන් කර ඇති දැන්වීමක වීඩියෝවක් ඔහු විසින් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර තිබුණේ මෙලෙසින්.
ඔහු එහිදී සඳහන් කරන්නේ, බහුල වශයෙන් සිංහල මිනිසුන් ජීවත් වන වැලිගම ප්‍රදේශයේ මෙවැනි පෝස්ටර් පළ කර තිබුණත් මුස්ලිම්, දමිළ මිනිසුන් වෙසෙන සංචාරකයින් වැඩි වශයෙන් ගැවසෙන ආරුගම්බේ මෙවැනි පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම සිදු නොකරෙන්නේ ඇයි බවයි.
තව ත් වැලිගම පොල්වත්ත පාලම අසලද, තව ත් සටහනක් තමන්ට දැක ගැනීමට ලැබුණු බව ත් ඔහු සඳහන් කළා.
මොහු විසින් පළ කළ සටහන බවට ඇතැම් සමාජ මාධ්‍ය පිටුවල මේ ඉහත සඳහන් වීඩියෝවේ ඡායාරූපයක් ද, සමගින් ‘No Bikini’ සටහන හුවමාරු වී තිබූ බැවින් බොහෝ අය උපකල්පනය කර තිබුණේ, ආරුගම්බේ සත්‍ය වශයෙන් ම එම සටහන ප්‍රදර්ශනය කර ඇති බව ක්.
කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ ආකාරයේ සටහනක් ආරුගම්බේ මුහුදු වෙරළ තීරයේ හෝ දකින්නට නොලැබුණු බව ත්, මෙය කිසියම් පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද තමන්ගේ ගමේ වෙසෙන ම පුද්ගලයෙකු පළකර තිබු සටහනක් පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
නමුත් මේ සටහන පළ කිරීම හේතුවෙන් තමන් ට සහ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට ච, පොලීසියේ ප්‍රශ්න කිරීම් වලට ද, මුහුණ පෑමට සිදු වූ බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් අප ද, මෙවැනි දැන්වීම් මෙරට ප්‍රදර්ශනය කර තිබුණේ ද යන්න කළ පරීක්ෂාවේදී දැක ගන්නට ලැබුණේ, නෑමට භාවිත කරන ඇඳුම් මුහුදු වෙරළේ පමණක් ඇඳසිටි හැකි බවට පළ වූ දැන්වීම් එක් එක් වකවාණුවල ද, දැක ගන්නට ලැබෙන බවයි.
2022 වසරේ
හික්කඩුව ප්‍රදේශයේ
කෙසේ වෙතත් මේ ආකාරයේ හෝ දැන්වීමක් ආරුගම්බේ ප්‍රදේශයේ දක්නට නොලැබෙන බවට එම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියැලෙන්නන් විසින් අපට තහවුරු කරනු ලැබුවා.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව පැහැදිලි වන්නේ “No Bikini” ලෙස සඳහන් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ සටහනේ දැක්වෙන ආකාරයට සත්‍ය වශයෙන් ම ආරුගම්බේ වෙරළ තීරයේ හෝ ආරුගම්බේ වෙනත් පොදු ස්ථානයක හෝ මේ ආකාරයේ පොස්ටරයක් පළ වී නොමැති බවයි.
ඒ බවට අදාළ අංශ රැසක් තහවුරු කරන අතර මෑතකදී විදේශිකයෙකු විසින් නිරුවතින් මහ මාර්ගයේ ගමන් කිරීම නිසා මුස්ලිම් හා දමිළ ප්‍රජාව වැඩි වශයෙන් සිටින මෙම ප්‍රදේශයේ ප්‍රජාව අපහසුතාවයට පත් ව ඇතිවීමත් සමග එම ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් නිර්මාණය කරන ලද සටහනක් මෙලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී වීමෙන් ඇතිවූ තත්වයකි.
කෙසේ වෙතත් මෙම ප්‍රදේශයේ 2017/2018 වසරේ මීට පෙර “NO Bikini On Street” ලෙස තේමාවෙන් පෝස්ටර් ප්‍රදර්ශනය කර තිබුණා.
එමෙන් ම සමාජ මාධ්‍ය සටහන් වල පෙන්වා දෙන පරිදි ආරුගම්බේ මුස්ලිම් ප්‍රජාව විසින් ඒ අයුරින් එකතු වී පෝස්ටර්, දැන්වීම් පළ කර නොමැති බව ත්, එම ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානවල නායකයින්, මෙන් ම ප්‍රාදේශීය වාර්තාකරුවන් ද, තහවුරු කරනු ලබනවා
