බදු මුදල් ගසා කෑම සඳහා මහා මාර්ගයේ ආකෘතිය වෙනස් කරමින් ඉදි කිරීම් කළ මහ මාර්ගයක් ද?
Subscribe to our WhatsApp Channel
රටේ මුදල් අවභාවිත කිරීම පිළිබඳව විවිධ සටහන් මේ දිනවල ඉතා වැඩි වශයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වනවා. කෙසේ වෙතත්, මේ තොරතුරු සත්‍යද දන්න විමසා බැලීම උචිත බව පෙනී යනවා. එලෙස පලවූ තවත් සමාජ මාධ්‍ය සටහනක සත්‍ය විමසා බැලීමට Fact Crescendo අපි තීරණය කළා.
සමාජ මාධ්‍ය සටහන් :
Facebook සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනක වූ ඡායාරූපයේ දක්වා තිබුණේ වක්‍රාකාරව ඉදිකිරීම් සිදු කර තිබෙන මහා මාර්ගයක්. මෙම මාර්ගයේ එක්තරා ස්ථාන 2ක් සෘජුව ඉදිකළා නම්, කෙටි දුරකින් යා කළ හැකි බව එහි පෙන්වා දී තිබුණා. මේ යටතේ “මේවා අපේ බදු මුදල්, ලේසි පහසු හොරා කෑමක් නෙමේ කාලා තියෙන්නෙ.” ලෙස ශීර්ෂයක්ද පල කර තිබුණා.
මෙම ඡායාරූපය ආශ්‍රිත තවත් සමාජ මාධ්‍ය සටහන් පිළිබඳව විමසා බලන විට පෙනී ගියේ වසර 6කටත් වැඩි කාලයක සිට (2017 පමණ සිට) වරින් වර මෙම ඡායාරූපය දෙස් විදෙස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බවයි. මෙම සටහන්වලද දක්වා ඇත්තේ කෙටි මාර්ගයක් තිබිය දී වැඩි දුරකින් වක්‍ර මාර්ගයක් ඔස්සේ ගමන් කරන ලෙස මාර්ගය ගොඩනගා ඇත්තේ ඇයිද යන්නයි.
එවැනි තවත් සටහනක් මෙතනින්.
ඒ අනුව මෙම ඡායාරූපයේ සත්‍ය අසත්‍ය, එයට අපේ රටේ ඇති සම්බන්ධය සහ මෙවන් ඉදිකිරීම් වල විද්‍යාත්මක පසුබිම සොයා යෑමට අපි තීරණය කළා.
Fact Check (කරුණු තහවුරු කිරීම)
මෙහි දැක්වෙන ස්ථානය කුමක්දැයි විමසා බැලීමට අප මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.
ඒ අනුව මෙම ස්ථානය පාකිස්ථානයේ, පන්ජාබි ප්‍රාන්තයේ, ලාහෝර් නගරයේ ඇති රයිවින්ද් ගුවන්පාලම බවට පෙනී ගියා. මෙම ගුවන්පාලම 2017 වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කර තිබෙනවා. මෙහි පුවත් වාර්තාවක් මෙතනින්. ඒ සම්බන්ධ සමාජ මාධ්‍ය සටහනක් මෙතනින්.
මෙම ගුවන් පාලමේ ඡායාරූප සොයා බැලීමේදී මෙය එම ස්ථානයම බව තහවුරු වනවා.
2017 වසරේ සිටම සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව කතා බහක් මතුව ඇත්තේ, ගුවන් පාලමක් වන මෙය, මෙලෙස වක්‍රාකාරව, වෘත්තාකාර හැඩයක් සහිත මාර්ගයක් ලෙස ඉදිකිරීමේ අවශ්‍යතාවයක් පවතීද යන්න පිළිබඳවයි. FB | Archived
කෙසේ නමුත් මේ හා සමාන පෙනුමක් සහිත ගුවන් පාලම් ශ්‍රී ලංකාවේ පවතින්නේ නැහැ. අධිවේගී මාර්ගවල පිවිසුම්වල මීට තරමක් සමාන තත්ත්වයක් පැවතුනත්, ලෝකයේ ඕනෑම රටක අදිවේගී හුවමාරුවල වාහන නිවැරදිව, එක් එක් දිශාවට, ගැටළුවකින් තොරව සහ සාමාන්‍ය ගමනාගමන මාර්ගයේ අතිරේක තදබදයක් ඇති නොවන පරිදි, ගමන් කිරීම සඳහා මෙම මාර්ග මෙවැනි හැඩයකින් නිර්මාණය කිරීම සාමාන්‍ය තත්ත්වයක්. අදිවේගී මාර්ගවල පිවිසුම්වල ඇති මෙවැනි වක්‍රාකාර හැඩැති මාර්ග විශේෂයෙන්ම, අධිවේගී මාර්ගය දෙසට සහ ඉන් ඉවතට ප්‍රධාන මාර්ග වෙත වාහන යොමු කිරීමට දායක වෙනවා.
මෙලෙස අධිවේගී මාර්ගවල හුවමාරු නිර්මාණය සහ සැලසුම් කිරීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියක්. මේ සම්බන්ධ පර්‍යේෂණ වාර්තාවක් මෙතනින්.
පාකිස්ථානයේ ඇති රයිවින්ද් ගුවන් පාලමේ හැඩයට ඇති විද්‍යාත්මක පදනම
මෙම හැඩයට ඇති ප්‍රධානතම හේතුව ලෙස මේ සම්බන්ධයෙන් එම ක්ෂේත්‍රයේ විශේෂඥයින් සඳහන් කරන්නේ මෙම පාලම වක්‍රාකාර ලෙස සකස් නොකර, සරල රේඛීයව සකස් කළා නම්, වාහනවලට මේ ඔස්සේ ඉහළ-පහළ ගමන් කිරීම අපහසුදායක මෙන්ම අනතුරුදායක වන තරම් ම බෑවුම වැඩි වන බවයි. එම ගැටළුව මාර්ගයේ මාර්ග තදබද ඇති කිරීමටත් දායක වනු ඇති.
මෙම ගුවන් පාලම ඉදිකිරීමේ මූලික අරමුණ වී ඇත්තේ විශාල වාහන සංඛ්‍යාවක් ගමන් කරන මෙම මාර්ගය ඔස්සේ ඇති දුම්රිය මාර්ගය ඔස්සේ භාණ්ඩ ප්‍රවාහණය කරන දුම්රිය විශාල සංඛ්‍යාවක් දිනකට ගමන් කිරීමයි. මෙම දුම්රිය හේතුවෙන් මහාමාර්ගයේ අධික තදබදයක් ඇති වී තිබෙනවා. මෙම තත්ත්වය වළක්වා ගැනීමට විකල්පයක් වශයෙන් රයිවින්ද් ගුවන්පාලම ඉදිකරවා තිබෙනවා.
පහත දැක්වෙන්නේ මෙම ගුවන්පාලම සඳහා නිර්මාණය කරන ලද දල සිතියමයි.
මෙහිදී භාණ්ඩ ගෙන එන දුම් රියේ නොවැදී, මෙන්ම, ජාත්‍යන්තර ගුවන්පාලම් ඉදිකිරීමේ සම්මුතීන්ට අනුකූලව කටයුතු කිරීම සඳහා මෙම පාලමේ හැඩය සහ බෑවුම මේ පරිදි තබාගැනීමට සිදුවී ඇති බව පෙනී යනවා.
මෙම පාලම පිළිබඳව තවදුරටත් තොරතුරු මෙතනින්.
මේ ආශ්‍රිතව 2018 වසරේදීම සිදුකෙරුණු කරුණු විමර්ශනයක් මෙතනින්.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳව තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය):
මෙම සමාජ මාධ්‍ය සටහන්වලින් දැක්වෙන පාලම ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පාලමක් නොවන බව තහවුරු වෙනවා. ඒ අනුව මෙම පාලම පාකිස්ථානයේ පන්ජාබ් හි, ලාහෝර් නගරයේ රයින්වින්ද් ගුවන් පාලම බව පෙනී යනවා. මෙම 2017 වසරේදී සිදු කළ ඉදිකිරීමක්. ඒ සමයේදීම මේ පිළිබඳව පුළුල් කතාබහක් ඇතිවී ඇති අතර යම් සම්මුතීන්ට යටත්ව එම රජය මෙවැනි සංකීර්ණ හැඩයකින් මෙම ඉදිකිරීම සිදුකර ඇතිබවට වාර්තා පල වෙනවා.